රාවය

ගීතාගේ නඩුව: අධිකරණය දේශපාලන මඩ ගොහොරුවේ ලගීද?

ගීතාගේ නඩුව: අධිකරණය දේශපාලන මඩ ගොහොරුවේ ලගීද?

කේඩබ්ලිව් ජනරංජන

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවට තීරණය කරමින් අභියාචනාධිකරණය ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේ මැයි 3වැනිදාය. ඒ අනුව, ඇගේ නුසුදුසුකම නිසා ඇතිවන පාර්ලිමේන්තු ආසන පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය පියවර ගන්නට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සුදානම් විය.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ගීතා කුමාරසිංහ මහත්මිය හා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇගේ සහෝදර දේශපාලකයන් මාධ්‍යවලට කියමින් සිටියත් මැයි 9වැනිදා වන තුරු එවැනි අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබුණේ නැත.
මේ අතර 9 වැනි අඟහරුවාදා මධ්‍යහ්නය විට රටේ ජංගම දුරකථනවල ‘නිව්ස් ඇලර්ට්’ හරහා ප්‍රචාරය වුණේ ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකොට ඇති බවයි. ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදුවී ඇති බව අභියාචනාධිකරණයේ මුල් නඩුව පැවරූ පුද්ගලයන් පස්දෙනා හා ඔවුන්ගේ නීතිඥවරුන් දැනගත්තේද මේ නිව්ස් ඇලර්ට්වලිනි.
ඔවුහු වහාම නඩුව පිළිබඳ සොයාබැලූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ගොනුවී ඇති අභියාචන පෙත්සම ගැන සොයාබැලුවත් එවැන්නක් ගැන විස්තර දැනගැනීමට ලැබුණේ නැත. නඩුව කුමන අධිකරණය ඉදිරියේ කැඳවන්නේද, කවදාද, නඩු අංකය කුමක්ද ආදි කිසිම විස්තරයක් දැනගන්නට ලැබුණේ නැත. ඉන්පසු එළැඹුණේ 10 හා 11 කියන වෙසක් පෝය නිවාඩුවය. වෙසක් පෝය දවසේ සමහර පුවත්පත් වාර්තා කළේ 12 වැනිදා ගීතා කුමාරසිංහගේ අභියාචන පෙත්සම අධිකරණය ඉදිරියේ විමසීමට ගන්නා බවය. ඉන්පසු උසාවි වැඩකරන දවස වුණේ 12 වැනිදාය. අභියාචනාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බවට මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට නියමිතව තිබුණේද 12 වැනිදාය.
12 වැනිදා උදේ වන විටත් කුමන උසාවියක කුමන විනිසුරුවරුන් ඉදිරියේ මේ අභියාචනය විමසීමට ගන්නේද කියා මුල් පෙත්සම්කරුවන් පස්දෙනා වත් ඔවුන්ගේ නීතිඥයන් වත් දන්නේ නැත. මුල් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු සැකයට මෙන් උසාවියට ගියහ. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා අනිල් ගුණරක්න යන විනිසුරුවරුන් ඉදිරියේ අභියාචන පෙත්සම විභාගවන බව නීතිඥයන්ට දැනගන්නට ලැබිණ. සාමාන්‍ය නඩු ලැයිස්තුවෙන් පිටත අතිරේක ලැයිස්තුවේ නඩුවක් හැටියට මෙම නඩුව අධිකරණය ඉදිරියට පැමිණ තිබිණ.
විනිසුරුවරුන් අසුන්ගෙන සිටි අතර නඩුවේ එක් වගඋත්තරකරුවකු වන නීතිපතිවරයා වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී නොසිටියේය. එහි තේරුම ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවද මෙවැනි නඩුවක් ගැන දැන සිටියේ නැති බවයි. පසුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක් ද සිල්වා පැමිණියේ ආරංචි මාත්‍රයෙන් නඩුව විභාග වන බව දැනගෙනය.
පසුව දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට නඩුව පිළිබඳ නොතීසිය ලැබී තිබෙන්නේ 9 වැනිදා සවස පහෙන් පසුව බවය. 10 සහ 11 දින වෙසක් නිවාඩුව නිසා ඔහුද නඩුව ගැන දැනගෙන ඇත්තේ 12 වැනිදා උදේය. ඒ කියන්නේ නඩුව කැඳවන දා උදේය. ඇත්ත වශයෙන්ම නඩුව ගොනුකළැයි කියන 9 වැනිදා හා නඩුව විමසුමට ගත් 12 වැනිදා අතර ගතවී තිබුණේ වැඩකරන වේලාවෙන් පැය විසිහතරකටත් අඩු කාලයකි.
විමසීම ආරම්භයේදීම මුල් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේසී වැලිඅමුණ මේ නඩුවේ විමසීම සිදුවන ආකාරය ගැන සිය බලවත් විරෝධය පළකළේය.
‘මේ නඩුව මේ විදියට විමසුමට ගන්නවාට මම විරුද්ධයි. තහනම් නියෝගයක් දෙනවා තියා මේ විදියට හදිසියේ මේ නඩුව සලකා බලනවාටත් මම විරුද්ධයි. නඩු නොම්මරයක්වත් අපේ පාර්ශ්වයට මේ වනතෙක් ලැබී නැහැ. අදාළ පෙත්සමක් හෝ ලිපි ලේඛන කිසිවක් අපට ලැබිලා නැහැ. මේක ඒක පාර්ශ්වික නඩුවකුත් නෙවෙයි. ඒක පාර්ශ්වීය නඩුවක වුණත්, අනෙක් පාර්ශ්වය උසාවි ආවොත් එය අන්තර් පාර්ශ්ව නඩුවක් බවට පත්වෙනවා. එවිට ඒ පාර්ශ්වයටත් අදාළ ලේඛන ලබාදීලා ඒ පැත්ත කියන කරුණුත් සලකා බලා මිස තහනම් නියෝග දෙන්නේ නැහැ.
මේක ඉතාම සංවේදී දේශපාලන නඩුවක්. ගීතා කුමාරසිංහ මහත්මිය වරප්‍රසාද ලත් නඩු කියන්නියක්. අභියාචනාධිකරණය ඇගේ මන්ත්‍රී ධුරය අහෝසියි කියලා තීන්දුවක් දුන්නාට පසුවදාත් ඇය පාර්ලිමේන්තුවට ගියා. සාමාන්‍ය මිනිහෙකුගේ නඩුවකට මෙහෙම ඉක්මනට දිනගන්න මේ උසාවිය ඉඩ දෙන්නේ නැහැ. ඒවාට සති මාස ගණන් ගතවෙනවා. අද මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවොත්, ඒක මේ අධිකරණයේ විශ්වසනීයත්වයට විශාල පහරක් වේවි. උසාවිය දේශපාලන මඩ ගොහොරුවකට පනින්න වුවමනා නැහැ.’
ඒ අවස්ථාවේ අධිකරණය නියම කළේ අභියාචනයේ වගඋත්තරකරුවන්ට වහාම අභියාචනයට අදාළ දැන්වීම් හා ලේඛන ලබාදෙන ලෙසය. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අනුව, එම ධුරය අහෝසිකිරීම තහනම් කරන නියෝගයක්ද අධිකරණය නිකුත් කළේය. ඒ මැයි මස 15 වැනි සඳුදා දක්වාය. විනිසුරු මඬුල්ලේ තිදෙනාගෙන් අනිල් ගුණරත්න විනිසුරුවරයා එලෙස තහනම් නියෝගයක් නිකුත් කරනවාට විරුද්ධ විය. ඒ නිසා ලැබුණේ දෙකට එකක් ලෙස බෙදුණු තීන්දුවකි.
අභියාචනය විමසීම 15 වැනිදාට නියම වුණත්, 15 වැනිදා උදේ වන විටද නඩුව ඇසෙන්නේ කුමන උසාවියකද යන්න ගැන ස්ථිරවී තිබුණේ නැත. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර හා උපාලි ගුණරත්න යන දෙදෙනා ඉදිරියේ නඩුව විභාග වන බව පසුව දැනගන්නට ලැබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 11 දෙනා එක් එක් විනිශ්චයාසනයන්ට බෙදා දමන්නේත් ඒ ඒ අධිකරණයට නඩු ලැයිස්තුගත කරන්නේත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිනිය විසිනි.
නීතිඥ ජේසි වැලිඅමුණ පැහැදිලි කළ ආකාරයට ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුව දේශපාලන වශයෙන් අතිශය සංවේදී එකකි. කොපමණ සංවේදීද කියනවා නම්, 15 වැනිදා නඩුව අවසන්වී උසාවියෙන් එළියට පැමිණි ගීතා කුමාරසිංහ මහත්මය කළ පළමු කාරියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දුරකථනයෙන් ස්තුතිය පළකිරීමයි.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් වන එවැනි නඩුවක් ඇසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැකි තරම් ස්වාධීන හා අපක්‍ෂපාත විය යුතු අතර ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය. අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි කිසියම් ආකාරයක පක්‍ෂග්‍රාහී බවක සැකයක් ඇතිවන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ නමටද රටේ යුක්තිය ඉටුවීමටද කැළලක් බව අලුතෙන් කිවයුතු නොවේ.
15 වැනිදා මේ නඩුව ඇසූ විනිසුරු මඬුල්ලේ විනිසුරුවරියත් විනිසුරුවරයාත් විශේෂිත දෙදෙනෙකි. ඊවා වනසුන්දර විනිසුරුවරිය ගැන රාවය මීට පෙරද ලියා තිබේ. ඇය ශේ්්‍රෂඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කෙරෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසිනි.
‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.
මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ..ඊවා මේ.. මේ.. කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. .. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරිනී ඊවා වනසුන්දරය. උපුටා ගත්තේ, 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5 පිටුවේ පළවූ, ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගත් ලිපියකිනි. එහි ඇය කියන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ ගැන ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමඟ එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා.’
ඉතින් මෙහෙම ඉතිහාසයක් තිබෙන ඊවා වනසුන්දර විනිසුරුවරිය, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරියකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ නඩුවක් විමසන විට බැලූ බැල්මට අපට පෙනීයන්නේ කුමක්ද? යුක්තිය ඉටුවිය හැකිවා නමුත්, යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නම් නැති බව නොවේද?
උපාලි ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කෙරෙනුයේද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ 2014 දෙසැම්බර් 17 වැනිදාය. ඔහුගේ පත්වීම ලංකා අධිකරණ ඉතිහාසයේ තවත් කළු පැල්ලමකි. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කඩකරමින් එවකට ජනාධිපතිවරයා ඔහු පත්කිරීම නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය හැක්කේ අගවිනිසුරුවරයාද ඇතුළුව විනිසුරුවරු 11 දෙනෙකි. එහෙත් උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කෙරෙන්නේ 12 වැනි විනිසුරු හැටියටය.
ඒ දෙසැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මාර්ෂුෆ් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේය. ඔහුගේ 65 වැනි උපන්දිනය එදාය. නීත්‍යනුකූලව එදින ඔහුට අධිකරණයේ අසුන්ගත හැකිය. එදින ඔහු අධිකරණයට ආවේය. මේ තත්ත්වය දැන දැනම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කරන ලදුව දෙසැම්බර් 17 වැනිදාම ඔහු ධුරයේ දිවුරුම් දුන්නේය. එදින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සංඛ්‍යාව 12ක් විය.
දිසා විනිසුරුවරයකු හැටියට සිටියදී, (රාවය හෙළිදරව් කළ) සරත් එන් සිල්වා මහතාට අදාළ නඩු කටයුතුවලදී සිය බලතල වැරදි ලෙස යොදාගැනීම ගැන ඔහුට විරුද්ධව එල්ලවුණු චෝදනා සම්බන්ධයෙන් විභාගකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ කමිටුවක් ඔහු වැරදිකරු කරන ලදුව අවසානයේ දඬුවමක් ලෙස තත්ත්වයෙන් පහළ දමා මොනරාගලට මාරුකර යවන ලදි. එහෙත් සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසුව අබේරත්නගේ තත්ත්වය පහළ දැමීම නොතකා හරිනු ලැබූ අතර කොළඹ මහාධිකරණයට පත් කරනු ලැබීය. අලු‍තින් උසස්වීමක් ලැබූ විනිසුරුවරයෙකුට කොළඹ මහාධිකරණයේ පත්වීමක් ලබා දුන්නේ කෙසේදැයි රාවය දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා අබේරත්න මහතා කෑගල්ලට මාරු කර යැවීමට සරත් සිල්වාට සිදුවිය.
සරත් එන් සිල්වා යනු කවුදැයි මේ රටේ සියල්ලෝම දනිති. අද ඔහු ඉන්නේ කාගේ ඔඩොක්කුවේදැයිද රටේ සියල්ලෝම දනිති. උපාලි ගුණරත්න මහතා සමඟ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පිළිගැනීම සඳහා සාම්ප්‍රදායිකව පැවැති අධිකරණ උත්සවයේදී එවකට නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සිය පිළිගැනීමේ දේශනයේදී උපාලි අබේරත්න මහතාගේ නම සඳහන් නොකිරීමද, ඔහු පිළිනොගැනීමද විශේෂ සිදුවීමකි.
එවැනි ඉතිහාසයක් ඇති විනිසුරුවරයකු ගීතා කුමාරසිංහ මහත්මියගේ දේශපාලන වශයෙන් අතිසංවේදී නඩුව විමසන විට ඒ තුළින් අපට පෙනෙන්නේ කුමක්ද?
ඉහත සිදුවීම් මැනැවින් පිරික්සන විට දැකගත හැකිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ගොනු කිරීම, ඉක්මන් දිනයක් ඊට ලබාදීම, වගඋත්තරකරුවන් කිසිවකුට නොදන්වා එය විමසීම සඳහා වහාම දිනයක් නියම කිරීම ආදි වශයෙන් මේ නඩුව සම්බන්ධයෙන් කිසියම් පක්‍ෂග්‍රාහීත්වයක් උද්ගතවී තිබෙන බව නොවේද? මේ සියල්ලටම වගකිව යුතු ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරියයි. ඇය මේ නඩුව මුලින්ම ඇසූ විනිසුරු මඬුල්ලේ සිටි ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ සහෝදරියයි. පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයේ 154වැනි ස්ථානයේ සිටින ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය හැටියට උසස්වීමක් ලැබීමද අධිකරණ ක්‍ෂෙත්‍රයේ ප්‍රශ්නගතව පවතියි. පසුගි ය කාලය පුරාම ඇයගේ ක්‍රියාකලාපය අධිකරණ ක්‍ෂෙත්‍රය තුළ විමතියක් ඇතිකළ එකකි.
දැනගන්නට තිබෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නට නියමිතය. එහි ප්‍රතිඵලය හැටියට ඇය පිළිබඳ තීරණයක් ගත යුතුය.
නඩුව තමන් ඉදිරියේ ලැයිස්තු ගත කළ විට ඉහත ආකාරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග විශේෂ සම්බන්ධකම් තිබුණු විනිසුරුවරුන් වු ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න එම නඩුව විමසිය යුතුව තිබුණේද? නැතිනම් එම විමසීමෙන් ඉවත්විය යුතුව තිබුණේද?
මීට පෙරද ඊවා වනසුන්දර මහත්මිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවක් විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධය අපි පළකළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙසින්දෝ ඇය පසුව බැසිල් රාජපක්‍ෂ මහතා සම්බන්ධ නඩුවක් විමසීමෙන් වැලකුණාය.
යුක්තිය ඉටුවීම අවශ්‍ය වනවා සේම යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුය. මේ සිදුවීම්වලින් පෙනෙන්නේ ලංකාවේ යුක්තිය ඉටුවීම තවත් දුර බවද?■