Untitled-1

Untitled-1

වෛද්‍ය මාෆියාව ඉල්ලන මස් රාත්තල


kathu

අද ලංකාවේ තිබෙන්නේ ජීවකගේ හෝ හිපොක්‍රටීස්ගේ හෝ වෛද්‍ය වෘත්තිය නොවේ. ෂයිලොක් ලෙස මස් රාත්තල ම ඉල්ලන අසාධාරණ වෛද්‍ය මාෆියාවකි. මස් රාත්තල ඉල්ලන්නේ නිකං ම ද නොවේ. රටේ රජයේ රෝහල්වලට බෙහෙත් ගන්නට එන, මුදලක් දී පෞද්ගලික රෝහලකට යන්නට බැරි අසරණ මිනිසුන් ප්‍රාණ ඇපයට අරගෙන ය. එදා වේල හොයාගෙන ජීවත් වන මේ අසරණ මිනිසුන්ට තමන්ට එරෙහි ව කිසිවක් කිරීමේ හැකියාවක් නැති බව මේ දොස්තර මාෆියාව හොඳින් දනියි. එහෙත්, පෞද්ගලික රෝහල්වල සිටින යමක් කමක් කළ හැකි අයට සුව සහනය සැලසීම මඳකට හෝ මඟ හැරුණොත්, තමන්ගේ ජීවිකාවට, සමාජ තත්ත්වයට වන හානිය ගැන නම් මේ දොස්තරවරු හොඳින් දනිති. රජයේ රෝහල්වල වර්ජන සිදුවද්දී ඒ අය ම හවසට කරන පෞද්ගලික රෝහල්වල වෛද්‍ය සේවා නිරුපද්‍රිත ව පවත්වා ගෙන යන්නේ එහෙයිනි.
මුළු රටේ ම ඉන්නේ වෛද්‍යවරුන් දහසය දාහකට ආසන්න ගණනකි. ඒ අයගෙනුත්, බහුතරයක් තමන්ගේ වෘත්තියේ ගෞරවය රැක ගත යුත්තේ කොහොමදැ’යි හොඳින් දැන වෘත්තියේ යෙදෙති. ඒ නිසා, මේ අවුල ඇති කරන්නේ තමන් ම උත්කර්ෂයට නංවා ගන්නා ‘වෛද්‍ය වෘත්තියේ අගය’ නොදන්නා සුළුතරයකි. ඔවුන්ගේ වුවමනාව, තමන්ට දෙවියන්ට මෙන් සලකන රෝගීන් වුව ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ දෛනික වෘත්තීය කුහකකම ඉදිරියටත් පවත්වා ගෙන යෑම ය. දෛනික වෘත්තීය කුහකකමයැ’යි කියන්නේ ඇයි? වෛද්‍ය වෘත්තීයමය අධ්‍යාපන අවස්ථා පුළුල් වනවාට එරෙහි ව, තම වෘත්තියේ ම සාමාජිකයන් සංඛ්‍යාව වැඩි වනවාට එරෙහි ව, හෙද-පරිපූරක වෛද්‍ය වැනි අනෙක් සබැඳුණු වෘත්තීන්හි අධ්‍යාපන තත්ත්වයන් හා වෘත්තිකභාවය දියුණු වනවාට එරෙහි ව පසුගිය කාලය පුරා ම මේ වෛද්‍ය සුළුතරය, හරියට ම කියනවා නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ-කී, රට ම දන්නා දේවල්, ළංවන්නේ වෘත්තීය කුහකකමකට ම නිසා ය.
මාසයකට පෙර සයිටම් ප්‍රශ්නය අළලා ඔවුහු වර්ජනයක් කළහ. කිසිවක් සිදු නොවී ය. ෂයිලොක්ලා වර්ජනය කරන අතරතුරදීත් ජීවකයන් වැනි වෛද්‍යවරු නොනැවතී රජයේ රෝහල්වල සිය වෘත්තියේ යෙදුණා හ. දැන් වර්ජනය කරන්නට යන්නේ, තවත් වෘත්තීය සමිති ගණනාවක් එකතු කොට ගෙන, කිසිදා තෘප්ත කළ නොහැකි, තෘප්ත නොකළ යුතු ඉල්ලීම් තුනක් ඉදිරියට දමා ගෙන ය. එකක් සයිටම් ජනසතු කිරීම ය. දෙවැන්න, රාජ්‍ය විශ්‍රාම වැටුපේ වෙනස්කම් අහෝසි කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය හා රාජ්‍ය සේවය දියාරු කිරීම වැළැක්වීම ය. තෙවැන්න, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයෙන් තොරව එට්කා ක්‍රියාත්මක වීම වැළැක්වීම ය.
සයිටම් ගැන පමණක් වර්ජනය කළහොත් නැවතත් එය අසාර්ථක වන බව හොඳින් ම දැන, පිටතින් අමුණා ගන්නා ලද සටන් පාඨ දෙකක් ද දැන් එකට ගෙන තිබෙන්නේ අනෙක් රාජ්‍ය සේවකයන් ද වර්ජනයට එකතු කර ගැනීමේ චේතනාවෙනි. මැක්කාගේ කතාව මෙන් මේ තුනේ ම කොතැනක හෝ ‘වෘත්තීය’ යන වචනය තිබුණාට මේ එකක් වත් වෘත්තීය ඉල්ලීම් නොවේ. ඊට එහා ගිය දේශපාලන ඉල්ලීම් ය. සයිටම් ජනසතු කිරීම, සයිටම් ආයතනයේ දොරවල් සීල් තැබීම වැනි සරල ක්‍රියාවක් නොව රටේ සමස්ත ආර්ථික හා දේශපාලන, අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය රජයකට පවත්වා ගෙන යා හැකි හෝ පවත්වාගෙන යා යුතු හෝ ආකාරයේ යථාර්ථවාදී එකක් නොවන බව මධ්‍යස්ථ ආර්ථික වෛද්‍යාඥයන් පිළිගන්නා සත්‍යයකි. විශ්‍රාමිකයන්ගේ අයිතීන්වලට හානියක් නොවන අයුරින් ලංකාවේ පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනස් කළ යුතු ම ය. ඒ වෙනස් කිරීමත් රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍ය සේවය වුවමනාවට වඩා අතිශයින් වැඩි ය. එය රටේ බදු ගෙවන ජනතාවට දරා ගත නොහැකි ය. 2005 වන විට ලක්‍ෂ හයක් ව තිබුණු ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය 2015 වන විට ලක්‍ෂ දහ තුනක් දක්වා ඉහළ නංවන ලද්දේ රාජපක්‍ෂ ආණ්ඩුව විසිනි. ඒ අන් කිසිවක් සඳහා නොව, රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් තමන්ගේ ඡන්ද බැංකුව බවට පත් කර ගැනීමේ බලලෝභී වුවමනාවට ය. දැන් ඒ උගුලේ රට ම අසු වී තිබෙන්නේ එන හැම ආණ්ඩුවක් ම රාජ්‍ය අංශය තර කිරීම තම දෛව වගකීමක් හැටියට හිතන නිසා ය. එට්කා වැනි ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුම්වලට නොඑළඹෙන රටක් ලෝකයේ නැත. යුරෝපා සංගමයෙන් වෙන්වන බි්‍රතාන්‍ය රජය පවා තම වැසියන්ට කියන්නේ ඒ අඩුව පුරවාලීමට ශක්තිමත් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් තමන් ඇතිකර ගන්නා බව ය.
එනිසා, මේ කාරණා ගැන සංවාද ඇති විය යුතු ය. ඒවා කළ යුත්තේ රෝගීන් ඇතුළු මහජනතාව ප්‍රාණ ඇපයට තබාගෙන කරන වර්ජන සමඟ නොවේ. මහත්වරුන් විදියට ය. අවාසනාවකට, දිනපතා ටයි පටි අඳින වෛද්‍ය මාෆියාවට නැත්තේ ඒ මහත්මාකම ය. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ නොදියුණු ගෝත්‍රික මනසකි. ■