Untitled-1

Untitled-1

ඉන්දියාවටත් චීනයටත් ආයෝජනයට ඉඩ දිය යුතුයි | මහාචාර්ය ඕජී දයාරත්න බණ්ඩා


og-dayarathna

වර්තමාන ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ න්‍යායාත්මකව අහුවෙන්නේ කොතැනටද?

ආණ්ඩුවම කියන විදිහට ඒ අය ගෙනයන ආර්ථික ක්‍රමය සමාජ වෙළඳපොළ සංකල්පය කියන එක. සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන එක වැඩිපුර භාවිත වෙන්නේ ජර්මනිය සහ ස්කැන්ඩිනේවියානු රටවල් වගේ යුරෝපියානු රටවල.
සමාජ වෙළඳපොළ ආර්ථිකයේ මූලික ම දේ තමයි ඒ තුළ ඉතාම ශක්තිමත් පෞද්ගලික අංශයක් තියෙන එක. ඒක නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකට ම ව්‍යාප්ත වුණ එකක්. ඒ අනුව මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ ආදි බොහෝ කර්මාන්ත පෞද්ගලික අංශය යටතෙයි තියෙන්නේ.
ඒ වගේම රාජ්‍ය අංශය තුළ සාම්ප්‍රදායික රාජ්‍ය යාන්ත්‍රණයන්ට අමතරව ඉතාමත් ශක්තිමත් සුබසාධන රාමුවක් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, වැඩිහිටියන් සහ දරුවන් පිළිබඳ සහ ආධාර අවශ්‍ය අනිත් ජනකොටස් පිළිබඳව ඒ අය විශාල අවධානයක් දෙනවා. ඒ දේවල් සඳහා වෙන්වුණු විශාල සුබසාධන වැඩපිළිවෙළක් මේ ක්‍රමය යටතේ තියෙනවා.
කෙටියෙන් ම කියනවා නම් සමාජ සුබසාධනය ශක්තිමත්ව තියෙන, ඉතාම ශක්තිමත් පෞද්ගලික අංශයක් තියෙන ආර්ථිකයකට තමයි සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන්නේ.
අනික් අතට අවුරුදු දෙදහස් පන්සීයක් විතර කාලයක් තිස්සේ අපි හුරුවුණ ඓතිහාසික දර්ශනවාදයක් තියෙනවා. ආණ්ඩුවක කාර්යයන් පිළිබඳ ඓතිහාසික පිළිගැනීම් තියෙනවා. අනුරාධපුර පොළොන්නරු වගේ ඈත යුගයන්ගේ පවා මේ රටේ කෘෂිකර්මය වගේ දේවල් පවත්වාගෙන ගියේ පෞද්ගලිකව ගොවීන් විසින්. කම්මල හිමිවුණේ පෞද්ගලික කම්මල්කරුවෙක්ට. ඒ වගේම ඇළවේලි හැදීම, වැව් ඉදිකිරීම, වෙහෙර විහාර නිර්මාණය, ආරක්ෂාව සහ මහාමාර්ග ඉදිකිරීම වගේ සුබසාධන කටයුතු රජය මගින් කළා- එහෙම බලද්දී සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන සංකල්පය බාහිරින් ආ එකක් වුණත් එය අපේ ඓතිහාසික සමාජ නැඹුරුවත් එක්ක සමගාමීව යන එකක්.

මේ ආණ්ඩුව කියන සමාජ වෙළඳපොළ සංකල්පය කලින් රජයන් ගෙන ගිය වැඩපිළිවෙළවලින් වෙනස් වෙන්නේ කොතැනින්ද?

ඇත්තටම බලද්දී ලංකාව පහුගිය කාලය තුළම ගෙනගිය හැම වැඩපිළිවෙළ තුළම තියෙන්නේ සමාජ වෙළඳපොළ ආර්ථික පදනමම තමයි.
උදාහරණයක් විදිහට හැත්තෑ අටේ ඉඳන් අද වෙනකං අපි රාජ්‍ය විශ්වවිද්‍යාල කීයක් අලුතින් ඇරියාද. පාසල් කීයක් විවෘත කළාද. ඒ වගේම පාසල් ළමයින්ට පොත් දීම, නිල ඇඳුම් දීම වගේ දේවල් බලන්නකො. ඒ දේවලට රජයෙන් වියදම් කරන ප්‍රමාණය කවදාවත් අඩුවෙලා නෑ කොයි ආණ්ඩුව ආවත්. අනික් පැත්තට සෞඛ්‍යය අරගෙන බලන්න. හැත්තෑ අටේ ඉඳන් මේ දක්වා අපි අලුතින් රෝහල් කීයක් ඇරියාද. ඉස්සර මහ රෝහල් තිබුණේ කොළඹ සහ මහනුවර. හැබැයි මේ අවුරුදු තිහක කාලය තුළ තවත් මහ රෝහල් කීයක් ඇරියාද. ග්‍රාමීය රෝහල් කීයක් ඇරියාද. වෛද්‍යවරු කීදෙනෙක් අලුතින් බඳවගත්තාද. ජනසවි වැඩපිළිවෙළ, සමෘද්ධි වැඩපිළිවෙළ, ගොවි ණය කපාහැරීම්, පොහොර සහනාධාර ලබාදීම වගේ දේවල් වුණත් බලන්න. ඒ හැමදේම දවසින් දවස වැඩිවෙමිනුයි තියෙන්නේ. ඒ නිසා සමාජ සුබසාධනය සම්බන්ධයෙන් අපේ හැම රජයක්ම කළ දේවල් එකයි. හැත්තෑ අටේ ඉඳන් මේ දක්වා කිසිදු වෙනසක් මූලික වශයෙන් ලංකා ආර්ථිකයට වෙලා නෑ. වෙනස තියෙන්නේ තමන්ගේ ආර්ථික ක්‍රමයන් හඳුන්වාදෙන්න ඒ අය භාවිත කළ වචනවල විතරයි.
මහවැලි ව්‍යාපාරය මගින් සිදු කළ දේ ගන්නකො. එතැනදී එදා ආණ්ඩුව අතිවිශාල සුබසාධන වැඩක් නෙමෙයිද කළේ. ජලාශ හදලා, වාරිමාර්ග හදලා, මිනිස්සුන්ට ඉඩම් නොමිලේ දීලා ඒවායේ මිනිස්සු පදිංචි කරවලා කළේ විශාල සුබසාධනයක්. ඒ වගේම අනූ හතරේදී චන්ද්‍රිකා මැතිනිය කිව්වේ තමන් වෙළඳපොළ ආර්ථිකය මානුෂික මුහුණුවරකින් පටන්ගන්නවා කියන එකනෙ. ඉතිං ඒ තුළ කියවුණේත් සිදුවුණේත් මූලික වශයෙන් මේ සංකල්යම තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කළේත් ඒකම තමයි. ඔහුත් සුබසාධනය කරන ගමන් පෞද්ගලික අංශයටත් ඉඩ දුන්නා. වෙන එකක් තියා පෞද්ගලික විශ්වවිද්‍යාල. සයිටම් වගේ ආයතන පටන්ගත්තේ පවා ඔහු යටතේ.
නමුත් එකම දේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවාම සමාජ සුබසාධන පැත්ත ඒ විදිහටම ක්‍රියාත්මක කරමින් ගමන් පෞද්ගලික අංශයේ දියුණුව ගැන වැඩිපුර සලකනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු ආ කාලයන් තුළ සමාජ සුබසාධනය අර ප්‍රමාණයටම කරනවා. නමුත් පෞද්ගලික අංශය කෙරෙහි එතරම් අවධානයක් දෙන්නේ නෑ. නිදහස් වෙළඳ කලාප හරහා කර්මාන්ත සංවර්ධනය කිරීම සාර්ථකවම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු. නිදහස් පක්ෂ ආණ්ඩුවලට ඒ දේ කරන්න බැරිවුණා ඒ විදියට සාර්ථකව.

පෞද්ගලික අංශය වර්ධනයට උනන්දුවක් නොදක්වා සමාජ සුබසාධනයත් හොඳින් කරන්න නිදහස් පක්ෂ ආණ්ඩුවලට ප්‍රාග්ධනය සෙවීමේ වෙනත් ආර්ථික සැලසුම් තිබුණා කියන එකද එයින් අදහස් වෙන්නේ?

නියම සමාජ වෙළඳපොළ සංකල්පයක් කියන්නේ සමාජ සුබසාධනය වගේම පෞද්ගලික අංශ ආයෝජනය කියන දෙකම සමබරව ගෙනයන ආර්ථික ක්‍රමයක්. පෞද්ගලික අංශය දියුණු නොකර සමාජ සුබසාධනය සිදුකිරීම තමයි රටේ ආර්ථික අර්බුද නිර්මාණය වෙන්න හේතුව.
අපි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, සමෘද්ධි සහනාධාර වගේ දේවල් ලබාදෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. ඇත්තටම ඒ සියල්ල ලබාදෙන්නේ පෞද්ගලික අංශය විසින් රජයට ගෙවන බදු මුදල්වලින්. ඒ හැර වෙන ආදායමක් රජයට ලැබෙන්නේ නෑ ඒ වාගේ දේවල් කරන්න. වෙනකක් තියා සුළු පරිමාණ අංශ සහ කුඩා ව්‍යාපාරවලින් පවා විශාල බදු මුදලක් රජයට ලැබෙන්නේ නෑ. ඒ වගේ අයගෙන් බොහෝවිට ලැබෙන්නේ විවිධ සේවාවලට අදාල බදු මුදල් විතරයි.
ඒ විතරක් නෙමෙයි මහජනතාවගෙන් එදිනෙදා ලබාගන්නා බදු බොහෝ විට වැයවෙන්නේ රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන්. යුද හමුදාව පොලීසිය අධිකරණය ආදි සියලු සේවයන් පවත්වාගෙන යෑමට සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය සඳහා විශාල මුදලක් අවශ්‍යයි. ඉතින් සුබසාධනය තවදුරටත් දියුණු කරන්න නම් පෞද්ගලික අංශයේ බදු මුදල් අත්‍යවශ්‍ය වෙනවා.

පෞද්ගලික අංශය කෙරේ දක්වන නැඹුරුතාව කියන කාරණය තුළ විදේශීය ආයෝජනවල වැදගත්කම මොකද්ද?

ඇත්ත. පෞද්ගලික අංශය දියුණු කිරීම කියන කාරණය ගත්තාම, දේශීය පෞද්ගලික අංශයක් මගින් පමණක් ඒ කාරණය සපුරාගන්න බෑ. විදේශ ආයෝජන එතැනදී සුවිශේෂයි. අවශ්‍ය නම් පෞද්ගලික අංශය කියන ලේබලය යටතේ විදේශ ආයෝජන සම්පූර්ණයෙන් නවත්තලා දාලා දේශීය ආයෝජකයන්ට විතරක් ඉඩඅරින්න රජයකට පුළුවන්. අපි එහෙම උත්සාහ කරලාත් තියෙනවා. නමුත් ඒක සීයට සීයක් සාර්ථක නෑ. මොකද එවැනි ශක්තිමත් පෞද්ගලික අංශයක් අපිට නැති නිසා.
රටේ ආර්ථිකය නගා සිටුවීමේදී විශේෂයෙන් විදේශ වෙළඳපොළේ විකිණිය හැකි භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත බිහිකිරීම අපිට ඉතා වැදගත්. උදාහරණයක් විදිහට ඒ වාගේ ආයෝජනයක් සඳහා ලංකාවේ නිෂ්පාදනය කරලා හුදෙක් අමුද්‍රව්‍යයක් විදිහට පිටරට යවන අපේ රබර් පදනම් කරගන්න පුළුවන්. ඒවායෙන් ටයර් වගේ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විදේශ වෙළඳපොළට යවන්න අපේ දේශීය ආයෝජකයෙකුට ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත් ඒ වාගේ දෙයක් සාර්ථක නොවුණේ අර කාරණය නිසා.
ලංකාව කියන්නේ ආර්ථික පැවැත්ම සඳහා විදේශ ණය ලබාගන්න රටක්. නමුත් ගැටලුව තියෙන්නේ අපි ලබාගන්න ණය යෙදැවෙන්නේ කොතැනද කියන කාරණය තුළ. ඇත්තටම අපි එසේ ලබාගත් විදේශ ණය යොදවන්න ඕනෑ විදේශ විනිමය ඉපැයිය හැකි දේවල් සඳහා. නැතිනම් කාලයක් යනකොට අර විදේශ ණය පියවීමේ හැකියාව අපට අහිමිව යනවා. පහුගිය කාලයේ අපි ලබාගත් විදේශ ණය රට ඇතුළේ පාරවල් සෑදීමට යෙදවීම තුළ අපිට සිදුවුණේ මේකයි. මොකද අපි මාර්ග සඳහා වැයකළේ ඩොලර්. නමුත් අපි හැදූ මාර්ගවලින් අපිට ආපස්සට ඩොලර් ලැබෙන්නේ නෑ.

පහුගිය ආණ්ඩුවට චෝදනා කරමින් ඒ ආකාරයෙන් ම ණය ලබාගැනීමත් චීනය වැනි රටවලට නැඹුරුවීමත් ගැන වර්තමානය වන විට සෑහෙන චෝදනා ගොඩනැගිලා තියෙනවා?

මේ ආණ්ඩුව ගැන ඒ විදිහේ තක්සේරුවක් කරන්න තවම කල් මදි කියන එකයි මගේ හැඟීම. මොකද අපි සියල්ලට කලින් බලන්න ඕනෑ දෙදහස් පහළොව වෙනකොට ලංකාව තිබුණු තත්ත්වය මොකද්ද කියලා. වර්තමාන ආණ්ඩුව රට බාරගනිද්දී රටට විශාල මානව හිමිකම් ප්‍රශ්න තිබුණා. ඒ හරහා අපිට අධාර සහ ණය වගේ දේවල් කිසිවක් ලබා නොදෙන තත්ත්වයක් තමයි තිබුණේ. ඒ වගේම අපේ අපනයන වෙළඳපොළ අර්බුදයට ගිහිනුයි තිබුණේ. ජාත්‍යන්තර ආයෝජන අපට පිටුපාලා තිබුණා.
ඒ තත්ත්වය තුළ ඒ විදිහේ චෝදනා පදනම් විරහිතයි. පිළිගන්න පුළුවන් එකම කාරණය තමයි, අපිට අහිමිවෙලා තිබුණු විශ්වසනීයත්වය ගොඩනගාගන්න මේ ආණ්ඩුවට හිතුවාට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා කියන එක. කොහොම වුණත් අද වෙන විට නැවතත් නිදහස් වෙළඳ කලාප පිහිටුවන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒ වාගේම ඒවායේ ආයෝජනය කරන්න විදේශ ආයෝජකයෝ ඉදිරිපත් වෙලා ඉන්නවා.
දෙවනි කාරණය බලද්දී ඉන්දියාව, චීනය හා බටහිර රටවල් පිළිබඳ වර්තමාන ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස්. අපි ඉන්දියාව හරි, චීනය එක්ක හරි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ අනිකාට එරෙහිව නෙමෙයි. ඉන්දියාවට චීනය එක්ක හරි, චීනයට ඉන්දියාව එක්ක හරි ගැටලු තියෙන්න පුළුවනි. නමුත් අපි ඒවාට උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ. අපි නිතර ජාත්‍යන්තරයට හඟවන්න ඕනෑ දේ තමයි, ඔවුන්ට පෞද්ගලික ප්‍රශ්න තියෙන අනික් රටවල් එක්ක අපි කටයුතු කරන්නේ ඒ අයට එරෙහිව නෙමෙයි, අපේ රටේ සුබසිද්ධිය සඳහා විතරයි කියලා.
නොබැඳි පිළිවෙත කියලා අපි අදහස් කරගත් දේ හරි. නොබැඳි පිළිවෙත කියන්නේ ඉන්දියාවටවත් චීනයටවත් ඇමරිකාවටවත් තවත් රටකටවත් බියගුලු වෙලා ඉන්න එක නෙමෙයි. ඒ වගේම අපි අරයා එක්ක තරහා වෙන්නම්, ඔයා ඇවිත් මෙහෙ ආයෝජනය කරන්න කියලා කියන එකත් නෙමෙයි. මේ වෙලාවේ අපේ රටේ ආයෝජනය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ චීනය නම් ඒ අයට ඉඩදීමත්, ඉන්දියාව නම් ඒ අයට ඉඩදීමත්, දෙකම ඉදිරිපත්වෙලා ඉන්නවා නම් දෙකටම ඉඩදීමත් තමයි අපි කරන්න ඕනෑ.
මෙතැනදී මට පෙනෙන වැදගත්ම කාරණය තමයි, ඉන්දියාවත් චීනයත් අතර මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කරන්න අපට මේ වෙලාවේ උපක්‍රමික අවකාශයක් විවෘතවෙලා තියෙනවා කියන එක. මැදිහත්කරුවෙක් කියන්නේ ඒ අයගේ දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කරන මැදිහත්කරුවෙක් විදිහට නෙමෙයි. මේ රටවල් දෙක කියන්නේ බිලියන දෙකයි දශම පහක අතිවිශාල ජනගහනයක් ඉන්න වෙළඳපොළක්. අපිට මේ වෙළඳපොළ දෙකටම නිදහස් වෙළඳ ගිවිසුම් මගින් සම්බන්ධ වෙලා අපේ ආර්ථිකය සෑහෙන දුරට ශක්තිමත් කරගන්න පුළුවන්.
චීනය සහ අපි අතර සිදුකරන වෙළඳ ගිවිසුම මගින් චීන සමාගම් අපේ රටේදී නිෂ්පාදනය කරන බඩු, අපිත් ඉන්දියාවත් අතර ඇතිකරගනු ලබන නිදහස් වෙළඳ ගිවිසුම මගින් ඉන්දියාවේ විකුණන්න පුළුවන්. ඒවා නිෂ්පාදනය කරන්නේ චීන ආයෝජකයන් වුණාට ඒවා ලංකාවේදී නිෂ්පාදනය වෙන්නේ මේඞ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ. ඒ වගේම ඉන්දියානු ආයෝජකයන් ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපි හරහා චීනයට විකුණන්නත් පුළුවන් වෙනවා. මේ අනුව ඉන්දියාවට ලංකාව හරහා චීන වෙළඳපොළටත් චීනයට ලංකාව හරහා ඉන්දියානු වෙළඳපොළටත් ප්‍රවේශවීමේ හැකියාව තියෙනවා. දැන් සිංගප්පූරුව මේ කාර්යය හොඳින්ම කරනවා. සිංගප්පූරුව ඒ දේ කරන්නේ චීනයටවත් ඉන්දියාවටවත් බය පක්ෂපාතීබව පෙන්වමින්වත් දෙකම ෂේප් කරගන්නවත් නෙමෙයි. එසේ නොකර තමන්ට පැවැත්මක් නෑ කියලා හෙළිකරමින්.■