Untitled-1

Untitled-1

මම දැන් හුදෙකලාව ඉන්න ආසයි | පියල් කාරියවසම්


piyal

ටිරන් කුමාර බංගගමආරච්චි
අසංක රූපංජන

පියල්ගේ මුල් තියෙන්නේ මොනරාගල. ඒ නිසා මොනරාගලින්ම කතාව පටන් ගනිමු.
මම මොනරාගල වුණාට මගේ තාත්තාගේ තාත්තා කතළුවේ ඉඳලා මොනරාගලට සංක්‍රමණය වූ කෙනෙක්. හරියට අර ජිනදාස සිංහලේ යනවා වගේ. සීයා මොනරාගලට ඇවිත් තියෙන්නේ ව්‍යාපාර කරන ගමන් ගොවිතැනත් කරන්න. අම්මා මොනරාගල වුණාට අම්මාගේ පරම්පරාවත් ඒ වගේම තමයි. ඔවුනුත් උඩරට කැරැල්ල පරාජය වුණාට පස්සේ වෙල්ලස්සට පල්ලම් බැස්ස අය. අම්මාගේ පරම්පරාව රදළ සහ ආදිවාසීන්ගෙත් මිශ්‍රණයක්. මේ ඔක්කෝමත් මුල්වල එකතුවක් තමයි මම.

ව්‍යාපාර කරලා ගොවිතැන් කරන්න ආ ඔබගේ පරම්පරාව ඉගෙන ගැනීමත් කළාද?
තාත්තාගේ සහෝදරයෝ ඉගෙන ගත්තා. ඒ අය විශ්වවිද්‍යාලයටත් ආවා. මේ නිසා අපිත් අධ්‍යාපනයට ඉබේම තල්ලු වුණා. හැමෝම ගියේ ගමේ පාසලට. ඒකේ ගුරුවරු කියන්නෙත් එක්කෝ දඬුවම් මාරුවක් ලබපු අය. එහෙම නැත්නම් මුල් පත්වීම්.
මට කියන්න ඕනෑ, අධ්‍යාපනය අපට එන්නේ පාසලට පිටින්. මගේ තාත්තා අධ්‍යාපනයක් ලබලා නැති වුණාට පත්තර කියවන්නෙක්. කුඹුරට ගියත් රේඩියෝව අරගෙන ගිහිල්ලා ඒක දාගෙන වැඩ කරපු කෙනෙක්. ඔහු හතේ ඉඳලා අට වගේ වෙනකම් රේඩියෝ අහන එක අනිවාර්ය කළා. කොටින්ම අපි ඒ කාලේ ආයුර්වේද වැඩ සටහනුත් අහනවා. ඒ තරමට දැනුම් ගබඩාවක් අපිට ඒ හරහා ලැබුණා. තාත්තා රේඩියෝව නිව්වේ හිංදි සිංදුත් අහලා පිරිත් යනකොට. ඉගෙනීමට කිසිම බල කිරීමක් නෑ. අපි නිදහසේ හැදුණා. ඒ අතර නැන්දලා මාමලා සතුට, මධුර වගේ පත්තර ගන්නවා. ඒවාත් කියවනවා. මේ අභ්‍යාස හින්දා මම කියවන්නෙක් වුණා. විජේදාස හෙට්ටිආරච්චි කියලා විදුහල්පති කෙනෙක් අපේ ගෙවල් ළඟ හිටියා. එතුමාට හොඳ පුස්තකාලයක් තිබුණා. මම ඒකේ සාමාජිකයෙක් වුණා. තවත් පුස්තකාල කිහිපයක් මට හම්බවුණා. ඒ.කේ.බී. රත්නායක මහත්තයාගේ සහ අබේ දිසානායක මහත්තයාගේ. මම මේ අයගෙන් පොත් ඉල්ලාගෙන කියවනවා. පොත් මට හරිම ආකර්ෂණීය දෙයක් වුණා. මම ඒවාට ලෝභ වුණා. මට මතකයි ඩීමන් ආනන්දගේ පොත්වලට මම පිස්සු වැටුණා. ඔහු ලියූ ජේම්ස් බොන්ඞ් කතා ඇසූරින් ජේමිස් බණ්ඩා පොත් ටික මම එක පුස්තකාලයකින් හොරාට බඬේ රඳවාගෙන ගෙදර ගෙනිච්චා. මේක දැකලා මට ගෙදරින් හොඳටම ගැහැව්වා. පුංචි කාලෙත් ලෝභකමක් ආශාවක් තිබුණා නම් තිබුණේ පොත්වලට. අදත් එහෙමයි.

ඔබගේ ජීවිතය එතරම් නිදහසේ ගලාගියාද?
පවුල තුළ නිදහසේ ගලා ගියත් සමාජය හරහා තිබුණේ ඊට වෙනස් භීෂණ සමයක්. මම සාමාන්‍ය පෙළ කළේ අසූ හතේ. උසස් පෙළ කරන කාලය කියන්නේ මේ රටේ දරුණුම කාලයක්. ඒ භීෂණය අපේ ගම් සම්පූර්ණයෙන්ම වෙලාගෙන තිබුණා. අපේ හිතවතුන්, දන්න කියන අය සෑහෙන ප්‍රමාණයක් මැරුණා. ඒ ගොඩාක් අය මේ දේශපාලනයට සම්බන්ධ අය නෙමෙයි. අපේ ගමේ ගොඩක් අය මේකට ගොදුරු වුණේ කුලය නිසා. එහෙම නැත්නම් පෞද්ගලික කෝන්තර නිසා. මම ශරීරයෙනුත් පොඩි නිසා ඒ කාලේ බේරුණා. කොටින්ම මේ කාලයේ හවස් වෙනකොට ලාම්පු නිවන්න ඕනෑ. මේ තරම් භීෂණයක් අස්සේත් මම හොරාට ලාම්පු පත්තු කරගෙන ‘ඇට මැස්සා’ කියෙව්වා. ඒ කාලය තුළ බිය වගේම සියුම් ආස්වාදයකුත් තරුණයන් විදියට අපි වින්දා. ඒ කොහොම වුණත් මේ කම්පනය මගේ ජීවිතය තුළ සදාකාලික සලකුණක් වුණා. මම ඉපදෙන්නේ හැත්තෑ එකේ පළමු කැරැල්ලත් එක්ක. ඊළඟට අසූ අට අසූ නවයේ කැරැල්ල. ඊළඟට උතුරේ අරගලය. මේ හැම දේකින්ම ඉතිරි වුණේ කම්පනයක් අනාථභාවයක් විතරයි.

කොළඹට එම සිද්ධවෙන්නේ කොහොමද?
ඒ වාතාවරණය පහු කරලා උසස් පෙළ ලියන්නත් ඒ ලියලා විශ්වවිද්‍යාලයට තේරෙන්නත් මට පුළුවන් වෙනවා. අසූ තුන අවුරුද්දේ මම කොළඹ විශ්වවිද්‍යාලයට එනවා. ඒ විදියට තමයි මගේ කොළඹ ගමන හැදෙන්නේ. ඊට පෙරත් මාමායි නැන්දායි කොළඹ විශ්වවිද්‍යාලයේම හිටපු නිසා ඒ අය එක්ක කොළඹ ඇවිල්ලා තිබුණා.

ගමේදී ඔබ දකින කැරැල්ලේ ඇත්ත ස්වභාවය විශ්වවිද්‍යාලය තුළදී ඔබට වැටහෙන්න ඇති.
ඔව්! ගමේදී දුටු කැරැල්ලේ තැන මම අත්වින්දේ විශ්වවිද්‍යාලයේදීයි. ඒවා සමාන තරම් මවාපෑම්ද කියලා තේරුණේ ඊට පස්සේයි. ඒවායේ දේශපාලන උපක්‍රම, පාවාදීම් වැටහෙන්නේ මෙහේ ආපුවවමයි. විශ්වවිද්‍යාලය තුළ ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම්වලට වක්‍රව මම උදව් කළත් ඒ කාටවත් සෘජුව වැඩකළේ නෑ. එදා අපි උදව් කළ අය අද දේශපාලකයෝ.

විශ්වවිද්‍යාලය තුළදී මේවාට ගොදුරුවීම සාමාන්‍යයි. ඇයි ඔබ ඒ වැඩවලට සෘජුව නොගියේ?
මම ඊට වඩා ලෝකයක් හෙව්වා. මම කොළඹ තැන් තැන්වල යමින් රස්තියාදුකාර ජීවිතයක් ගෙව්වා දැනුම හොයමින්. ඊට ගැළපෙන කල්ලියකුත් හමුවුණා. අපි චිත්‍රපට බැලුවා. අලියොන්ස් එක, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය, ජර්මන් සෙන්ටර් එක අපේ අය නිතර කල් ගෙවූ තැන්. පියසීලි විජේගුණසිංහ, සුචරිත ගම්ලත්ලාගේ සංවාද අපිව සෑහෙන්න පිරෙව්වා. අපිත් නිතර සජීවි සංවාදයක හිටියා. මෙතනදී කියන්න ඕනෑ, මොන තරම් කැරැල්ලක් ඇතුළේ වුණත් කලා සංස්කෘතික කතාබහක් අසූඅටේ අසූනවයේ තිබුණා. ඒ නිසා තමයි අපි එදා ඇට මැස්සා කියෙව්වේ. කොහොම හරි මේ හමුවිම් අපිට වෙනම හිතන්න තල්ලු කළා. ඊළඟට බෝතල් හිස් වෙනකම් අපේ හිස්කම් පුරවාගන්න සාකච්ඡා සංවාද කළා. ඒ අතරේ මම ඉංග්‍රීසිත් ඉගෙන ගන්නවා. ඒ හරහා මට වෙනම ලෝකයකට යන්න දොර ඇරෙනවා. ඒ අතරම නාට්‍ය කරන්නත් පටන් ගන්නවා. ඒ හැමදේම අඩු වැඩි වශයෙන් වෙනවා.

ඒත් ඔබ ඉගෙන ගන්නේ නීතිඥයකු වන්නට.
ඔව්! ආවේ එක වැඩකට. කළේ වෙන වැඩ. මට කැම්පස් ඇවිත් ඉගෙන ගන්න හැම විටකම හිතුණා මේක දමලා ගහලා යනවා කියලා. කොහොම හරි මම ඒ විභාගත් පාස්වෙලා අවුරුදු 8-10ක් විතර කාලයක් උසාවියේත් රස්තියාදු වුණා. මේ නිසා මට ඇතිවුණේ විශාල ආතතියක්. වේලාවකට හිතෙනවා අවුරුදු දහයක් විතර එතැන හිටියාද කියලා. දේවල් හරි වුණත් වැරදි වුණත් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේක මට මානසික වදයක් වුණා. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන විඳවන්න බැරි ගතියක් මට තිබුණා. දවසක් උදේ නැඟිටලා මම හිතුවා නෑ, මම ආයේ උසාවි යන්නේ නෑ කියලා. නීතිඥ රස්සාවට ආයුබෝවන් කිව්වා. එහෙම කියලා නොගිහින් හිටියා. ආයේ කවදාවත්ම යන එකකුත් නැහැ.
සමහර විට එහෙම හිතෙන්න විවිධ හේතු තියෙන්න ඇති. අපි ආපු පන්ති පසුබිමත් බලපාන්න ඇති. අපි ගෙවල්වල ඉඳලාම ඉංග්‍රීසි කටගාපු අය නෙමෙයි. උසාවී වැඩවලදී ඉංග්‍රීසිය සැහෙන ඕනෑ වෙනවා. එහිදී ඉංග්‍රීසිය එක්ක වැඩ කරන්න සෑහෙන වෙහෙසක් ගන්න වුණා. මුල් කාලයේදී මං කරන ඉල්ලීම් වැරදි වුණාම ඒවා නිවැරදි කළේ දෙමළ, මුස්ලිම් කට්ටිය, සිංහල නීතිඥයෝ සමච්චලයට හිනාවුණා. ඒ කලකිරීම් පවා හේතුවන්න ඇති. ඒ වගේම ක්‍ෂේත්‍රයේ රැඳුණු නිසා ඒ තුළ ඇති ව්‍යාජයත් මනාව වැටහුණා. මේ ඔක්කෝමවල එකතුව මාව එතැනින් තල්ලු කළා.

ඔබට ඉහළ පන්තියකට හොඳ ජීවන රටාවකට හුරු වෙන්න තිබුණු අවස්ථාව මඟහැරුණා කියලා හිතනේනේ නැද්ද?
නැහැ. කවදාවත් නෑ. මගේ කිසිම දවසක ප්ලෑන් එකක් තිබිලා නෑ ලොකු සල්ලිකාරයෙක් වෙන්න. හොඳ වාහනයක් ගන්න. මුදල් ඉපැයිය හැකි ක්‍රම ගණනාවක් මට ලැබුණත් මම ඒ පසුපස ගියේ නෑ. මට එහෙම ඕනෑ නෑ කියලා හිතුණා. නිතරම මම හිතුවේ පුළුවන් විදියට කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා කියන එකයි.
කාලයක් මම රස්සාවක් නැතිව ගෙදර ඉන්නවා. බිරිඳ කරන රස්සාවෙන් යැපෙනවා. ඒ වගේම තවත් කාලයක එයා ගෙදර ඉන්නවා. මම මොනවා හරි කරනවා. ඒකෙන් ජීවත් වෙනවා.
මේ කිසි දෙයකින් මම පසුතැවෙන්නේ නෑ. මොකද මේ හැමදේකින්ම මම ලියන්නයි, කියවන්නයි අසීමිත නිදහසක් ලබා ගත්තා. අනිත් හැම දේවලටම වඩා මට ඒ තත්ත්වය වටිනවා.

ඔබගේ අර රස්තියාදුකාර ජීවිතයට මොකද වුණේ. බෝතල් හිස් වෙනකම් කළ සංවාදවලට මොකද වුණේ
කාලයත් එක්ක ඒවාත් හිස් කියලා වැටහුණා. අර බොහෝ අය ඊට පස්සේ අධීවේගී ගමනක් ගියා. හැමෝටම කවර් කරගන්න ලොකු ඇරියස් එකක් තිබුණා. ඊළඟට හම්බ වුණත් කතා කරන්න ලොකු සංවාද තිබුණේ නෑ. හරිම නිරස වුණා. එකිනෙකා එක්නෙකාගේ ලෝකයේ යද්දී මං හුදෙකලා වුණා.

හුදෙකලා වෙලා සාහිත්‍යකාරයෙක් වුණා, එහෙමද?
මම නාට්‍ය කළා. ඒ අතරේ ලියන එකත් කළා. මට හිතුණා ලිවීම තමයි මගේ මාර්ගය කියලා. ඒ අතර මට අලුත් ලෝකයක් විවර වුණා. ඒ ඉංග්‍රීසි යතුරු මට හමුවුණාම මම ලෝක සාහිත්‍යය කියවන්න ගත්තා. මම අද ඉන්නේ ඒ ලෝකයේ. මට ලිවීම අනෙක් සියලු වැඩ ඉවරවෙලා ෆන් එකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අමාරුවෙන් හරි මගේ එකම වැඬේ ලිවීම බවට මං පෙරලාගෙන තියෙනවා. ඒ හරහා තමයි මම ජීවිතය හොයන්නේ. අඛණ්ඩව ලේඛන වැඬේ කරනවා. පාරවල් ගානේ වෙච්ච රස්තියාදුව මං දැන් ලෝක සාහිත්‍යකරුවන් සමඟ කරනවා. ඒක හරිම ආස්වාදනීයයි. එයින් මම පිරෙනවා. ඒ නිසාම මං දැන් හුදෙකලාව ඉන්න ආසයි.

පියල් මොනවාද ලියන්නේ.
මේ සමාජයේ මාව කම්පනය කළ අර්බුදකාරී තත්ත්වයම තමයි මම ලියන්නේ. මට මම ගැනත් විවේචනයත් තියෙනවා. ඒ විවේචනය ඇතුළේ හැප්පෙමින් ගැටෙමින් කරන අරගලය තමයි මගේ ලියැවිලි වන්නේ.

කාලයෙන් කාලයට ඔබට සමාජ කියවීම් ඇති. අද සමාජය ගැන කියවීම මොන වාගේද?
මට දැන් ලොකුවට ඒ ගැන වද නොවෙන තරම්. ඒ කාලේ අපි ගැන්සි ගැහෙනකොට මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම, තිලකසේන, ඊවා රණවීර මේ වාගේ නම් ගොඩාක් කියවලා තියෙන්න ඕනෑ සමාජ යතිවරයෙක් වෙන්න. අද එහෙම කියවලා තියෙනවා නම් එයා සමාජයෙන් කොන් වෙන තරම්. අද තියෙන්නේ සැණකෙළි අසිරිය තමයි. ඒවාට එහෙම යන්න දීලා වඳ නොවී හුදකලාව විසීම හරිම වටිනවා.

පියල් කෙටිකතාකරුවෙක්. ලියන්න දිගු කතා නැද්ද?
ඇයි නැත්තේ. මම මේ දිනවල ලියමින් ඉන්නේ දිගු කතාවක්. වඩා වැදගත් කතා කෙටිද දිගුද කියන එක නෙමෙයි කියන දේයි. හෙමින්වේගේ කෙටිකතා තියනවා පිටු දෙක තුනකින්. හැබැයි ඒවා අත් පොත් වගේ. මට කියන්න ඕනෑ ප්‍රමාණය කතාව අනුවයි ලියැවෙන්නේ. එතැනදී කෙටියෙන් මගේ කතා මම කිව්වා. සමහර විට මට කියන්න තියෙන ලොකු දිගු කතා තමයි මම ඒ විදිහට කියන්නේ.

පියල් හොයන ජීවිතය මේ වන විට අහුවෙලාද?
නෑ. ඒකට යන්න හදන හැම විටම මාව සමාජය කොනකට තල්ලු කරනවා. එහෙම තල්ලු වෙවී ඉන්නවා. මොකද ආයේ ආපස්සට හැරිලා යන්න බෑ. මේක ඇතුළේම කේවල් වේවි මගේ ජීවිතය මම ගෙනියනවා.

මොනරාගල මුල් ඉදිරිලාද දැන්?
තාත්තා ළඟදී නැතිවුණා. අම්මා ඉන්නවා. මම ඉඳලා හිටලා එහේ යනවා. ඒත් මට දැන් එහේ ආගන්තුකයි.

පියල් දැන් බෝතල් හිස් කරන්නේ නැද්ද?
දැන් නම් නැති තරම්. බියර් බොනවා. ඒ කාලේ අපි බෝතල්වලට ඇලුම් කළේ ඒ කාලේ බෝතල් හිස් කළ සුන්දර මිනිස්සුන්ගේ අත්දැකීම් නිසායි. මට මතකයි ඒ කාලේ බොරැල්ලේ ඊඒපී එකට ගියාම කපිල කුමාර කාලිංග, මොහාන් සමරනායක වගේ තව කට්ටිය ලොකු සංවාද. තවත් තැනක ගුණදාස කපුගේ සම්මානය මේසෙ උඩ තියාගෙන සමරනවා. මේ සරසවි සම්මානය දිනලා එන ගමන් ඇවිත් සමරනවා. මේ ජීවිත අතර ගලාගිය අපේ මත්ලෝලීකම කාලයත් එක්ක හිඳුණා.

දැන් වෘත්තිය මොකද්ද?
දැනට විශ්වවිද්‍යාල දෙකක බාහිර කථිකාචාර්ය කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ අතර යම් යම් විනිශ්චය මණ්ඩලවල වැඩ කරනවා. ඒ හැම එකම අතර පූර්ණ කාලීනව ලියන්නෙක් විදිහට ඉන්න හැම වෙරක්ම ගන්නවා.■