පුනරුදය, තරුණ පරපුර හා රැකියා


ivan

වික්ටර් අයිවන්

පුනරුදය ශාඛා ගොඩ නැගීමේ වැඩසටහන නොකඩවා ඉදිරියට ගලා යන ක්‍රියාදාමයක් බවට පත්වී තිබේ. පසුගිය සතියේ දින දෙකක් (27 සහ 28) බලංගොඩ ප්‍රදේශයේද, තවත් දින දෙකක් (29 සහ 30) ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකේද වැඩ කරන්නට සිදුවිය.
බලංගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක (ඕපනායක හා වැලිගෙපොළ) කලාප අධ්‍යාපන කාර්යාලයක (බලංගොඩ) හා ප්‍රාදේශීය සභා කාර්යාලයක (ඉඹුල්පේ) ප්‍රසන්න විතානගේ ගේ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය පෙන්වීමට සූදානම් කර තිබුණු අතර ඉන්පසු එම ස්ථාන හතරේම සාකච්ඡා සභාවන්ද පවත්වන ලදි. 28 වැනිදා සවස බලංගොඩ ශාඛාව පිහිටුවන ලද අතර ඒ සඳහා පැවති සාකච්ඡා සභාව ජනවර්ග තුනම නියෝජනය කළ සාකච්ඡා සභාවක් විය. බලංගොඩ වැඩසටහන සංවිධානය කර තිබුණේ පැල්මඩුල්ල ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකයන් වූ කුලරත්න (714455594), වේරගොඩ (718585804), ශියාම් (0714490058) හා සුමනරත්න (0774514654) යන අය විසිනි. කුලරත්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමිකයෙකි. වේරගොඩ ගුරුවරයෙකි. ශියාම් නාට්‍යකරුවෙකි. සුමනරත්න ආචාර්ය උපාධිධාරී වාරිමාර්ග ඉංජිනේරුවෙකු හා ග්‍රන්ථ කතුවරයෙකි. බලංගොඩ වැඩසටහනට පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් නවරත්න බණ්ඩාද, චූලානන්ද සමරනායකද සහභාගි විය.
29 වැනි දින මීරිගම ශාඛාවක් ගොඩනගන ලද අතර ඒ සඳහා පැවති සාකච්ඡාවේ කැඳවුම්කරු ලෙස ක්‍රියාකර තිබුණේ ජපානයේ අධ්‍යාපනය ලැබූ පේටන්ට් බලපත්‍ර කිහිපයකට හිමිකම් කියන ඉංජිනේරුවකු වූ ලක්නාත් ගමගේ (07773753537) විසිනි. ඔහු ඉංජිනේරුවකු වුවත් ඔහු දැන් වැඩ කරන්නේ අමුතුම මාදිලියේ ළදරු පාසලක් පවත්වාගෙන යන ගුරුවරයෙකු වශයෙනි. අධ්‍යාපනඥයෙකුද, ග්‍රන්ථ කතුවරයෙකු හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා යෝජනා ඉදිරිපත් කළ අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමයේ නායකයකු වූ ද ටී.එම්. ප්‍රේමවර්ධන එහි පැවති සාකච්ඡා සභාව වර්ණවත් කළේය. පුනරුද ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවකු වූ ඔහු ‘ළමුන් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද?’ යන ග්‍රන්ථයේ කතුවරයාය.
තරුණ පරපුර
සවස ගම්පහ මොන්ටානා ආයතනයේ අධිපති වූද, තර්ක ශාස්ත්‍රය හා දේශපාලන විද්‍යාව යන විෂයයන් සඳහා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වූද රුවන් මාපලගම විසින් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනකට සහභාගිවීමට සිදුවිය. එය අලුත් ආකාරයකින් සිදුකරන ලද අත්හදා බැලීමක් ලෙසද සැලකිය හැකිය. මා එහි යනවිට එම ආයතනයේ තිබූ ලොකු ශාලාවක ‘උසාවිය නිහඬයි’ යන චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තිබුණි. එය නරඹමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 800කටත් වැඩිවිය. චිත්‍රපටි ප්‍රදර්ශනය අවසන් කිරීමෙන් පසුව එම සභාව අමතා පුනරුද ව්‍යාපාරය අළලා දේශනයක් පැවැත්වීමට මට සිදුවිය. එම වැඩසටහනට පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් නවරත්න බණ්ඩා, සරත් ප්‍රනාන්දු හා චූලානන්ද සමරනායකද සහභාගි විය.
එය මාගේ කුතුහලයට හේතුවූ අත්දැකීමක් වීයැයි කිව හැකිය. මෙම සභාවේ සංවිධායකයා වූ රුවන් මාපලගම මා විසින් කලකට ඉහතදී ‘801 වැනි මිනිසා’ යන මාතෘකාව යටතේ ලියන ලද දීර්ඝ ලිපිය ලස්සන පොත් පිංචක් ලෙස මුද්‍රණය කොට එම සභාවට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතට බෙදාහැර තිබුණි. එම ලිපිය එය පළවූ කාලයේදී ලංකාවේ ප්‍රමුඛ ගණයේ පාසල් කිහිපයක ශිෂ්‍යයන්ගේ උනන්දුවට හේතුවූ ලිපියක් ලෙසද සැලකිය හැකිය. ලංකාවේ වර්තමාන තරුණ පරපුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ සමාජ දේශපාලන කටයුතු ගැන කිසිදු උනන්දුවක් නැති සමාජ තීරුවක් ලෙසය. ඒ නිසා මාගේ කතාව ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්න ගැන මා තුළද ලොකු කුතුහලයක් ඇතිවී තිබුණි. මට පෙර චූලානන්ද චිත්‍රපටය ආශ්‍රයෙන් කතා කළේය. පුනරුදය ගැන මා කතා කළේ ඉන්පසුවය. ඔවුහු මගේ කතාවට උනන්දුවෙන් සවන් දුන්නා සේ ම උණුසුම් ප්‍රතිචාරයක්ද දක්වන ලදි. ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදෙන ලද අවස්ථාවේදී වැඩිහිටියන් පමණක් නොව, ඔවුන්ගෙන් සමහරෙක්ද උනන්දුවට හේතුවන ප්‍රශ්න ඇසුවේය. ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු තමන්ගේ අපේක්ෂාව නීතිය ඉගෙන ගෙන රටේ නීතිපති වීම බවත් මේ සභාවේ නීතිපති ගැන අසන්නට ලැබුණු කතා තමා අන්දමන්ද කිරීමට හේතුවූ බවත් කීවේය.
මෙම වැඩසටහන සංවිධානය කළ රුවන් ඊට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් පිළිබඳ විස්තර හා වැඩසටහන පිළිබඳව ඔවුන් දරන අදහස් ප්‍රකාශ කිරීම සඳහා විශේෂ පෝරමයක් මුද්‍රණය කර ඔවුන් අතර බෙදා හැර තිබුණ අතර එම පෝරමය මාර්ගයෙන් අදහස් පළකර තිබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 700කටත් වඩා වැඩි බව එම පෝරම එකතුව භාරගත් සරත් ප්‍රනාන්දුගෙන් අසන්නට ලැබුණි. එම පෝරමවල බොහෝ දෙනෙකු තමන්ගේ අදහස් පළකර තිබෙන බවද සරත් මා සමඟ පසු අවස්ථාවකදී කීවේය. රටේ ශිෂ්‍ය පරපුර පිළිබඳව රටේ පවතින ජනප්‍රිය මතය සාධාරණ නොවන බව ඉන් පෙනී යයි.
ඊට පසුදින වෙන්නප්පුවේ පවත්වන ලද සාකච්ඡා සභාවටද 20ක් තරම් වන තරුණ පිරිසක් සහභාගි වූහ. එහිදී මට හමුවූ 24 හැවිරිදි තරුණයෙකු කීවේ තමන් පින්තාරු ශිල්පියෙකු වශයෙන් වැඩකරන මුත් තමාගේ අනාගතය පිළිබඳව විශ්වාසදායක හැඟීමක් තමන් තුළ නැති බවය. ඔහු මේ රටේ පාසල් අධ්‍යාපන ක්‍රමය විසින් අතරමං කරන ලද තත්ත්වයකට පත්කර තිබෙන තරුණයෙකු ලෙස සැලකිය හැකිය. ඔහු ශාස්ත්‍රීය අධ්‍යාපනයකට දක්ෂ නොවීම නිසා අධ්‍යාපන ක්‍රමයෙන් පලවා හරිනු ලැබූ තරුණයෙකු ලෙසද සැලකිය හැකිය. එවැනි තත්ත්වයකට පත් කොට තිබෙන තරුණ තරුණියන්ගේ ප්‍රමාණය විශාලය. පාසල් අධ්‍යාපනයේ යෙදී සිටින කාලයේදීම ශාස්ත්‍රීය අධ්‍යාපනයකට අකමැති හෝ දක්ෂ නැති ළමුන් හඳුනාගෙන ඔවුන් කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයකට යොමු කරන ක්‍රමයක් පාසල් අධ්‍යාපන ක්‍රමයට තිබුණේ නම් එවැනි තරුණ තරුණියන්ගේ ජීවිත කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. පාසල් අධ්‍යාපනය වසර 13 දක්වා අනිවාර්ය කිරීම යහපත් වුවත් උසස් පෙළ අසමත් වූ ළමුන් පාසලේ නතර කරගැනීමෙන් පමණක් ඔවුන්ගේ අනාගතය යහපත්වන්නේ නැත. ඔවුන් අතර නැවත වරක් උසස් පෙළ විභාගයට පෙනී සිටිමට කැමැති නැති අය සිටිය හැක. ඔවුන් ඇට්ටර වන්නට පෙර කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයකට යොමු කළ යුතුය. එසේ නැතිව තවත් වසර කිහිපයක් කිසිදු විකල්ප අධ්‍යාපනයක් ලබාදීමෙන් තොරව පාසලේ නතර කර ගැනීමෙන් ඔවුන්ට විය හැකි විනාශය අතිවිශාලය. එවැනි අය කාර්මික, තාක්‍ෂණික වෘත්තීය පුහුණුවක් සඳහා වන අධ්‍යාපනයකට යොමු කළ යුත්තේ උසස් පෙළ අසමත් වීමෙන් පසුව නොව සාපෙළ මට්ටමේදීය.
කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනය
මා එම 24 හැවිරිදි තරුණයා අමතා, තවමත් ඔහු කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයක් ලබාගත හැකි වයස් මට්ටමක සිටින නිසා ඒ සඳහා තිබෙන සුදුසු ආණ්ඩුවේ ආයතනයක් තෝරාගෙන පුහුණුවක් ලබාගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. අවශ්‍ය නම් ඒ මාර්ගය ඔස්සේ උපාධියක් පවා හිමිකරගත හැකි බවද කීවෙමි. එම මාර්ගයට අධ්‍යාපනය අසාර්ථක වී සිටින ඔහුගේ යාළු මිත්‍රයන්ද යොමු කරන ලෙස ඉල්ලා සිටියෙමි.
රාජ්‍ය අංශයට එවැනි තරුණ තරුණයන්ට පුහුණුවක් ලබාදෙන විශාල ආයතන ක්‍රමයක් ඇතත් බොහොමයක් ආයතන පවත්වාගෙන යන්නේ පුහුණුවකට අවශ්‍ය තරම් තරුණ තරුණියන් නැතිවය. පාසල් අධ්‍යාපනයෙන් අතරමග හැලෙන ළමුන් එවැනි පුහුණුවකට යොමු කරන වැඩපිළිවෙළක් එම පුහුණු ආයතනවලට හෝ පාසල් ක්‍රමයට නැත. අධ්‍යාපනයෙන් හැලෙන සියලු ළමුන් කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයකට යොමු කරන ශක්තිමත් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් රටට තිබිය යුතුය.
දැව, සිමෙන්ති, පයිප්ප, මෝටර්, විදුලි යන කාර්මික අංශවල ශිල්පීන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙන ක්‍රමයක් රටට තිබිය යුතුය. එම අංශ තරුණ පරපුරේ උනන්දුවක් නැතිකම කෙරෙහි වැඩියෙන් බලපා තිබෙන්නේද ඒවාට නිසි ගෞරවයක් හා පිළිගැනීමක් නැතිකමේ ප්‍රශ්නයයි. මේ තත්ත්වයෙහි ඉක්මන් වෙනසක් ඇති කිරීමට රට අසමත්වෙතොත් ඒ අංශවල ශිල්පීන් පිටරටින් ගෙන්විය යුතු තත්ත්වයක් ඇතිවිය හැකිය. එම අංශවල කාර්මිකයන් නැතිව රටක් පවත්වාගෙන යා නොහැකිය. එම අංශවලට තරුණ පරපුර යොමු නොවන්නේ ඒ මගින් උපයාගත හැකි ආදායම් යහපත් තත්ත්වයක නොතිබෙන නිසා නොව එම වෘත්තීන්ට නිසි ගෞරවයක් හෝ පිළිගැනීමක් නැතිකම නිසාය.
දැව, සිමෙන්ති, පයිප්ප, යකඩ යන අංශවල කාර්මිකයන්ට ගෙවන දෛනික වැටුප රුපියල් 2500ක් තරම් වන තත්ත්වයක පවතී. කොන්ත්‍රාත් පදනමක් මත වැඩ කරන්නේ නම් එම ගණන දෙගුණයකටත් වඩා වැඩිවිය හැකිය. එසේ තිබියදීත් මෙම අංශවලට තරුණයන් යොමු නොවන්නේ මීට පෙරද කියන ලද පරිදි ඒවා හොඳ ආදායම් උපයාගත හැකි මාර්ග නොවන නිසා නොව එම වෘත්තීන්ට නිසි ගෞරවයක් හෝ පිළිගැනීමක් නැති නිසාය.
මේ අංශවල කාර්මිකයන් හඳුන්වන්නේ වඩුවා, මේසන්, පයිප්පකාරයා වැනි අවඥා සහගත හැඟීමකට හේතුවන නම්වලිනි. එම ක්‍ෂේත්‍රවල ශිල්පීන්ට ගෞරවයට හේතුවන නම් ලබාදීම අවශ්‍ය වන අතර එම වෘත්තීන්ට ගැළපෙන නිල ඇඳුමක් නියම කිරීමද වැදගත්ය. ඊට අතිරේකව ඔවුන්ගේ නිපුණතා පරීක්ෂා කර බලා ඔවුන් ශ්‍රේණිගත කොට බලපත්‍ර ලබාදෙන ක්‍රමයක්ද ඇති කළ හැකිය. ඒ ඒ ශ්‍රේණීන් සඳහා ගෙවිය යුතු අවම මිලක්ද නියම කළ හැකිය. එවිට එම කාර්මික ශිල්පීන්ගෙන් සේවය ලබා ගන්නා සේවාදායකයන්ට ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව දල අදහසක් ඇති කර ගත හැකිය. එවැනි අවබෝධයක් නැති විට සේවකදායකයන් අමාරුවේ වැටෙන අවස්ථා බහුලය.
විශේෂයෙන්ම ජර්මනිය ඇතුළු දියුණු රටවල මෙවැනි වෘත්තීන්ට හොඳ පිළිගැනීමක් ලබාදී තිබේ. එවැන්නන් හා ඉංජිනේරුවන් අතර තිබෙන ආදායම් පරතරය විශාල නැත. මුහුද යට සිට පෑස්සුම් වැඩ කරන කාර්මිකයෙකුට ජාත්‍යන්තර වශයෙන් ගෙවන මිල රුපියල් මිලියනයකට වැඩිය. රටකට මෙවැනි කාර්මික ශිල්පීන් නැතිව පැවතිය නොහැකි අතර මෙවැනි වෘත්තීන්ට තරුණ පරපුර යොමු කළ හැකිවනු ඇත්තේ එවැනි වෘත්තීන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙන අතර ඒවායින් හොඳ ආදායම් උපයාගත හැකි තත්ත්වයක් සහතික කරදීමෙනි.
තරුණ පරපුරේ සිහිනය
ලංකාවේ තරුණ පරපුරෙන් වැඩි පිරිසක් අතර ලංකාව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති බව පෙනෙන්නට නැත. ලංකාවේ තරුණ පරපුරේ ලොකුම සිහිනය වී ඇත්තේ ලංකාවේ රැකියාවක් කරනවා වෙනුවට පිටරටක රැකියාවක් කිරීමය. එය වැඩි උගත්කමක් ඇති තරුණයන් අතර පමණක් නොව වැඩි උගත්කමක් නැති තරුණයන් අතරද පවත්නා සිහිනයකි. හොඳ උගත්කමක් ඇති තරුණයන් අතර රටේ කටයුතු සිදුවන ආකාරය ගැන ලොකු කලකිරීමක් පවතී. දියුණු රටක රැකියාවක් ලබාගෙන ඒ රටේ ජීවත්වීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. වැඩි උගත්කමක් නැති අය වැදගත් කොට සලකන්නේ උපයාගත හැකි ආදායම්ය. තමන් උපන් තමන් දන්නා හඳුනන රටේ පහත් කොට සැලකෙන රැකියාවක් කරනවා වෙනුවට හොඳ ආදායම් උපයාගත හැකි රටකට ගොස් තමන් පහත් කොට සලකන ඕනෑම රැකියාවක් කිරීමට ඔවුන් සූදානම්ය. එවැනි අය පවා වැඩි උනන්දුවක් දක්වන්නේ හොඳ ධනයක් උපයාගෙන ආපසු ලංකාවට එන්නට නොව තමන් රැකියාව කරන රටේ පදිංචිවීමය.
එස්.ටී. හෙට්ටිගේ, ග්‍රැනර් එල්වයිරා හා හරිනි අමරසූරිය යන සමාජ විද්‍යාඥයන් තිදෙනා 2013 වසරේදී ලංකාවේ තරුණ පරපුරේ අපේක්ෂා අළලා කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15ත් 19ත් අතර තරුණ තරුණියන්ගෙන් සියයට 56ක් රක්ෂා සඳහා විදේශ රටකට යන්නට කැමතිය. ඔවුන් අතුරින් සියයට 36ක් ස්ථිර පදිංචිය සඳහා විදේශගතවීමට කැමතිය. අවුරුදු 20ත් 24ත් අතර අයගෙන් සියයට 53.6ක් රැකියාවක් සඳහා විදේශ ගතවන්නට කැමතිය. ඒ අය අතුරින් ස්ථිර පදිංචිය සඳහා විදේශ ගතවන්නට කැමති අය සියයට 29.5කි.
ලිංගය අනුව ගත්විට තරුණ පරපුරේ පිරිමින් සියයට 62.9ක්ද, කාන්තාවන් සියයට 42.4ක්ද රැකියා සඳහා විදේශ ගතවන්නට කැමතිය. ස්ථිර පදිංචිය සඳහා විදේශ ගතවීමට කැමති තරුණ පිරිමි අනුපාතිකය සියයට 33.2ක් වනවිට තරුණ කාන්තාවන්ගේ අනුපාතිකය සියයට 27.6කි.
වර්ගය අනුව ගත්විට රැකියාවක් සඳහා විදේශ ගතවීමට කැමති සිංහල තරුණ අනුපාතිකය සියයට 47.1කි. දෙමළ තරුණ අනුපාතිකය සියයට 64.2කි. මුස්ලිම් තරුණ අනුපාතිකය සියයට 59.1කි. ස්ථිර පදිංචිය සඳහා විදේශ ගතවීමට කැමති සිංහල තරුණ අනුපාතිකය සියයට 24ක් වනවිට දෙමළ තරුණ අනුපාතිකය සීයට 46.7ක්ද, මුස්ලිම් තරුණ අනුපාතිකය සියයට 50.4ක්ද වේ.
හොඳ ආදායම් උපයා ගැනීමේ අරමුණින් රැකියාවක් සඳහා විදේශ ගතවීමට සිහින දැකීම සැලකිය හැක්කේ හොඳ දෙයක් වශයෙන් මිස නරක දෙයක් වශයෙන් නොවේ. එහෙත් ස්ථිර පදිංචිය සඳහා රට අතහැර යන්නට දක්වන නැඹුරුව අයහපත් දෙයක් නොවූවත් එය රටේ ගෞරවයට හේතුවන්නේ නැත. එම නැඹුරුව අවම කළ හැකිවනු ඇත්තේ රටේ තිබෙන ජරපත් බව හා දූෂිත බව ජයගැනීමෙනි. එම අවලස්සන චිත්‍රයේ යහපත් වෙනසක් ඇති කිරීම පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන අපේක්‍ෂාව ලෙස සැලකිය හැකිය.
සංක්‍රාම ආදායම
විදේශ රටවල රැකියා කරන්නන් මාර්ගයෙන් උපයන සංක්‍රාම ආදායම නූතන ලෝකයේ බොහොමයක් රටවල් විනිමය ආදායම් උපදවන ප්‍රධානම මාර්ගය බවට පත් කර තිබෙන්නේ යැයි කීව හැකිය. ලංකාවේ ජනතාවට මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳව ඇත්තේ ප්‍රසාදයට හේතු නොවන ආකල්පයක් වුවත් ලංකාව ප්‍රධාන වශයෙන් ජීවත්වන්නේ ඔවුන්ගේ මාර්ගයෙන් උපදවන සංක්‍රාම ආදායමිනි. ලංකාව ගෘහ සේවකයන් පිටරටවලට යවා ඒ ලැබෙන ආදායමින් ජීවත් වන ප්‍රතිපත්තියෙන් ඉවත් වී පුහුණු සේවකයන් රට යවන ප්‍රතිපත්තියකට මාරුවිය යුතුය.
මැදපෙරදිග රටවලට ලංකාවෙන් යන ගෘහ සේවිකාවන් පිළිබඳව රටේ පවත්නා ජනප්‍රිය මතය වැරදිය. එහි යන ගෘහ සේවකයන් අවඥාවට ලක් කරන ජනප්‍රිය මතය කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ ජනමාධ්‍ය මගින් ඒකපාර්ශ්විකව පළකරන වාර්තා නිසාය. ඒ හා සමාන තත්ත්වයක් ඇඟලුම් කම්හල්වල සේවය කරන සේවිකාවන් කෙරෙහිද බලපා තිබේ. මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන වැඩි පිරිසක් ඒ රටවල අනාචාර ජීවිතයක් ගතකරන්නේ හෝ ඒ රටවල මිනිසුන්ගේ අතවරවලට ලක්වන්නේ නැත. එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ එහි සිටින ලක්ෂ ගණනක් කාන්තාවන් අතුරින් ද ස්වල්ප දෙනෙකු පමණය. එවැනි දේ ඒ රටවල පමණක් නොව ඊට වැඩි ප්‍රමාණයකින් ලංකාවේද සිදුවේ.
මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගෙන්වා ගන්නා කාන්තාවන් සඳහා ලොකු මිලක් ඒජන්සිකරුවන්ට ගෙවීමට ඒ රටවල මිනිසුන්ට සිදුවේ. ඒ නිසා එසේ ගෙන්වා ගනු ලබන කාන්තාවන් වසර දෙකක කාලය සම්පූර්ණ කිරීමට පෙර පැනයනවා දකින්නට ඔවුන් කැමති නැත. වර්තමානයේ එසේ යවන එක් කාන්තාවක් සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා වන මිලක් ලංකාවේ ඒජන්සිකරුවන් එසේ යවනු ලබන කාන්තාවන්ට හෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට ගෙවනු ලබයි. ඒ නිසා නාමික වශයෙන් ඒ රටවලට ගොස් ලෙඩක් දමාගෙන නැවත ලංකාවට පැමිණ වෙනත් ඒජන්සිකරුවකු හරහා වෙනත් රටකට ගොස් ඒ වෙනුවෙන් තවත් ලක්ෂ කිහිපයක් මුදල් ලබාගැනීමට උනන්දුවක් දක්වන කාන්තාවෝ සිටිති. එවැනි අය වසර දෙකේ කාලය සම්පූර්ණ නොකොට බොරු රණ්ඩු හදාගෙන ආපසු ලංකාවට ඒමේ අදහසින් තානාපති කාර්යාලවලට එන අවස්ථාද පවතී. එසේ තානාපති කාර්යාලයට එන අය අතර බොරු පැමිණිලිකාරයන් සේ ම ඇත්ත දුක්ගැනවිලි ඇති අයද සිටිති. එහෙත් එහි යන අයගේ සංඛ්‍යාවට සාපේක්ෂව දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නන්ගේ අුපාතිකය ඉතාමත් සුළුය.
ගෘහ සේවකයන් මැදපෙරදිග රටවලට යැවීම නිසා නොයෙකුත් සමාජ ප්‍රශ්න ඇතිවී තිබෙන බව සත්‍යයකි. මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන්නේ නරක චරිත ඇති අය නොව දුප්පත්කමේ පතුලේම සිටින කාන්තාවන්ය. ඒ මගින් ඊට පෙර ජීවත් වූ ජීවන තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් හිමිකරගත් අයගේ අනුපාතිකය ඉතා විශාලය. ගෘහ සේවයේ හොඳ නරක කුමක් වුවත් එය ඉතාමත් පීඩිත තත්ත්වයක සිටින කාන්තාවන්ට කිසියම් ප්‍රමාණයකට ඉහළ නැගීම සඳහා තෝරා ගැනීමට තිබෙන ජනප්‍රිය මාර්ගයකි. ලංකාවට මේ සිටින තත්ත්වයෙන් හෝ පවතින්නට හැකිවී ඇත්තේ එම අසරණයන් නිසාය. එම අසරණ කාන්තාවන් නිසා වන බව අමතක කිරීම සාධාරණ නැත.
ගෘහ සේවිකාවන් 10ක් මැද පෙරදිග රටකට යවනවාට වඩා එක හෙදියක් යුරෝපයට යැවීම රටට ආර්ථික වශයෙන් වඩා ඵලදායීය. ලංකාවේ හෙදි අභ්‍යාස විද්‍යාලවලින් පුහුණු කරන හෙදියන් රක්ෂා සඳහා යුරෝපයට යැවිය නොහැක්කේ හෙදි අභ්‍යාස විද්‍යාලවල පවත්වාගෙන යන අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසාය. අපට ලංකාවේ හෙදි අභ්‍යාස විද්‍යාලවල අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගතහැකි නම් ලංකාව යුරෝපීය රටවලට හෙදියන් යවන රටක් බවට පත් කළ හැකිය. ඊට අතිරේකව හෙදි අභ්‍යාස විද්‍යාලවලින් ලබාදෙන පුහුණුව සේ ම වෘත්තීය පුහුණු ආයතනවලින් ලබාදෙන පුහුණුව ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන පුහුණුවක් බවට පත් කළ හැකි නම් එම ආයතන ක්‍රම දෙකෙන්ම පුහුණුව ලබන ශ්‍රමිකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නිපදවන පුහුණු ශ්‍රමිකයින් බවට පත් කළ හැකිය.
ආණ්ඩුවේ වෘත්තීය පුහුණු ආයතනවලින් ලබාගන්නා පුහුණුවෙන් පසුව ඔවුන්ට රැකියා සඳහා යුරෝපීය රටවලට යාහැකි තත්ත්වයක් ඇති කළහැකි නම් එම පුහුණු ආයතන සඳහා තිබෙන තරුණ ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනු නොවැළැක්විය හැකිය. රත්මලානේ ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලය ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. එහි පුහුණුව ලබන සියලුදෙනාටම පාහේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසුව යුරෝපා රටවලට ගොස් රැකියාවක් කිරීමේ හැකියාව ලැබී තිබේ. එම අභ්‍යාස ආයතනයට තරුණ පරපුර අතර ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඒ නිසාය. අනෙක් සියලු වෘත්තීය පුහුණු ආයතනද ඒ සමාන තත්ත්වයකට ගත යුතුය. එම ආයතවලින් වෘත්තීය පුහුණුවක් ලබාදෙනවාට අමතරව විදේශ රටකට ගොස් තමන්ගේ වෘත්තිය ඉංග්‍රීසි භාෂාවෙන් කළහැකි තත්ත්වයක් ඔවුන්ට ලබාදිය යුතුය. කොරියාවට යාමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා තරුණයන් අවශ්‍ය අවම ප්‍රමාණයට කොරියන් භාෂාව ඉගෙන ගන්නේ නම් යුරෝපා රටවලට යාමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාවද කැමැත්තෙන් ඉගෙන ගනු ඇතැයි සිතිය හැකිය. කලක් සිංහල ජනයා ඉංග්‍රීසි භාෂාව මුළුමනින් අතහැර සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු වුයේ මහත් සාඩම්බර ආකාරයෙන්ය. දැන් සිංහල තරුණයන්ට ඉංග්‍රීසි භාෂාව වෙනුවට කොරියන් භාෂාව ඉගෙන ගන්නට සිදුවීම දෛවයේ සරදමක් නොවේද? ප්‍රමාදව හෝ දැන්වත් වෘත්තීය පුහුණුව ලබාදෙන රජයේ ආයතන පුහුණුව පිණිස ඒවාට එන තරුණ තරුණියන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් කිරීමට අවශ්‍ය භාෂා පුහුණුවක්ද ලබාදෙන තත්ත්වයක් ඇති කළ හැකි නම් තරුණ පරපුරේ ආකර්ෂණය හිමිකර ගැනීමට එම ආයතනවලට හැකිවනු ඇත.
රැකියා සඳහා බලපත්‍ර ක්‍රමයක්
සියලු වෘත්තීන් ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයකට ගෙනඒමෙන් හා ඒ සියලු වෘත්තීන් සඳහා බලපත්‍ර ලබාදෙන හා ඒ බලපත්‍ර අවුරුදු 3කට වරක් අලුත් කරගත යුතු තත්ත්වයක් ඇති කිරීමෙන් ඒ සියලු වෘත්තීන් නව දැනුමෙන් යුතු හා ආචාර ධර්මවලට අනුකූලව ක්‍රියාකරන වෘත්තීන් බවට පත් කළ හැකිය. වෘත්තීන් සඳහා යුරෝපා රටවල ක්‍රියාත්මක වන බලපත්‍ර ක්‍රමයට සමාන බලපත්‍ර ක්‍රමයක් මෙහිද ඇති කළ හැකිය. එවිට කිසියම් වෘත්තීයක් සඳහා අවශ්‍ය බලපත්‍රයක් ලබාගැනීමට හැකිවන්නේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයට පමණය. ලබාදෙන බලපත්‍රය වලංගුවන්නේ වසර තුනකට පමණය. බලපත්‍රය අලුත් කරවා ගැනීම සඳහා හැම පුද්ගලයෙකුටම ඒ සඳහා නියම කර තිබෙන ආයතනයක පරීක්ෂාවට ලක්වීමට සිදුවේ. එහිදී පසුගිය වසර තුනේ කටයුතු හා එම විෂයට අදාළ අලුත් දැනුම ප්‍රමාණවත් තරමින් හිමිකරගෙන තිබේද යන්න සලකා බැලේ. එහිදී ඔහුගේ වෘත්තීය ජීවිතයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වී ඇත්නම් ඒවාද සැලකිල්ලට ගැනේ.
එවැනි ක්‍රමයක් ඇති කළ විට ඒ ඒ වෘත්තීන්ට අදාළ ආචාර ධර්ම හොඳින් ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවේ. ආචාර ධර්ම විෂයෙහි බරපතළ වැරදි කර තිබෙන අයට තමන්ගේ බලපත්‍ර අලුත් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැත. බලපත්‍ර ක්‍රමය නිසා සියලු වෘත්තීන්ට අයත් පුද්ගලයන්ට තමන්ගේ විෂයන්ට අදාළ නව දැනුම ගැන අවධියෙන් සිටීමට සිදුවේ. ප්‍රමාණවත් තරමින් නව දැනුමෙන් පෝෂණය වී නැති අයටද බලපත්‍ර අලුත් කරගැනීම දුෂ්කර දෙයක් බවට පත්වේ.
එක්සත් රාජධානියේ නීතිඥයෙකුට ඍජු ලෙස තම සේවාදායකයාගෙන් ගාස්තු අය කළ නොහැකිය. හැම නීතිඥයෙක්ම රක්ෂණ ආවරණයක් ලබාගත යුතුය. නඩු කටයුත්තකදී නඩුව ගැන නීතිඥයාගේ අදහස කෙටි වාර්තාවකින් සේවාදායකයාට ලබාදීමය. නඩුවට අය කරන ගාස්තුවද එහි සටහන් විය යුතුය. සේවාදායකයා කරන සියලු ගෙවීම් නීතිඥයාගේ නමින් සේවාදායකයා වෙනුවෙන් පවත්වාගෙන යන විශේෂ ගිණුමට බැර කළ යුතුය. තමන්ට නීතිඥයා අතින් සිදුවන වරදකදී හෝ අකටයුත්තකදී සේවාදායකයාට පැමිණිලි කිරීමට ආයතන ක්‍රමයක් පවති. එම ආයතන ක්‍රමය සේවාදායකයාගේ පැමිණිල්ල පරීක්ෂා කොට බලා නීතිඥයා අතින් වරදක් සිදුවී ඇත්නම් සේවාදායකයාට ගෙවීමට වන්දියක් නියම කරයි. ඒ වන්දිය ගෙවනු ලබන්නේ නීතිඥයා ලබාගෙන ඇති රක්ෂණ ආවරණයෙනි. නීතිඥයා අතින් සිදුවී තිබෙන වරද බරපතළ වරදක් වන අවස්ථාවකදී නීතිඥයා නීිතිඥ සේවයෙන් ඉවත් කොට ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමේ බලය එම ආයතනය සතුය. නිතර නිතර වැරදි කරන නීතිඥයන්ට රක්ෂණ ආවරණය සඳහා ලොකු මිලක් ගෙවන්නට සිදුවේ. මීට අතිරේකව නීතිඥයන් වසර තුනකට සැරයක් තමන්ගේ බලපත්‍රය අලුත් කරගත යුතුය. මේ හා සමාන ක්‍රමයක් හැම වෘත්තියක් සඳහාම ක්‍රියාත්මක වේ. එවැනි ක්‍රමයක් අපේ රටේද ඇති කරගත යුතුය. ඒ මගින් සියලු වෘත්තීන් විධිමත්ව හා වගකීමෙන් යුතුව ක්‍රියාකරන තැනකට ගත හැකි බව පුනරුදය ව්‍යාපාරයේ මතයයි.■