Wednesday, 23/8/2017 | 8:07 UTC+0
රාවය

ආණ්ඩුවෙන් යනවා – සුසිල්

තරිඳු උඩුවරගෙදර

ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඔහු පැවසුවේ මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් තීරණාත්මක වෙනසක් සිදු නොවුණොත් ශ්‍රීලනිපය, එජාපයට තනිව ආණ්ඩුව කරගන්නට ඉඩහැර ඉවත්වීමට දෙවරක් නොසිතන බවත්ය.

මේ වන විට රට විශාල ආර්ථික ගැටලුවකට මුහුණදී තිබෙන බවත්, එයට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගන්නා කණ්ඩායම ශ්‍රීලනිප ප්‍රතිපත්ති නොසලකා තීරණ ගැනීම බවත් ඔහු පෙන්වාදුන්නේය.
එජාපය සිය ප්‍රතිපත්ති අනුව ආර්ථික සැලසුම් සකස් කිරීමට නම් ඔවුන්ගේ තනි ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බවත් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා කීය. කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල ඉදිරිපත් වී ඇති යෝජනාවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු ආර්ථික සම්බන්ධයෙන් තීරණ ගන්නා එජාපය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ තනතුරුවල වෙනසක් කළ යුතු බවට ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති යෝජනා වන අතර එම කැබිනට් සංශෝධනය එජාප බලපෑම හමුවේ දිනෙන් දින පසුපසට යෑමද ඉහත ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ විරෝධයට හේතුවී ඇත.■