Wednesday, 23/8/2017 | 2:14 UTC+0
රාවය

අපේක්ෂා රෝහලේ අපේක්ෂාව දල්වමු

ධනෝද්‍යා කාරියප්පෙරුම

මරණය වූකලි කාට වුවද පොදු ධර්මතාවකි. එය අප සොයා පැමිණෙන්නේ පෙර දැනුවත් කිරීමකින් තොරවය. මරණය තමා ආක්‍රමණය කරන බව දැන දැනම මැරි මැරී ජීවත්වන්නාවූ මිනිස්සු කොතෙක් මෙලොව සිටිත්ද?
පිළිකාව සමඟ පොර බදන ජීවිත මෙන්ම, පිළිකාවෙන් මිදීමට වෑයමක් හෝ නොගෙන ඊට යටත් වන ජීවිතද අපි දැක ඇත්තෙමු. පිළිකාව උපරිම වශයෙන් මිනිසෙකුගේ ජීවිතය පමණකි රැගෙන යන්නේ. එහෙත් සිතින් ශක්තිමත් මිනිසෙකුට පිළිකාවට එරෙහිවීම යනු කළ නොහැකි දෙයක් නොව කළ හැකි දෙයකි. එහෙත් අවාසනාවකට මෙන් මහරගම අපේක්ෂා රෝහලේ සංචාරය කළ අපට හමුවූ අතිබහුතරයක් පිරිස මිනිසෙකු ජීවත් කරවන්නාවූ බලාපොරොත්තුවලින් ඈත්වී සිටින ආකාරය ඔවුන්ගේ කථාබහ තුළින් අපට තේරුම්ගත හැකිවිය.
සාමාන්‍යයෙන් උණක්, හෙම්බිරිස්සාවක් වැළඳි විට පවා අප කාලය ගතකරන්නේ වෙනදාට වඩා ඇල්මැරුණු ස්වභාවයකිනි. පිළිකා රෝගියෙකු පිළිකා නාශක ඖෂධ භාවිත කරන විට හිසකෙස්වල, සම හා නියපොතුවල විවිධ විපර්යාස අත්දැකීමට වන අතර නිතර වමනය, ඔක්කාරය සෑදේ. පෘථග්ජන මිනිසුන් වන අපට එවැනි විපර්යාසවලදී මානසික තත්ත්වය යහපත් අන්දමින් තබා ගැනීමට අසීරු මුත් වෛද්‍ය විද්‍යාත්මකව මනස ශක්තිමත්ව තබාගැනීමෙන් පිළිකාව නොව කවර රෝගයකට වුවද එරෙහිව යා හැකි බව කවුරුත් දන්නා ඇත්තකි. එසේ නමුදු ශ්‍රී ලංකාව වැනි රටක පිළිකා ගැන මුල් බැසගත් හණමිටි අදහස්, පිළිකා රෝගීන් තුළ ද සමාජය තුළ ද තිබීම ඒ ධෛර්යය දියාරු කරයි.

පිළිකාවට අත වනන මානසික ආතතිය
සාමාන්‍යයෙන් පිළිකාවක් වැලඳීමට බලපාන හේතු අතර, පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිත ක්‍රියාකාරීත්වයේ, හැසිරෙන ආකාරයේ ඇති මානසික නොරිස්සනසුලු බව එකකැයි වෛද්‍ය මතයයි. පුද්ගලයෙකුගේ ජීවිතයේ විඳවනසුලු ස්වභාවය පිළිකාව මෙන්ම බෝ නොවන රෝග රාශියකටම අත වනන දෙයක් වන අතර එම විඳවනසුලු ස්වභාවය ඒ පුද්ගලයා සමහර විට දුමට, මතට හුරු කරවන අතර එයද මුඛ පිළිකා හා බොහොමයක් රෝගවලට මූලිකම හේතුවය.

මානසික ආතතියට අත වනන පිළිකාව
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතිබහුතරයක් පිරිස නිතර දෙවේලේ ජීවත්වන්නේ අධික මානසික ආතතියකිනි. පිළිකාව යනු මාරයාට කියන තවත් නමක්යැයි සමාජ මතයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි. පිළිකාවට ප්‍රතිකාර පතා පැමිණි පුද්ගලයා මානසික වශයෙන් ඉමහත් අසහනයකට පත්ව ජීවිතාශාව අතහරින්නේ ඒ පදනම මතය. සුව කළ නොහැකි රෝගයකින් පීඬා විඳින රෝගියෙකුයැයි සමාජය ඔවුනට ගසන ලේබලය එතෙක් ඔවුන් උපයාගත් මිලමුදල්, තත්ත්වය, බලය සුණුවිසුණු කරලීමට තරම් සමත් ය.
අපේක්ෂා රෝහලට ලංකාව පුරා රෝගීන් පැමිණෙන අතර ඈත ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ට නිතර තම ආදරණීයයන්ගේ ආදරය රැකවරණය ලැබීමට අවකාශ නොමැත. ඵ් හේතුව මතද තමා පිළිකාව හා තනිවී ඇතැයි සිතිවිල්ලක් ඔවුනට තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබන්නන්ගේ කඳුළ හා මිශ්‍ර කතා රාශියකි. එකක් මෙසේය. අපි ඇය ‘රන්මැණිකා’යැයි හඳුන්වමු. ඇගේ මුල් පදිංචිය නුවර වුවත්, විවාහයෙන් පසු හෝමාගම වාසය අරඹා ඇත. 80 හැවිරිදි ඇයට තම ස්වාමියාගේ වියෝවෙන් පසු ත්‍රිරෝද රථ රියදුරෙකුවූ එකම පුත්‍රයාගේ නිවසේ දොරගුලු හැරුණේ ඉතා කෙටි කාලයකට පමණි. පිළිකාවකින් ඇය පෙළෙන බව වෛද්‍ය මතය වූ බැවින් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන්නට නියම විය. පිළිකාව ගෙනදුන් කායික වේදනාව පරයා යන වේදනාවක් ඇයට විඳින්නට ලැබුණේ ඉන්පසුවය. ඇයගේ සමීපතම ඥාතියාවූ පුත්‍රයා හා ඥාතීන් ඇගේ සුවදුක් බැලීමට රෝහලට කිසිවිටෙක නොපැමිණි අතර ඈ මානසික වශයෙන් කඩාවැටුණාය.

නිතර හැඬූ කඳුළෙන් හුන් ඇය, අවසානයේ තදබල මානසික ආතතිය නිසා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
“පුතා ඉන්නැද්දි මම ඇයි මෙහෙම තැන්වල ඉන්නේ. මාව ගෙදර යවන්න.” කියමින් ඇය කලහකාරී ලෙස හැසිරීම නිසා එහි වෛද්‍යවරු ඒ පුත්‍රයා රෝහලට ගෙන්වා ගැනීමට වෑයම් කළෝය. ඒ වෑයම ව්‍යර්ථ වූ බැවින් අවසානයේ වෛද්‍යවරු පුතාගේ නිවස ග්‍රාමසේවකගේ සහායැතිව සොයා ගියෝය. එයද සාර්ථක නොවන අතර වයසක කාන්තාව රෝහලෙන් පලායෑමටද දෙතුන් වරක් උත්සාහ කර තිබුණි. ඇගේ එකම අරමුණ තම පුතු සොයායෑමය. පොලිසිය හරහා ඇගේ පුත්‍රයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයන්හි පිහිට පැතීමට අවසානයේ සිදූවූ බව වෛද්‍යවරු විස්තර කළෝය.
පිළිකා රෝගියෙකුට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා හෙදකමයි. තම ආදරණීය යන්ගේ සෙනෙහසයි. අතීතයේ අසනීපයක් වැළඳුණු තැනැත්තෙකු උදෙසා තොවිලයක් පවත්වන විට ඊට අවශ්‍ය කළමනා රැස් කිරීමට ගමම එක්වන අතර, මුළු ගමක් තමා වෙනුවෙන් දක්වන සැලකිල්ල දැක රෝගියාගේ ගතද සිතද යම් දුරකට සුවපත් වෙන බව කියැවේ. පිළිකා රෝගීන්ටද එලෙසමය. ඔවුනට අවැසි පෙර ලෙසම තමා විඳි ආදරයය. එය ඉහත සිද්ධියේදී මොනවට නිරූපිතය.
තුවාලයක වේදනාව දැනෙන්නේ තුවාලය ලත් තැනැත්තාටම බැවින් අපි පිළිකාවකින් පෙළෙන කතකට සවන් දුන්නෙමු.
“මම ගොඩාක් දුර ඉඳලා එන්නේ. අවුරුදු 37ක් වෙනවා වයස. බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. බාලයා තාම මොන්ටිසෝරි යනවා. අවුරුදු 2-3ක් වෙනවා ලෙඩ වෙලා. දිවේ තමා මුලින් ආවේ. නෑදෑයෝ කළ කොඩිවිනයක් කියලා තමා බලන හැම තැනින්ම කියන්නේ. කරුම ලෙඩක්.” බෝ සෙවණ අසලදී ඇය තම කතාව ඇරඹුවාය.
“මගේ මහත්තයා ගොවිතැන් කරන්නේ. අපි මොනරාගල. මාසෙකට වතාවක් ස්කෑන් එකට එනවා. අලුත්ගම ඥාති ගෙදරක නැවතිලා ඉඳලා එන්නේ. යන්න එන වියදම්, බෙහෙත්වල වියදම තමා අමාරුව. මොනවා කරන්නද, මම නිසා ගෙදර අයත් දුක් විඳින එක තමා දුක.” ඇය කතාව අවසන් කළේ එලෙසය.

පොරබදන අපේක්ෂා
අපේක්ෂා රෝහල තුළ රෝගීන්ගේ හිතසුව පිණිස භාවනා වැඩසටහන්, ස්වේච්ඡා සංවිධාන හරහා සිදුකරන විනෝදාත්මක වැඩසටහන් හා පුස්තකාල පහසුකම්, රෝගීන්ගේ කලා කුසලතා එළි දැක්වෙන අවස්ථා රාශියක් දියත් වන අතර සත්‍ය වශයෙන්ම ඒවා ප්‍රශංසනීය කටයුතුය. එහෙත් රෝහලේ කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් රෝගීන්ගේ මානසික සෞඛ්‍යය නගාසිටුවීමේ කටයුතුවලට රෝගීන් යොමුකිරීමට එතරම් කැමැත්තක් නොදැක්වීමත්, ඖෂධ ලබාදී පමණක් සෑහීමකට පත්විය හැකිය යන මතයේ සිටීමත් ගැටලුවකිග ප්‍රමාණයෙන් අතළොස්සක් දෙනා රෝගීන් මෙම මානසික සෞඛ්‍යය යහපත් කරවාලන වැඩසටහන් සඳහා රැගෙන යෑමද හිරිහැරයක් ලෙස දකිති. ඒ වැඩසටහන් මෙහෙයවීමට බාහිරින් පැමිණෙන පිරිස තම කාලය, ධනය, ශ්‍රමය කැප කර මෙම අසරණ රෝගීන්ට සහනයක් දෙනු පිණිස ක්‍රියා කරන විට, වැටුප් ලබන සේවකයන්ගේ මේ ක්‍රියාකලාපය වෘත්තීයමය වශයෙන් පමණක් නොව මනුෂ්‍යත්වය පිළිබඳව ද ගැටලුවක් ලෙස අපි දකිමු.
පිළිකාව නිසා ජීවිතය පිළිබඳව වූ බලාපොරොත්තුවලට සමුදුන් රෝගීන් විවිධ ජාතීන්, ආගම්වලට අයත් කුඩා කල සිටම දරදඬු සංස්කෘතිකමය ආකල්ප වලට යටත්වූවන් වීමද මෙම විෂයේදී ගැටලුකාරී තත්ත්වයකි. නිදසුනක් ලෙස ඉහත කතාවට අනුව පිළිකාව තම කරුමයයැයි සිතන පිරිස් මෙහි වෙසෙත්. දේව ශාප නිසා මෙයින් ගැලවීමට නොහැකිය යැයි සිතන පිරිස් ද වෙසෙත්. මෙම විසම මානසික තත්ත්වවලින් යුතු රෝගීන් එකම ධනාත්මක සිතිවිල්ලකට ගෙනඒම වනාහි ඇත්තෙන්ම අභියෝගයකි.

ඉකිබිඳින අපේක්ෂා
මහරගම අපේක්ෂා රෝහලට විශාල ලෙස පැමිණෙන්නේ දුෂ්කර ප්‍රදේශවල සිටින දිළිඳු ජනතාවයි. ධනවත් පුද්ගලයෙකුට මෙවැනි රෝගී තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් ඔහු නිසැක වශයෙන් පෞද්ගලික රෝහලක් වෙත හෝ විදේශීය රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගනු ඇත. එවැනි රෝහලක් තුළ පිළිකාව පමණක් නොව සියලුම රෝගවලට ප්‍රතිකාර කරන හෙයින් තමා පිළිකා රෝගියෙකු ලෙස රෝගියාට හෝ ඔහු දකින කෙනෙකුට නොදැනේ. මෙවැනි යහපත් මානසිකත්වයක් මඳ වශයෙන්වත් ධනවත් රෝගියෙකුට ළඟා කරගත හැකි අතර එවැන්නෙකුට තම ආදරණීයන්ගේ සැලකිල්ල ආරක්ෂාව නිතර නිසි ලෙස හිමිය. එසේ නැතද ස්කයිප්, වයිබර් තාක්ෂණයන් හරහා ඔවුන්ට තම ප්‍රියයන් හා ගනුදෙනු කිරීම අද අපහසු දෙයක් නොවේ. ඔවුන්ට විශාල තනිකමක් වියෝ දුකක් නොදැනේ.
එහෙත් ලංකාවේ සතර දිග්බාගයෙන්ම මහරගමට පැමිණෙන සාමාන්‍ය පිළිකා රෝගීන්ට එවැනි දෑ හිමි නොවන අතර ඔවුන්ගේ පවුලේ පිරිසට නිතර ඔවුන් බැලීමට ඒමට නොහැක. භූගෝලීය දුර ප්‍රමාණය මෙන්ම දරිද්‍රතාවද ඊට හරස් කපයි. රජය දිවයිනේ සෑම පළාතකම මෙවැනි රෝහල් සායන ඇරඹීමට, පවතින සායන වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා නම් එය මෙම දිළිඳු පිළිකා රෝගීන්ගේ මානසිකත්වයට මහත් අස්වැසිල්ලක් ගෙනදෙනු ඇත. මහරගම අපේක්ෂා රෝහල ආසන්නයේ මෙම රෝගීන්ගේ සුවදුක් බැලීමට එන පිරිසට නවාතැන්පොළවල් තිබුණද ඒවා ඉතා අසාධාරණ ගාස්තු අය කරන ස්ථාන වේ.
අපේක්ෂා රෝහල හා බැඳුණු මෙම පුවත් ඇසෙන විට අපට දැනෙන එකම දෙය, පිළිකා රෝගීන් තම පිළිකාව නිසා හටගත් කායික පීඩාවට වඩා මානසික පීඩාවක් ලබන බවයි. මෙම දුක්බර තත්ත්වයෙන් පීඩිත ඔවුන් ඉන් මුදවාලීමට කටයුතු කිරීම වෛද්‍යවරුන්ට මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් අප සැමට ඇති වගකීමකි. ඔවුන්ට මානසික සහනයක් වනු පිණිස එම රෝගීන් හා සාමාන්‍ය පරිදි ගනුදෙනු කිරීමට ‘පිළිකාව ජය ගත හැකි රෝගයක් යන ධනාත්මක සිතිවිල්ල ලබාදීමට’ ඔවුන් බලාපොරොත්තු වන ආදරය, ආරක්ෂාව ලබාදීමට ඔබටද හැකිනම් මනුෂ්‍යත්වයේ නොසුන් අගය ඔබ සතුය.■

About