කිමෙද හඳගම මේ සරණය සිකුරුයි වෙළඳපොළ සමඟ රමණය


hdagaa

කේ.ඩී. දර්ශන

දේශපාලන ප්‍රතිගාමීත්වය පිළබඳ කාල පරිච්ඡේදයේ දී අවිiාව සිය දත් විලිස්සයි” ලියොන් ට්‍රොට්ස්කිගේ මේ කියමන අශෝක හඳගම විසින් පසුගිය 23වන දින රාවයට ලියන ලද ‘කිමෙද විප්ලවයකින් ඇති සරණය, නැතහොත් පොදුවේ බෙදා රමණය’ නම් ලිපිය හඳුනා ගැනීමට රුකුලක් සපයනවා. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරී ඇති, රනිල් වික්‍රමසිංහ, වික්‍රමබාහු කරුණාරත්න, ජයදේව උයන්ගොඩ එකම වේදිකාව මත ඉන්න අතරෙ හඳගම ද ආපසු හැරී බලා තිබෙනවා. මේ ලිපිය හඳගමට ලියන පිළිතුරකටත් වඩා හඳගමලාට ලියන පිළිතුරක් වශයෙන් නාමකරණය කරන්න මම කැමතියි.
The End of History and The Last Man කෘතිය ලියූ ෆ්‍රැන්සිස් ෆුකුයාමා පැවසුවේ ඉතිහාසය අවසන් බවයි. ඉතිහාසය අවසාන වී ඇතැයි කියන ප්‍රවාදය අන්‍යොන්‍ය සහයෝගීතා අරගලයන් අවසන් වී ඇති බව ප්‍රකට කරන ගමන් ම සමාජවාදයේ අවසානය තීරණය කර ඇති බවද නිගමනය කරනවා. ශිෂ්‍ය අවධියේ දී ජනතා විමුක්ති පෙරමුණේ සටන් සගයන් සමඟ ශිෂ්‍ය අරගලවල නිරත වුණ හඳගමට දැන් ෆුකුයාමා ආවේශ වෙලා. එක අතකින් මේක අමුත්තක් නෙවේ. ප්‍රතිගාමී ජවිපෙ බොහෝවිට පරිණත මිනිසා නිර්මාණය කරන්නේ ප්‍රතිගාමීත්වය පිටි අල්ලේ රඳවලායි. නැත්නම් ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතා පහසුවෙන් සන්නස්ගලගේ පාරිභෝගිකයන් වෙන්නේ කොහොමද? (‘පිරිමි ගොඩයි මං විතරයි’ ඔස්සේ)
හඳගම කදිම කියුම් කිහිපයක් සිය ලිපියේ සඳහන් කරනවා. ‘සාම්ප්‍රදායික කම්කරුවාගේ භූමිකාව වෙනස්ව ඇත, කම්කරුවා වරෙක නිෂ්පාදකයෙක් ද විය හැකියි, ධනපති පංතිය ඕනෑම කෙනෙකුට විවෘතයි, තථ්‍ය වෙනුවට තථ්‍ය සමාන අත්දැකීම්වලින් සැනසෙමු, අනාගත ඩිජිටල් යුගයේ දී ශ්‍රම සූරාකෑම අහෝසි වී යයි, රජය කියන්නේ ජනතාවගේ පොදු වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ඒවා කළමනාකරණය කරන ආයතනයයි, රාජ්‍ය අංශය හකුළා පුළුල් කළ යුත්තේ වෙළඳපොළයි, අධ්‍යාපනය කියන්නේ පාරිභෝගික භාණ්ඩයක්…’
ඉන් පළමුවැන්න හැර අන් සියලුම නිගමන හා උපකල්පන හුදු හිතලු පමණයි. මධ්‍යම පංතික බුද්ධිජීවියෙක් ලෙසින් පොදු ජනයා ඉදිරිපිට පෙනී සිටින හඳගමගේ මේ ප්‍රකාශයන් බහුතරය සමාජවාදයට සතුරුයි. ඔහු මරාසාද් නාට්‍යයේ දෙබසක් කරළියට ගේන්නේ මේ කරුණ සනාථ කරන්න මිස නාට්‍යය හරහා සමාජ අර්ථකථනයකට යන්න නෙවෙයි.
කෙසේ වෙතත් නිදිබර උදෑසනක ජෝශප් ස්ටාලින් කතා කිරීම ආශ්චර්යයක් තමයි. එය තීව්‍ර වන්නේ ඔක්තෝබර් විප්ලවයේ සියවස පිරෙන මොහොතේ ම අමතපු එකයි. ඒක පුද්ගල උපහාසයක් නොවන අතර සංකේතීය වශයෙන් සමාජ උපහාසයක් මවනවා. නාමිකව ගත්තොත් ලංකා ගුරු සංගම් සභාපති ජෝශප් ස්ටාලින් කොළඹ කෙරෙන උද්ඝෝෂණ, දේශපාලන සැමරුම්, විරෝධතා බහුතරයක සංවිධායකයායි. මෑතකදී කොළඹ පැවැත් වූ ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඬයි නිහඬ කිරීමට එරෙහිව පැවැත් වූ විරෝධතාව, විමලනාත් වීරරත්න ඉරුදින කර්තෘ ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි විරෝධතාව මෙන් ම ඔක්තෝබර් විප්ලවයේ සියවස සපිරෙන මොහොතේ සුචරිත ගම්ලත් සැමරුම ආදි මේ සියල්ලේ ම සංවිධායකත්වය දැරුවේ ඔහුයි. හඳගම මවන උපහාසාත්මක අර්ථය දේශපාලනිකව වටහා ගත යුතුයි. රුසියානු විප්ලවය හා නොනිමි සියවස කෘතියේ ඬේවිඞ් නෝර්ත් පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති අවස්ථාව ලද වහාම තම වැඩිහිටියන්ගේ උදාර පරමාදර්ශයන්ට පයින් ගසා ධනවාදයේ මස් හැලි තුළ සතුට සෙවීමට නැඹුරු වන බවයි. මේ හෙයින්මදෝ හඳගමට සහභාගී වන්නට නොහැකි වූ සුචරිත ගම්ලත් සැමරුම රනිල් වික්‍රමසිංහගේ පියාගේ ශුක්‍රාණු පිළිබඳ කතාවකින් අවසන් වුණේ. ඔක්තෝබර් විප්ලවය හෝ ගම්ලත් සැමරීම පසෙකලා සියවස් සැමරුම කිරීමට රනිල් වික්‍රමසිංහට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න සමහරු වේදිකාවට නැගලා උත්සාහ ගත්තා. හඳගම ආවා නම් මවන්නට සිටි ආස්වාදය ඒ අයුරිනුයි අවසන් වුණේ.
මාක්ස් කලින් කී කම්කරුවා දැන් නැහැ. චැප්ලින් සිය චිත්‍රපටවල පෙන්වූ පාදඩයා හෝ කම්කරුවාත් දැන් නැහැ. නැති වුණේ කම්කරුවාගේ ස්වරූපය හා භූමිකාව මිස කම්කරුවා නෙවේ. ඉනියවන් කළ හඳගමට ප්‍රාග්ධනයේ හැසිරීම ගැන කියා දීමට මා වැනි පුඟුලෙක් අවශ්‍ය නෑ. ඒත් මහ බැංකුවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස වෘත්තීය ජීවිතය රඟ දක්වමින් ඔහු වෙළඳපොළ සමඟ කරන රමණය ප්‍රශ්න කළ යුතුයි. ප්‍රගතිශීලියෙක්, මෙරට පිළිගත් බුද්ධිජීවියෙක් හැටියට හඳගම කියන දේ පිළිගන්න පිරිසක් සූදානමින් ඉන්නවා. ඒ තත්ත්වය උඩ මේ රමණයේ භයානක බව අවධාරණ කළ යුතුමයි.
ධනවාදය වෙනුවෙන් සාධුකාර දෙන අය ෆුකුයාමාගේ ආවේශයත් සමඟ තහවුරු කරන්න යන්නේ ‘ධනේශ්වර ක්‍රමය සමාජ සංවර්ධන ඉතිහාසයේ අවසන් කඩඉම’ බවයි. එහෙත් මේ ධනවාදය විසින් ම ඇති කරන යුද්ධ ගැන කියන්න තියෙන්නෙ මොකක්ද? ළඟ ළඟ ම ලෝක යුද්ධ දෙකක් සිදුවීම වගේ ම ඇති වන්නට නියමිත තුන්වන ලෝක යුද්ධයක් අබිමුව තියාගෙන ඇන්ජලීනා ජොලීගේ තථ්‍යසමාන ඩමි සමඟ රමණය කරන්නට කරන ආරාධනා අපි පිළිකුලෙන් හෙළා දැකිය යුතුයි. අනිත් එක තථ්‍ය වෙනුවට තථ්‍ය සමාන දේ පිළිගන්න යැයි කීම තාත්තා වෙනුවට චොකලට් එක කන්න (ඇගේ ඇස අග) කියනවා වගේ දෙයක්.
වහල්, වැඩවසම් යුග පසු කරමින් ධනවාදය එහි උච්ච කූඨයට ඇවිත් තියන මොහොතක පීඩිත පංතියට ලැබෙන ආරාධනාව තමයි ‘ඕනෑ කෙනෙක්ට උඩට එන්න පුළුවං. කැපවීම හා අධිෂ්ඨානය විතරයි අවශ්‍ය.’ ජැක් මා ජාතකය ද එවැන්නක්. මී කුණෙන් සිටුවරයෙක් වූ මිනිසා ගැන කියවෙන චුල්ල සෙට්ටි ජාතකයයි, ජැක් මා ජාතකයයි හරි ම අපූරු ෆැන්ටාස්මතික පරමාදර්ශ. මේ ආකාරයට ලක්ෂයකින් එකෙක් ගැන අපි දන්නා කතාව ගැන නොදන්නා කතාවකුත් තියනවා. ඉහළ ධනපතියන් වූ පුංචි මිනිසුන් උස්මහත් වීමට කම්කරුවන් කී දෙනෙක් සූරා කන්න සිදු වුණාද? පවතින රාජ්‍ය යාන්ත්‍රණයත් සමඟ කී වරක් රමණයේ යෙදෙන්නට සිදු වුණාද? හඳගම පෙන්වන ආකාරයට ඉහළ නැගුණු ධම්මික පෙරේරා අද ලංකාවේ ඉහළ ම ධනපතියෙක්. වැලිවේරිය ප්‍රදේශයේ ජල ප්‍රශ්නයක් ඇති වී උද්ඝෝෂණය කළ ජනයාට පහුගිය රජය හා එක්ව වෙඩි තැබුවේ මේ පුංචි ම තැනින් පටන් ගත් මිනිසා නොවේද?
ශ්‍රමය ඩිජිටල්කරණය වීම පිළිබඳ ප්‍රවාදය මාක්ස් ඉක්මවා යන්නේ නැහැ. මක්නිසාද කියනවා නම් මිනිසුන් රහිත යාන්ත්‍රික සමාජය ප්‍රබන්ධයක් වීම නිසායි. තාක්ෂණය දිනෙන් දින ඉහළ යන බවත්, සාම්ප්‍රදායික කම්කරුවා ඩිජිටල් ශ්‍රම වගුරන්නෙකු බවට පත්වීමත් අහඹුවක් නොවේ. විශාල යන්ත්‍ර ඉදිරියේ ඇණ තද කරපු කම්කරුවන් වෙනුවට අද ඉන්නේ සැප පුටුවක ශීත කාමරවල පරිගණක යන්ත්‍ර ඉදිරියේ හිඳ සිටින කම්කරුවන් විය හැකියි. එහෙත් ඔවුන් කම්කරුවන් බව අප අමතක කළ යුතු නෑ. හඳගමගේ නිගමනයට අනුව චීනය පන්ති විසමතාව කුඩු පට්ටම් කරලා. ඩිජිටල් යුගයේ පරිභෝජනයට කිසිදු තහනමක් නෑ. නිදහස අසීමිතයි. මේ වගේ අන්තගාමී, සාහසික ප්‍රවාදයක් පළ කරන්න වීම ගැන අප පුදුම විය යුතු නැහැ. පරිභෝජනවාදය තුළ කරවටක් ගිලී පවතින සමාජයක, ධනවාදී ආර්ථිකය මෙහෙයවන ආයතනයක ඉහළ නිලධාරියෙක් මෙවැනි දේවල් පැවසීම ඔහුගේ පැවැත්මට කියන තවත් නමක් නෙවේද? එක්සත් ජාතීන්ගේ සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ම මහ බැංකුවත් ජාතික රාජ්‍ය ක්‍රමය රැක ගැනීම සඳහා සැකසුණු උපයෝගිතාමය ආයතන. මේ ආයතන සමඟ රමණයේ යෙදෙන්නන්ට ශ්‍රම සූරාකෑම හෝ අදටත් ලොව පුරා සක්‍රීයව කෙරෙන කම්කරු අරගල නොපෙනීම සාධාරණයි. ශ්‍රම සූරාකෑම නැති වෙනවා යනු නිෂ්පාදන ප්‍රතිලාභ සමානව බෙදී යනවා කියන එක වුණත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. හඳගමගේ පාරාදීසය තුළ මේ යන්ත්‍රවල හිමිකරුවන් කවුද? රාජ්‍ය අංශය හැකිලිය යුතු නම් පෞද්ගලික අංශය සම සේ බෙදයිද?
ලෝකය පුරා දේශපාලන වියරු වැටීම් දිනෙන් දින වැඩි වෙනවා. ඇමරිකාවේ ට්‍රම්ප් වියරුව විසින් අනිවාර්ය ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කරමින් පවතිනවා. කම්හල් තුළින් දහස් ගණන් කම්කරුවන් එළියට විසි වෙනවා. දියුණු යැයි සම්මත ලෝකයේ කප්පරක් ලෙඩ රෝග ශීඝ්‍රයෙන් පැතිර යනවා. අතිශයින්ම මානුෂික දෑ වෙළඳපොළකරණය වෙනවා. මේ තත්ත්වය උඩ ඇමරිකානු විiාඥයන් ට්‍රම්ප්ට එරෙහිව වීදි බැහැලා විරෝධය පළ කරන්න පටන් අරන්. මාක්ස් කියපු විදියට සර්පිලය අදියරෙන් අදියර ඉහළට තමයි යන්නෙ. එහෙත් පංති සමාජය තුළ සාපේක්ෂ නිදහසක් සහිතවයි.
රාජ්‍ය අංශය හකුලා ගනු! යන මොරගෑම අස්සේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස දක්වන අර්ථ ගැන්වීම ම ප්‍රතිගාමීත්වයේ තරම පෙන්වනවා. අධ්‍යාපනය පමණක් නොවේ මව, බිරිඳ, පෙම්වතිය පවා වෙළඳ භාණ්ඩ බවට පත් කරන්න ධනවාදය යටතේ පුළුවන්. ධනේශ්වර ක්‍රමය තුළ අධ්‍යාපනය තරම් දෘෂ්ටිවාදී දෙයක් තවත් නැහැ. සියලු විවේචන මැද්දේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයේ සියවස සමරන ධනවාදී රනිල් ගැන විවේචනයක් කිරීමට බැරි වෙන්නේ ‘රජය කියන්නේ ජනතාවගේ පොදු වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින, ඒවා කළමනාකරණය කරන ආයතනය’ නිසා වෙන්න ඇති. මුල් කාලයේ ‘චන්න කින්නරී’ වගේ චිත්‍රපට පසුකර ‘ඇගේ ඇස අග’ට ඒමේ රහස ද මේ. මෙරට උගත් මධ්‍යම පංතිකයා කටුස්සෙක් ද? පසුගිය කාලයේ ආණ්ඩු මාරුවට මහ ඉහළින් සංවිධානය වූ ප්‍රගතිශීලී කලාකරුවාගේ සිට සියලු බුද්ධිමය සම්ප්‍රදානයන් ආණ්ඩු මාරුවකින් නැවතීම ඉතිහාසය විසින් අපට පෙන්වා දීලා තියෙන්නෙ ගෝත්‍රික නායකත්වයේත්, ඇමරිකන් ගැති ධනේශ්වර නායකත්වයේත් වැඩි වෙනසක් නොමැති බවයි.
මාක්ස්වාදී පිට පොත්ත, බුද්ධිවාදී තර්කනය, ක්‍රම විරෝධය, පරමාදර්ශ සැපයීම වැනි ඊනියා මධ්‍යම පංතික බුද්ධිජීවී ඇවතුම් පැවතුම් මේ යුගයේ සමාජයේ කැපී පෙනෙන චරිත සතු ආභරණයක්. සිනමාකරුවෙක් ලෙස කිසිවිටෙකත් බැහැර කළ නොහැකි හඳගම වෙළඳපොළ සමඟ යෙදෙන මේ අසීමිත රමණය තවදුරටත් සැඟවීම පහසු නෑ. කල් පිරී ඇති හෙයින් වීදියට බැස රමණය කරන්නට ඔහුට පුළුවන්. හඳගමට වගේම හඳගමලාට පුළුවන්.■