ගබ්සාවේ මානුෂීය පැතිකඩ


gabsava

කිතුනු ඇදහිල්ල අනුව, දෙවියන් වහන්සේ විසින් මව්පියන් දෙපළකට බිලිඳෙකු තිළිණ කරනු ලබන්නේ ඔවුන් එම දරුවාගේ අයිතිකරුවන් ලෙස ගෙන නොව ඒ අය ළමයාගේ භාරකරුවන් සේ සලකමිනි. ඒ අනුව කළලයේ සැබෑ අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේටයි. දෙවියන් සතු එම අයිතිය සියතට ගෙන යම් මවක තම කුස තුළ සිටින නූපන් දරුවා ගබ්සාවක් ඔස්සේ මරා දැමීම ක්‍රිස්තු ධර්මයට අනුව නම් ම්ලේච්ඡ ක්‍රියාවකි. ශ්‍රී ලංකා නීතිය යටතේ ගබ්සාවක් සඳහා අවසරය හිමිවනුයේ එය සද්භාවයෙන් යුතුව මවගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළහොත් පමණි. එනම් 1883 දණ්ඩ නීති සංග්‍රහ පනතේ 303 සිට 307 දක්වා වන වගන්තිහි දක්වන පරිදි සද්භාවී චේතනාවෙන් යුතුව කාන්තාවගේ ජීවිතය බේරාගැනීම සඳහා පමණක් සිදුකරන ගබ්සාවක් හැරුණු විට අන් සියලු ගබ්සාවන් නීති විරෝධී වන අතර ඒවාට එරෙහිව වසර 10ක උපරිමයකට යටත් සිරදඬුවම් නියම කිරීමට හා දඩවලට යටත් කිරීමට අධිකරණයට හැකියාව තිබේ. 1883දී පැනවූ මේ යල් පැන ගිය නීතිය හේතුවෙන්, කළලය විකෘති වී තිබුණද, ස්ත්‍රී දූෂණයක් නිසා කළලය පිළිසිඳුණද, ගැබ්බර වූ තරුණියගේ වයස අවුරුදු 16ට අඩු වුවද කාන්තාව විසින් අනිවාර්යයෙන්ම සිය කුසේ සිටින දරුවා මෙලොවට බිහිකළ යුතුමය. ඉහත කී කාරණා ත්‍රිත්වය යටතේවත් ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය වෙනස් කිරීමට 1995 හා 2011දී එවකට පැවති රජයන් විසින් උත්සාහ කළද විවිධ ආගමික නායකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එම ඉදිරිගාමී නීති සංශෝධන අකුළා ගැනීමට පාලකයන්ට සිදුවිය.

නීති විරෝධී ගබ්සා
කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කේ.කේ. කරුණාතිලක සිදුකළ පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුකෙරෙන නීති විරෝධී ගබ්සාවන්ගේ සංඛ්‍යාව 658කි. ඒ අනුව වාර්ෂිකව සිදුවන හොර ගබ්සා ගණන 240,170කි. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක ඇසූ ප්‍රශ්නයකට 2015 දෙසැම්බර් 14 දින පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර පවසා සිටියේ 2011 සිට 2015 දක්වා කාලය අතරතුර ළමයින් හා කාන්තාවන් 1410ක් සමීපතම ඥාතීන් අතින් දූෂණයට ලක්ව තිබෙන බවයි. ව්‍යභිචාරය, ස්ත්‍රී දූෂණය සහ බරපතළ කළල දුබලතාවන්/විකෘතිවීම් පදනම් කොටගෙන ගර්භනී බව අවසන් කිරීම, සාපරාධීභාවයෙන් නිදහස් කිරීම උදෙසා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළ යුතු බවට 2009 ජනවාරියේදී අධිකරණ අමාත්‍යාංශය විසින් ඇමති මණ්ඩලය වෙත නිර්දේශයක් නිකුත් කළ මුත් තවමත් මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට ඔවුන් එළැඹී නැත. ශ්‍රී ලංකාවේ තිබෙන ගබ්සා මධ්‍යස්ථාන බහුතරයක් ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වසරකට මාතෘ මරණ 10-15 අතර සංඛ්‍යාවක් සිදුවන අතර නිසි ලෙස පිරිසිදු නොකරන ලද උපකරණ භාවිතය නිසා කාන්තාව විවිධ රෝගාබාධවලට ලක්වීමද, නැවත ගැබ් ගැනීම පවා වැළකීමද සිදුවේ. ගබ්සාව වත්මනෙහි සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබේ.

ඇමරිකානු අත්දැකීම
2014දී පළකරන ලදEvery Third Woman in America නම් ග්‍රන්ථයේ කර්තෘවරයා, ඇමරිකාවේ නෝත් කැරොලිනා සරසවියේ ප්‍රසව විද්‍යාව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය ඬේවිඞ් ග්‍රයිම්ය. ඔහුට අනුව, 1950-1960 වර්ෂයන් අතරතුර ඇමරිකාව තුළ වාර්ෂිකව සිදුකොට ඇති නීති විරෝධී ගබ්සාවන් සංඛ්‍යාව ලක්ෂ 2ත් 12ත් අතර පරාසයක පැවතුණි. මෙකී අනාරක්ෂිත ගබ්සාවන් නිසා හටගත් ලේ විසවීම් හා අධික රුධිර වහනය හේතුවෙන් එම කාලවකවානුව තුළ බොහෝ කාන්තාවන් මරණයට පත්වූ වග හෙතෙම පවසයි. මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් වග තේරුම් ගත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය, 1973 වසරේදී Roe vs. Wade නඩුව විනිශ්චය කරමින්, කාන්තාවකට තම ශරීරය හා පෞද්ගලිකත්වය සම්බන්ධ යෙන් තීරණ ගැනීමට තිබෙන නිදහස තහවුරු කොට ගබ්සාවන් සිදුකිරීම නිත්‍යනුකූල යැයි තීන්දු කළේය. කාන්තාවන්ට මරණීය අවදානමක් ගෙන එන ලොව අනාරක්ෂිත ගබ්සාවලින් 92%ක්ම සිදුවන්නේ ගබ්සාව නීතිගත කොට නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මහාචාර්ය ඬේවිඞ් ග්‍රයිම්ට අනුව, 1940 දශකයේදී ඇමරිකාවේ හැම ප්‍රධාන රෝහලක් තුළම, අනාරක්ෂිත ගබ්සා සිදුකරගෙන දැඩි ලෙස රෝගාතුර වූ කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහාම වෙන්වූ සුවිශේෂ වාට්ටුවක් ස්ථාපිත කොට තිබිණි. දිග ඉඳිකටු, කමිස රඳවන, බයිසිකල් ස්පෝක් සහ රබර් බට ප්‍රජනන මාර්ගය තුළට ඇතුළු කොට දරු ගැබ විනාශ කිරීමට තැත් කිරීම එකල ඇමරිකන් ගැබිනියන් අතර සුලබ සිදුවීමක් විය. මීට අමතරව සමහරු දරුවා නැති කිරීමේ අරමුණින් රෙදි පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය සහ ටර්පන්ටයින් බී රෝහල්ගත වූහ. 1940දී මෙවැනි අනාරක්ෂිත ගබ්සා කිරීම් ඔස්සේ වාර්ෂිකව මරු වැළඳගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවීයැයි මහාචාර්ය ග්‍රයිම් පවසයි. එහෙත් අද ඇමරිකාවේ කතෝලික පල්ලිවලට සම්බන්ධ විවිධ කණ්ඩායම් ඍදැ ඩිග අ්ාැ නඩු තීන්දුව අහෝසි කොට යළිත් ගබ්සාව නීති විරෝධී කරන්නැයි කියමින් දිගින් දිගටම විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ සිදුකරමින් එරට පාලකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටිති. මෙම ගබ්සා විරෝධී කල්ලි තුළ සිටින සමහර පුද්ගලයන් කෙතරම් අන්තවාදී අදහස් දරන්නේදැයි කිවහොත් ගබ්සාවන් සිදුකොට මුදල් ඉපැයූ නාරිවේද විශේෂඥයන් වූ වෛද්‍ය ඬේවිඞ් 1993දීද, වෛද්‍ය ජෝන් බි්‍රට්න් 1994දීද, වෛද්‍ය බානෙට් ස්ලෙපියන් 1998දීද, වෛද්‍ය ජෝර්ජ් ටිලර් 2000දීද සාහසිකයන්ගේ වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.

වෛද්‍ය විලී පාකර්
මීට වසර 54කට පෙර ඇමරිකාවේ බර්මින්හැම් නගරයෙහි අන්ත දුප්පත් කළු ජාතික පවුලකින් ලොවට බිහිවූ විලී පාකර් 2017 අප්‍රේල් මස Life’s work නමැති පොත ජනගත කළේය. ඔහු තම ග්‍රන්ථය ඔස්සේ කියන කතාවට අපි මෙතැන් සිට සාවධානව ඇහුම්කන් දෙමු.
“ළමයි 6 දෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා ලෙස මා ඉපදෙන විටත් අපේ තාත්තා අම්මාව අතහැර වෙන දීගයක් කරගෙන තිබුණා. අපි ජීවත්වුණේ ආහාර මුද්දර හා ආණ්ඩුවේ සහනාධාරවල පිහිටෙනුයි. නිවසේ වැසිකිළියක් හා නාන කාමරයක් නොතිබූ නිසා එහා ගෙදරට ගොස් එම කර්තව්‍යයන් කරගන්නට සිදුවුණා. අපේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ගෙව්වේ මෙඩික් ඒඞ් නමැති ආණ්ඩුවේ සෞඛ්‍ය සහනාධාරය හරහායි. නිවසට විදුලිය නොමැති නිසා අපි පොත් පාඩම් කළේ භූමිතෙල් ලාම්පුවේ පිහිටෙනුයි. මගේ හම කළු නිසා පාසලේදී සුදු හම ඇති ධනවත් ළමුන් මාව කොන් කරන බව දැක කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයැයි මම අධිෂ්ඨාන කරගත්තා. විද්‍යා අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත්ව කීර්තිමත් හාවර්ඞ් වෛද්‍ය විද්‍යාලයට තේරුණු දවසේ මට මහත් සතුටක් දැනුණා. ප්‍රසව විද්‍යා හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම ලැබූ පසුව මා ප්‍රජා සෞඛ්‍ය සේවාව පිළිබඳ ගෞරව උපාධියක් අයෝවා සරසවියෙන් දිනාගත්තා. භක්තිමත් කිතුනුවෙකු ලෙස මාත් මුලින් සිතුවේ ගබ්සාවක් සිදුකිරීම අපායේ යන තරමේ පවක් කියායි. විශේෂඥ වෛද්‍යවරයෙකු වී වසර 10ක් යන තුරුම මා ගබ්සාවට විරුද්ධවූයේ එම නිසායි. දුප්පත් කළු ජාතිකයන් බහුතරයක් වෙසෙන බර්මින්හැම්හිදී ගර්භනීභාවයට පත් බාලවයස්කාර දැරියන් හා අවිවාහක කාන්තාවන් පොදු සමාජයේ දැඩි අවඥාවට ලක්වන අයුරු මා දුටුවා. එහෙත් ඔවුන් සමඟ සංවාසයේ යෙදුණු පුරුෂ පක්ෂයට කිසිවෙක් ඇඟිල්ල දිගු කළේ නැහැ. මාර්ටින් ලුතර් කිංගේ පටිගත කළ දේශනයකට සවන් දුන් පසුව ගබ්සාවට පක්ෂව කටයුතු කළයුතු යැයි මට සිතුණා. ‘සොරුන් පහරදී සියලු වස්තුව උදුරාගත් යම් තැනැත්තෙක් පාර අයිනේ තුවාල වී වැටී සිටින මොහොතක, සියලුදෙනා ඔහු ගැන තැකීමක් නොකොට එතැනින් මාරුවී යන හැටි සිහියට නගාගන්න. අර අසරණයාට ඔහු දන්නා හඳුනන අය පවා උදව් කිරීමට ඉදිරිපත් නොවන්නේ එමගින් තමන්ට යම් ප්‍රශ්නයක් ඇතිවේය යන බිය පෙරදැරි කොටගෙනයි. කිතුනුවෙකු නොවන පිටස්තරයෙක් මේ පාරේ වැටී සිටි අසරණයා රෝහලකට ගෙන ගොස් ඔහුට අවශ්‍ය ශාරීරික හා මානසික සුවය ලබාදීමට කටයුතු කරනවා. එලෙස පිහිටවන පිටස්තරයා කිතුනු දහම අදහන්නෙකු නොවුණත් ඔහු දෙවියන්ගේ සැබෑ පුත්‍රයෙකු බව මා ඔබට අවධාරණය කර සිටිනවා.’

අසරණ සරණ
ව්‍යභිචාරය, දූෂණයට බඳුන්වීම හෝ නොදන්නාකම හේතුවෙන් ගැබ් ගැනීම යනාදි මෙකීනොකී සියල්ල නිසා දැඩි මානසික වේදනාවෙන් පසුවන කාන්තාවන් මා දකින්නේ මාටින් ලුතර් කිං විසින් දෙසූ ‘පාර අයිනේ වැටී සිටි අසරණයා’ ලෙසයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හා භක්තිමත් කිතුනුවෙකු ලෙස වසරකට මා ගබ්සාවන් 1000ක් පමණ සිදුකරනවා. මගේ ජීවිත කතාව එළිදක්වන මොහොත වනවිට මා සිදුකොට ඇති ගබ්සාවන් සංඛ්‍යාව 10,000ක්. අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වූ කාන්තාවක් මානසිකව හා කායිකව විඳින දුක් වේදනාව, හාන්සි පුටුවල සිට දේවධර්මය දෙසන ගබ්සා විරෝධීන්ට වැටහෙන්නේ නැහැ. ගබ්සාව නීතිගත කොට නොතිබුණු 60 දශකයේදී බර්මින්හැම්හි ගර්භනී දැරියන් කිසිවක් කරකියා ගත නොහී දිවි නසා ගන්නට පෙළැඹුණා. තම කුසේ සිටින දරුවා ගැන තීරණයක් ගැනීමේ නිදහස එම දරු ගැබ අයිති කාන්තාවට ලබාදිය යුතු වග මා දැඩිව විශ්වාස කරනවා.”
ඉතින්, යල් පැන ගිය ශ්‍රී ලංකාවේ ගබ්සා නීතියද නොපමාව සංශෝධනයට ලක් කිරීම යුගයේ අවශ්‍යතාවක් බව මෙහි සටහන් කිරීම වටී.■