Monday, 21/8/2017 | 4:38 UTC+0
රාවය

මැයි දිනේ! මෙතැනින් කොතැනටද?

අපි යන්නේ ගෝල්පේස් – එන්න යන්න ගෝල්පේස්” කියමින් අප හැමෝමද රතු ඇඳගෙන පෙළපාළියේ ගියේ 1963දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමිස දෙකක් අම්මා මසා දී තිබුණි. ඇය ඇන්දේ රතු සාරියකි. තාත්තාට රතු බුෂ් කෝට් එකක් තිබුණි. සමසමාජ, කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ යන වමේ පක්ෂ එක්ව පැවැත්වූ ඒ මැයි රැලිය වැන්නක් එදාමෙදා තෙක් යළි මෙරට රැව් පිළිරැව් දී නැත.
ගෝල්පේස් පිටිය රතුපාටින් පිරවූ ඒ ඓතිහාසික මැයි දිනය ගැන ‘පශ්චත්තාපයකින් තොර කොමියුනිස්ට්වාදියකු’ ලෙස තමා හඳුන්වාගත් කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිල) නායකයාව සිටි එන්. ෂන්මුගදාසන් මෙසේ ලීවේය.
“1963 වන විට වාම සමගිය සඳහා ව්‍යාපාරය බලවත් වෙමින් තිබුණි. ඒ විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ දුබල ආණ්ඩුකරණය සහ අන්තවාදී ප්‍රතිගාමීත්වය යළි බලයට ඒමේ තර්ජනයත් නිසාය. 1963 මැයි දිනය වන විට සෑහෙන ප්‍රගතියක් ලබා තිබූ බැවින් වමේ පක්ෂ තුන ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීමට යෝජනා කළෝය. වමේ සමගිය සඳහා පොදු ජනතාවගේ තිබූ උනන්දුව එදා පැවැති අතිදැවැන්ත පෙළපාලියෙන් සහ රැස්වීමෙන් මොනවට පෙන්නුම් කෙරුණි. ලංකාව එවැනි කිසිවක් ඊට පෙර දැක තිබුණේ නැත. ඉන් පසුද එවැන්නක් දක්නට ලැබී නැත. පෙර නොවූ විරූ පරිදි දහස් ගණනින් පෙළපාළි දැක්වූවා පමණක් නොව එය නැරඹීමට මඟ දෙපස පේළි ගණනින් සැදී, සෑම හන්දියක්ම පුරවාලමින් පොදිකෑ දහස් ගණනාවක් වූ මහජන සන්නිපාතයක්ද ගලා ආවෝය. ඒ වනාහි ස්වකීය හද පත්ලෙන්ම නැගී ආ අපේක්ෂාව සාක්ෂාත් වන ආහ්ලාදජනක දර්ශනය දැකීම පිණිසය. එදා ගෝල්පේස් පිටියෙන් පිටාර ගැලුවේ එකී මනුෂ්‍යත්වයයි.”
එදා බස් පෙළපාලි තිබුණේ නැත. දේශපාලනඥයන්ගේ පින්තූර ඔසවාගෙන යන පිරිස් සිටියේත් නැත. හැම දෙනාම පැමිණියේ තමන්ගේ වියදමෙනි. කෑගසා කීවේ දේශපාලන සටන් පාඨය. පොල් සම්බල්, අල බැදුම සහ බල මාලු සමඟ බත් අපිදු ගෙදර සිටම රැගෙන ආවෙමු.
අද තත්ත්වය ඊට වෙනස් මෙන්ම සමානය. පරාජිත අන්තවාදී ඒකාධිපතිත්වය යළි බලයට කුරුමානම් අල්ලයි. අද ගෝල්පේස් පිටිය පුරවන්නේ ඔවුන්ය. එදා මෙන්ම මෙදාද ආණ්ඩුව යන්නේ බකල් ගසමින් කකුලු ගමනකි. වැදගත් ප්‍රතිසංස්කරණ සිදුවූ මුල් දින සියයෙන් පසු ආණ්ඩුව කර ඇත්තේ පුරසාරම් කතා පැවත්වීම සහ තරගයට විදේශ සංචාරයන්හි නිරතවීම පමණය.
1963 වාම සමගියේ ගතිකත්වය අගමැතිනි සිරිමා බණ්ඩාරනායක වහාම තේරුම් ගත්තාය. සිය බලය පවත්වාගත හැක්කේ එම බලවේග බිඳදැමීමෙන් බව ඇයට නිසඟයෙන්ම අවබෝධ විය. වාම පක්ෂ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් 21ක් උඩ දැවැන්ත විරෝධතාවක් ගොඩනඟා ගෙන එමින් තිබුණි. ඇය වහාම එම වාම බලවේගය නතර කරනු පිණිස ඇමැතිකම් තුනක් දී සමසමාජය මිලදී ගෙන වාම සමගිය කුඩුපට්ටම් කළාය.
දැන් 2017 මැයි දින රැස්වීම් විසින් පෙන්වන ලද ගතිකත්වය මෙරට දේශපාලනය තුළ වැඩකරනු ඇත්තේ කෙසේද යන්න අප අත නොහැරිය යුතු දේශපාලන සාකච්ඡාවකි. මන්ද යත් 2015 ජනවාරි ජයග්‍රහණයන්ගේ අනාගතය රඳා පවතින්නේ වර්ධනය වන මෙම ගතිකත්වයන් මත නිසාය.
පුළුවන් නම් ගෝල්පේස් පිටිය පුරවන්නැයි ආණ්ඩුව කළ අභියෝගය රාජපක්ෂ ජයගෙන පෙන්වූයේය. සෙනඟ හෝ ජනප්‍රියතාව දේශපාලනයක හරි වැරැද්ද පෙන්වන එකම මිනුම නොවේ. ඒ එසේ නම් හිට්ලර් හරිය. පිලිපීනයේ දුතර්තේ හරිය. මුසොලිනී හරිය. ඡන්දයකට එන්නට ඉඩ තිබුණි නම් ප්‍රභාකරන් පවා හරි වන්නට ඉඩ තිබුණි.
රාජපක්ෂ ගෝල්පේස් පිටිය පිරවූ නමුත් සංඛ්‍යාත්මකව ඔහුගේ දේශපාලනට විරුද්ධ පිල කැම්බල් පිටියේදීත් නුවර ගැටඹේදීත් ඊට වඩා ඒකාබද්ධ සංඛ්‍යාත්මක බලයක් පෙන්වීය. එපමණක් නොව රටෙහි පැවැති අතිබහුතර මැයි දින පෙළපාළි සහ රැලිද රාජපක්ෂ විරෝධී ඒවා විය. එනයින් ගත් කල රාජපක්ෂගේ ගෝල්පේස් ගණන් හැදීම සමස්ත රටට ආදේශ කළ නොහැකි එකකි. එහෙත් අප මතක තබාගත යුත්තේ රාජපක්ෂ පරාජය කළ එම දේදුනු සන්ධානයද එහි ජීවගුණයද අද ලිහී විසිරී යමින් තිබෙන බවයි.
එවැනි තත්ත්වයක් යටතේ සෙනඟ කැඳවීමේ රාජපක්ෂගේ හැකියාව විසින් රාජපක්ෂගේ දේශපාලනයෙහි මූලෝපායික ශක්තිය පෙන්නුම් කරන බව ඇත්තය. එමෙන්ම ප්‍රායෝගික දේශපාලනයෙහිදී එම බලය ප්‍රබල සාධකයක් බවට පත්වීම වළක්වන්නටද බැරිය. එවැනි බලයන් ගොඩනැගී එන කල එය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි ආණ්ඩු බලය දරන සහ ලබා ගැනීමට කල්පනා කරන බලවේග කල්පනා කරන්නට පටන් ගන්නේ එනිසාය.
අප මේ තර්කය මැයි දින ගතිකත්වයන්ට අදාළ කරන්නේ නම් රාජපක්ෂ සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහගේ දේශපාලනයේ හදිසි ප්‍රමුඛතාවක් බවට දැන් පත්වීම නොඅනුමානය.
බලයෙහි රැඳීසිටීමෙහි වික්‍රමසිංහගේ වර්තමාන දේශපාලන මූලෝපාය වන්නේ රාජපක්ෂ කඳවුර ශක්තිමත් කර ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. 2002-2004 කාලයේද රනිල් වික්‍රමසිංහ කල්පනා කළේ අනුර බණ්ඩාරනායකට එරෙහිව රාජපක්ෂ බලවත් කර ශ්‍රීලනිපය දුර්වල කළ හැකිය කියාය. අන්තිමේදී සිදුවූ දේ අපි දනිමු. ආර්ථික වශයෙන් රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ අපාලිත ධනවාදය වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කළ හැකිය කියාය.
අනෙක් අතට ජනාධිපති සිරිසේනට බලය පිළිබඳ උපායක් ඇත්දැයි දන්නා කෙනෙක් නැත. සිරිසේන පිලෙහි දේශපාලනඥයන් ආඬි හත්දෙනාගේ කැඳහැළිය මෙන් වී ඇත්තේ එනිසාය. සිය දේශපාලනය වටා ප්‍රබල කණ්ඩායමක් ගොඩනඟා ගැනීමට මේ තාක් ඔහු සමත් වී නැත්තේ එවැනි දේශපාලනයක් ඔහු විසින් පෙන්නුම් නොකරන නිසාය. පසුගිය දෙවසර තුළ විවෘත කිරීම් හා කතා පැවැත්වීම හැරුණ විට පක්ෂය සහ සිය නායකත්වය ගොඩනැගීමට ඔහු ගෙන ඇති පියවර අල්පය.
මෙම තත්ත්වය යටතේ රාජපක්ෂගේ ගෝල්පේස් මැයි රැලිය ශ්‍රීලනිපය තුළ ඇතිකරන කම්පන තරංග කළමනාකරණය කිරීම ජනාධිපති සිරිසේනට ඉතා දුෂ්කර වනවා ඇත. ශ්‍රීලනිපය තුළ සිටින රාජපක්ෂවාදී ට්‍රෝජන් අශ්වයන් වර්ධනය වනු ඇති අතර වික්‍රමසිංහ සහ එජාපයෙන් කැඩීයෑමට ඇතිවන බලපෑම් ඉහළ යනවා ඇත. රාජපක්ෂවරු දැන් වහාම මහා මැතිවරණයක් ඉල්ලා හර්තාල් කරන බවට අනතුරු හඟවති. වෙසක් පෝයට පසු සිදුවන දේ බලාගන්නැයි රාජක්ෂම අනාවැකියක්ද කියා තිබුණි.
මෙම දේශපාලන බලතුලනය කැඩිය හැක්කේ ඇමති රාජිත සේනාරත්න මැයි දිනයෙහි කළ ආවේගශීලී කතාවෙහි සඳහන්වූ පොරොන්දු දෙක ඉදිරි මාස කිහිපය තුළ ඉටුකිරීම මගින් පමණි. එකක් දූෂණ විරෝධය යථාර්ථයක් බවට පෙරළා තක්කඩි හොර දේශපාලනඥයන් සිරගත කොට මහජන විශ්වාසය දිනාගැනීමයි. අනෙක නම් දේශපාලන විසඳුමක් ලබාදීම සහ මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම මගින් සුළුතර ප්‍රජාවන් යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්ධානයක හවුල්කරුවන් බවට පත්කර ගැනීමයි.
එසේ නොවුවහොත් වික්‍රමසිංහ යළි සුපුරුදු සැනසිලිදායක විපක්ෂ නායක භූමිකාව කරාද සිරිසේන සහ තව බොහෝ දෙනෙකු අඩි හයක් යටට යෑම කරාද රාජපක්ෂ රාජවංශය යළි මෙරට පිහිටුවීම කරාද රට ගමන් නොකරනු ඇතැයි කීම දුෂ්කරය.■