රාවය

හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය

හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය

ලසන්ත රුහුණගේ

ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි 05 වැනිදා සවස ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත එහිදී සාකච්ඡාවට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ඊමේල් මගින් ලැබුණු ප්‍රචාරක ඇරයුමේ සඳහන්ව තිබුණි. දේශකයන් වශයෙන් සඳහන් වූයේ විජයානන්ද ජයවීර, වික්ටර් අයිවන්, ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, දීපාංජලී අබේවර්ධන හා දීප්ති කුමාර ගුණරත්නය. කෙසේ වෙතත් එම සම්මන්ත්‍රණයේදී වික්ටර් අයිවන් වෙනුවට අදහස් දක්වා තිබුණේ කේ.ඩබ්ලිව්. ජනරංජනය. මට ඇතුළු බොහෝ දෙනෙකුට එම සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රචාරක ඇරයුම කර තිබුණේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහගේ ඊමේලය මගින්ය. එම ඊමේලයේ එම සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රචාරක ඇරියුමට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට යැයි සඳහන් මීට පෙර අපට ලැබී තිබූ හා ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරියගේ අත්සනින් යුතු ‘ජනමාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් මහජන උපදේශනයට ඇරයුමක්’ නම් වූ පත්‍රිකාවද, ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත’ යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද ලැබෙන්නේය.
මෙම ඊමේල් පණිවුඩය ලැබී දින කිහිපයකට පසු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යැයි ප්‍රකාශ කරමින් මා අමතන අයකු විමසන්නේ සිකුරාදා වැඬේට එනවාද යනුවෙනි. සිකුරාදා වැඬේ කුමක්දැයි මා ඇයගෙන් විමසන ලදුව ඇය පවසන්නේ ඉහත කී සම්මන්ත්‍රණයය. මා ඇයට පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එවැනි සම්මන්ත්‍රණයක් ගැන මට දැනුම්දීමක් සිදුකර නැති බවත්ය. ඒ සමඟම මා ප්‍රශ්න කරන්නේ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද යන්නය. එයට ඔව් යැයි ඇය පිළිතුරු දෙන්නීය. කෙසේ වෙතත් මා හට ලැබුණු ඊමේල් පණිවුඩයේ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ කවුදැයි සඳහන් වන්නේ නැත. එම ඊමේලය එවූ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ ඔහුව හඳුන්වා තිබුණේද ප්‍රධාන විධායක නිලධාරි මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලය වශයෙන්ය. එමෙන්ම එම ඊමේලයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අපගේ දැනගැනීම සඳහා හා අපගේ ප්‍රතිචාර දැක්වීම සඳහා එය යොමුකරන බවය. ඔහු එහිදී අදහස් කරන්නට ඇත්තේ සම්මන්ත්‍රණය ගැන නොව අදාළ ලියවිලි දෙක සම්බන්ධයෙන් විය යුතුය.
දැනගන්නට ලැබී ඇති පරිදි එම සම්මන්ත්‍රණයේදී විජයානන්ද ජයවීර මහතා විසින් ඔහු විසින් සකස් කළා යැයි කියනු ලැබූ කෙටුම්පත ගැන විස්තර කර ඇති අතර එයට සහභාගිවූවන් ගැන කරන ලද විමසීමකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංසදය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් ඊට සහභාගි වූ බව සඳහන් කර ඇත. රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන සම්මන්ත්‍රණයේදී එම කෙටුම්පත ගැන අදහස් දක්වා ඇත. දීපාංජලී අබේවර්ධන පුවත්පත් කිහිපයක් සම්බන්ධයෙන් ඇය විසින් පවත්වාගෙන යන ෑඑයසජි ෑහැ නිරීක්ෂණ සම්බන්ධයෙන් හා කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර දීප්ති කුමාර ගුණරත්න ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් ප්‍රකාශ කර ඇත.
ෆේස්බුක්හි දැක්වෙන පරිදි මෙම සම්මන්ත්‍රණය රට පුරා සංචාරය කරන එකක් බවට පත්වී ඇති බව පෙනේ. ඒ අනුව මැයි 20 වැනිදා සබරගමු කථිකාව මැයෙන්ද, මැයි 21 වැනිදා ඌව කථිකාව වශයෙන්ද, එම ප්‍රදේශවලදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි. සබරගමු කථිකාව රත්නපුර දිස්ත්‍රික් වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය හා රුවන්පුර මාධ්‍ය සංසදය සංවිධානය කරන බව ප්‍රචාරක ඇරියුමේ සඳහන් වන අතර ඌව කථිකාව ඌව පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කරන බව සඳහන් කර ඇත. ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යන පොදු උද්ධෘතයේ වෙනසක් වී නැති අතර, ‘ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල සාකච්ඡා කෙටුම්පත’ යනුවෙන් මුල් සම්මන්ත්‍රණයේ සඳහන් වූ ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත යන්න වෙනස් වී ඇත.
මෙම සම්මන්ත්‍රණ ක්‍රියාවලියෙන් පෙනෙන්නේ ජනමාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත හෝ වෙනත් නමකින් හැඳින්වෙන කෙටුම්පතක් ආණ්ඩුව විසින් සකස් කර ඇති බවය. ජනමාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙනෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන අවස්ථා කිහිපයකදී අවධාරණයෙන්ම ප්‍රකාශ කළේ මෙම පනත ගැන විය යුතුය. ජනමාධ්‍ය සම්බන්ධයෙන් හෝ වේවා වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් හෝ වේවා යහපාලනය කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් සිදුවිය යුත්තේ ඊට අදාළ පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවයෙන් සහ ඔවුන්ද එම සාකච්ඡාවට සහභාගි කරගනිමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමය. එහෙත් මේ ආකාරයේ ජනමාධ්‍ය නියාමන නීතියකට අදාළ කෙටුම්පතක් පිළිබඳව ආණ්ඩුව තවම ජනමාධ්‍ය සමාජයේ පාර්ශ්වකරුවන් වන හිමිකරුවන්ට, කර්තෘවරුන්ට හා ජනමාධ්‍ය සංවිධානවලට දැනුම් දී නැත. එසේ වුවද ඒ ගැන රට පුරා සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බව පෙනේ. එක්කෝ එවැන්නක් තිබේ නම් එම සාකච්ඡා කෙටුම්පත නිල වශයෙන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබිය යුතුය. නැත්නම් පනත් කෙටුම්පතක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය. කිනම් හෝ සාකච්ඡාවකට මුලපිරෙන්නේ එවැනි නිල ප්‍රවේශයන් හරහා පමණය. එහෙත් යහපාලනය යැයි කියා බලයට පත්වූ ආණ්ඩුවක ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය. සමහරවිට මෙම ජනමාධ්‍ය නියාමන මෙහෙයුමේ සිටින දේශපාලන පත්වීම්ධාරීන් සිතනවා විය හැක්කේ හොර රහසේම සිදුකරන ක්‍රියාන්විත මෙහෙයුම් යහපාලනය කියා විය යුතුය. කෙසේ වෙතත් ඔවුන්ට අවධාරණයෙන් කිවයුතුවන්නේ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නට සිදුවන්නේ එළිපිට බවය.
මේ හැංගි හැංගි වෙස් බැඳීමට අදාළව පසුග ිය කාලයේ සිදුවූ සිදුවීම් හඳුනාගැනීම එය තේරුම් ගැනීමට තවදුරටත් ප්‍රයෝජනවත්ය. මේ සිදුවීම් ආරම්භවන්නේ ආචාර්ය රංග කලංසූරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් පසුවය. මුලින්ම 2016 ජූලි මාසයේදී ජනමාධ්‍ය සංවිධාන ඔහු සාකච්ඡාවක් සඳහා කැඳවනු ලබන්නේය. එහිදී ඔහු කියන්නේ ඔහු තනතුර භාරගත් පසු හිසේ කැක්කුමක් බවට පත්වී ඇති කරුණු දෙකක් පිළිබඳව මාධ්‍ය සංවිධානවල අදහස් දැනගැනීමට එම සාකච්ඡාව කැඳවූ බවය. ඉන් එක් කරුණක් වන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කළ යුත්තේ හා නිකුත් නොකළ යුත්තේ කාහටද යන්න පිළිබඳව තීරණයකට ඒමට ඔහුට අපගේ අදහස් යෝජනා ලබාදෙන ලෙසය. අනෙක් කරුණ මාගේ මතකයෙන් ගිලිහී ඇති අතර එය කෙසේවත් ජනමාධ්‍ය නියාමනයට අදාළ කරුණක් නොවීය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එයට සහභාගි වූ මම රැස්වීම කැඳවීමේ ඔහුගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳව අපගේ විරෝධය දක්වා එම රැස්වීමෙන් නැගිට ආවෙමි. පසුව මට දැනගන්නට ලැබුණේ ජනමාධ්‍ය නියාමනයට අදාළව යෝජනාවක් සකස් කිරීමට ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද ඇතුළත් කමිටුවක් පත් කළ බවය. එම කමිටුවට මාද ඇතුළත් විය යුතු බවට සාකච්ඡා වූ බවත් එම කමිටුව සඳහා පැමිණෙන ලෙසත් එයට සහභාගි වූ ධර්මසිරි ලංකාපේළි මට ආරාධනා කළේය. මා එම ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඊට හේතු වශයෙන් ප්‍රකාශ කළේ ජනමාධ්‍ය කොමිසමක් හෝ නියාමනයකට අදාළ ආයතනයක් පිළිබඳව අප විසින් පසුගිය කාලයේ කළ ඉල්ලීම් අතර නොතිබූ බවත් යහපාලන ආණ්ඩුව මුලින්ම සිදුකළ යුත්තේ අපගේ ප්‍රධාන ඉල්ලීම් ඉටුකරදීම බවය. එම අපගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ජනමාධ්‍යයට එරෙහිව මර්දන අණපනත් අහෝසි කිරීමත්, ජනමාධ්‍යවේදීන් ඝාතනය, ජනමාධ්‍යවේදීන්ට පහරදීම, ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම හා ජනමාධ්‍ය ආයතනවලට පහරදීම ඇතුළු ජනමාධ්‍යයට එරෙහිව එල්ල වූ සියලු අපරාධවල වගඋත්තරකරුවන්ට නීතිය හමුවේ දඬුවම් ලබාදී ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉෂ්ට කිරීමත්ය. (ඒ වනවිටත් ඊට අදාළ ඉල්ලීම් අප සංගමය විසින් ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත්, ජනමාධ්‍ය අමාත්‍යවරයාටත් යොමුකර තිබුණි.)
කෙසේ වෙතත් එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්පසු පුවත්පත්වල පළවූයේ ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් යෝජනා කෙටුම්පත් කිරීම සඳහා විජයානන්ද ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවය. එහි සෙසු සාමාජිකයන් වශයෙන් දැක්වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සීතා රංජනීද, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේළිද, දෙමළ මාධ්‍ය සංසදය වෙනුවෙන් ආර්. භාරතීද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් උපාලි අරඹේවෙලද පත්කර ඇති බවයි.
මෙම කමිටුවට ජනමාධ්‍ය සමාජයෙන් හෝ පිටස්තර සමාජයෙන් ලැබුණු යෝජනා මොනවාද හෝ එසේ යෝජනා ලැබුණාද යන්න වාර්තා නොවුණත් විජයානන්ද ජයවීර විසින් ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවක් කමිටු සාමාජිකයන්ට ලබාදී ඇති බව දැනගන්නට ලැබුණි. මාස ගණනාවකට පසු එම කමිටුවේ ප්‍රගතිය පිළිබඳව කරන ලද විමසීමකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එය නියෝජනය කරන සීතා රංජනී පැවසුවේ එම කමිටුව රැස්වූයේ එක් වරක් පමණක් බවත්, ඉන්පසු රැස් නොවූ බවත්ය.
පසුව එම කොමිෂන් යෝජනාව පිළිබඳව නැවත සාකච්ඡා කෙරුණේ 2016 නොවැම්බර් මාසයේදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් අමාත්‍යාංශ ලේකම් වෙනුවට අත්සන් කර අපට ලැබීමට සැලැස්වූ හා ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‘ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් මහජන උපදේශනයට ඇරයුමක්’ යන සංකල්ප පත්‍රිකාවත් සමඟය. ඊට අදාළ යෝජනා හා අදහස් එම වසරේ දෙසැම්බර් 31 දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය හිමිකරුවන්ගෙන් හා ජනමාධ්‍ය ප්‍රකාශකයන්ගෙන්ද, ජනමාධ්‍යවේදීන්ගේ සමිති හා සංවිධානවලින්ද, සිවිල් සමාජ සංවිධානවලින්ද, මහජනයාගෙන්ද ඉල්ලා තිබුණි.
අවසාන වරට මේ පිළිබඳව සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය කැඳවූයේ මීට මාසයකට පමණ පෙරය. එහිදීත් ඉහතින් සඳහන් කළ සංකල්ප පත්‍රිකාවම අපට ලබා දුන් අතර ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීම සඳහා අපගේ සහයෝගය ජනමාධ්‍ය ඇමතිවරයාද, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද ඉල්ලා සිටියෝය. එහෙත් කෙටුම්පත් කරන ලද යෝජනාවක් පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළේ නැත. මීට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලද කෙටුම්පත් කොමිටියේ සාමාජිකයන් හා ඔවුන් නියෝජනය කරන ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන් එහි සිටියද මෙවැනි කෙටුම්පතක් පිළිබඳව ඔවුන් කිසිවක් දැන සිටියේ නැත. ජනමාධ්‍ය නියාමනයට අදාළ කෙටුම්පතක් සකස් කර ඇති බව හෝ සකස් කරමින් තිබෙන බවද දැනුම් දුන්නේ නැත. තවදුරටත් ජනමාධ්‍ය සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බව නම් කීවේය.
එසේ වුවද දැන් කෙටුම්පතත් නොනිල ලෙස එළිදක්වා තිබේ. ඊට අදාළව සම්මන්ත්‍රණද පැවැත්වෙමින් තිබේ. පළමු සම්මන්ත්‍රණයේදී කෙටුම්පත සකස් කළා යැයි කියන විජයානන්ද ජයවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ එම කෙටුම්පත් කිරීම කමිටුවක් මගින් සිදුකළ බවය. ඔහු එහිදී කියා ඇත්තේ ඉහතින් සඳහන් කළ කමිටුව ගැනය. ඒ නිසාම ආණ්ඩුව මෙන්ම එම කමිටුව නියෝජනය කළා යැයි කියන සාමාජිකයන් හෝ ඔවුන්ගේ සංවිධානද සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන මෙම කෙටුම්පත ගැන සිය අදහස ප්‍රකාශ කළ යුතුමය. ඊට ඔවුන්ගේ ඇති සම්බන්ධය පැහැදිලි කළ යුතුමය. ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් පිළිබඳ ඉදිරි සාකච්ඡා තීරණය වනු ඇත්තේ ඉන්පසුවය.■