Untitled-1

Untitled-1

අපිට එන හැම රුපියලකින්ම ශත අනූවක් ණය ගෙවන්න යනවා| නවීන් දිසානායක


naveen

කේ.සංජීව

කුණු කන්ද නායගියාට පස්සේ ජනතාව කියනවා යහපාලනය දැන්නම් හොඳටම පේල් කියලා…
2008 ඔය කුණු කන්දට විරුද්ධව මිනිස්සු පාරට බහිනකොට ඒ මිනිස්සුන්ට හමුදාව දාලා ගහලා එලවනකොට ඒ ආණ්ඩුව පේල් කියන්න කවුරුත් හිටියේ නැහැ. ඒකට ඒ කාලේ නිදහසක් තිබුණේත් නැහැ. දැන් එහෙම නැහැ. ඕනෑ විවේචනයක් ආණ්ඩුවට විරුද්ධව කරන්න නිදහසක් තියෙනවා. ඇත්තටම 2008 කුණු ඔතනට ගෙනියන්න හදනකොට ගොඩක් අය විරුද්ධ වුණා. කැබිනට්ටුව ඇතුළෙත් තත්ත්වය එහෙමයි. හැබැයි ගෝඨාභය ඒවා ගණන්ගන්නේ නැතිව අත්තනෝමතිකව ඔතනට කුණු ගිහින් දැම්මා. ඊළඟට 2008/2009 ඉඳලා දවසට කුණු ටොන් 108ක් දිනපතාම මෙතැනට ගෙනිච්චා. ඒක තමයි මෙතන ඇත්ත කතාව. හැබැයි මේ ආණ්ඩුවත් වැරැදියි. මේ ආණ්ඩුවටත් මේ ප්‍රශ්නය විසඳීමට අවුරුදු දෙකක් තිබුණා. විසඳුවේ නැහැ.

දීර්ඝකාලීනව ප්‍රශ්නයක් දිහා බලලා ඒක කළමනාකරණය කරගන්න, ඒ ප්‍රශ්නයට දීර්ඝකාලීන උත්තරයක් දෙන්න අපි අසමත් වුණ ජාතියක්. හැබැයි යහපාලනය එනකොට මිනිස්සුන්ට යම් පමණකට බලාපොරොත්තුවක් තිබුණා මේ සැලසුම් ක්‍ෂේත්‍රය ලොකු දියුණුවකට යයි කියලා.
ඔයා දැකලා තියෙනවාද එහෙම ලංකාවේ දේශපාලකයෝ දුර බලලා තීන්දු තීරණ ගන්නවා. අපි දේශපාලනය ගැන බලන්නේ නැතුව රට ගැන හිතලා තීන්දු තීරණ ගත යුතුයි කියන තැන මමත් ඉන්නවා. කුණු ප්‍රශ්නය ගනිමු. මේක සුවිශේෂ ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නය විසඳීමට යම් යම් ප්‍රාදේශීය සභා සාධනීය පියවර අරන් තියෙනවා. මේ වෙනකොට ඔවුන් කුණුවලින් කොම්පෝස්ට් පොහොර හදනවා. විදුලිබලය නිපදවනවා. දැන් ප්‍රාදේශීය සභා ඡන්දය නොපැවැත්වීමෙනුත් මෙතැන ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද වගකීමක් ගන්න කෙනෙක් නැහැ. අනික් දේ තමයි මොන ප්‍රශ්නයක් තිබුණා වුණත් කවුරු දිනුවත් කවුරු පැරදුණත් නිසි කලට ඡන්දය තියන්න ඕනෑ. අනික මේ ප්‍රශ්නයට කැබිනට්ටුව වුණත් තීන්දු තීරණ ගොඩක් අරන් තියෙනවා. ඒවා පහළට ගලාගෙන යන්නේ නැති ගැටලුවකුත් මෙතැන තියෙනවා. අනික් පැත්තෙන් ලංකාවේ දේශපාලකයන්ට ප්‍රශ්නයක් දිහා බලන්නත් ඛේදවාචකයක් වෙන්නම ඕනෑනේ.

යහපාලනයේ ආර්ථික කළමනාකරණය බිංදුවයි, රටේ ආර්ථිකය ඉවරයි කියලා කියනවා ඇහෙනවා. මොකද්ද ඇත්ත තත්ත්වය?
ඇත්ත කතාව භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. විශාල මූල්‍ය හිඟයක් තියෙනවා. අපි රුපියලක් හෙව්වොත් සත අනූවක්ම යන්නේ ණය ගෙවන්න. ඉතිරි සත දහය තමයි වැටුප් ගෙවන්න, හැම දේකටම තියෙන්නේ. මේක තමයි ඇත්ත ප්‍රශ්නය. මේකට විසඳුම් දේශපාලන සටන් පාඨවලට දෙන්න බැහැ. 77 ජේආර් මහත්තයා රට භාරගන්නකොට මේ වාගේ තත්ත්වයක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තමයි විදේශ ණය හය ගුණයකින් ඉහළ ගියේ. දැන් අපි ආණ්ඩුවක් විදියට මේ ගැටලුවට විසඳුම් දිය යුතුයි. ඒකට රටේ ආදායම වැඩි කරගන්න ඕනෑ. විදේශ විනිමය එන අංශ තවදුරටත් දියුණු කළයුතුයි.

දියුණු කළ යුතුයි කියුවාට ඒ සඳහා වැඩපිළිවෙළක් නැහැ නේද?
අපේ නායකතුමාට රටේ ආර්ථිකය දියුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. එතුමා මාකර්ට් ඉකනොමි එක ගැන ලොකු විශ්වාසයකින් උනන්දුවකින් කටයුතුකරනවා කියලා පෙනෙනවා. මගේ අදහස නම් රජයේත් යම් මැදිහත්වීමක් මේ සඳහා තියෙන්නෙ ඕනෑ කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ රජය හැමදේටම අතගැසිය යුතුයි කියලා. රාජපක්ෂවරුන් වගේ. ඔවුන් රජය හෝටල් වුණත් හදන්න ඕනෑ කියලා විශ්වාස කළා. මම හිතන්නේ අපි තවදුරටත් ලිබරල් විය යුතුයි. තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ පුළුල් කළ යුතුයි. දැන් බලන්න 77 ලොකු පෙරළියක් වුණා ආර්ථිකයේ. ඊළඟට 94 වුණාද නැහැ. 2005 වුණාද ඒත් නැහැ. ඒ නිසා අපි යම් ප්‍රතිපත්තියක් උඩ කටයුතු කළ යුතුයි.

ඔබ ඔය කියන ආර්ථික ප්‍රතිපත්ති දූෂණය සමඟ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? යහපාලනය ඇතුළේත් බැදුම්කර වංචාව වගේ දේවල් සිද්ධවෙනවා..
ඇත්තටම මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ සිදුනොවිය යුතු දෙයක්. අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාගේ පත්වීම වුණත් නීති විරෝධීයි. අපි ඒක ඒ වෙලාවේ අගමැතිතුමාට කිව්වා. මහින්දගේ කාලේ කබ්රාල් ගැන ඔහොම දෙයක් කිව්වා නම් කැබිනට්ටුවෙන් එළියට දානවා. අපි දැන් එතැන වැරැද්දක් වුණා කියලා පිළිගෙන ඒකට කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඒකට විරුද්ධව අපි මුලින් මැදිහත්වුණ විදියත් වැරදියි. අපිට මේක මෙච්චර දුර ගෙනියන්නේ නැතිව විසඳාගන්න තිබුණා.

අපි අද මූල්‍ය අංශය දියුණු කරන්නේ කොහොමද කියලා කතාකරනවා. හැබැයි පසුගිය කාලයේ මූල්‍ය වංචා කළ පුද්ගලයන් තවම නිදැල්ලේ ඉන්නවා.
මේ කාරණයේ පැති කිහිපයක් තියෙනවා. ඒ ඒ රටවල්වල නීති රාමුවත් බලපානවා මේ නීතිය ක්‍රියාත්මක කිරීම කියන කාරණයට. අනික මේ මූල්‍ය වංචා සොයන්න තරම් අපේ බුද්ධි අංශ දියුණු ද කියන ප්‍රශ්නය මෙතැන තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා, අපි දන්නවා මොවුන් හොඳටම වංචාවල නිරත වුණා කියලා. ඒ නිදැල්ලේ. මේ ගෝලීයකරණය වුණ මූල්‍ය අංශයේ වංචා සොයන්න නම් අපේ බුද්ධි අංශ ගොඩාක් දියුණු විය යුතුයි. ඒ නිසා තමයි එෆ්සීඅයිඩී එක දැම්මේ. ඒත් එතරම්ම වැඩක් වෙලා නැහැ.

අවසාන වශයෙන් අපි වැවිලි අංශය ගැන කතාකරමු. ඒකත් දැන් විනාශයි නේද ?
වැවිලි අංශය ඉවරයි කියලා එහෙම සාමාන්‍යකරණයක් කරන්න බැහැ. 60/70/80 තිබුණ කර්මාන්තය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් ප්ලාන්ටේෂන්. දැන් කොම්පැණිවලට දීලා තියෙන්නේ එහෙම. කොම්පැණි 22ක් තියෙනවා. මම කල්පනා කරනවා මේවාට හොඳ මොනිටරින් සිස්ටම් එකක් ගේන්න. අනික ඉදිරි මාස කිහිපය අස්සේ සිලෝන් ටී කියන බ්‍රෑන්ඞ් එක අපි ආයෙත් ගේනවා. ඒකට මට සල්ලි තියෙනවා. තේ කර්මාන්තය පහුගිය අවුරුදු තුනේ හොඳටම වැටිලා තිබුණේ. දැන්නම් ඒ ප්‍රශ්නය නැහැ. දැන් වගාකරන්නාට හොඳ මිලක් ලැබෙනවා. අනික මේ ග්ලයිපොසෙට් ප්‍රශ්නය. ඒකත් තේ කර්මාන්තයට සෑහෙන්න බලපාලා තියෙන්නේ. වල්නාශක පාවිච්චි කරන්නේ නැතිව වානිජ වගාවක් කරන්න බැහැ. ඒක අපි තේරුම් ගතයුතුයි. අනික ජනවසම කවදාවත් රජයට තියාගෙන ගොඩදාන්න බැහැ. ඒ මොකද කෑදර දේශපාලකයෝ නිසා. ජනවසම මේ විදිහට තව කාලයක් තිබුණොත් මේ වතු ටික සේරම ඔවුන් තමන්ගේ ගෝලයන්ට බෙදලා බෙදලා දෙයි.■