Wednesday, 23/8/2017 | 2:14 UTC+0
රාවය

ගෝන් ෆ්‍රී සහ මෙරට මලල ක්‍රීඩාව

ආසියානු ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර අවසන්ය. පළමු අදියර අවසන් වන විට අප සිටිනුයේ රටක් ලෙස හයවන තැනය. හයවන තැනට එන්නට දායක වූයේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනකි. චීනයේ ජින්හුවාහිදී පැවති ආසියානු ගෝන් ෆ්‍රී තරගාවලියෙහි පළමු අදියර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා දක්ෂතාවේ උපරිමය එබඳුය.
මේ අපට මලල ක්‍රීඩාවෙන් අද දවසේ සිටින දක්ෂතමයෝය. ඉන් රන් පදක්කම දිනූ මීටර් 800 ඉසව්ව ජයගත් ඉඳුනිල් හේරත් ඒ සඳහා වැය කළ කාලය මිනිත්තු 1 තත්පර 50.69කි. මේ සඳහා සුදුසුකම් ලැබීමේ තරගයේදී එනම් දියගමදී ඉඳුනිල් මි. 1 තත්. 49.90කට තරගය නිම කළේය. ඔහුගේ හොඳම කාලය ඔහු වාර්තා කරනුයේ 2014 වසරේදීය. ඒ මි. 1 තත් 48.69කට තරගය නිමකරමිනි. 2014 සිට මේ දක්වා එනවිට ඔහු ලංකාවේ ප්‍රථමයා ලෙස රැඳුණද කාලය අතින් ඔහු සිටිනුයේ පහළ බැස්මකය. මෙය මෙවර ගෝන් ෆ්‍රී තරගාවලියේදී රන් පදක්කමකට සුදුසුකමක් වුවද එය මින් එපිට ජාත්‍යන්තරය ජයගැනීමට ලේසි පහසු නොවනු ඇතිය.
ඉඳුනිල් රන් පදක්කමක් ලැබුවද තරගාවලියට පෙර සිටම කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූයේ හිමාෂ ඒශාන්ය. ඒ ඔහු මේ දිනවල ජැමෙයිකාවේ පුහුණු වන අතර එරට තරගයකට තරග වැදී කෙටිදුර ශූරයකු වන යොහාන් බ්ලෙක් පරාජය කළ බව වහසි බස් දෙඩුවේය. එම මිථ්‍යාව ගැන අපි ගියවර ලියූවෙමු. ජැමෙයිකාවේ පුහුණුවක් ඇතිව චීනයට ආ හිමාෂට චීනයේදී හිමිවූයේ දෙවන තැනය. මෙරට මාධ්‍ය තරගයට පෙර සිටම ඔහුගේ ගෙලට රන් පදක්කම පැළඳ තිබුණද එය එදින චීනයට පළඳන්නට සිදුවූයේ චීනයේ කිසිවකු හිමාෂ නොපරදවන බවට අපේ අය අනාවැකි කියා තිබෙද්දීය. ක්‍රීඩාවේදී කල් තබා අනාවැකි කිව නොහැකිය. එය ක්‍රීඩාවේ හැටිය. එය දක්ෂතාව එදින පෙන්වන උපරිමය මත වෙනස් වේ. යොහාන් බ්ලේක්ට වන්නේද එදා එයමය. ඔහුට එදා ආරම්භය වරදින්නේය. ඒ වරද හිමාෂට උඩ පනින්නට වාසනාව උදාකර දුන්නේය. හිමාෂ මෙතෙක් වාර්තා කර ඇති හොඳම කාලය තත්පර 10.26කි. එයද මීට කලකට පෙරය. මෙවර ඔහු රිදී පදක්කම ලබනුයේ තත්පර 10.43කටය. නොබෝදා ඔහු යොහාන් බ්ලෙක් පැරදවූවායැයි කියුවේ තත්පර 10.29කට තරගය නිමා කරමින් හයවන තැනට පත්ව ය. අද ලෝක මට්ටම් සහ තරගකාරීත්වය දෙස බලන කල දකුණු ආසියානු සීමාවෙන් ඔබ්බට මීටර් 100 සහ මීටර් 200 තරග ඉසව් ජයගැනීම ලේසි පහසු නැති බව පැහැදිලිය.
ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනුයේ මිනිත්තු 2. 02.55කටය. එම ඉසව්වේ බලාපොරොත්තුවක් වූ නිමාලි ලියනාරච්චිට හිමිවූයේ පස්වන තැනය. ඒ අනුව ඉදිරියේදී මේ බලාපොරොත්තු දෙකින් එකක් තෝරා ගන්නට අපට සිදුවනු ඇත.
හෙල්ල විසිකිරීමෙන් ඔලිම්පික් පදක්කම් පවා දිනනවායැ’යි අනවශ්‍ය ලෙස උඩ දැමූ සුමේධ රණසිංහගේ අද ඉරණම කනගාටුදායකය. කුමන හෝ හේතුවකට එදින කාලගුණයේ බලපෑම් මත හෝ සුමේධ වරක් තම හෙල්ල මීටර් 83.04ක දුරක් විසි කළේය. එහෙත් ඉන් මත්තට සුමේධට වුව ඒ දුර සැකසහිතය. ඔහු මෙවර තරගාවලියේදී විසිකරනුයේ මීටර් 71.12කි. ඒ හත්වන තැනට පත්වෙමිනි. මේ වනවිට ඔහු විසි කළ උපරිමයට සාපේක්ෂව අද වනවිට ඔහු මීටර් දොළහක් පමණ පසුපසට ඇදී ගොස් ඇත.
සුමේධ සමඟම වරුණ ලක්ෂාන් අනාගත බලාපොරොත්තුවක් බව පෙනෙන්නට තිබුණද වරුණ සැමවිටම සිටිනුයේ සුමේධට පිටුපසිනි. ඔහු අටවන තැනට පත්වන්නේ මීටර් 70.40ක දුරක් විසිකරමිනි. මේ ඉසව්වද දකුණු ආසියාව ජයගත්තත් ඉන් එහාට යෑම ලේසි නොවන බව ඇත්තකි. ක්‍රීඩාව වාසනාව මත තීරණය වන්නක් නොවේ. එයට විශාල කැපකිරීම් මෙන්ම නව දැනුමද, ශක්තියද ඕනෑ වේ. ඇතැම් ඉසව් අපට කොහෙත්ම නොගැළපෙන ඒවාය. එම ඉසව්වල ලෝක ආධිපත්‍යය හරිම ප්‍රබලය. මේ ඉසව්ද එසේමය.
දකුණු ආසියාවේද කෙටිදුර ශූරිය වූ රුමේෂිකා රත්නායකට මෙවර තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වෙන් හිමිවනුයේ පස්වන තැනය.
මෙවන් වටාපිටාවක ක්‍රීඩා ඇමතිවරයා නින්දෙන් අවදි වූ සැණින් 2020-2025 අපි ඔලිම්පික් පදක්කම් දිනනවායැ’යි පාරම් බෑම ඉළ ඇදෙන විහිළුවක්ය. ඇත්ත තේරුම් ගැනීම වෙනුවට බොරුව ඇත්ත ලෙස වර්ණනා කිරීම දැන් හෝ නවතා ඇත්ත තේරුම් ගත යුතුය. අප ලෝකය හමුවේ තවම හරි පුංචිය. එය දැනුම, තාක්ෂණය මෙන්ම ශරීර ශක්තියෙන්ද එසේමය. අපට ලොකු ඉලක්කවලට යෑමට ලොකු සැලසුම් අවශ්‍යය.
මෙම තරගාවලියේ දෙවන අදියර 27 වැනිදා චීනයේදීමද තුන්වන අදියර තායිවානයේ තායිපේ සිටිහිදී පැවැත්වේ. එවිට තව කතා කළ යුතු දේ එකතු වෙනු ඇත.
කෙසේ වෙතත් දකුණු ආසියාව ජයගැනීමට අවශ්‍ය පසුබිම අප නිතර සකස් කරගත යුතු අතර එයද ගිලිහෙන්නට ඉඩ නොතැබිය යුතුය. අවශ්‍ය එයය.■

About