දඩයක්කාර මාධ්‍යකරණයෙන් ඔබ්බට පරිණාමය වීමේ අභියෝගය


nalaka

මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනයේ ගෝලීය රැස්වීම මේ සතියේ පැවැත්වූයේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරයි.
එහි සංවිධානය කර තිබූ දකුණු ආසියාවේ මාධ්‍ය යථාර්ථයන් පිළිබඳ අතුරු රැස්වීමක කථා කිරීමට මටද ඇරැයුම් කරනු ලැබුවා.
2016 මැයි මාසයේ නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂෙත්‍රය හා වෘත්තිය පිළිබඳ පර්යේණාත්මක වාර්තාවේ නිර්දේශ කිහිපයක් මා සිහිපත් කළා. “ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා” නම් වූ එම වාර්තාව මෙරට මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ නීතිමය, නියාමන, වෘත්තිමය, තාක්‍ෂණික හා ආර්ථික පැතිකඩ ගැන මේ දක්වා නිකුත් වී ඇති හොඳම විවරණය යයි කිව හැකියි.
මාධ්‍ය නිදහස තහවුරු කිරීමේදී රජයට මෙන්ම පෞද්ගලික මාධ්‍ය හිමිකරුවන්ටත් වගකීම් පැවරෙන බව එම වාර්තාව පෙන්වා දෙනවා. 2015 ජනවාරියේ ආණ්ඩු මාරුවෙන් ඉක්බිති, පසුගිය රජය යටතේ මාධ්‍යවලට එල්ල වූ මර්දනකාරී බලපෑම් බොහෝ දුරට අඩු වී තිබෙනවා.
එහෙත් මාධ්‍ය තවමත් බොහෝ විට ස්වයංවාරණය කරන බවත්, පොදු උන්නතිය වෙනුවට දේශපාලන පක්‍ෂ, ජාතිකවාදීන් හා වෙනත් අන්තවාදීන් සඳහා පෙනී සිටින බවත් වාර්තාව උපුටා දක්වමින් මගේ කථාවේ සඳහන් කළා.
මාධ්‍ය නිදහස (සාපේක්‍ෂව) ඉහළ ගිය පමණට මාධ්‍යවල වෘත්තීය බව වැඩි නොවන බව අපේ බොහෝ මාධ්‍යවල කෙරුවාවෙන් හොඳටම පෙනෙනවා.
වාරණයක් හෝ දැඩි මර්දනකාරී පීඩනයක් තව දුරටත් නැති පසුබිමෙක වුවද බොහෝ පොදු ප්‍රශ්න හා මහජන ගැටලු ගැන අර්ථවත් මාධ්‍ය වාර්තාකරණයක් නැත්තේ ඇයි? දුවන ගමන් උඩින් පල්ලෙන් කරන, ලේ-කඳුළු හා ආවේගයන්ට වැඩිපුරම සීමා වූ, භාවප්‍රකෝපකාරී ( s e n s a t i o n a l ) මාධ්‍යකරණයක් අපේ පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් බහුතරයක හමු වන්නේ මක් නිසාද?
වෙළෙඳපොළ ප්‍රවාහ යන්ට මාධ්‍ය නතු වීම යයි යමකු තර්ක කළ හැකියි. එය යම් තරමකට සත්‍යයක්. විශේෂයෙන් ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා එකිනෙකා අතර ප්‍රබල රේටිංස් හෙවත් ශ්‍රේණිගත කිරීමේ තරගයක නිරතව සිටිනවා. ජනප්‍රියම නාලිකාව තමන් යයි හුවා දැක්වීම හරහා වැඩිපුර දැන්වීම් ප්‍රමාණයක් ඇද ගැනීම ඔවුන්ගේ අරමුණයි.
එහෙත් අද රටේ පත්තර බහුතරයක් කර ගෙන යන්නේ පාඩු පිටයි. පිටපත් අලෙවිය වැඩි කර ගන්නට හෝ ලාබ ලබන්නට අප සිතන තරම් උවමනාවක් හිමිකරුවන්ට නැහැ. ඔවුන් පත්තර කර්මාන්තයේ රැඳී සිටින්නේ දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරන්න. නැතිනම් වෙනත් ව්‍යාපාර ප්‍රවර්ධනයට කේවල් කිරීමේ හැකියාව වැඩි කරගන්න.
පත්තර සමාගම් දෙකක් හැරුණු විට අන් සියල්ල ලාබ නොලබා, පාඩු පිට පවත්වා ගෙන යන්නේ ඒනිසායි. පත්තර විකිණුනත් නැතත් හිමිකරුවන්ට එය ප්‍රශ්නයක් නොවෙයි.
අනෙක් කාරණය නම් මාධ්‍යවල වෘත්තීය බව පහළ වැටීම ගැන මුළුමනින්ම හිමිකරුවන්ට දොස් කීව නොහැකියි. එයට මාධ්‍ය වෘත්තියේ ජ්‍යෙෂ්ඨයන් හා සෙසු මාධ්‍යවේදීන්ද යම් තරමකට වගකීව යුතුයි.
දැන් සිටින හිමිකරුවන් යටතේම මීට දශක තුන හතරකට පෙර වඩාත් ඉහළ ප්‍රමිතියක පැවති සමහර මාධ්‍ය මේ වන විට ගරා වැටී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන්ගේ උදාසීනත්වය, පක්‍ෂග්‍රාහීත් වය හා ආත්මාර්ථකාමී බව නිසා යයි මා තර්ක කරනවා.
මෙයට උදාහරණ අප නිතර දකිනවා.
x සිය දිවි නසා ගැනීම් ගැන වාර්තා කරද්දී ප්‍රවේශම් හා සංවේදී වන ලෙස කෙතෙක් කීවද ඇතැම් වාර්තා පාවිච්චි කළ ක්‍රමය ගැන පවා විස්තර කරනවා.
x එක්තරා සිංහල ටෙලිවිෂන් නාලිකාවක් රිය අනතුරු, අපරාධ හා ආපදාවන් පිළිබඳව තලු මරමින්, නාට්‍යානුසාරයෙන් වාර්තා කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවයි.
x මෑතදී ඇරැඹුණු දිනපතා පත්‍රයක් අනුරාධපුරයෙන් හමු වූ හිස නැති මළ සිරුරක සමීප ඡායාරූපයක් මුල පිටුව හරහා විශාල ලෙස පළ කර තිබුණා.
මීට දෙසතියකට පෙර මීතොටමුල්ල ඛේදවාචකය ගැන තරිඳු උඩුවරගෙදර හා රේඛා නිලුක්ෂි හේරත් රාවයට ලියූ ලිපියක මාධ්‍ය කෙරුවාව ගැන කළ නිරීක්ෂණය උපුටා දැක්වීම වටිනවා:
“කුණු කන්ද ගැන උද්ඝෝෂණ නිතර වාර්තාකළ මාධ්‍ය මීතොටමුල්ලේ ප්‍රශ්නය බරපතළ එකක් ලෙස දුටුවේ නැත. මීතොටමුල්ලේ උද්ඝෝෂණවලට පහරදීම වෙනත් වාර්තා මැද්දේ පළවිය. කුණු කළමනාකරණය ගැන පුළුල් ලෙස සාකච්ඡා නොකළ අතර කුණු පසුපස්සේ ඇති පාදඩ කළු ව්‍යාපාර සහ අවස්ථාවාදී දේශපාලනය ගැන වාර්තා කළේ නැත. සමාජයක් ලෙස කුණු පිළිබඳ සංවාදයක් නිර්මාණය කරගත්තේ නැත.
“අවසානයේ කුණුකන්ද කඩාවැටුණු පසු මාධ්‍ය ආයතනවල පහත් හැසිරීම් අපට දකින්නට ලැබුණි. එක් රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු සිය මාධ්‍යවේදීනට කියා තිබුණේ කොපමණ වෙලාවක් ගෙන හෝ උපරිමයෙන් දුක හා කඳුළ ඉස්මතුකරන ලෙසයි. පුවත්පත් පිටුවල කඳුළට වැඩි ඉඩක් වෙන්විය. කුණු කන්ද අසල හමු වූ වෙනත් පුවත්පත් සහ රූපවාහිනී ආයතනවල මාධ්‍යවේදීන් කීවේ ප්‍රධානීන් මෙතැනින් බලාපොරොත්තු වන පුවත් ගැන අපුලක් ඇතිවන බවයි. සියලු මාධ්‍ය ආයතනවලට පාහේ ඕනෑ වුණේ හැකි තරම් දුක්බර කතා සහ ඡායාරූප ගෙන එන්නටයි. සංවේගය උපරිමයෙන් විකුණන්නටයි. ඒ සංවේගය අලෙවි කළ හැකිවන අයුරින් පුවත්පත් පිටු වර්ණ ගැන්වුණු අතර නිවේදකයන්ගේ හඬවල් හැඬුම්බර විය.”
මේ තරම් සාහසික හා ආචාරධර්ම විරෝධී මාධ්‍යකරණයක් පැවතීම මාධ්‍ය නිදහස අපහරණය කිරීමක්.
මාධ්‍ය කලාවක් හෝ වෘත්තියක් හෝ කර්මාන්තයක් යන ඕනෑම ආකාරයකින් විග්‍රහ කළත් එයට ආවේණික ගති සොබා තිබෙනවා. එයින් එකක් නම් අලුත් දේ ග්‍රාහයකයන් ලබා දීමට ඇති උනන්දුවයි.
එය අලුත් තොරතුරු/ ප්‍රවෘත්ති නැතිනම් නවතම විග්‍රහයන් හෝ මතවාදයන් විය හැකියි. පාසලේ හෝ සරසවියේ ලියන රචනාවලින් මාධ්‍ය නිර්මාණ වෙනස් වන එක මූලික ලක්‍ෂණයක් වන්නේ මෙයයි.
මාධ්‍ය අන්තර්ගතය අලුත් හෝ නැවුම් වනවාට අමතරව එය නිවැරදි, සමබර හා ආචාර ධර්මීය රාමුවක් තුළ සිදුවීම ඉතා වැදගත්. කඩිමුඩියේ නමුත් මේ ගුණාංග රැක ගෙන මාධ්‍යකරණයේ යෙදීම අභියෝගයක්.
රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් මාධ්‍ය හරහා එසැනින් පුවත් වාර්තා කිරීමට හැකියාව ලැබීමෙන් පසු ඊරු්නසබට භැඅි කලාවක් මාධ්‍ය තුළ මතු වී ඇවිත්. තරගකාරී අන් මාධ්‍යවලට පෙර මුලින්ම යම් පුවතක් ගෙන ඒමට හැම මාධ්‍යයම කැමතියි. එහෙත් එසේ තරග දිවීමේදී දැනුවත්ව හා නොදැනුවත්ව වැරදි සිදු වනවා. මෙය මාධ්‍ය විශ්වස නීයත්වයට බෙහෙවින් අහිතකරයි.
අපේ මාධ්‍ය බහුතරයක පුවත් හා කාලීන සිදුවීම් වාර්තාකරණය “එදාවේල පිරිමසා ගැනීමක්” යයි කිව හැකියි. පසු දින පත්‍රයේ හෝ එදිනම සවස ප්‍රධාන පුවත් විකාශයට පාවිච්චි කිරීමට පුවත් සොයන්නේ හා ගොනු කරන්නේ පැය 24කට අඩු කාල පරාසයක් තුළයි.
සති අන්ත පත්‍රවල මෙය මීට වඩා ටිකක් දිගු වුණත් දින කිහිපයකට වඩා ඉදිරියට දැක්මක් හෝ සැළැස්මක් මාධ්‍ය ආයතන බහුතරයක පුවත් කාමර නැතිනම් නිවුස් රූම්වල නැහැ.
හැම ප්‍රවෘත්තියක්ම හා සිදුවීමක්ම අනපේක්‍ෂිත නැහැ. සමහරක් කල් තබා සැළසුම් කර ගත හැකියි. ගවේෂණාත්මකව සූදානම් විය හැකියි. සිරස්තලවලින් ඔබ්බට යථාර්ථයන් සොයා යා හැකියි.
එහෙත් එසේ කැරෙන්නේ කලාතුරකින්. ඒ වෙනුවට සිදු වන්නේද දවසේ පුවත් සොයා ගෙන එන්නට යයි වාර්තාකරුවන් හා කැමරාටීම් පිටත් කර හැරීමයි. හරියට දඩයමේ යවනවා වගේ.
ඔවුන්ද ඉතා කෙටි කාලය හා පවතින සීමා මැද හැකි යමක් සොයා ගෙන එනවා. අවම සංස්කරණයකින් පසු එය මාධ්‍ය හරහා ග්‍රාහකයන් වෙත එනවා. මාධ්‍ය වෘත්තියේ මූලධර්ම හා ආචාර ධර්ම ප්‍රගුණ කරන්න මේ දඩයම් කලාවේ ඉස්පාසුවක් නැති පාටයි.
මානව පරිනාමයේ ඈත කාලයකදී සියලු මානවයන් එදාවේල සොයා ගත්තේ දඩයමෙන් තමයි. ගොවිතැන් කිරීම මානව පරිනාමයේ ප්‍රබල ඉදිරි පියවරක්.
සොබාවික පරිසරයන් යම් තරමකට වෙනස් කොට, තමන්ට අවශ්‍ය ශාක වවන්නට හා සතුන් ඇති කිරීමට පටන් ගත්තේ දළ වශයෙන් මීට වසර 10,000-12,000කට පමණ පෙර බව වත්මන් තක්සේරුවයි. එය ලොව විවිධ පැරණි ශිෂ්ටාචාරවල ස්වයං සිද්ධ වී තිබෙනවා.
තම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හා දේශගුණයට සරිලන පරිදි ආදි මානවයෝ නොයෙකුත් බෝග වැවීමට පටන් ගත්තා. නැතහොත් නොයෙකුත් සතුන් හීලෑ කර වැඩට, කිරට හා මසට ඇති කිරීම ඇරඹුවා. ඉන් පසු අත්හදා බැලීම් හා අත්දැකීම් හරහා ටිකෙන් ටික දියුණු කළා.
දඩයම් කිරීමටත් යම් දැනුමක්, හැකියාවක් හා කණ්ඩායම් ලෙස ක්‍රියා කිරීමක් අවශ්‍ය වුණා. එහෙත් දඩයමේ ගිය ආදි මානවයින්ට ආහාර සොයා ගැනීම සාර්ථක වූ දවස් මෙන්ම අසාර්ථක වූ දවස්ද ඕනෑ තරම් තිබුණා. දඩයම් කිරීමේදී සැළසුම් සහගතව ක්‍රියා කළ හැකි පරාසය සීමිතයි. එය මුළුමනින්ම සොබා දහමට නතුයි.
එහෙත් ගොවිතැනේදී ඊට වඩා පාලනයක් තිබෙනවා. කාලගුණ තත්ත්වයන් පාලනය කළ නොහැකි වුවත් වර්ෂා කාලයට හා පායන කාලයට අනුගත විය හැකියි. දඩයම් කරමින් වසර දහස් ගණනක් අවිනිශ්චිතව එදා වේල සොයමින් ජීවත් වූ සමාජවල මෙසේ ගොවිතැන් කිරීමට යොමු වීම දැවැන්ත සංකල්පීය වෙනසක් වූ බව සිතා ගත හැකියි.
වනාන්තර බහුල වූ ඒ සමයෙහි වනයෙන් ගඩාගෙඩි සොයා ගන්නත්, සතුන් දඩයම් කරන්නත් හැකියාව තිබියදී බිම් කෙටීමට, කාලගුණ දේශ ගුණ රටා හඳුනා ගැනීමට, ගොවිබිම් රැකීමට වෙහෙස විය යුත්තේ ඇයි ද කියාත් සමහරුන් වාද විවාද කරන්න ඇති.
එහෙත් ගොවිතැනට යොමුවීම නිසා ස්ථිර පදිංචියක් ඇති කර ගන්නත්, ගම් හා නගර වශයෙන් සංවිධානය වීමටත් මානව සමාජයන් කෙමෙන් යොමු වුණා. එදාවේල ගැනම සිතීමට අමතරව වෙනත් ශිල්ප, කලා, විද්‍යා සඳහා යෙදවීමට අමතර කාලයක් ලැබුණා.
මානව පරිණාමයේ වසර දහස් ගණනකට පෙර සිදු වූ එම පරිණාමීය ඉදිරි පියවර අපේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නම් තවම සිදු වී නැහැ. බහුතරයක් අපේ මාධ්‍ය ආය;න හා මාධ්‍යවේදීන් සිටින්නේ එදාවේල මාධ්‍යකරණය හෙවත් දඩයම් කිරීමේ ආකෘත්‍රියෙහි ඊට වඩා දිගු කාලීන දැක්මක් සැළසුම් කිරීමක් හා විනයක් අවශ්‍ය වන “ගොවිතැන් කිරීම” කරන්නේ අතලොස්සයි.
මේ උපමිතියක්. (නැතිව මා අපේ මාධ්‍ය බහුතරයක් දඩයක්කාරයන් යයි කියනවා නොවෙයි!) මේ උපමිතියේ ගොවිතැනට සමාන වන්නේ අඩු තරමින් සති කිහිපයක්වත් ඉදිරි කාලය සඳහා අන්තර්ගතය ක්‍රමානුකූලව සැළසුම් කිරීමටයි.
Breaking News නොවන බොහෝ කාලීන සිදුවීම් හා සමාජයීය ප්‍රශ්න පිළිබඳ වාර්තාකරණය හා විශ්ලේෂණය කල් තබා සැළසුම් කළ හැකියි.
මේ උපමිතිය ජකර්තා රැස්වීමේදී මා සඳහන් කළ විට ඇෆ්නිස්ථානයෙන් පැමිණ සිටි මාධ්‍යවේදීයකු මගෙන් ඇසුවේ මෙයයි. “දියුණු වන රටක් හැටියට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හා සමාගම්වලට වඩාත් සැළසුම් සහගත මාධ්‍ය කරණයකට යොදෙන්නට මුදල් තිබෙනවාද? නැති බැරිකම නිසාද මේ සියල්ල සිදු වන්නේ?”
මෙය අපේ සමහරක් කුඩා මාධ්‍ය ආයතනවලට අදාළයි. එහෙත් ඉහළ ලාබ ලබන, සංදර්ශනාත්මක වැඩට කෝටි ගණන් නොමසුරුව වැය කරන මාධ්‍ය ආයතන පවා පත්‍ර කලාවේ මූලික ගුණාංග පවත්වා ගන්නට මුදල් වෙන් නොකරන බව මා සඳහන් කළා. මෙය අරමුදල් හිඟකමට වඩා ප්‍රමුඛතාවන් පිළිබඳ ප්‍රශ්නයක්.
එසේම “දඩයම් කිරීමේ මානසිකත්වයට” හුරු වූ අපේ මාධ්‍යවේදීන් බොහෝ දෙනකු අවස්ථාවක් ලද විටදී පවා වැඩිපුර ක්ෂේත්‍රයට ගොස්, සම්මුඛ සාකච්ඡා රැසක් කොට, දත්ත මත පදනම් වී තම වාර්තා, ලිපි හා රේඩියෝ/ටෙලිවිෂන් වැඩසටහන් නිර්මාණය කිරීමට උත්සුක වන්නේ නැහැ. ඒ අමිහිරි සත්‍යය මා නිතර දකිනවා.
මාධ්‍ය ශිෂ්‍යත්ව (Medi‍ෙFellowships) වැඩසටහන් කිහිපයක උපදේශකවරයකු ලෙස ක්‍රියා කිරීමෙන් මෑත වසරවල මා ලද අත්දැකීම මෙයයි. මාධ්‍ය ශිෂ්‍යත්ව ක්‍රමවේදයේදී තමන් තෝරා ගත් මාතෘකාවක්/තේමාවක් ගැන විස්තරාත්මකව ගවේෂණය කොට තමන්ගේ මාධ්‍යයට අන්තර්ගතය නිර්මාණ්‍ය කිරීමට (තරගකාරීව තෝරා ගත්) මාධ්‍යවේදීන්ට තාක්‍ෂණික මග පෙන්වීම හා යම් මූල්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. විශේෂයෙන් කාර්යාලවලින් බැහැරව ක්ෂේත්‍රයට ගොස් කරුණු හා අදහස් එකතු කරන්න යන වියදම් සඳහා.
දිළිඳුබව හා ඌණ සංවර්ධනය පිළිබඳව ගිය වසරේ එවන් වැඩසටහනක මාධ්‍ය ශිෂ්‍යත්ව 20ක් ප්‍රදානය කෙරුණා. මෙරට රාජ්‍ය – පෞද්ගලික දේ අංශයේම මාධ්‍යවේදීන් පිරිසකට. ඔවුන්ට මග පෙන්වන මාර්ගෝපදේශ අත්පොතක් ද මා සම්පාදනය කළා. වැඩමුළු දෙකක් පැවැත්වූවා.
එහෙත් අවසානයේ මේ අවස්ථාවෙන් හරිහැටි ඵල නෙළා ගත්තේ ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් අඩක් පමණ පිරිසක් පමණයි. අනෙක් අය වෙනදා කරන ගතානුගතික රටාවටම පිටු පුරවන හෝ ගුවන් කාලය පුරවන අන්තර්ගතයන් නිම කළා.
මගේ උපමිතියෙන් කිවහොත් “ගොවිතැනක්” කරන්න අවස්ථාව හා සම්පත් ලැබුවද දඩයමට පමණක් හුරු සමහරුන්ට එයින් අත්මිදීමට බැරි වුණා.
මාධ්‍ය වෘත්තීයභාවය නංවන්නට අපට දැවැන්ත අභියෝගයක් තිබෙන්නේ මෙසේ අලස හා පරිකල්පනයෙන් තොර මාධ්‍යකරණයක් ස්ථාපිතව ඇති පසුබිමකයි. ■