ප්‍රේමය නම් ඔහු ය.| බණ්ඩාර කේ. විජයතුංග නම් නාඳුනන මිනිසා පිළිබඳ සටහනක්


premaya

චමින්ද විජේසිංහ

ජීවත්වන දිනක් දිනක් පාසා ඇසෙන් ඇස රැඳෙමින්, වදන් දහසින් බැඳෙමින් හමුවන බොහෝ අය වෙති. උනුන් හා ගෙවෙන හෝරා බොහෝ මුත්, ඒ අතරින් අපේ හදවතේ නතරවන්නෝ දුලබයහ. එහෙත්, සුලබ මිනිස් ගනුදෙනු රොත්තක් මැද හෝ මුණනොගැසෙන මතක සුවඳක්, ඇතැම් විට කිසිදා හමු නොවන්නෝ අපට ඉතිරිකර දෙති. එවැන්නෝ අතිශය දුලබයහ.
ඔහුද එවැන්නෙකි.
තමා අතින් පබැඳුණු ගීයක, හිත පාරවන පද පෙළක ඇමිණී, ඔහු අපේ ජීවිත මතකයන්හි සාක්ෂිකරුවෙකු වන අයුරු විස්මයජනකය. කවර කලෙක, කවර කොදෙව්වක හෝ ප්‍රේමයේ මහෝඝය හා වියෝගය, එකිනෙකට අනන්‍ය සහලක්ෂණ දරා උසුලාගන්නා බැව්, ඔහු අපට පහදාදෙයි. දරා උසුලාගත නොහැකි ප්‍රේමය- වේදනාව, ඊර්ෂ්‍යාව හා උපේක්ෂාව සමඟ සමපාත වන්නේ කෙසේදැයි ඔහු සිය පන්හිඳෙන් පහදන්නේ මුනිවරයෙකු විලසිනි.
එහෙත්, ඒ මුනිවරයා යනු සියලු දුක්ඛ දෝමනස්සයන් හා ප්‍රමෝදයන් ළදරුවෙකු සේ විඳින – විඳවන පෘථග්ජනයකු නොවන්නේද? ඒ මුනිවරයාත්, පෘතග්ජනයාත් ඔහුමය. ඔහු බණ්ඩාර කේ. විජයතුංග වෙයි.
සියලු සංවේදී හැඟීම් මාත්‍රයන් අතැ’ඟිලි අගින් ගිලිහී වැටෙද්දීත් හැල්මේ යන අපට, අහිමිවෙමින් පවතින කුමක් හෝ දෙයක් පිළිබඳ ඉඳහිට ඉඟිකරන්නට ඔහුගේ පදවැලක් අදද වෙහෙසෙයි.
අප ගැටවර වියට එළඹෙද්දී බණ්ඩාර ජීවිතයට සමුදී හමාරය. අප පළමු වරට ඔහුගේ ආධ්‍යාත්මික කල්පනා විඳගන්නේ, ඔහුගේ අනන්‍යතාව පවා වටහා නොගනිමිනි. වික්ටර් රත්නායක ‘සඟවාගනු මැන ඔබැ රුව සොඳුරිය’යැයි ගයද්දී, සොඳුරියක මුදු පහසක් නොලද ළපටි අප හදවත් ඊර්ෂ්‍යාපරවශ ආලයේ අකාරාදිය මෙබඳුයැයි දැක, භීතව කම්පිත වන්නට විය. ‘මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබහට මා දකින්නට’ ලෙසින් සුනිල් ගයද්දී, එවන් මහරු සෙනෙහසක් වෙනුවෙන් කුළුඳුල් ප්‍රාර්ථනා රොත්තක් අප ලුහුබඳින්නට විය. සමස්ත සමාජ ජීවිතයම සැලෝලයිඞ් වර්ණයෙන් කිළිටිවද්දී කේ.ඒ. විජේරත්නගේ සිනමා රූපකාව්‍යයක, කළුසුදු රූපාවලියක් මැද හිඳ මාලනී බුලත්සිංහල ‘ඔබ ම මාද විය, මා ද ඔබ ම විය’ යැයි ගායනා කළාය. අප, බොහෝ වැඩිමහල් මාලිනී ෆොන්සේකා කෙරෙහි පිළිබඳ සිත් ඇතිකර ගන්නේ, බණ්ඩාරගේ එකී පදවැලෙහි සැඟවුණු ස්ත්‍රී ආත්මයක අතිශය අවංකවූ පාපොච්චාරණය නිසා නොවේදැයි අදද කල්පනාවට නැගේ. අතලොස්සක් වූ ගීත සමුච්චයක පද රචනාවන්හි හිමිකරුවා වෙමින්, ඔහු ශපථ කළ සදාතනික සත්‍යය, සදාකල් හඹා යායුතු දහමෙකැයි අපට අවබෝධ වන විට, අපි ඔහු කව්දැයි විමසිලිමත් වූයෙමු. එවිට බණ්ඩාර කේ. විජයතුංග කෙනෙකු සිරුරින් හමුවන්නට නොසිටියේය. උකටලී නොවුණු අපි, අපගේ කුළුදුල් යෞවන ප්‍රේමය වෙනුවෙන් ‘මිහිදුම් සළු තිර පැළදි නමුණුකුළ – සෙවණැල්ලේ මුළු ලොවින් සැඟවෙන්න’ට ප්‍රාර්ථනා කළෙමු.
කලක් ඇවෑමෙන් බණ්ඩාර යනු කව්දැයි හඳුනාගන්නට ඔත්තුවක්, ඔහු පිළිබඳව තැබුණු සටහනක නෙත ගැටුණි. අප ඒ අකුරු අහුලන්නට වූයේ මහාර්ඝ ධන නිධානයක සෙල්ලිපියක් පසිඳන සේ ලොබින් යැයි අදද කල්පනාවට නැඟේ.
එහි උපුටා දැක්වූ, බණ්ඩාරගේ කෙටි පද්‍යයක් මෙසේ විය.
මගේ මහනෙල් මල මමයි දුම්රිය ඇයි ඔබ පිපුණේ රේල් පීල්ල උඩ.
අපි යළිදු කම්පනයට පත්වීමු. මේ මිනිසා අකුරුකර ඇත්තේ, බොහෝ වෙරවීරිය ගෙන හෝ අපට කිසිදා ලියාගත නොහැකිවූ කව නොවේදැයි පැහැදිලි විය. යුග යුග ගෙවා අප අත්විඳි සංවේදනාවන්හි ප්‍රකාශනය, ඔහු ලියා තබා හමාරය. සියලු සමාජ සම්මතයන් කෙරෙහි වෛර බැඳගත් හිතුවක්කාර යෞවනයක ජීවත්වූ අපට, ජීවත්වන වීරයෙකු මුණගැසුණේ කලාතුරෙකිනි. සමාජ සම්මතයන් හා නොලස්ව ගැටෙන බොහෝ නිර්මාණකරුවන් සිය ලෞකික ජීවිත තුළ කීකරු දරුවන් සේ වෙසෙනු ඕනෑ තරම් අප දැක තිබුණි. එවන් කල්හි අපගේ නොහික්මුණු සිතුවිලි සොයා හඹායන්නට වුණේ බණ්ඩාර වැනි අකීකරු නිර්මාණකරුවන් වෙතය. සිය නිර්මාණ භාවිතාව තුළ රස උද්දීපනය කළ අනුභූතීන් වෙනුවෙන්, සත්‍ය ජීවන පැවැත්ම තුළ අවංකව පෙනීසිටීමේ ජීවන භාවිතාවකින් හෙතෙම පොහොසතෙකුව විසූ වග අපි අතීතය විමසා සොයාගත්තෙමු. බොහෝ විට ප්‍රේමයේ විවිධ පැතිමානයන් පමණක් ඔහුගේ ගීපද රචනාවන්ට වස්තු විෂය වන්නේ එකී අවංකබවම නිසා විය හැකිය. එයම විචාරකයන්ගේ අවධානයට යොමුවුණේ බණ්ඩාරගේ පද රචනාවන්හි සීමාසහිත බවට හේතුව ඔහුගේ නිමිති අතිශය පෞද්ගලික අත්දැකීම් බව පෙන්වා දෙමිනි. සම්මතය නොකියවූ බණ්ඩාර, සම්මත ගීත රචකයකු නොවීමේ ඇත්තේ කවර අරුමයක්ද? මිනිසෙකුගේ ආත්මය වසා පැතිරගත් අවංකත්වයෙහි ප්‍රකාශනයන් අව්‍යාජය, නිරහංකාරය.
අප සම්මතයෙන් මිදී ‘පිටස්තරයන්’ වන්නට වෙර දරද්දී, බණ්ඩාර තමා තුළම ‘පිටස්තරයෙකු’ වීමේ ආනන්දය පෙන්වාදී තිබුණි.
ප්‍රේමයේ සම්මත මෘදු ළා වර්ණයන් වෙනුවට බණ්ඩාරගේ කැන්වසය නේක අඳුරු වර්ණයන්ගෙන් සැරසී තිබුණි. සැබෑ ජීවිත තුළ මුණනොගැසෙන ප්‍රේමයේ පරමානන්දයක් ගීතය තුළ පමණක් මුණගැසීමේ ව්‍යාජයට මුහුණදෙන්නට බණ්ඩාරට කැමැත්තක් නොතිබුණා විය හැකිය. ස්නේහය හා සංතෘප්තිය තරමටම නොවටහා ගැනීම හා නොගැළපීම පේ්්‍රමයේ උරුමය බව ඔහු අපට සිහිකැඳවා දී ඇත. ප්‍රේම ගීතය තුළ හිමිවීමට සහ අහිමිවීමට ඔබ්බෙහි, තවත් සංවේදී මනෝභාවයන් ඇති බව ඔහු අපට කියාදී ඇත.
මිනිසෙකු සංවේදීවීම තරම් වේදනාසහගත තවත් මනෝභාවයක් ඇද්දැයි අපි නොදනිමු. එය දරාඋසුලාගැනීමේ වේදනාවයි. විඳදරාගැනීමේ වේදනාවයි. හුදකලා රාත්‍රියක හෝ වේවා, මද්දහනේ දොනෝදාහක මැද වේවා, සිතුවිලි කීරිගස්සාගෙන, නෙත් කෙවෙණි කොනහන නිහඬ විදුලි ඉරක් සේ, අරුත්කළ නොහැකි වේදනාව ඉපිද මියෙන බව අපිදු දනිමු. එකී වේදනාව දරා ඇත්තෙමු. එහෙත්, බණ්ඩාර එකී සිහින් ඉරක වේදනාවෙන් උපදවාගත් මියුරු පල, දුක් දරාගනිමින් රස විඳිනු විනා ඔහුට පිංපෙත් පුදන්නට අපට වරම් නැත. මන්ද අප විශ්වාස කරන්නේ අප නොදන්නා බණ්ඩාර එකී වේදනාවට පවා ප්‍රේමයෙන් බැඳෙන බවට අප තුළ ඇති හිතුවක්කාර මතයයි.
ජීවිතේ ඇතැම් මොහොතක, නොදන්නා යම් දෙයක් සෙවීමේ පුරුද්දෙන් අපි පෙළෙන්නෙමු. රැයක් නොනිදා පහන් කරමින්, හිතක් පාරවා රිදුම් දෙවමින්, අපි නොදන්නා කිසිවක් සොයමු. එහෙත්, අපට උවමනා වී ඇත්තේ, සොයන්නට මිස සොයාගන්නට නොවේ. බණ්ඩාර කියන ප්‍රේමයද බොහෝ විට එසේයැයි අපට සිතේ. රෝහණ වීරසිංහගේ තනු රචනාවකට නීලා වික්‍රමසිංහ ගැයූ මේ ගීතය එයට සාක්ෂි දෙයි.
සබඳකමක් නැති දෙදෙනෙකු වෙමු අපි මා තේරුම් ගනු ඔබට නොහැකි නම් ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්
අනේකවිධ ආටෝප සාටෝප මැද යාවත්කාලීන වන ප්‍රේම සබඳතාවන්හි ගැඹුරු පත්ලට කිඳාබැසීම අතිශය භයංකරය. මතුපිටින් වන සළුපිළි ලිහී ඉරීගොස්, එකී සබඳතාවන්ගේ නිරුවත හෙළිවෙතැයි, අපි සදාකල් බියෙන් පසුවෙමු. එහෙයින්ම, ප්‍රේමය ප්‍රශ්න කිරීම අපට අකැපය. පෙම්වත් අවධියේ හෝ වේවා පති-පතිනි සමයෙහි හෝ වේවා සුළු විරසකයකින් කැළඹී අප එකිනෙකාට නගන ප්‍රශ්නයද ‘මා තේරුම් ගනු ඔබට නොහැකිය’ යන්න නොවේද? නොවටහා ගැනීමේ වේදනාව, කෙතරම් බරපතළදැයි දන්නෝ, ප්‍රේමය විඳ ඇත්තෝමය. එහෙත්, සමාජ සම්මතයන් අපට කියාදී ඇත්තේ කුමක්ද? ඉඳහිටක සිත් රිදවාගෙන එලෙස ප්‍රශ්න කොට යළි යළිත් නොවටහා ගත් එකී ගේහසිත බැඳීමෙහිම ගැලෙන ලෙස නොවේද?
වසර ගණන් කල් සිනාසුණෙමු අපි වසර ගණන් කල් කතා කළෙමු අපි එහෙත් කවුද ඔබ එහෙත් කවුද මා ඔබත් නොදන්නෙහි මමත් නොදන්නෙහි
රන් හුයෙන් බැඳුණද, යහන’තක උණුසුමින් සිරුරු සැනසුණද, මඟ හැර යානොහැකි සත්‍යය වටහා ගන්නා ලෙස අපට ඇරියුම් කරන්නට තරම් ඔහුට සිත්පිත් නැත. ඒ ක්‍රෑර ධෛර්යය බණ්ඩාර තුළ උපදවන්නේ ප්‍රේමයේ සත්‍යවූ පාරමිතාවෙන් නොවේද? ලෞකික ජීවිතයේ ආනන්දය වෙනුවෙන් ආධ්‍යාත්මික ප්‍රේමයේ උත්තරීතරත්වය කැපකළ යුතු නැතැයි නොකියා කියන ඔහුගේ දහම මුනි දහමක් නොවේද?
සංසාරය පවතිනා තුරා නොමියෙන ගීත අතලොස්ස අතර ඇති වික්ටර් රත්නායක තනු රචනා කොට ගයන මේ ගීතයේ පද රචනාවද බණ්ඩාරගේය. ඇසත්, ඇස ගැටෙන නිමිත්තත්, අප සසරට ඇදබැඳ තබන යදම් වෙයි. ඇලීම් බැඳීම්වලින් මිදුණු ප්‍රේමයක් පවතීයැයි අදහන්නට තරම් අප නිරාමිස වී නැත. සසර තිබුණා වේ. සසර සරන තුරා, ලොබ බැදුණු ඔබැරුව මා සන්තකයෙහිම සුරැකීම මගේ ප්‍රාර්ථනාවයි.
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී සැලී සැලී යයි
පෙම්වත්හු පවා ප්‍රේමය පරිත්‍යාගශීලී බව කියත්. ඉවසිලිවන්තයැයි කියත්. එහෙත් එහි නොඉවසිලිමත් බවත් මාත්සර්යයත් හඳුනන්නෝ පෙම්වත්හුම නොවෙත්ද? සිය කෝල පෙම්වතියගේ මුදු කොපුලත සිඹ, මදනලෙහි අකීකරු වන කෙහෙරොදක් පෙම්වතාගේ උරහිසෙහි රැඳී නොරැඳී මිදී යන කල ඔහු සැලී වෙව්ලා යයි. තවත් ඉවසුම් නොදෙන ඔහුගේ ප්‍රේමය සැරසෙන්නේ සිය ප්‍රේමාන්විත සොඳුරිය රුදු මිනිස් වගවලසුන්ගෙන් සඟවා තබා සුරකින්නටය.
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයෙක ඔබ සඟවා තබනෙමි හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
සාම්ප්‍රදායික සදාචාර සීමාවන්ගෙන් ප්‍රේමය ආරක්ෂා කිරීම බණ්ඩාර ස්වෙච්ඡාවෙන්ම තමන් සතු වගකීම කරගනියි. ඕනෑ නම්, එයට ‘තහනම් ආදරයක්’යැයි වර නගන්නට සාධු සම්මත සමාජයට අවසර තිබේ. එහෙත්, එවන් සුධීමතුන් බණ්ඩාර හඳුනාගන්නේ ‘පෙම් රකුසන්’ ලෙසිනි. සම්මතය තුළ තහංචි පැනවුණු කල, ප්‍රේමයේ හැඟීම් මාත්‍රයන් අහෝසිවිය යුතුදැයි ඔහු ප්‍රශ්න නොකරයි. එහෙත්, ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කිසිවක් නොවන බව ඔහු පෙන්වාදෙයි. නිමල් පෙරේරාගේ තනුවකට නීලා වික්‍රමසිංහ සහ සුනිල් එදිරිසිංහ ගයන මේ ගීතය බලන්න.
මිහිදුම් සළුතිර පැළදි නමුණුකුල සෙවණැල්ලේ මුලු ලොවින් සැඟව යමු නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට
වන ගැබ වනපල නෙලා ගෙනෙන්නම් වන මල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවණැල්ලක මල් අතුරන්නම්
දහසක් රකුසු නෙතින් සිය ප්‍රේමයේ ඉසියුම් වින්දන ඉසව් සීමාකරන කල, එකී පාත්‍ර වර්ගයාගේ මුවින් නැගෙන්නේ ‘පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්’ යන උදාන පාඨයයි. ඉරි ඇඳ වැටමායිම් තනා, ජීවිතය තුළ ප්‍රේමය සීමාකරන, සාම්ප්‍රදායික සිතීම් රටාව බණ්ඩාර දැනුවත්වම නොසලකා හරියි. විපරීත සම්මත සමාජය හඳුනාගෙන සිටින ශාරීරික ප්‍රේමය වෙනුවට, ඔහු සුවඳවත් ආධ්‍යාත්මික ප්‍රේමය ඉහළට ඔසොවා තබයි. එබඳු ප්‍රේමයකට සම්මත සදාචාර සංස්කෘතික සීමා වලංගු නොවන බව සෞන්දර්යාත්මකව පෙන්වාදෙයි.
ප්‍රේමයේ ආධ්‍යාත්මික සංවේදීතා හමුවේ රැකවල්කරුවකු වන බණ්ඩාර තවත් විටෙක, ආත්මගත ප්‍රේමයේ වැළපිල්ල ඉවසීමෙන් ලියා තබයි. ගීතයේ තනු නිර්මාණය රෝහණ වීරසිංහගෙනි, ගායනය සුනිල් එදිරිසිංහගෙනි.
වසර ගණනක යොදුන් ගණනක ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු තරු වියන් යට කුසුම් පෙති මත දෑත් පටලා ඇවිද ඇත්තෙමු එතෙක් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව
ඔබ නෙත නෙත ගැටෙයි. අත අත පැටලෙයි. මුව සුසුම් දැනෙයි. එහෙත්, සෙනෙහස පමණක්ම නොහැඟෙන අරුමය? බණ්ඩාරගේ ප්‍රේමනීය හදවත දරා උසුලාගත් ප්‍රේමයේ සුසුවඳ නොවේද අපට මේ දැනෙන්නේ. බණ්ඩාරගේ ප්‍රේමනීය හදවත දරා උසුලාගත් ප්‍රේමයේ සුසුමක් නොවේද අපට මේ හැඟෙන්නේ.
මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබහට මා දකින්නට
මෙතැන් පටන්, මේ නාඳුනන මිනිසාට ‘බණ්ඩාරේ’යැයි සෙනෙහසින් අමතන්නට අවසර දෙන්න. සඳ පහන්ව නැති අඳුරු රාත්‍රියක බණ්ඩාරේ හා මධුවිතකින් සප්පායම් වන්නට සිහිනයක් උපදී.
බණ්ඩාරේ නිවේදකයෙකි, චිත්‍ර ශිල්පියෙකි, ප්‍රචාරක ශිල්පියෙකි. බණ්ඩාර කේ. විජයතුංග යන නම ඇසූ පමණින් ඔහුගේ ගැඹුරු අතිශය සංවේදී භාවපූර්ණ හඬ පෞරුෂය සිහිපත් වේ. නිස්සාර, කඨෝර වර්තමාන හඬ භාවිතාවන් අබියස, බණ්ඩාරේ පුරාවෘත්තයකි. ලාංකීය සිනමාවේ අපූර්වතම පූර්ව ප්‍රචාරක පාඨ පිළිබඳව, බණ්ඩාරේ තැබූ මතකයන් අබිබවා යන්නට තවමත් කිසිවෙකු සමත් වී නැත. ඔහුගේ මුද්‍රිත ප්‍රචාරණයන්ද සදාකාලික නූතනත්වයකින් යුක්තවූ බව අපි අසා ඇත්තෙමු.
එහෙත්, අප මධුවිතකට මිත්‍රශීලී වන්නේ, වෙනත් බණ්ඩාරේ කෙනෙකු සමඟිනි. ඔහු හිත රිදවන ගීත ලියූ, හිස කකියවන හයිකු ලියූ, බණ්ඩාරේයි. අපට, බණ්ඩාරේගෙන් අසා දැනගන්නට යමක් තිබේ.
‘…බණ්ඩාරේ, මිනිස්සු හැල්මේ දුවගෙන යනවා. යන අතක්, තැනක්, නැවතුම්පොළක් පෙනෙන්න නැහැ. උන් හිනා වෙනවා මග දිගට දකින දකින උන් එක්ක. ඉඳහිට උන් අඬනවා. තවත් ටිකකින්, ඇඬුවෙ මොකටද කියලා මතක නැතුව, උන් ආයෙමත් හිනාවෙනවා. උන් හැම එකෙක්ගෙම අතේ මොබයිල් ෆෝන්එකක්. උන් ඒකෙන් ආදරය කරනවා, හාදු දෙනවා. බණ්ඩාරේ, උඹ මේවා දන්නෙ නැහැ. ආදරය කියන්නේ ආදරය විතරක්මයි කියලා උන් දන්නෙ නැහැ. ආදරේ ඉස්සරහ ජීවිතේ තියෙන හැම වටිනාකමක්ම, දූවිල්ලක් වගේ කියලා උඹ දන්නවා. ඒත්, උන්ට ආදරය කියන්නේ මොබයිල් ෆෝන් එකක් වගේ එකක්. බණ්ඩාරේ, උන්ගෙ ආදරය කියන්නේ සීමාවන් ගොඩක්. හරියට, ඩබල් රූල් පොතක් වගේ. නිල් ඉරි දෙකක් දෙපැත්තෙන් රතු ඉරි දෙකක්. බණ්ඩාරේ? ඉරි ඇඳගෙන කොහොමද ආදරය කරන්නේ?
බණ්ඩාරේ, කියපං, කොහොමද ආදරය කරන්නේ..’■