වාස්තු විද්‍යාඥයා කේන්දරවල පුහු මත නිවැරදි කරනු ඇත. වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ මිථ්‍යාව


sjmudud

සුමුදු අතුකෝරල

වාස්තු විද්‍යාව’ හෝ ‘වාස්තු ශාස්ත්‍ර’ ලෙස හැඳින්වෙන විෂය වර්තමාන සමාජ සංස්කෘතික පසුබිම මත එතරම් පුළුල්ව කතාබහකට ලක්නොවන ක්ෂේත්‍රයකි. එහෙත් බොහෝ දෙනෙකු ගොඩනැගිලි නිර්මාණය කිරීම සහ ඉදිකිරීම සඳහා උත්සාහ දැරීමේදී මුහුණදීමට සිදුවන ඉතා බැරෑරුම් ක්‍රියාවලියකි, වාස්තු පිහිටුවීම, වාස්තු බැලීම සහ ජ්‍යොතිෂයට අනුව සැලසුම් කිරීම. ‘වාස්තු විද්‍යා’ යන්න පුරාණ ඉන්දියාවෙන් පැවත එන සංස්කෘත වචනයකි. එහි ඍජු අර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් ීජසැබජැ දf ්රජයසඑැජඑමරු ලෙස පරිවර්තනය කරගත හැකි වුවත්, සිංහල භාෂාව තුළ එම වචනය විවාදයට තුඩුදෙන තත්ත්වයක් ඇතිවී තිබේ. ‘ගොඩනැගිලි නිර්මාණ විද්‍යාව’ වශයෙන් මෙය සරල ලෙස පරිවර්තනය කරගත හැකි වුවත්, එය ‘වාස්තු විද්‍යා’ යන්නෙන් කියවෙන පූර්ණ අර්ථය ගම්‍ය කරන්නේද යන්න සැකසහිතය. සංස්කෘත අධ්‍යයනයන්ට අනුව වාස්තු විද්‍යා හෝ වාස්තු ශාස්ත්‍ර යන සංකල්ප තන්ත්‍රයානය, ජ්‍යොතිෂය හා සමඟ සම්බන්ධ විෂයයක් ලෙස කියැවෙයි. එහෙත් ‘වාස්තු විද්‍යා’ යන්න නිසැකවම ගොඩනැගිලි නිර්මාණය සඳහා බලපාන ස්වාභාවික සහ තාක්ෂණික සංකල්පයන් මත පදනම්වූ විද්‍යාවකි. ඉතා පැරණි ඉන්දීය ආගමික සහ රාජ්‍ය ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී භාවිතවූ ශිල්ප ඥානයක් වන මෙය හුදෙක් කේන්දර, තාරකාවල පිහිටීම හෝ මිථ්‍යා මතවල එල්බගන්නක් නොවේ. සොබාදහමට ඔරොත්තු දෙන සහ ඊට අනුකූලව, නිවැරදි ආලෝකය සහ වාතාශ්‍රය ගොඩනැගිල්ල තුළ ලබාගනිමින්, මිනිස් ඇසට ප්‍රියකර ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට උපකාර වන මිනුම්දණ්ඩක් ලෙස පුරාණයේදී වාස්තු විද්‍යාව භාවිතවූ බවක් පෙනෙන්නේ පැරණි ඉන්දීය ආගමික ගොඩනැගිලි පිළිබඳ මනා අධ්‍යයනයකදී පමණි.
ගොඩනැගිලි ඇතුළත ශක්තීන් සංසරණය වීම මූලික කරගත් පැරණි වාස්තු විද්‍යාව වර්තමාන වෙළෙඳපොළ ආර්ථිකය මත හුදු මිථ්‍යා මත පමණක් තුළ එල්බගත් විෂයයක් බවට පත්ව තිබේ. ගොඩනැගිල්ලක් තුළ වාතාශ්‍රය සංසරණය වීම, දවසේ විවිධ අවස්ථාවන්හිදී ආලෝකය ලබාගැනීම, නිවස තුළ සුවපහසුව සඳහා නිවැරදි උෂ්ණත්වයක් පවත්වා ගැනීම සහ නිවස භාවිතයේදී විවිධ කටයුතු පහසු කිරීම වැනි කාරණා මත ඉපැරණි ඉන්දීය වාස්තු ශාස්ත්‍රය වැඩි අවධානයක් යොමුකර ඇති බව පෙනේ. සූර්යයාගේ පිහිටීම මත දවසේ විවිධ කාලපරාසවලදී සිදුවන වෙනස්කම් මේ සඳහා ප්‍රබලව බලපා ඇති බවක් පෙනෙන්නේ සූර්ය වන්දනාව වැනි සංකල්ප පිළිබඳ ඉන්දීය සංස්කෘතිය මත පවතින ඇල්ම පිළිබඳව සිතා බැලීමේදීය. පැරණි ඉන්දීය ගොඩනැගිලි ශිල්පය පිළිබඳව වඩාත් කතාබහට ලක්වන්නේ එම ගොඩනැගිලිවල ඇති විවිධ අලංකරණ විස්තරයක් නිසාවෙනි. එහෙත් පැරණි ඉන්දීය ගොඩනැගිලිවල ඇති සමබර ජ්‍යාමිතික සැලසුම් එම ගොඩනැගිලිවල භාවිතය, දේවත්වය පිළිබඳ සංකල්ප සහ ආලෝකය ලබාගැනීමේ සූක්ෂ්ම දක්ෂතාව ඉතා උසස් ගොඩනැගිලි විද්‍යාවක් පිළිබඳව ඉඟි පළකරයි.
ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ භාවිත වන විවිධ ජ්‍යොතිෂ කරුණු මත පාදක වී ඇති වාස්තු පිහිටුවීමේ ක්‍රමවේද විද්‍යාත්මක අතින් ඉතාම පහත් තත්ත්වයක පවතින බව ප්‍රකට කරවන ප්‍රධානතම සාධකය සෑම කරුණක්ම මරණය පිළිබඳ බිය, සෞභාග්‍යය අහිමිවීමේ බිය සහ කේන්දර හෝ ග්‍රහ පිහිටීම් පිළිබඳව පමණක්ම තබා කතාකෙරෙන බැවිනි. නිවසක ප්‍රධාන දොර පිහිටිය යුතු තැන හරි අඟලටම නිශ්චය කර ස්ථානගත කිරීම තීරණය වන්නේ කිසිවකුගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම සහ උපන් වේලාව වැනි කාරණා මතය. නිවසක දිග සහ පළල හරි අඟලටම පිහිටිය යුතු දුරවල් තීරණය වන්නේද එවැනි නොපෙනෙන බලවේගවලින් මිස පරිසරය, නිර්මාණාත්මක හෝ මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හැදෑරීමක් මත නොවේ.
සැලසුමක් නිර්මාණය කිරීමේදී බොහොමයක් ජ්‍යෝතිර්වේදීන් සලකා බලන සරල උදාහරණ කිහිපයක් සලකා බලමු. නිවසක් තුළ ‘කුරුස බිත්ති’ තිබීම ඉතා නරක දෝෂයකි යන්න නිතර කියවෙන්නෙකි. එහෙත් ඒ සඳහා බලපාන වෙන කරුණක් තිබේ. එනම්, ඈත යුගයේදී ගඩොලින් පමණක් බිත්ති නිමවා එකිනෙක සම්බන්ධ කළ අතර කුරුස හැඩයට පවතින මුල්ලක් ගඩොලින් නිමවා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් විය. කුරුස හැඩයට පවතින මුල්ලක් එකිනෙක සම්බන්ධකමක් ගඩොලින් ශක්තිමත් ලෙස නිර්මාණය කිරීම අපහසු නිසා එය දෝෂයක් ලෙස හඳුන්වා ඇත. ඒ හැරෙන්නට කුරුස හැඩයේ බිත්තියක් නිවසේ තිබූ පමණින් කිසිවකුට මාර යෝගයක් උදාවේයැයි කීම විහිළුවකට වඩා වැඩි දෙයක් ලෙස සැලකීම අනුවණකමකි. කුරුස හැඩැති බිත්ති සහිත ගොඩනැගිලි අසුබ නම් ලංකාවේ සියලුම හෝටල් කාමරවල නිදාගෙන පසුදින අවදිවන සියලුම දෙනා මාර යෝගයකට හසුවිය යුතුය. සියලුම හෝටල් කාමර එකිනෙකට සම්බන්ධවන්නේ කුරුස බිත්ති ආධාරයෙනි.
ගොඩනැගිල්ලක මුදුන් යට ලීයට හරි මැදින්, පහළින් ජනේලයක් හෝ දොරක් සෑදීම අසුබ කරුණක් ලෙස ජ්‍යෝතීර්වේදීහු හඳුන්වති. පැරණි ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමය මුළුමනින්ම මැටි සහ ලී භාවිතයෙන් පැවති අතර ජනේලයකට හෝ දොරකඩ ඉහළින් ‘ලින්ටල්’ නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන ඉහළ බිත්තියෙහි බර උසුලා ගැනීමේ ආධාරක භාවිත කිරීමක් ගැන එම ගොඩනැගිලි ශිල්පීන් දැන නොසිටින්නට ඇත. එනිසා මුදුන් යටලීයේ බර කේන්ද්‍රගතව පහළට ගමන් කරන හරි මැද ජනේලයක් හෝ දොරක් ස්ථානගත කළහොත් එම බිත්තිය කාලයක් යෑමේදී පුපුරා යා හැක. එය ප්‍රායෝගික තත්ත්වයක් මිස අසුබ ලකුණක් ලෙස අර්ථගැන්වීම සත්‍යයක් ලෙස පැහැදිලි කිරීමට කිසිම හේතුවක් නැත. පිටතින් බලන විට නිවසක වහලයේ හරි මැද ජනේලයක් පිහිටුවීම ඉතාම සමබර අලංකරණ ලක්ෂණයකි. අසුබ දෙයක් යැයි කියන ජනේලයක් හෝ දොරක් එක පසකට බර කර පිහිටුවීම ගොඩනැගිල්ලෙහි අලංකාරයට හානිකර තත්ත්වයකි. ලින්ටලයක් භාවිත කර ඔබේ නිවසෙහි ජනේල ඉතාම ගැළපෙන නිවැරදි අලංකරණ රීතීන්ට ගැළපෙන ලෙස ස්ථානගත කරන්න. එවිට සියලුම අසුභ ලක්ෂණ බැහැරව ගොස් සුබ ඉතුරු වනු ඇත.
බටහිර දෙසට ගොඩනැගිල්ලක ප්‍රධාන දොර පිහිටුවීම ඉතා අසුභ අවස්ථාවක් ලෙස ගොඩනැගිලි ජ්‍යොතිෂයෙහි කියැවෙයි. සැබෑවකි. ඒ කිසිම මාරකයක් හෝ වෙනත් නොපෙනෙන ග්‍රහයෙකුගේ බලපෑමක් නිසා නොවේ. දවසේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියක් පතිත වන්නේ, බටහිර දිශාවෙනි. ඉතින් බටහිර දෙසට ප්‍රධාන දොරටුව පිහිටීමෙන් නිවස තුළට දැඩි හිරු රශ්මියක් පතිතවෙයි. එමඟින් නිවස තුළ උෂ්ණත්වය ඉහළ යයි. ප්‍රධාන දොර ඉතා ඉක්මනින් අවපැහැයට හැරෙයි. ඊටත් වඩා අසුබ තත්ත්වයක් උදාවිය හැකිද? නැගෙනහිරෙන් පතිත වන උදෑසන සෞම්‍ය හිරුඑළිය ඔබ ප්‍රාණවත් දවසකට කැඳවාගෙන යයි. උදෑසන හිරුඑළිය ප්‍රියජනකය. ඉතින් නැගෙනහිර දිශාවට ප්‍රධාන දොරටුව පිහිටුවීම තරම් සුබ දෙයක් තවත් තිබිය හැකිද?
මේ ආකාරයට ජ්‍යෝතිර් වාස්තු මත තුළ සැඟව ගිය ප්‍රායෝගික ශිල්පීය කාරණා දක්නට ලැබෙයි. එවැනි ඇතැම් දුර්වලතා සඳහා නූතන ගොඩනැගිලි තාක්ෂණ ක්‍රමවේදයන් තුළ පිළිතුරු ඇති අතර, ආලෝකය, අඳුර, උණුසුම, වර්ෂාව වැනි දේශගුණික සහ ස්වාභාවික තත්ත්වයන් මූලික කරගත් කරුණු නවීන වාස්තු විද්‍යාව තුළ නිරතුරුවම සලකා බැලෙයි.
එහෙත් කේන්දර හෝ විවිධ පදනම් විරහිත දෝෂ මුල්කර ගනිමින්, මිනිසුන් අනියත ලෙස බියට පත්කරමින් කෙරෙන වත්මන් පුහු ජ්‍යෝතිර්වේදී වෙළෙඳාම පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ. බොහෝ විට වාස්තු විද්‍යාඥයකු තමන්ගේ සේවාදායකයකුට ගැළපෙන නිවසක් නිර්මාණය කිරීමේදී මුහුණදෙන අභියෝගයකි, සමාජයක් ලෙස මෙම දුර්මත කෙරෙහි ඇති පිළිගැනීම. බොහෝවිට එම දුර්මතයන්හි එල්බ ගැනීම තුළින් ඉතිරිවන්නේ ප්‍රායෝගික භාවිතයට උචිත නොවන, කිසිම පදනමකින් තොරව සැලසුම් වූ, කිසිම අලංකරණයකින් තොරවූ විකාර ගොඩනැගිල්ලකි. එබැවින් මේ කරුණු සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ ප්‍රායෝගික ඇසකින් බැලීමට සමාජය උනන්දු කිරීමට කාලය එළැඹ ඇත. මරණය පිළිබඳව, අසුබ කාලය පිළිබඳව සඳහන් කළ පමණින් නොපෙනෙන බලවේග පිළිබඳව කුකුසකින් ඒ පිළිබඳව බියවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. එවැනි අවස්ථාවන් සූක්ෂ්ම ලෙස භාවිත කරමින් මුදල් උපයා ගැනීම ඉතාම පහසුය. එමෙන්ම බොහොමයක් ජ්‍යෝතිර්වේදීහු පරම් පරාවෙන් උගන්වන ලද මතවල දැඩි ලෙස එල්බ සිටිනවා මිස එම පුහු මතවල විද්‍යාත්මක පසුබිම තවත් කෙනෙකුට අවබෝධ කිරීමට තරම් දැනුමක් නැති අය වෙති. එවැනි මතවල විද්‍යාත්මක පසුබිම ඔවුන්ගෙන් අසා අවබෝධ කරගැනීමට තරම් ඔබ ශක්තිමත්ද? එවැනි ප්‍රශ්න කිරීමක් කළහොත් එම ජ්‍යෝතිර්වේදීන් ඔබට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද? මඳක් සිතා බලන්න.
ගොඩනැගිල්ලක වාස්තු නිවැරදිව තිබේදැයි පරීක්ෂා කිරීමේදී එම සැලැස්ම ජ්‍යෝතිර්වේදීන් කිහිපදෙනෙකුට ඉදිරිපත් කළහොත් ඔවුන් ඒ පිළිබඳව විවිධ මත දක්වනවා ඇත. විද්‍යාත්මකව පිළිගත හැකි ප්‍රබල විෂයයක් වෙනුවට එකිනෙකා තමන්ට වටහාගත හැකි මට්ටමින් සහ තමන්ට කැමති පරිදි මෙම විෂය විවිධ ලෙස අර්ථගන්වාගෙන ඇති බවක් පෙනේ. එලෙස විවිධ අර්ථකථන ඔස්සේ තමන්ට කැමති ආකාරයට වාස්තු පිහිටුවීම සකස් කරගෙන ඇති බොහෝ ජ්‍යෝතිර්වේදීන් වාස්තු විද්‍යා උපදේශකවරුන්, වාස්තු විද්‍යා ආචාර්යවරුන් හෝ වාස්තු ජ්‍යෝතිර්වේදීන් ලෙසින් පෙනීසිටිමින් මිනිසුන් බියට පත්කරමින් එය ඉතා ඉහළ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇත.
තත්ත්වයන් එසේ පවතිද්දී, සැබෑවටම මෙම වාස්තු පිහිටුවීම හෝ කේන්දර, ග්‍රහ පිහිටීම අනුව ගොඩනැගිලි සැලසුම් නිර්මාණය කිරීම තුළ ඇති සත්‍ය අසත්‍ය බව විමසා බැලිය යුතුය. මෙය විමසා බැලීමට යොදාගත හැකි සරල සහ හොඳම උදාහරණයක් වන්නේ යුරෝපය, ඇමරිකාව සහ ආසියාව සසඳා බැලීමයි. බොහෝවිට මෙම වාස්තු පිහිටුවීමේ වැනි සංකල්ප ව්‍යාප්තව ඇත්තේ ආසියාතික රටවල් ආශ්‍රිතවයි. ලෝකයේ ඉතා දියුණු රටවල් ලෙස සැලකිය හැකි යුරෝපීය රටවල් සහ ඇමරිකාව වැනි රටවල ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී, ඔවුන් ඔවුන්ගේ දේශගුණික කාරණා සහ ප්‍රායෝගික හේතුකාරණා හැරෙන්නට ජ්‍යොතිෂ හෝ කේන්දර යොදාගන්නවායැයි ඔබ සිතනවාද? එවැනි කිසිම වාස්තු පිහිටුවීමක් නොමැතිව සැලසුම් කරන නිවාසවල ජීවත්වන මිනිසුන් මහා අසුබ තත්ත්වයන්ට මුහුණ දෙනවා වෙනුවට ධනය සහ බලය සම්බන්ධයෙන් ලොව ප්‍රබලම රටවල් බවට පත්ව ඇත. ලොව ප්‍රබලම ධනවතුන් වන බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ හොලිවුඞ් නළුනිළියන්ගේ නිවාස මෙම ජ්‍යොතිෂ සංකල්ප මත නිර්මාණය කර ඇතියැයි සිතිය හැකිද? එවැනි සංකල්ප ඔවුන්ට ඉදිරිපත් කළහොත් ඔවුන් ඒවා විහිළු ලෙස සලකනවා නොවේද? ඇමරිකානු ජනාධිපතිවරයාගේ හෝ රුසියානු ජනාධිපතිවරයාගේ නිවෙස් නිවැරදි වාස්තුවලට අනුකූලව, කේන්දරයට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇතැයි කිසිම ජ්‍යෝතිර්වේදියකුට තර්ක කළ හැකිද? යුරෝපයට හෝ ඇමෙරිකාව, ජපානය වැනි ඉතා දියුණු රටවලට බල නොපාන මෙවැනි සංකල්ප ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවලට මෙතරම් බලපාන්නේ ඇයි?
වරලත් වාස්තු විද්‍යාඥයෙක් තම වෘත්තීයමය අධ්‍යයනය සඳහා වසර හතක් පමණ වැයකරයි. දේශගුණික, භූගෝලීය, සංස්කෘතික, සමාජීය සහ ආර්ථික සාධක සියල්ල පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ලබන පරිචය සහ අත්දැකීම් සුළුපටු නොවේ. තම සේවාදායකයන්ගේ සංස්කෘතික පසුබිමට, ඔවුන්ගේ ජීවන විලාසයට, ආර්ථිකමය තත්ත්වයන්ට ගැළපෙන ප්‍රායෝගික සහ අලංකාර ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාඥයකුගේ වගකීමයි. එහෙත් වාස්තු විද්‍යාඥයකු ලවා තම නිවසේ හෝ වෙනත් ගොඩනැගිල්ලක් නිර්මාණය කරගැනීමට පැමිණෙන කෙනෙකු දැඩි ලෙස ජ්‍යොතිෂ වාස්තු මත එල්බගෙන සිටීම එම වාස්තු විද්‍යාඥයා අපහසුතාවට පත්කරනු නොඅනුමානය. එහෙත් එම සේවාදායකයාගේ විශ්වාස සහ සිතුම්පැතුම්වලට ගරුකරමින් ඔවුන්ට අවශ්‍ය කරන ආකාරයේ නිවසක් හෝ ගොඩනැගිල්ලක් නිර්මාණය කරදීමට දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් පසුබට නොවේ. සියලුම කාරණා සලකා බලමින් නිවැරදි වාතාශ්‍රය සහ ආලෝකය සහිතව ඉතා අලංකාර ගොඩනැගිල්ලක් සැලසුම් කරන වාස්තු විද්‍යාඥයා, තම සේවාදායකයා දැඩි ලෙස එල්බගෙන ඇති ජ්‍යොතිෂ මතයන්ට ඉඩදී එම සැලසුම ජ්‍යොතිර්වේදියෙකුට පෙන්වා අදහස් ලබාගැනීමට ඉඩදෙනු ඇත. එහෙත් බොහෝවිට ජ්‍යෝතිර්වේදියෙකු ලවා වර්ග බලා, වාස්තු පිහිටුවා, කේන්දරයට අනුව දිග පළල තීරණය කරගෙන නැවත වාස්තු විද්‍යාඥයා හමුවීමට පැමිණෙන සේවාදායකයා බොහෝ විට රැගෙන එන්නේ සුළුපටු අවුල් ජාලයක් නොවේ. වාස්තු විද්‍යාඥයා විසින් නිවැරදිව සහ අලංකාර ලෙස නිර්මාණය කර ඇති ගොඩනැගිල්ල විවිධ නොපෙනෙන බලවේග නිසා ප්‍රායෝගික නොවන, ගොඩනැගිල්ලේ අලංකාරය පහත දමන ආකාරයේ වෙනස්කම් රාශියක් ජ්‍යෝතිර්වේදීන් යෝජනා කරන අවස්ථා එමටය. එවැනි අවස්ථාවල ඇතැම් වාස්තු විද්‍යාඥයන් තම සේවාදායකයාට එම දුර්මත පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීමට උපදසේ දුන්නත්, බොහෝවිට ඔවුන් එම මතවල දැඩිව එල්බගෙන සිටීම නිසා නිවැරදිව සහ අලංකාරව සැලසුම් කරන ලද ගොඩනැගිල්ල, විවිධ අඩුපාඩු සහ ප්‍රායෝගික නොව ලක්ෂණවලින් යුතුව ඉදිකිරීමට සිදුවේ. එලෙස ජ්‍යෝතිර්වේදයට අනුව ඉදිකළ නිවසක් පවා පසුකාලීනව එම නිවසට පැමිණෙන අයගේ විවිධ ජ්‍යොතිෂ විචාරයන්ට ලක්වීම ස්වාභාවිකය. “මේ වහලය පිහිටුවීම වැරදියි”. “මේ ප්‍රධාන උළුවස්ස වැරදි තැන පිහිටලා තියෙන්නේ” යනාදි වශයෙන් ඔබගේ ඥාති වැඩිහිටියෙකු හෝ අනුවණ මිතුරෙකු ඔබට පවසනු ඇත.
මෙම සියලුම පුහු මතවලට වඩා, සුබවාදී නිවසක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යවන්නේ ඉතාම සරල කාරණා කීපයක් පිළිබඳව අවධානයට ලක්කිරීම පමණි. නිවස තුළ ඉතා හොඳ වාතාශ්‍රයක් පවතින ලෙස සහ දවස පුරාම කදිම දීප්තිමත් ස්වාභාවික ආලෝකයක් ලබාගැනීම සඳහා අවශ්‍ය අවධානය යොමු කළ යුතුය. නිවසක ‘සිරියාව’ ඇතිකරන ප්‍රධානම සාදක දෙක ඒවාය. ඉන්පසුව නිවසෙහි විවිධ කාමර නිවැරදිව ස්ථානගත කිරීම කළ යුතුය. ග්‍රහ පිහිටීම අනුව දොර ජනෙල්, කාමරවල දිග පළල තීරණය කිරීමට ගියහොත් එම නිවසෙහි භාවිතය සහ කාමරවල පිහිටීම ඉතාම අපිළිවෙළ වනු නොඅනුමානය. දේශගුණික, භූගෝලීය, සමාජීය සහ ආර්ථිකමය කරුණුවලට අනුකූලව නිවැරදි පරිමාණ සහ සරල අලංකරණ විධිවලට අනුව වාස්තු විද්‍යාඥයකු විසින් නිර්මාණය කෙරෙන නිවසක ඇති ‘සිරියාව’ ජ්‍යොතිෂ ග්‍රහ සහ කේන්දරවල අසුබ ලක්ෂණ සියල්ලම නිවැරදි කරනු ඇත. ■