රාවය

ළමා හෘදය රෝග ගොඩනැගිල්ලට මිලියන 2000ක් සොයයි. කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය මිලියන 2257යි

ළමා හෘදය රෝග ගොඩනැගිල්ලට මිලියන 2000ක් සොයයි. කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය මිලියන 2257යි

ලසන්ත රුහුණගේ

ලිට්ල් හාට්ස් යනුවෙන් හැඳින්වෙන ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ වී දැනට මාස ගණනාවක්ය. එහි අරමුණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව මහල් දහයකින් යුත් හෘදය හා දැඩි සත්කාර ප්‍රතිකාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමයි. එහි ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයයි. ඊට ජනමාධ්‍ය ආයතනද, විවිධ ව්‍යාපාරික ආයතනද සිය සහයෝගය ප්‍රකාශ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රකාශයට පත්කර ඇති දැන්වීම් පත්‍රිකාවල හා අනෙකුත් ප්‍රකාශන අනුව මෙවැනි ළමා හෘදය රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ලක අවශ්‍යතාවට හේතුව අනුවේදනීයය. එම ප්‍රකාශනවල සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 3000ක් පමණ දෙනා හෘදයාශ්‍රිත රෝග සහිතව ඉපදෙන බවය. ඉන් තුනෙන් දෙකකට එනම් 2000කට පමණ යම් ප්‍රතිකාරයක් අවශ්‍ය වන බවය. එහෙත් දැනට කොළඹ ළමා රෝහලේ හෘදය රෝග ඒකකයේ පවතින පහසුකම් අනුව කළ හැක්කේ විවෘත හදවත් සැත්කම් 900ක් හා හෘදය කැතීටර මගින් කරන සැත්කම් 700ක් පමණකි. මේ නිසාම ළමයින් 1000ත් 1500ත් අතර ගණනක් ප්‍රතිකාර ලැබීමේ පහසුකම් නොමැති නිසා හෘදය රෝග සහ වෙනත් අසාධ්‍ය රෝග තත්ත්ව හේතුවෙන් මියයන යති. තවද රට තුළ ඉපදෙන දරුවන්ගෙන් වසරකට ළමයි 3700ක් පමණ දෙනා මියයති. ඉන් ළමුන් 3000ක් පමණ දෙනා මියයන්නේ ඉපදී පළමු අවුරුද්ද තුළදීය. මෙසේ මරණයට පත්වන ළමුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සංජානීය හෙවත් උපතේදීම හටගත් හෘදය රෝග හේතුවෙන් ජීවිත අවදානමට පත්වී සිටින අය වන බවත් එම ළමුන් වැඩි පිරිසක් මියයන්නේ නිව්මෝනියාව, දරුණු රුධිර ආසාදන හා අවයව කිහිපයක් අකර්මණ්‍ය වීම වැනි හේතු නිසා බවත් වැඩිදුරටත් කියැවෙයි.
කොළඹ ළමා රෝහලේ පහසුකම් සමඟ සංසන්දනය කරමින් මෙකී ශෝචනීය තත්ත්වය තවදුරටත් එකී ප්‍රකාශනවල සඳහන් කර ඇත්තේ මේ ආකාරයටය.
“අසාධ්‍ය දරුවකු ඇතුළත් කළහොත් එම දරුවාට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලැබීමේ ප්‍රතිශතය 40%ක් පමණයි.”
“එම දරුවාට හදවතේ සිදුරක් යැයි නිශ්චය වුවහොත් නිසි වේලාව තුළදී ශල්‍යකර්මය සිදුකිරීමේ ප්‍රතිශතය 50%කි.”
“ළමයාට නිසි කල ප්‍රතිකාර නොලැබීම හෝ ජීවිත අවදානමක් ඇතිවීමේ 50%-60% අතර සම්භාවිතාවක් තිබේ.”
එකී අවාසනාවන්ත තත්ත්වයන් මගහරවා අවශ්‍ය සේවාවන් සියල්ල එකම ස්ථානයකින් ලබාදී ළමා මරණ ඉතා අවම මට්ටමකට ගෙනඒම මහල් දහයකින් යුත් සියලු පහසුකම් සහිත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුණයි. එය යථාර්ථයක් බවට පත්වුවහොත් ප්‍රතිකාර අවශ්‍ය වේලාවට නොලැබීමෙන් අකාලයේ මිලින වී යන බිලිඳු ජීවිතවලට ආදරණීය රැකවරණයක් ලැබෙන බව සංවිධායකයන්ගේ ප්‍රාර්ථනාවයි.
මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීම සඳහා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය එකී හෘදය රෝග ප්‍රතිකාර දසමහල් ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 2000කි. නැත්නම් කෝටි 200කි.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා හා ආණ්ඩුකරණය සඳහා ජනතාව විසින් පත්කර ඇති මහජන නියෝජිතයන්යැ’යි කියාගන්නා පිරිස නඩත්තු කිරීම සඳහා සහ ඔවුන්ගේ සුඛ විහරණය සඳහා ලබාදෙන වරදාන වරප්‍රසාද ගැන අවධානය යොමු කළ විට මේ රුපියල් මිලියන 2000ක මුදල යනු සොච්චම් මුදලක් බවට කිසිදු තර්කයක් නැත. එවැනි වරදාන, වරප්‍රසාද අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් නොවෙතත් ඒවා අනිවාර්යයැ’යි සැලකුවද (දේශපාලනඥයන්ට අනුව මිස අපට අනුව නොවේ) වංචා දූෂණවලට හා නාස්තිකාර වැඩ සඳහා යන වියදමෙන් මෙවැනි රෝහල් ගණනාවක් සෑදිය හැකි බවට විවාදයක් නැත. එයිනුත් වංචා දූෂණවලට කා දමන මුදල් එකවර අයකර ගත නොහැකි බැවින් නාස්තිකාර දේ සඳහා යන වියදම් නම් (මේවාද වංචා දූෂණ විය හැකිය.) සැබෑ වුවමනාවක් ඇත්නම් දේශපාලකයන්ට වළක්වා ගත හැකිය.
ඊට මේ දිනවල ඇති හොඳම උදාහරණය කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියෙන් ඩී.පී. ජයසිංහ සමාගමෙන් වසර පහක කුලී පදනමට ලබාගෙන ඇති ගොඩනැගිල්ලය.
මෙම ගොඩනැගිල්ල එම සමාගමෙන් වසර පහක බද්දට ලබාගත්තේ පසුගිය 2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදීය. මේ වනවිට ඊට වසරක කාලයක් ගෙවී ඇත. එහෙත් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර නැත. වසර පහක කාලයක් සඳහා මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 1855කි. ඒ බදු කුලී, සේවා ගාස්තු හා වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු වශයෙනි. අමතරව එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වෙන්කිරීම්, සැකසුම් හා ගෘහ භාණ්ඩ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 402කි. මේ වියදම් දෙකෙහිම එකතුව රුපියල් මිලියන 2257කි.
දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක්ද, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරික ආයතන හා පුද්ගලයන්ද යොදා ගනිමින් විවිධ අන්දමින් මුදල් එකතු කරමින් ළමා හෘදය රෝග ගොඩනැගිල්ල ඉදිකිරීමට මේ සිදුකරන වෙහෙස හා සැසඳීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මේ කරන නාස්තිකාර වියදම වළක්වා ගත්තේ නම් එම මුදල එම හෘදය රෝග ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය මුදලටත් වඩා රුපියල් මිලියන 257ක වැඩි මුදලකි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් වුවමනා වූයේ එම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සඳහා වුවමනා බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව හා දැනුම්දීමය. ඒ අනුව එම ගොවිජන මන්දිරයේ පවත්වාගෙන ගිය වනජීවී අමාත්‍යාංශය සහ අනෙකුත් කාර්යාල බත්තරමුල්ලේ සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලට ගෙනගිය අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ තමන්ට එහි ඉඩකඩ මදි බවය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සිය අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම ඩී.පී. ජයසිංහ ගොඩනැගිල්ල තෝරාගත් අතර විගණනයෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්ද, රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ ද නොතකා කඩිමුඩියේම ගිවිසුම් අත්සන් කළේය. එහෙත් පෙර සඳහන් කළාක් මෙන් වසරක් ගතවීත් එම ගොඩනැගිල්ලේ පදිංචියට ගොස් නැත.
එහි තේරුම කුමක්ද? දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොවිජන මන්දිරයේ වුවමනාවක් හෝ අවශ්‍යතාවක් පාර්ලිමේන්තුවට නැති බවය. කෘෂිකර්ම අමාත්‍යාංශය තවමත් ගොවිජන මන්දිරයේ ඉන්නේත් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා එහි නොඑන්නේත් ඒ නිසාය.
වත්මන් යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ තිබුණේ උපදේශක කාරක සභාය. මන්ත්‍රීවරුන් අනුයුක්ත කරනු ලැබුයේ එම උපදේශක කාරක සභා සඳහාය. රට වේගයෙන් සංවර්ධනය කරන්නටත් මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පවරන්නටත් කියා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආංශික කාරක සභා යනුවෙන් අලුත් කාරක සභා වර්ගයක් ආරම්භ කරන බව කී අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනුයුක්ත කරමින් ආංශික කාරක සභා ඇති කරනු ලැබීය. එසේ වුවද මීට පෙර තිබූ උපදේශක කාරක සභා නම් පත් කෙරුණේ නැත. දැන් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආංශික කාරක සභාය. උපදේශක කාරක සභා තිබූ ඉඩ භාවිත කරමින් එම ආංශික කාරක සභා පවත්වයි. ඒ නිසාම වැඩිපුර ඉඩක් ගැන පාර්ලිමේන්තුවට වැඩි උනන්දුවක් නැති බවට සැකයක් නැත. වසරක කාලයක් නිකරුණේ කුලී ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ තවමත් ඉන්නේ ඒ නිසාය. පාර්ලිමේන්තුවේ ඇත්ත වුවමනාවක් තිබුණේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් ගොවිජන මන්දිරයේ තිබෙන්නට හේතුවක් නැත. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට ද මුල් අවස්ථාවේදී සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලට යෑමේ හැකියාව තිබුණි. ඒ මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ඉඩමක අමාත්‍යාංශය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමටද අවකාශ තිබුණි. එහෙත් අවසානයේ සිදුවූයේ නිසි වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් අකාලයේ මියයන ළමා ජීවිත දහසක් පමණ වසරකට බේරා ගැනීමට හැකි ළමා හෘදය රෝග ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වැයවන මුදලට වඩා වැඩි නාස්තිකාර මුදලක් වියදම් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසර පහක කාලයකට කුලී ගොඩනැගිල්ලක් ලබාගැනීමය.■