රාවය

දූෂණ මර්දන කාර්යාලය වහයි

දූෂණ මර්දන කාර්යාලය වහයි

නිමල් අබේසිංහ

මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ සිදුවූ බරපතළ මූල්‍ය වංචා අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු කිරීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් පිහිටුවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමීමට යහපාලන ආණ්ඩුවේම පිරිසක් ක්‍රියාත්මක වන බව තතු දත් පිරිස පවසති.

මෙහි මූලික පියවරක් ලෙස දැනටත් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය හරහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට විමර්ශනයට යොමු කළ පැමිණිලිවලින් කොටසක් රහස් පොලිසිය හා වෙනත් විශේෂ විමර්ශන අංශ වෙත යොමු කිරීමේ ක්‍රියාවලියක් පවතින බවද කියවේ.
මෙම පැමිණිලි සියල්ලක්ම පාහේ මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි වන හෙයින් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරින් සිටින මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර
වෙනත් අංශවලට භාරදීම ප්‍රශ්නගත බවත් කියවෙයි. කෙලෙසක හෝ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමුණහොත් ඒ වෙනුවෙන් පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයද අකර්මන්‍ය වීම ඉබේම සිදුවෙන බවත් මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් කියති.
මේ වනවිටත් විශාල මූල්‍ය අපරාධ සංඛ්‍යාවක් පිළිබඳ මෙම ලේකම් කර්යාලයට ලැබුණ පැමිණිලි විමසා බලා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට දූෂණ කමිටු ලේකම් කාර්යාලය විසින් යොමුකර ඇති අතර ඒවායින් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පැමිණිලි හැත්තෑ දෙකක් පිළිබඳ විමර්ශනය කර නීතිපතිවරයාට ලබාදී ඇත. තමන්ට සහ තම හිතවතුන්ට හිසරදයක් වූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම රාජපක්‍ෂවරුන්ගේ දැඩි වුවමනාවක්ව පවතිද්දී යහපාලන රජය වෙතින්ම මෙම කාර්යාලය වසා දැමිමට යාම රාජපක්‍ෂවරුන්ගේ හිසේ මල් පිපීමක් යැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් පවසති.
දූෂණ මර්දන ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අධික්‍ෂණය යටතේ පවත්වාගෙන යාමෙන්ම එහි ඇති වැදගත්කම අවබෝධ වෙයි. එහෙත් හදිසියේ එය වසා දැමිමට කටයුතු යොදමින් සිටින බව හැඟවෙන්නේ රාජ්‍ය මාධ්‍යයක් වන දිනමිණ පුවත්පතෙහිම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එහි අරමුණු ඉටුවන ලෙස කටයුතු නොකර ඇති බවට ප්‍රවෘත්තියක් පළවී තිබිමෙන්ය.■