ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකතන බොරු නොකියයි


prageeth

කේ. සංජීව

ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැරගත් කතාවද ඉන් අනතුරුව ඔහු ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගිය ආකාරයද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරයද අප පසුගිය ලිපි මගින් කතා කෙළෙමු. පසුගිය සතිය තුළ විශේෂයෙන් අප කතාකළේ ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ එවක අණදෙන්නා ලෙස කටයුතු කළ කර්නල් ෂම්මි කුමාරරත්න (මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවා) ඇතුළු කණ්ඩායම ගිරිතලේ සිට බත්තරමුල්ලට 2010.01.24 වැනි දින පැමිණි ආකාරය සහ ඉන් අනතුරුව නැවත ගිරිතලේට ගිය ආකාරය දුරකතන දත්ත මගින් තහවුරු කෙරෙන අයුරුය.
ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමට අදාළව මේ වනවිට යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් නමදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒ සියලු දෙනාම ඇප ලබා ඇත. ඔවුන් නම් ෂම්මි කුමාරරත්න, ටී.ටී. ප්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්), ඩබ්ලිව්.ඩබ්ලිව්.පී.ඩී. උපසේන (සුරේෂ්), එස්.එම්.ආර්. රූපසේන (රංජි), වයි.එම්.සී.කේ. අබේරත්න, එස්.එම්.කේ. ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී.ටී.පී. ගමගේය. මොවුන්ගෙන් දෙවැනි සැකකරු ලෙස නම් ලබන ප්‍රබෝධ සිරිවර්ධන හැර ඉතිරි සැකකරුවන් සියලුම දෙනා ප්‍රගීත් දෙවනවර පැහැරගැනීමට සහ අතුරුදන් කිරීමට දායක වී ඇති බවට පරීක්‍ෂණවලින් තොරතුරු ලැබී තිබේ. ඒ තොරතුරුවලින් හෙළිදරව් වන අන්දමට දෙවැනි සැකකරු පළමු පැහැර ගැනීම සැලසුම් කර ක්‍රියාත්මක කළ නිලධාරියාය. ඒ ෂම්මි කුමාරරත්නගේ දෙවැනියා ලෙසය.
2010 ජනවාරි 24 වැනි දින දෙවැනි පැහැර ගැනීම සිදුවන විට ඔහු එනම් ප්‍රබෝද සිරිවර්ධන හමුදා පුහුණුවක් සඳහා ගොස් සිටියේ කුකුලේගම කඳවුරකය. අනෙක් සැකකරුවන් සියලු දෙනාම ප්‍රගීත් දෙවනවර පැහැරගත් 2010 ජනවාරි 24 වැනි දිනයේ උදේ කාලයේ ගිරිතලේ ආශ්‍රිතවද, සවස සහ රාත්‍රී කාලයේදී බත්තරමුල්ල සහ ඒ අවටද ගැවසී ඇති බවට තොරතුරු තිබේ. පරීක්ෂණ අංශ එසේ කියන්නේ මේ පුද්ගලයන්ගේ ජංගම දුරකතන ගමන්කළ ගමන්පථය සලකමින්ය. ඉනානතුරුව මේ දුරකතන නැවත 2010 ජනවාරි 25 වැනි දිනයේදී ගිරිතලේ සිට ක්‍රියාත්මක වී ඇත. මේ කාලයේ බොහෝ අවස්ථාවලදී මේ සැකකරුවන්ගේ දුරකතනද ඇමතුම් මගින් එකිනෙක ගැටගැසී තිබී ඇත. එයින් පෙනෙන්නේ මොවුන් ඉතාමත් සංවිධානශීලීව මෙම පැහැරගැනීම ක්‍රියාත්මක කරැති බවය.
ඉන්පසුව 25 වැනි දින සවස සහ 26 වැනි දින, 27 වැනි දින මේ දුරකතන ක්‍රියාත්මක වුණේ කොහේ සිටද? අපට ඒ පිළිබඳව ඉදිරියේදී කතාකළ හැකිය. එම කතාව තුළ ප්‍රගීත්ගේ ඉරණම විසඳුණු අයුරුද පැහැදිලි වනු ඇත්තේය.
තුන්වන සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ අණදෙන නිලධාරියාගේ දුරකතනය අදාළ දිනය වන 2010 ජනවාරි 24 වැනි දිනයේදී කොළඹ ගිය හැටි සහ එය නැවත ගිරිතලේට පැමිණි අයුරු අපි ගියවර ලිපියේ සඳහන් කළෙමු.
මේ සිද්ධියේ තුන්වැනි සැකකරු ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නැතිනම් නාදන්ගේ (මුරලි තමන්ගේ නැදෑයෙකු ලෙස ප්‍රගීත්ට මුණගැස්සූ පුද්ගලයා) නමට ලියාපදිංචි කළ දුරකතනයේ තත්ත්වය කෙබඳුද?
එයද සුපුරුදු ලෙස එදින උදෑසන තිබෙන්නේ ගිරිතලේය. උදෑසන 5.37 තත් 25ට සහ තත් 37ට එම දුරකතන අංකයට (0718157933) ඇමතුම් දෙකක් ලැබෙන අතර ඒවා ලැබෙන්නේ ඔහුගේම නමට ලියාපදිංචි කළ ලංකා බෙල් දුරකතනයකින්ය. එහි අංකය 0275675432ය. අනතුරුව ලංකා බෙල් දුරකතනයෙන් මේ මොබිටෙල් අංකයට ඇමතුමක් උදෑසන 8.59 තත් 18ට ලැබෙන අතර මේ ඇමතුම් තුනම ක්‍රියාත්මක වන්නේ මොබිටෙල් ආයතනයට අයත් ගිරිතලේ සම්ප්‍රේෂණ කුලුන හරහාය. මෙයින් පෙනෙන්නේ මොහු උදෑසන කාලයේදී තම කඳවුර තිබෙන ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවය. එහෙත් මේ පුද්ගලයා අදාළ දිනයේ සවස 2 පසුවී විනාඩි 30ක් පමණ වනවිට ගිරිතලෙන් බැහැරට යන්නට පිටත්වී ඇති බව පෙනෙන්නේ මේ වේලාව තුළදී ඉහත සඳහන් කළ ඔහුගේ දුරකතනයට මින්නේරිය ප්‍රදේශයේ සම්ප්‍රේෂණ කුලුනක් හරහා දුරකතන ඇමතුමක් ලැබී තිබෙන නිසාය. ඉන් අනතුරුව මේ දුරකතනයට ලැබෙන ඇමතුම් කියන්නේ දඹුල්ල, පොතුහැර ආදි ප්‍රදේශ පසුකරමින් බත්තරමුල්ලට ගිය බවය. ඉන්පසු පසුදා (25) උදෑසන නැවත ගිරිතලේට පැමිණි බවය.
මෙම නඩුවේ පස්වැනි සැකකරු රවීන්ද්‍ර රූපසේන නැතිනම් රංජිගේ දුරකතනය කියන්නේ කුමක්ද?
ඔහුගේ දුරකතන අංකය වන 0718261725ට 2010 ජනවාරි 24 වැනි දිනයේදී ලැබුණු ඇමතුම් කියන්නේ අදාළ සැකකරු 24වැනි දිනයේදී හවස 2.14යි තත්. 28 පමණ වන තුරු ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවය. ඉන්පසුව සවස 2.34යි තත්. 7ට ඔහු මින්නේරිය ප්‍රදේශයේ සිට ඇත. මේ එන ගමනේ කෙළවරට එනම් බත්තරමුල්ලට ඔහු ළඟාවන්නේ රාත්‍රී 8.49යි තත්. 48ට පමණය. අප ඒ වේලාව එලෙස කියනුයේ ඔහුට ඒ වේලාවේදී ‘බත්තරමුල්ල ටවුන්’ යන සම්ප්‍රේෂණ කුලුන හරහා ඇමතුමක් ලැබෙන බැවින්ය. පසුව ඔහු බත්තරමුල්ලට පැමිණි රාජකාරිය අවසන් කර නැවත ගිරිතලයට යන්නේ කුමන වේලාවටද? මේ දුරකතනයට 25වැනි දින උදෑසන 01.27යි තත්. 57ට ඇමතුමක් ලැබෙන අතර එය ලැබෙන්නේ ගිරිතලේ සම්ප්‍රේෂණ කුලුනක් හරහාය. ඉන්පසු එදිනම උදෑසන කඳවුරේ ගල ළඟට කතාකර සාජන් රන්බණ්ඩාට දෑස් රෙදිකඩකින් බැඳ හිඳුවා සිටින ප්‍රගීත් මුණගස්වන්නේද මේ රංජිමය. ඔහු ප්‍රගීත් පළමුවර පැහැර ගැනීමටද කෙලින්ම දායකවූ හමුදා නිලධාරියෙකි. 2009 අගෝස්තු 27 වැනි දිනයේදී ප්‍රගීත් හබරණ ප්‍රදේශයට ගෙන්වා ගත් පසු ඔහු මුණගැසෙන්නට යන නාදන් ඒ සඳහා ත්‍රීවිලරයක රැගෙන යන්නේද මේ රංජිමය. එහිදී දඹුල්ල ප්‍රදේශයේ තිබෙන ප්‍රගීත්ගේ ඉඩමේ වැඩකරන කම්කරුවාට රුපියල් තුන්දහසක් ලබාදෙන්නේද මේ රංජිමය. ඉන් අනතුරුව 2010 ජනවාරි 25 වැනි දිනයේදී ලොක්කාට භාරදෙන්න යනවා කියමින් නාදන් සමග ප්‍රගීත් රැගෙන ගියේද මේ රංජිමය..

හතරවන සැකකරු
මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වූ හතරවැනි සැකකරුවා පොලීසිය හමුවේ කියන්නේ කුමක්ද?
”මම මේ අතුරුදන් වීම වෙන දවස් වෙනකොට වැඩකළේ වව්නියාවේ කඳවුරක. හැබැයි 26වැනිදා ජනාධිපතිවරණයට ඡන්දය දාන්න මම පදිංචි මැණික්හින්නට ආවා.”
හතරවන සැකකරු වඩුගෙදර විනී ප්‍රියන්තය. නැත්නම් සුරේෂ්ය. ඔහුගේ දුරකතන අංකය 07186196361ය. එම අංකයට අදාළ දුරකතන දත්ත කියන්නේ කුමක්ද? එම දත්ත ඔහු පොලීසිය හමුවේ කළ ප්‍රකාශය තහවුරු කරන්නේද? පිළිතුර, ‘නැත’ යන්නයි.
2010 ජනවාරි 01දා සිට ඔහුගේ දුරකතන තොරතුරු කියන්නේ 2010 ජනවාරි 12 වැනි දවස වන තුරු ඔහු ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවයි. ඔහු 2010 ජනවාරි 13 වැනි දිනයේදී නම් දඹුල්ල, මඩවල, මහනුවර හරහා මැණික්හින්නට පැමිණ ඇති බව දුරකතන දත්ත කියයි. නැවත ඔහු 2010 ජනවාරි 22වැනි දින වන විට ගිරිතලයට පැමිණ ඇති බව එම දුරකතන ඇමතුම් වාර්තාව තවදුරටත් කියයි. එම ඇමතුම් වාර්තා තවදුරටත් කියන්නේ ඔහු පස්වන සැකකරු සමඟ 24වැනි දිනයේදී දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවයි. එහිදී එම දුරකතන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ ගිරිතලේ ප්‍රදේශයේ සිටය. ඒ අනුව නිගමනය කළ හැක්කේ වව්නියාවේ සිටියා කීවද ඔහු ගිරිතලේම සිටිමින් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බවය. ඉන්පසුව මේ සිද්ධියේම හයවන සැකකරු වන චමින්ද කුමාර අබේරත්නගේ දුරකතන අංකයට (0718289698) මේ ඉහත සඳහන් කළ හතරවන සැකකරුගේ දුරකතනයෙන් ඇමතුමක් ලැබී ඇති අතර එවිට වෙලාව සටහන් වන්නේ සවස 2 පසුවී විනාඩි 42 ලෙසටය. එම අවස්ථාවේදී මේ දුරකතන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ මින්නේරිය ප්‍රදේශය තුළ සිටය. ඉන් අනතුරුව හතරවන සැකකරුගේ දුරකතනයෙන් තුන්වන සැකකරු වන නාදන්ගේ දුරකතනයටද ඇමතුමක් ලැබී තිබෙන අතර එවිට වේලාව සටහන් වන්නේ සවස 3 පසුවී විනාඩි 40 ලෙසය. මේ අවස්ථාවේදී මේ දුරකතන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ සිටය.
ඒ රැගෙන යෑමෙන් පසු ප්‍රගීත් ආගිය අතක් නැතිය. ඉන් අනතුරුව මේ මිනිසුන් ප්‍රගීත් රැගෙන ගියේ කෙහේද? ඔහුට කළේ කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සඳහා නැවත සැකකරුවන්ගේ දුරකතන ක්‍රියාත්මක වීම පරීක්ෂා කළ යුතුය.

ප්‍රගීත් ගිරිතලෙන් ගෙනගියේ කොහේද?
ප්‍රගීත් ගිරිතලේ සිට ගෙනගියේ කොහේද? එම සොයාබැලීම සඳහා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ෂම්මි කුමාරරත්නගේ දුරකතන ඇමතුම් වාර්තාවනට නැවත අවධානය යොමුකරමු.
2010 ජනවාරි 25 වැනි දිනයේදී මේ පුද්ගලයා සිටියේ කොහිද? 2010 ජනවාරි 25 වැනි දිනයේදී පැය 6.47 තත්. 45 සිට පැය 12.32 තත්. 22 පමණ වන තුරු මේ පුද්ගලයා ගිරිතලේ ප්‍රදේශයේම රැඳී සිටි බව ඔහුගේ දුරකතනය කියයි. ඒ ඔහුගේ 0777506092 දරන අංකයට ලැබෙන ඇමතුම් සහ එයින් පිටවන ඇමතුම් ගිරිතලේ ප්‍රදේශයයේ දුරකතන කුලුනු හරහා සම්ප්‍රේෂණය වීම නිසාය. ඉන් අනතුරුව, 2010 ජනවාරි 25 වැනි දින පැය 13.17 තත්. 53 සිට එදිනම පැය 17.27 තත්. 13 පමණ වන තුරු මේ දුරකතනය ගමන් කරන්නේ කොහේද? එම ස්ථාන පිළිවෙළින් මැදිරිගිරිය, කදුරුවෙල, මනම්පිටිය, දිඹුලාගල, වැලිකන්ද, පුනානි, ඔට්ටමාවඩි, වාලච්චේන, සිත්තන්ඩි, වෙන්කල්ලඩි, එරාවුර්, කල්ලඩි, මඩකළපුව, නොච්චිමුනෙයි, කලවන්චිකුඩි, මරදමුනෙයි, අඞ්ඩාලච්චේනෙයිය. ඒ අනුව මේ ගමන් පථය ඔස්සේ මේ දුරකතනය හිමි සිද්ධියේ පළමු සැකකරු ගමන්කර තිබේ. ඉනානතුරුව එදින සවස 5.41 තත්. 7 පමණ සිට 27වැනි දින දහවල් 12.45 තත්. 27 පමණ වන තුරු දුරකතන දත්තවලට අනුව මේ සැකකරු පහත ප්‍රදේශවල රැඳී සිට ඇත. එම ප්‍රදේශ නම්, අක්කරෙයිපත්තු, අඞ්ඩාලච්චේනෙයි, ඔලුවිල්, නින්දවූර්, මරදමුනෙයි, කුරුක්කල්මඩම්, කාත්තන්කුඩි, නොච්චිමුනෙයිය. ප්‍රධාන සැකකරුගේ මේ ගමන් මාර්ගයේම ප්‍රගීත් එක්නැළිගොඩත් ගියාද? දෙවැනි සැකකරු හැර අනෙක් සැකකරුවන්ගේ ගමන් මාර්ගයත් මෙයමද? ඔවුන් මෙලෙස ගියේ කොහේටද? නවාතැන් ගත්තේ කොහේද?■