අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (6)


viyangoda

සිකුරාදා (5) තවත් එක් දින සයිටම් විරෝධී වැඩ වර්ජනයක් පැවැත්වෙයි. එය මෙහෙයවන්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන්ගේ සහායට මෙවර සිටින්නේ ගුරු සංගම් කිහිපයකි. තමන්ගේ ප්‍රශ්නයකට හැර වෙන යම් කාරණයකට වැඩ වර්ජන කරන ගුරුවරු තවම සිටිත් දැ යි ප්‍රශ්නයකි. 1980 ජුලි වැඩ වර්ජනයේ දී මා සේවය කළ කොටහේන කැතීඩ්‍රල් විද්‍යාලයේ සියයකට ආසන්න ගුරු මණ්ඩලයෙන් වර්ජනය කෙළේ මා පමණි. ලංකා ගුරු සංගමයේ ශාඛා ලේකම්වරයා ද එම ගුරු මණ්ඩලයේම සාමාජිකයෙකු වුවත් ඔහු පවා වර්ජනය කෙළේ නැත. මේ නිසා ගුරු සංගම් කරති යි කියන වර්ජන ගැන කලබල විය යුතු නැත.
උසස් පෙළ සමත් සියල්ලන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ උසස් අධ්‍යාපනයක් ලබා දීමට රජයට නොහැකි නිසා, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත නොහැකි වන එම ශිෂ්‍ය පිරිසෙන් යම් කොටසකට තවත් කඩඉමක් හෙවත් පෞද්ගලික වියදමකින් අධ්‍යාපනය ලැබීමට අප ඉඩ දිය යුතු නොවේද යන ප්‍රශ්නය මෙහි කාරණයයි. එසේ ඉඩ දිය යුතු නැත යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහසයි. ඒ සඳහා ඔවුහු ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගෙනහැර දක්වති. එකක් වන්නේ, මුදලට අධ්‍යාපනය ‘විකිණීමට’ ඇති ප්‍රතිපත්තිමය විරෝධයකි. ඒ ගැන අප මීට කලින් සාකච්ඡා කොට ඇත. ඔවුන් ඉදිරිපත් කරන ඊළඟ තර්කය වන්නේ, මුදලට විකිණෙන අධ්‍යාපනයක් තුළ ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් නැති බවයි. එයින් ගම්‍ය කෙරෙන අනිත් කාරණය වන්නේ, රජයෙන් ‘නොමිලේ’ සැපයෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් ඇති බවයි. මේ වනාහී, කාලයක් තිස්සේ ගතානුගතිකව කියමින් සිටි නිසා පමණක් ‘සත්‍යයක්’ සේ පෙනෙන, බොරුවකි. රජයේ විශ්වවිද්‍යාලයක වුව ඉතා අතලොස්සක් හැරුණු විට අතිබහුතරය ලබන අධ්‍යාපනය ගුණාත්මක බවින් උසස් නැත. විශේෂයෙන් කලා සහ මානව විද්‍යා පීඨවල එම පරිහානිය පැහැදිලිව දැකගත හැකිය. වෛද්‍ය සහ ඉංජිනේරු ආදි ප්‍රායෝගික අංශයන්හිදී රාජ්‍ය අංශයේ අධ්‍යාපනය එතරම් පිරිහී නැතුව ඇති. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි, සයිටම් ආයතනයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවත් රජයට පවරා ගත්තොත් සිදුවනු ඇත්තේ, අර කී කලා සහ මානව විද්‍යා පීඨවල තත්වයටම රාජ්‍ය වෛද්‍ය පීඨවල තත්වයත් පත්වීමයි.
අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය පිළිබඳ යම් තක්සේරුවක් ඇති කර ගැනීමට ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය සමග සැසඳීම ප්‍රයෝජනවත් විය හැකිය. ලෝක විශ්වවිද්‍යාල ප්‍රමිතියේ සූචිය තුළ ප්‍රථම විශ්වවිද්‍යාල 2000 තුළට ලංකාවේ එක විශ්වවිද්‍යාලයක්වත් ගැනෙන්නේ නැත. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනිවාර්යයෙන් ඇතැයි කියන ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ යම් අදහසක් එයින් අපට ලබා ගත හැකිය. ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් ප්‍රථම ස්ථානයේ ලා ගැනෙන කොළඹ විශ්වවිද්‍යාලයට ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හිමිව ඇත්තේ 2171 වැනි ස්ථානයයි. සබරගමුව විශ්වවිද්‍යාලය හිමි කරගෙන ඇත්තේ 6343 වැනි ස්ථානයයි. මේ නිසා, උසස් පෙළ සමත් සියලු ශිෂ්‍යයන්ව ඇතුළත් කර ගැනීමට රාජ්‍යය අසමත්ව ඇතිවා පමණක් නොව, ඇතුළත් කර ගත් ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය තරමේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමටත් රාජ්‍යය අසමත්ව තිබේ. රාජ්‍යය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ, රට පාලනය කරන පාලක ව්‍යුහය පමණක් නොව, විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ පරිපාලනය ඇතුළු සියල්ලන්මත් ය. මන්ද යත්, මෙය රාජ්‍ය පාලක දේශපාලනඥයන්ගේ වගකීමක් පමණක්ම නොවන බැවිනි.
යම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මක භාවයේ පිරිහීමක් වළක්වා ගැනීම සඳහා ගත හැකි එක් ක්‍රියා මාර්ගයක් වන්නේ එම භාණ්ඩය තරගයට යොමු කිරීමයි. රාජ්‍ය බැංකුවල අද පවතින යම් කාර්යක්ෂමතාවක් වෙතොත් එය බොහෝ දුරට පෞද්ගලික අංශයේ බැංකු සමග වර්ධනය කරන ලද තරගය නිසා අත්කර ගත් ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. අද සතොස යම් මට්ටමක ගුණාත්මක සාර්ථකත්වයක් අත්කර ගැනීමට මෙතරම්වත් වෙර වීරියක් දරන්නේ, සුපරි වෙළඳ සැල් (ෆුඞ් සිටි, කාර්ගිල්ස්, ආර්පිකෝ සහ ලාෆ් ආදි) පෞද්ගලික වෙළඳ ජාලය සමග මුහුණදීමට ඇති තරගය නිසා ය. නිතරගය හෙවත් ඒකාධිකාරී අවකාශයක කිසි නිෂ්පාදනයක ගුණාත්මකභාවය ඉහළ නැංවිය නොහේ. මේ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජය ගැනීම සඳහා ඇති එක මාවතක් වන්නේ හැකි තාක් තරගයට ඉඩ හැරීමයි.
1970 දශකයේ දී උසස් අධ්‍යාපනය සඳහා දිස්ත්‍රික් ක්‍රමයක් අප යොදා ගත්තේ, සමාජයේ පැවති ඇති-නැති පරතරය තුළ, තමාගේ වරදකින් තොරව, එනම්, අවවරප්‍රසාදිත ප්‍රදේශයක ඉපැදීම නිසා යමෙකුට දරන්ට සිදු වූ සමාජ අසාධාරණයකට පිළියමක් සැලසිය යුතුය යන විශ්වාසය නිසා ය. (රෝගයට වඩා පිළියම පසුව රෝගයක් වීම වෙනම කතාවකි). එනම්, ගුරුවරුන් නැති, ප්‍රමාණවත් විද්‍යා පහසුකම් නැති, ඒ මදිවාට දරිද්‍රතාවෙන් පීඩාවට පත් ‘මොනරාගල’ ශිෂ්‍යයාට, (එවැනි ශිෂ්‍යයන් දහස් ගණනින් කොළඹත් ඇති බව මොහොතකට අමතක කරන්න) කොළඹ හතේ ශිෂ්‍යයා උපතින් භුක්ති විඳින ‘අයිතියකට’ හිලව් වන ආකාරයේ සන්තෝසමක් වශයෙන් දිස්ත්‍රික් ක්‍රමය ඇති වූ බව එහි අදහසයි. ඒ පසුපස ඇති තර්කය කුමක්ද? පවතින සීමිත රාජ්‍ය සම්පත් භාවිත කිරීමේදී, දැනට සම්පත් හිඟය නිසා පීඩාවට පත්වූවන්ට සිදුවන අසාධාරණය යම් තාක් සමනය කිරීම පිළිබඳ කාරණය සැලකිල්ලට ගත යුතු බවයි. ඒ අනුව, උසස් පෙළ විෂයයන් හතරට ලකුණු 200ක් ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයා වෙනුවට, මොනරාගල පාසලකින් ලකුණු 180ක් ගත් ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට තෝරා ගැනුණි. බැලූ බැල්මට මේ ක්‍රමයේ අසාධාරණයක් පෙනේ. එහෙත්, ඇත්තේ එක කෑම වේලක් නම්, බඩගින්නේ සිටින නිරෝගී කෙනෙකුට එය දෙනවාට වඩා, බඩගින්නේ සිටින රෝගියෙකුට එය දීම යහපතකි යි අපට සිතාගත හැක.
එදා එසේ තර්ක කළ අප අද කියන්නේ කුමක් ද? සයිටම් විශ්වවිද්‍යාලයත් රජයට පවරා ගන්නා ලෙසයි. එනම්, රජය සතු සීමිත සම්පත්, වඩාත් පුළුල් පිරිසක් අතරේ බෙදා හැරිය යුතු බවයි. තමන්ගේම වියදමින් අධ්‍යාපනය ලැබිය හැකි පිරිසකුත් රජයේ සම්පත්ලාභීන් කර ගත යුතු බවයි. පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා අපි සැසඳීමකට හැරෙමු. රජයේ රෝහලක සෙම්ප්‍රතිශ්‍යාවේ සිට ඕනෑම රෝගයකට (මහජන මුදලින්) නොමිලේ ප්‍රතිකාර කරයි. එම නොමිලේ ප්‍රතිකාර සේවාව නොගෙන තමන්ගේ මුදල් ගෙවා දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා තව ලක්ෂ ගණනක් මේ රටේ සිටිති. දැන් මේ පිරිසටත් මහ රෝහලින් නොමිලේ ප්‍රතිකාර කළ යුතු යැයි අප කීවොත් කොහොමද? එය, සයිටම් ආයතනයත් රජයට පවරා ගැනීම වැනි තත්වයක් නොවේද?
එංගලන්තයේ වෛද්‍ය අධ්‍යාපනයේ සෑම එක් ස්ථානයක් සඳහාම, සුදුසුකම් ලත් ශිෂ්‍යයෝ 10 දෙනෙක් තරග වදිති. මේ තත්වය තුළ, පෞද්ගලික ආයෝජනය වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොදා ගත යුතු බවට සමාජ පිළිගැනීමක් ඇති වුණි. ඒ අනුව, වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉතා උසස් මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ගිය වසරේ එහි ආරම්භ විය. මෙම වෛද්‍ය විශ්වවිද්‍යාලය අය කරන ගාස්තු පිළිබඳ විවේචනයක් සමාජයෙන් මතුවූවා මිස, රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හෝ එරට රජයේ වෛද්‍යවරුන් ඊට එරෙහිව පාරට බැස්සේ හෝ වර්ජනය කෙළේ හෝ නැත. රාජ්‍ය සම්පත් බෙදා හැරීමේදී නිර්ධනයා කෙරෙහි වැඩි බරක් තැබිය යුතුව ඇතැයි විශ්වාස කරන්නා ඇත්තෙන්ම විරුද්ධ විය යුත්තේ, ඇති/හැකි කෙනා ඔහුගේම වියදමින් ඉගෙන ගැනීම ගැන නොව, නැති බැරි එකාගේ පාත්තරේට ඔහුත් කඩා වැටෙන්නේ නම් ය.
ඇත්ත වශයෙන්ම, ප්‍රශ්නයේ මූලය ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඟවන පරිදි, ආරම්භක අදියර වන වෛද්‍ය අධ්‍යාපනයේ නොව. එම අධ්‍යාපනයේ ඇතැයි කියන ප්‍රශ්න සඳහා විසඳුම් සොයාගත හැකිය. උදාහරණයක් වශයෙන්, සයිටම් ආයතනයේ අධ්‍යාපනය ප්‍රමිතියෙන් තොර නම්, එය නිවැරදි කර ගත හැකිය. දැනටමත් ආණ්ඩුව ඒ සඳහා විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කොට තිබේ. මෙතෙක් කල් මතු කරන ලද සෑම ප්‍රශ්නයකටම පිළිගත හැකි විසඳුමක් ඒ යෝජනාවලිය තුළ තිබේ. එහෙත්, සැබෑ ප්‍රශ්නය ඇත්තේ, ‘නොමිලේ’ ලබන අධ්‍යාපනය ‘විකිණීමේ’ අදියරට පැමිණෙන වෙළඳපොළේ නම්, ඊට ප්‍රතිකර්මයක් නොමැත. ඒ දෙස අපි මෙසේ බලමු.
ලංකාවේ රෝහල් සේවයෙන් සියයට 27ක් සැපයෙන්නේ පෞද්ගලික අංශයෙනි. ප්‍රවීණ සමාජ විශ්ලේෂකයෙකු වන කුසල් පෙරේරා පෙන්වා දෙන පරිදි, මේ පෞද්ගලික රෝහල් අංශයේ පූර්ණකාලීන සේවයේ යෙදෙන වෛද්‍යවරුන් සිටින්නේ 424ක් පමණි. එහෙත් එම පෞද්ගලික අංශයේ අර්ධ කාලීන වෛද්‍යවරු 4845ක් සිටිති. මේ අර්ධකාලීන වෛද්‍යවරුන් යනු, දිවා කාලයේ රජයේ සේවයේ නියුක්ත වෛද්‍යවරුන් ය. මෙතරම් අර්ධ කාලීන වෛද්‍යවරුන් සංඛ්‍යාවක් පෞද්ගලික අංශයට අවශ්‍ය කොට තිබෙන්නේ, පූර්ණ කාලීන වෛද්‍යවරුන් 424 දෙනෙකුට ප්‍රතිකාර කළ නොහැකි තරමේ අධික රෝගීන් සංඛ්‍යාවක් එම පෞද්ගලික අංශයේ ප්‍රතිකාර පතා පැමිණෙන බැවිනි.
දැන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නැති තරමට, ඉහත කී පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ගේ හිඟය එක දිගටම පවත්වාගෙන යා හැකි බව පැහැදිලි ය. ඒ සමඟම, රාජ්‍ය අංශයේ බරපතළ වෛද්‍ය හිඟයක් ඇති බව ද පිළිගැනේ. ඉතිං, එක පැත්තකින්, පෞද්ගලික වෛද්‍ය සේවය නතර කළ යුතු යැයි ඉල්ලා නොසිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිත් පැත්තෙන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නතර කළ යුතු යැයි ඉල්ලා සිටින විට, මේ අංශ දෙක අතරේ ඇති අන්‍යොන්‍ය ‘ව්‍යාපාරික’ සම්බන්ධතාව වැසැංගිය නොහැකි සත්‍යයක් සේ එළියට පනී.■