Monday, 21/8/2017 | 4:39 UTC+0
රාවය

දැනෙන්න නෙමෙයි නටන්නමයි ගහන්නේ -මහින්ද සිල්වා ඩ්‍රම්ස් වාදක

ටිරන් කුමාර බංගගමආරච්චි

මහින්ද සිල්වා අප අතර සිටින අතිදක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකි. එදා ‘සුපර් ස්ටාර්ස්’ වාද්‍ය කණ්ඩායම හරහා කරළියට ආ ඔහු අද එහි හිමිකරුවාය. මේ ඔහු සමඟ කළ සංවාදයකි.

ඔබගේ නිවස තුළ සංගීතයට උචිත පරිසරයක් තිබුණාද?
ඔව්! මගේ අම්මාගේ පවුල සංගීතයට ළැදියි. අම්මට පියානෝවක් තිබුණා. ඇයට එය වාදනය කරන්නත් පුළුවන්. අම්මගේ මල්ලී ලෙස්ලි අශෝකා. එයා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළා. ඉතින් ඒ ආභාසය නිසා තමයි මමත් කලාව පැත්තට ඇදෙන්න ඇත්තේ.
සංගීත සංදර්ශන බලන පිස්සුවක් මට තරුණ කාලෙම තිබුණා. ඒකට ඕනෑම කරන මිත්‍රයෙකුත් ගෙවල් ගාවම හිටියා. ඒ උපාලි කන්නන්ගර. අපි දෙන්නාටම සංගීත පිස්සුව හොඳටම වැළඳිලා තිබුණා. මේ සංගීත සංදර්ශන බැලිල්ලෙන් තමයි මට ඩ්‍රම්ස් වාදනයට හිත ගියේ. සංගීත සංදර්ශනවලදී ඩ්‍රම්ස් වාදනය කොච්චර හදවතට දැනෙනවාද කියනවා නම් ඒ තරමටම ඒක මගේ හිතටත් කාවැදුණා. ඊළඟට මම සංගීත බලද්දී ප්‍රධාන අරමුණ ඩ්‍රම්ස් වාදනය. ළඟටම ගිහිල්ලා ඔවුන් ගහන විදි අධ්‍යයනය කරනවා. ඒ කාලේ හොඳ ඩ්‍රම්ස් වාදකයෝ හිටියා. සුසිල් පෙරේරා ඒ අතර සැබෑ දක්ෂයෙක්. ඔහු සුජාතා අත්තනායකගේ සහෝදරයා. තව ශ්‍රීකාන්ත දසනායක, හැරිස් ජයම්පති, ජබෝ වැනි දක්ෂ ඩ්‍රම්ස්ලා හිටියා. මම මේගොල්ලන්ගේ ගොඩාක් ශිල්ප හොරකම් කළා. ඒ අය දැක්කාම තමයි මම හිතුවේ මම කවදාහරි හොඳ ඩ්‍රමර් කෙනෙක් වෙනවා කියලා.

ඩ්‍රම්ස් ගහන්න ඩ්‍රම්ස් සෙට් එකක් එපැයි. ඒවා ගෙදර තිබුණාද?
නෑ. උපාලි කන්නන්ගරගේ අම්මා තමයි මට මුලින්ම ඩ්‍රම්ස් සෙට් එකක් අරගෙන දුන්නේ. ඒක ලංකාවේ හදපු එකක්. ඒ 75 වගේ අවුරුද්දේදී. උපාලි ගිටාර් ගහනවා. මම ඩ්‍රම්ස් ගහනවා. කොහොමහරි අපේ තියෙන උණටම අපි හතරපස් දෙනෙක් එකතු වෙලා ගෘප් එකක් හැදුවා. ඩ්‍රම්ස් ගහන්න ආස වුණාට මූලික දැනුමවත් නෑ. ඒ නිසා ශ්‍රීකාන්ත දසනායකගෙන් මූලික තියරිය ඉගෙන ගත්තා. එයා තමයි ගුරුවරයා කිව්වොත් හරි.

මොකද්ද පටන් ගත්ත සංගීත කණ්ඩායමේ නම?
මුලින්ම පටන් ගත්තේ ‘ගෝල්ඩන් රෝස්.’ එතකොට අපි හරි අඩුවෙන් දන්නේ. ඒත් කොහොම හරි සෙල්ලම් කළා.

ගෝල්ඩන් රෝස් කණ්ඩායමට මොකද වුණේ?
අපි මේක පවත්වාගෙන යන කාලේ මයිකල් පෙරේරා කියන ගායකයා තරංගා කියලා තව වාදක කණ්ඩායමක් හැදුවා. ඒකේ නිත්‍ය ඩ්‍රම්ස් වාදකයෙක් හිටියේ නෑ. මට ආරාධනයක් ලැබුණා. ඉතින් මම ඒකේ සෙල්ලම් කරන්න ගියා. ඔහොම ඉන්න කොට ජයතිස්ස හෙට්ටිආරච්චි සත්සර කියලා ගෘප් එකක් කළා. එයා තමයි ඒ කාලේ වැඩිම ෂෝ ඕගනයිස් කරන්නේ. මම තරංගා එකෙන් අයින් වෙලා එයා යටතේ සෙල්ලම් කළා.

සුපර් ස්ටාර්ස් සම්බන්ධ වෙන්නේ ඔය කාලේද?
මෙහෙම බෑන්ඞ් ගහන කොට ඩ්‍රම්ස් වාදකයෙක් විදියට මාව හොඳට මතුවුණා. එතකොට සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ නිර්මාතෘ ඒ.ඒ. පෙරේරා මහත්තයාටත් මා ගැන ආරංචිවෙලා තිබුණා. කොහොම හරි ඒ වෙනකොට සුපර් ස්ටාර්ස් වාද්‍ය කණ්ඩායමේ නිත්‍ය ඩ්‍රම්ස් වාදකයෙක් නෑ. මට ආරාධනාව ලැබුණා. මමත් ගියා. ඒක තමයි මගේ සංගීත දිවියේ හොඳම යුගය. ඒ.ඒ. පෙරේරා කියන්නේ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරාගේ පියා. ඔහු ත්‍රී සිස්ටර්ස් ඒ වෙනකොට හදලා. සුපර් ස්ටාර්ස් බෑන්ඞ් එකේ නිර්මාතෘ ඔහු. එතුමාගේ ආරාධනයෙන් මම අවුරුදු දහයක් සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ නිත්‍ය ඩ්‍රමර් වුණා.

මුල් කාලේ ඩ්‍රමර් කෙනෙකුට හොඳට ගෙවනවාද?
මුලින්ම පොඩි පොඩි වැඩ හම්බ වුණා. ඒ කාලේ මට ඩ්‍රම්ස් සෙට් නෑ. එහෙම ගන්න වත්කමකුත් නෑ. මම කරන්නේ ඩ්‍රම්ස් සෙට් හයර් කරගෙන යන එක තමයි. ඒ කාලේ බර්ටි ඩයස් කියලා සවුන්ඞ් කරන කෙනෙක් හිටියා. එයා ළඟ මේ බඩු තියෙනවා. මට එක ෂෝ එකකට රුපියල් පනහක් ලැබෙනවා. ඩ්‍රම්ස් සෙට් එකට හයර් එක විදිහට රුපියල් විස්සක් දෙන්න ඕනෑ. ඒක දාගෙන යන්න ප්‍රවාහන කුලිය යනවා පහළවක් විස්සක්. කොහොම හරි මමම හයිකරගෙන එනකොට ආයේ කෑලි ගලවලා පැක් කරගෙන මේ හැමදේම කරලා ගෙනල්ලා බාර දුන්නාම මගේ අතට එන්නේ රුපියල් දහයක් පහළවක්. ඒකට සෑහෙන්න දුකක් විඳිනවා.

මේක කරනවාට ගෙදරින් විරුද්ධද?
ඔව්! තාත්තා කැමති වුණේම නෑ. කොටින්ම මම සංගීත සංදර්ශන බලන්න යන කාලේ මාව ගෙට ගත්තේ නෑ. එළියේ නිදාගෙන ඇති අනන්ත. ඒත් පස්සේ එයාටම හිතෙන්න ඇති මේකට මොනවා කළත් අත අරින්නෙ නෑ කියලා.

ඒත් ඔබ සුපර් ස්ටාර්ස් කණ්ඩායමෙන් ඉවත් කළා කියලා මම අහලා තියෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. ඒ.ඒ. පෙරේරා මහත්තයාගෙන් වැඬේ අර්නස්ට් සොයිසා අතට ගියා. අර්නස්ට් අයියා, උපාලි කන්නන්ගර අපි හොඳට වැඬේ කළා. සුපර් ස්ටාර්ස් කණ්ඩායම අතිජනප්‍රියයි. වැඩ සෑහෙන්න. ඔය අතර සියැට් කියලා සංගීත කණ්ඩායමකුත් තිබුණා. මේකට නිත්‍ය ඩ්‍රම්ස් වාදකයෙක් නෑ. ඒ වාදක කණ්ඩායමේ අයිතිකාරයාට ගොඩක් අය කියලා තිබුණා. අහවලා හොඳ ඩ්‍රමර්, එයාව ගත්තා නම් අපිට මේක හොඳට අදින්න පුළුවන් කියලා. ඔය හේතුවෙන් මට ලොකු මුදලකට නිවෙසක් පවා දෙන පොරොන්දුව පිට ලොකු ඉල්ලීමක් ආවා. සුපර් ස්ටාර්ස් දාලා එන්න කියලා. මම සුපර් ස්ටාර්ස් දාලා යන්න කැමති වුණේ නෑ. මම බෑ කිව්වා. ඒත් මම මේ කතාව බෑන්ඞ් එකේ කෙනෙකුට කිව්වා. එයා අර්නස්ට් අයියාගේ කනේ තිබ්බේ මම ඩීල් එකක් දාගෙන යන්න හදනවා කියලායි. අර්නස්ට් අයියාට පොඞ්ඩ ඇත්නම් කේන්ති යනවා. එයා කිසිදු වගවිභාගයක් නැතුව මාව ඒක පදනම් කරගෙන සුපර් ස්ටාර්ස් කණ්ඩායමෙන් ඉවත් කළා. මට සංගීතයත් එපාවුණා. මම සියැට් එකට ගියා. ඒකේ අවුරුදු දෙකක් විතර සෙල්ලම් කළා. අර විදිහට හැමදේම ලැබුණා. ඒ වගේම ලොකු වාසිවලට සංගීත කණ්ඩායම් කඩාගෙන යන පළමුවැනියා බවටත් මාව ප්‍රසිද්ධ වුණා. ඒක ඊට පස්සේ රැල්ලක් විදිහට වෙන්න ගත්තා. කොහොමහරි එතනත් වැඩිකල් ඉන්න බැරිවුණා. ප්‍රශ්න ආවා. මම දමලා ගහලා ගෙදරට වෙලා හිටියා. මෙහෙම ඉන්න කොට සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමට එන්න කියලා මට ආරාධනා කළා. මම ඒකට ගියා. ඒකෙත් අවුරුදු 10ක් සෙල්ලම් කළා. හලාවත යන්න එන්න ගියාම දුරයි. ඉතින් එහේ ඉන්නවා. අන්තිමට ජීවිතයක් නෑ. මම ඒ නිසා ඒකෙන් අයින් වුණා. අයින් වෙලා ගෙදරටම වෙලා හිටියා.

ආයේ සුපර් ස්ටාර්ස් යන්නේ ඊට පස්සේද?
එතකොට සුපර් ස්ටාර්ස් වාදක කණ්ඩායම නෑ. අර්නස්ට් අයියලාත් රට ගිහිල්ලා. මට ගෙදර ඉන්න කොට හිතුණා ආයේ සුපර් ස්ටාර්ස් පටන් ගන්න. මම ඒ.ඒ. පෙරේරා මහත්තයා හම්බවෙලා ඒක ඉල්ලුවා. ඔහු ඒක මට දෙන්න එකඟ වුණා. මම ඒකේ අයිතියත් අරගෙන මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර් ස්ටාර්ස් වාදක කණ්ඩායම කියලා ප්‍රසිද්ධ කළා. ආයේ අපි ඉහළට ආවා. ඒ අතර අමරදේව මාස්ටර්, කපුගේ, සුනිල් එදිරිසිංහ මේ වගේ ප්‍රසිද්ධම ගායකයන්ගේ හඬින් සිංදු කියන්න පුළුවන් කට්ටියක් මා ළඟ හිටියා. ඒ අය දාලා ‘සංගීත වෙනස’ කියලා මම කැසට් කළා. මේක නැගලා ගියා. සෑහෙන ඉල්ලුමක් අපිට ආවා. මේකට නඩුත් ආවා. ඊළඟට කතා කරලා ඒවා විසඳාගෙන මම ඒක නැවැත්තුවා.

ඒකෙන් පස්සේ සුපර් ස්ටාර්ස්වලට රැල්ල අඩුවුණාද?
එහෙම නෑ. ඒත් එක එක්කෙනා ලොකු මුදලකට වෙනත් සංගීත කණ්ඩායම්වලට ගියා. සැලසුම් කරලා වගේ එකවර පිරිසක් ඩැහැ ගත්තා. මම අතරමං වුණා. ඇයි අපි ෂෝ අරගෙන එක දිගට ලිස්ට් එක. එහෙම වෙලාවක කණ්ඩායම ගලවාගෙන යනවා කියන්නේ ආයේ ඕනෑම නෑ. මට මේ ෆීල්ඞ් එකම එපා වුණා. ඒත් මේක ජීවිතයනේ. හදවතේ සද්දේ හරියට දැනුණේ ඩ්‍රම්ස් වාදනයෙන් ඒකෙන් මිදෙන්න බෑ. ආයේ අලුත් ළමයි ටිකක් අල්ලගෙන මේක කරගෙන යනවා. ඒකත් ඊට පස්සේ ජනප්‍රිය වුණා.

ආයේ ගලවාගෙන ගියොත්?
ඒවයෙන් මට්ටු වුණු හින්දා අවුරුදු පහකට ගිවිසුම් ගහලා ඊළඟට ගන්නේ.

සංගීත කණ්ඩායම් රැල්ල මීගමුව හලාවතට ගියා නේද?
ඒක ඉතාලි ගමනත් එක්ක වුණේ. සන්ෆලවර්ස් කණ්ඩායම ඒ පැත්තෙන් බිහිවුණාම ඉතාලි ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන එන අය සංගීත කණ්ඩායම් කරන්න පටන් ගත්තා. හැබැයි මේ සංගීත කණ්ඩායම්වල ආරම්භය කොළඹ.

අද සංගීත කණ්ඩායම් අතර තියුණු තරගයක් තියෙනවා නේද?
ඔව්! හරියට මාධ්‍ය තරගය වගේම තමයි. එදා මාධ්‍ය එකයි දෙකයි. ඒවාගෙන් සැමට සාධාරණය කළා. හැබැයි මාධ්‍ය වැඩිවුණාම සාධාරණය එක එක අයට තෝරාගෙන කරන්න වුණා. අද සංගීත කණ්ඩායම් කවුද කියලා තීන්දු කරන්නේ විද්‍යුත් මාධ්‍ය. ඒ අයත් සංගීත ප්‍රසංග පවත්වනවා. ඒවාට එන සංගීත කණ්ඩායම්වලට හරි ප්‍රසිද්ධියක් දෙනවා. ඉස්සර සංගීත කණ්ඩායම් හතරයි පහයි තිබුණේ. ලොකු තරගයක් නෑ. හැමෝම බෙදාගෙන කළා. අද සංගීත කණ්ඩායම් වැඩි බෙදා ගැනීමක් නෑ. බදා ගැනීමක් තියෙන්නේ. මාධ්‍ය අල්ලාගන්නා තරමට පවතින ආණ්ඩු පක්ෂයට ළංවෙන තරමට ෂෝ වැඩියි. අද දක්ෂතා ඕනෑ නෑ. කොහොමහරි වැඬේ වෙනවා නම් ඇති.

ඉතින් එහෙම යන්න පුළුවන්නේ.
අනේ නෑ. එහෙම ඕනෑ නෑ. අපිටත් වැඩ තියෙනවා. ඒ වැඩ ටික හොඳටම ඇති.

ඔබලාගෙන් පසු ආ සංගීත කණ්ඩායම්වල ඔබ දකින වෙනස මොකක්ද?
එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඒ අතර ප්‍රධානම දේ තමයි එක් අයෙක් මත යැපීම. දැන් කණ්ඩායම්වල නායකයෝ කොහොම හරි ගායකයෝ. එක්කෝ ගායකයෝ සංගීත කණ්ඩායම් දානවා. ඉතින් එයාට තියෙන ඉල්ලුමට කණ්ඩායම දුවනවා. අනෙක් ප්ලේ කරන අයගේ නමක්වත් දන්නේ නෑ. නව තාක්ෂණයත් එක්ක ඕනෑම කෙනෙකුට මේවා අත ගගා ඉඳලා ජාමේ බේරගන්න පුළුවන්. අද සැබෑ දක්ෂයෝ අඩුයි. ගොඩක් අය තාක්ෂණයෙන් ගොඩ යන අය. අපි පටන් ගත්තේ එකොස්ටික් ඩ්‍රම්ස්වලින්. ඒවා අතේ පයේ හයියටම ගැහැව්වා. කොටින්ම ඇඟේ හයියට. ඒත් දැන් තාක්ෂණය නිසා නිකං තිබ්බත් ඇති. අපි නම් තාක්ෂණයටත් හුරුවුණා. හැබැයි තාක්ෂණයට හුරුවුණු අයට එකොස්ටික් ඩ්‍රම් එකක් ගහන්න බෑ. ඇමරිකාවේ දක්ෂ වාදක කණ්ඩායම් අදටත් ගහන්නේ එකොස්ටික්. ඇයි ඒ අයට තාක්ෂණය නැතිවද? ඒ අය අපි වගේ ඕන බාල දෙයක් දුන්න පළියට ගිලින්නේ නෑ. හොඳ දේයි තියාගන්නේ. අද මහින්ද බණ්ඩාර වගේ ගිටාරිස්ට්ලා කෝ? අද තාක්ෂණයෙන් හදපු රොබෝලා ඉන්නේ. වාදක ශිල්පීන් වගේම තමයි අලුත් ගායන ශිල්පීන් වුණත්. ඒ අයගෙන් බහුතරයකට සිංදු කියන්න බෑ. තාක්ෂණයේ පිහිටෙන් තමයි හැමෝම ඉන්නේ. දක්ෂතාවල පිහිටෙන් නෙමෙයි.

මුල් කාලේ සංගීත සංදර්ශනයි අදයි අතර ලොකු වෙනසක් තියෙනවාද?
අපෝ ඔව්! අහසට පොළොව වගේ. අපි ඉස්සර සංගීතයකට යනකොට බස් එකේ යන්නේ. බෑන්ඞ් එකත් පටවාගෙන ගායක ගායිකාවනුත් දමාගෙන ටි්‍රප් එකක් යනවා වගේ යන්නේ. ජෝති, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, වික්ටර්, සනත්, ලතා, ඇන්ජි කවුරුත් එකට යන්නේ. මේ ලංකාවේ අතිදක්ෂයෝ. කිසි වෙනසක් නෑ. එක පවුලක් වගේ. රස කතා හිතවත්කම් පිරිලා. කාගෙවත් ලොකුකම් නැ. මගින් නවත්වලා කාලා නාලාත් යනවා. ඉතින් හැමෝම එක පොකුරක්. අද තනි තනි වැඩ. සමහර ගායකයෝ ප්‍රවීණ කෙනෙක් ආවත් අඳුනන්නේ නෑ. ඒ අයගේ කට්ටිය අඳුනන්නේත් නෑ. ඇයි ඒ තරමට ගායකයොනේ. ඒ වගේම තමයි බලන්න එන අයත්. ඉස්සර එන අය සිංදු රස විඳින්න ආවේ. අපි සෙල්ලම් කළේ මනසට හදවතට. ඒ නිසා ඒ කාලේ අයට ජෝතිපාලත්-අමරදේවත් යන දෙකොටසම රස විඳින්න පුළුවන්. අද එහෙම නෑ. නටන්නමයි එන්නේ. බෑන්ඞ් එක ටෙස්ට් කරන්න ගැහැව්වත් නටනවා. සමහරු සංගීත සංදර්ශනය තියෙන පිට්ටනියට ඇතුළු වෙන්නෙත් නටාගෙන. ඉතින් අපිත් දැන් ඔළුවට නෙමෙයි කකුල්වලට ගහන්නේ. දැනෙන්න නෙමෙයි, නටන්නමයි ගහන්නේ. ඒ අතරේ ප්‍රමිතියක් තියාගන්න අපි හදනවා. ප්‍රමිතියක් මොකක් වුණත් එන අය නටනවා. දැන් මේ සංගීතය සෑහෙන රස්තියාදුකාරයි.

අය කිරීම් කොහොමද?
ඒවාට නිශ්චිත මුදලක් නෑ. මම ලක්ෂයට ගන්න වැඬේ තව කෙනෙක් හැත්තෑ පන්දාහට කරන්නම් කියනවා. අද ගෘප්වල මාස් පඩි දෙනවා. මම නම් සෙල්ලම් කරලා ඉවර වුණාම එදාට මුදල දෙනවා. ඒ අපි පුරුදු වෙලා තියෙන හැටි.

ඔබ නිහාල් නෙල්සන්ගේ කාවඩි බයිලා සිංදුවට ‘ඩ්‍රම්ස් සෝලෝ’ එකක් ගහලා සෑහෙන ප්‍රසිද්ධ වුණා. ඒ හරහා ඔබට වෙනම අනන්‍යතාවක් හැදුණා නේද?
ඔව්! ඒක අදටත් හරිම ජනප්‍රියයි. හැබැයි ඕකට පොඩි කතාවක් තියෙනවා. මොකද මම මුලින්ම ඩ්‍රම්ස් සෝලෝ එකක් ගැහැව්වේ එච්.ආර්. ජෝතිපාලට. ඒ ‘මම ගන්නෙමි කර කාර බන්දාලා’ ගීතයට. ඕක අහලා තමයි නිහාල් කිව්වේ මහින්ද මගේ කාවඩි සිංදුවටත් ඩ්‍රම්ස් සෝලෝ එකක් හදලා දෙන්න කියලා. සමහර දවස්වලට මේ දෙන්නාම සංගීතයට එනවා. ඉතින් මම දෙන්නාටම ඩ්‍රම්ස් සෝලෝ ගහනවා. එදාට පණ යනවා. එක්කෙනෙකුට විනාඩි 20ක් විතර ගහනවා. අද මම ඩ්‍රම්ස් ගහන්නේ නෑ. ඒත් නිහාල් එනවා කිව්වාම ඒ සිංදුවට මම අදත් ගහනවා. පරණ අය එනකොට මම සෙල්ලං කරනවා. අපි දැන් අලුත් පරම්පරාවට තැන දෙන්න එපැයි.

තැනින් තැනට ගිය ඔබගේ සංගීත දිවිය ගැන මොකද අද හිතෙන්නේ?
සුපර් ස්ටාර්ස්වලින් හැදුණු මම තැනින් තැන ගියත් අන්තිමට ඒකෙම නතර වෙලා. ඒක මගේ කර ගන්නත් ලැබීම ලොකු භාග්‍යයක්. මගේ හීනය තිබුණේ ඩ්‍රම්ස් වාදකයෙක් වෙන්න. අන්තිමට වාද්‍ය කණ්ඩායමකුත් ඇති කළා. පරණ පරම්පරාවත් අලුත් පරම්පරාවත් දෙකම මුණ ගැහෙනවා. දෙකත් එක්කම වැඩ කළා. හිස්දේත් පිරුණුදේත් දෙකම අත්වින්දා. දැන් කට්ටියම අහනවා වෙනුවට නටනවා බලාගෙන ඉන්නවා. මේ නටන නැටිල්ලට ඉක්මනටම හතිවැටිලා ඇදගෙන වැටෙයි කියලා හිතෙනවා. ඒකත් වැඩි ඈතක නෑ■