රාවය

රාජපක්ෂ ගත්ත රනිල් තියාගෙන ඉන්න පානම ඉඩම්

රාජපක්ෂ ගත්ත රනිල් තියාගෙන ඉන්න පානම ඉඩම්

කේ. සංජීව

මේක නම් කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්ය. එහෙම සිතුණු වාර අනන්තය. මේ ඉඩම් අර්බුදය නිසා මම රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය කාලයේදීද නිතර නිතර පානම ගියෙමි. දැන් රනිල් මෛත්‍රී යහපාලනය තුළද යන්නෙමි. ඒ නිසාම මේ ගමනට කෙළවරක් නැත. හරියට සංසාරේ වගේ ය. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත්‍රී මැදියමේ මොනරාගලට නැග්ග මම එතැනින් පානමට පිටත් වනවිට උදෑසනය. ලාහුගල නිතරම අලි බලන් ඉන්න තැනය. පානම වැවේ අලියෙකු නැති වේලාවක් සොයාගැනීම අසීරුය. ඒ බේරු නිසාය. ලාහුගල මහ කැලය විනිවිද බසය මුසල්මානු විජිතයක් වන පොතුවිලට ඉද්ද ගැසූ පාරේ නිනව් නැති ගමනකි. පොතුවිලෙන් බැස පානමට ත්‍රීවිලරයක් ගතයුතුය.
“‍දැන් අපි ඉන්නේ රාගම්වෙල අපේ ඉඩම්වල. ඔයා ගුවන් හමුදා පෝස්ට් එක ළඟින් එන්න. පාර දන්නවානේ.”‍ පානම සුපුරුදු කටහඬ පුංචිරාළ සෝමසිරි මා අමතයි. ඔහු පානම් පත්තුව සුරැකීමේ සංවිධානයේ සංවිධායකය. අලි ගැවසෙන පාරේ රාගම්වෙල ගුවන් හමුදා පෝස්ට් එක ළඟට එන්නට පොතුවිල මුස්ලිම් ත්‍රීවිල් මිත්‍රයාට එතරම් වේලාවක් ගියේ නැත. තැන තැන ශුෂ්ක වැල්ලේ පොල් අතු පැල ඉදිවී ඇත. ඒ ගණන 20කට අඩු නැත.
“මෙතැන දැන් පවුල් 26ක් ඉඩම් අල්ලාගෙන පදිංචි වෙලා ඉන්නවා. අපි ස්ථිර වගාව පටන් ගත්තා”‍ පුංචිරාළ සෝමසිරි කතාව පටන් ගත්තේය. තැනින් තැන පොල්ගස්, දරු පැටවුන්ද, කජු ගස් පැටවුන්ද සිනාසෙමින් සිටින්නේ ශුෂ්ක දාහය තුට්ටුවකට ගණන් නොගනමින්ය. මම පැල්පත් අතර අතරමං වෙමි. රැය පහන් කිරීමට වාඩිය මිදුලේ වැල්ලේ අතුළ පැදුරු කඩමාලු තවමත් නිදිකිරමින් සිටියි. සමහරුන්ද එසේමැයි. සමහරු කහට ගොජ දමන ගිනිදලූ
වෙලාගත්ත මුට්ටි වටේ බීඩි කොටේ කටේ ගහගෙනමය.

ඉතිහාසයට ගමනක්
දවස 2010 ජූලි 17 ය. ස්ථානය පානම රාගම්වෙලය. මා දැන් මේ සිටින බිමය. වේලාව රාත‍්‍රී 12ට නැත. ගම්මානයට කඩා වැදුණු කළු ඇඳ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කල්ලියක් (එස්ටීඑෆ්) ප‍්‍රහාරයක් එල්ල කර, ගෙවල් ගිනිතබා, නිවැසියන් කැලෑවට පන්නා දැමුවේය. එදිනට පසුව නැවත ඒ මිනිසුන්ට තමන්ගේ ඉඩම්වලට එන්නට නොලැබිණි. ගම්මුන් කියන්නේ තමන්ට එලව එලවා පහර දුන්නේ එස්ටීඑෆ් කණ්ඩායමක් කියාය. ඒ රාජපක්ෂ යුගයේ හැටිය. එවක මේ ඉසව්වේ වීරයා ආරක්ෂක ලේකම් ගෝඨාභයයි. කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවුණි. නීතිය ඉදිරියට සාධාරණය ඉල්ලමින් ගිය පානම වැසියන්ට එවක සිදුවූයේ අත්අඩංගුවට පත්වන්නටය. නැතිනම් නඩුත් දමාගෙන ගෙදර එන්නටය. මේ සියල්ල අවසාන වුවේ හමුදාව වටේම ඉඩම් හමුදාව යටතට පත්කරගත් පසුය. යටතට පත්වූ ඉඩම් ප‍්‍රමාණය රාගම්වෙල (පීනට් ෆාම් ඇතුළුව) අක්කර 264, ශාස්ත‍්‍රවෙල අක්කර 115, උල්පස්ස අක්කර 800 ක්ය. ඊළගට අත්කරගත් මේ ඉඩම් තුළ යුද, ගුවන්, නාවික, එස්ටීඑෆ් ඉදිකිරීම් ලහිලහියේ සිදුවිණි. මෙම සමස්ත ඉඩම් ප‍්‍රමාණය තුළින් අද නිදහස්ව ඇත්තේ අක්කර 65කට ආසන්න බිම් ප‍්‍රමාණයක්ය. ඒ පීනට් ෆාම් කොටසට අදාළවය. ඒ ප‍්‍රහාර එල්ල කර ගිනිතබා ජනතාව එලවා දැමූ කලාපයයි. මෙම කලාපය තුළ අක්කර 25ක ගුවන් හමුදා ඉදිකිරීම් තවදුරටත් සිද්ධ වෙමින් තිබේ. මේ සියලු‍ම ඉඩම් පානම ජනතාව ජයටම හේන් ගොවිතැන් කළ බලපත්‍රලාභී ඉඩම්ය. සමහර ඉඩම් තුළ මේ මිනිසුන් ස්ථිර ගෙවල් සාදාගෙන ජීවත් වූහ.

රාජපක්ෂ යහපාලනය
“අපිව ඉඩම්වලින් එලෙව්වෘට පස්සේ පොලිසිය අපිට විරුද්ධව නඩු දැම්මා”‍ පුංචිරාළ සෝමසිරි මේ ඉඩම් ගැටලු‍වේ වර්තමානයට එන්නට කලින් අතීතය පිළිබඳව මතකය අවදි කරමින් සිටින්නේය.
“‍ඒ 2009. අපි 7දෙනෙක් නඩුවට අහුවුණා. ඒ නඩුව ඇදි ඇදී ගිහින් 2015 දෙවැනි මාසේ තීන්දුවක් දුන්නා. ඒකෙන් අපි දිනුවා. ඒත් ඉඩම්වලට යන්න දුන්නේ නැහැ. ඊළඟට අපි දැනට මාස 8කට විතර කලින් ආයෙත් ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුළු වුණා. පොලිසිය එතැනදීත් අපිව එලෙව්වා. පීනට් ෆාම් ඉඩම් ටික අක්කර 25ක් ඇරලා ඉතිරිය දෙන්න කියලා කැබිනට් එක තීරණය කළාට පස්සේ, රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරු හමුවුණා. ඒ කැබිනට් තීරණය ක්‍රියාත්මක කරගන්න. එහෙත් ඒක වුණේ නැහැ. අපිට තේරුණා මේ ආණ්ඩුවේ මෙහෙ ඇමතිවරයා මේ ඉඩම්වලට කෙළ හලනවා කියලා. කොහොම හරි මනිනවා වෙන්කරනවා කියලා දිසාපති කියනවා. දින දෙනවා ආයෙත් වෙනස් කරනවා. ආයෙත් එලවනවා. ආයෙත් ඉඩම්වලට එන්න දෙනවා මේ වගේ තමයි මේ කාලය ගතවුණේ. දැන් අපි අපිම බෙදා හදාගෙන මේ විදිහට ඉන්න වෙලාත් මාස 10ක් වෙනවා. කොහොමහරි දයා ගමගේ ඇමතිතුමා දිසාපතිතුමා ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ. සෝමරත්න මහත්තයා මේ සේරම කට්ටිය අපිව මගහරිනවා. අපි දැනගත්තා මෙයාලාත් මේ කරන්නේ බොරුවක් කියලා. ඊළඟට අපි 35 දෙනෙක් විතර රාගම්වෙල පාර අයිනට ගිහින් වාඩි වුණා සත්‍යග‍්‍රහයකට. ඒ පහුගිය මාර්තු විසිහය සවස හතරට විතර. කිසි කෙනෙක් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. අපි එතැන නැවතිලාම හිටියා. පොලිසිය, එන්අයිබී එක ඉඩමට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කළා. කොහොම හරි 27 වෙනිදා දහවල් කෑම වෙලාවේ අපි බලහත්කාරයෙන්ම අපේ ඉඩම්වලට ගියා. පොලිසිය, ගුවන් හමුදාව අපිව එළියට දාන්න හැදුවත් අපි ගියේ නැහැ. පොලිසිය අධිකරණ නියෝගයක් අරන් ආවා. ඒත් අපි ගියේ නැහැ. පස්සේ අපිත් මාර්තු 28 මේ නියෝගයට විරුද්ධව උසාවි ගියා. 30 වැනිදා නඩුව කැඳෙව්වා. ඒ වෙලාවේ උසාවිය අපේ ඉඩම් අයිතිය පිළිගත්තා. ගුවන් හමුදාවට තමන්ට මේ ඉඩම් අයිතිය කියලා පෙන්නන්න බැරි වුණා. ගුවන් හමුදාව ඉදිකිරීම් කරගෙන යන අක්කර 25 අතහැරලා ඉතිරි ඉඩම්වලට යන්න අධිකරණය අවසර දුන්නා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක එකතු වෙලා ඉඩම් ලබාගන්න කියලා අධිකරණය කිව්වා”‍

අධිකරණ තීන්දුව බල්ලාට
යහපාලනය ගෙනෙ න්න කැරලි ගැසූ ජනතාව එදා කෑගසා කී සටන් පාඨ අතර පානම මේ ඉඩම් අර්බුදයද ඉහළින්ම තිබුණි. ඉන් අනතුරුව දින සීයේ ආණ්ඩුව පැමිණි පසු රාජපක්ෂ කාලයේදී පානමක් තිබෙන්නේ කොහේදැයි කියා හෝ නොදන්නා ගානට සිටි දයා ගමගේ පානම ගියේය. මේ ඉඩම්වල කරක්ගසමින් වීරයෙකු ලෙස මුහුණු පොතට පොටෝද අප්ලෝඞ් කළේය. දැන් ඔහු මීක් නැත. ඒ මේ ඉඩම්වලට වහවැටීද විමසිය යුතුය. මේවායින් පෙනෙන්නේ ගඟේ ගසාගෙන ගිය ගැහැනු දරුවා ගොඩගෙන යහපාලනය නැවත නැවතත් දූෂණය කරමින් සිටින බව නොවෙයිද?… අපි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගේ කතාවක් වෙත යමු.
“‍නඩු තීන්දුවක් තියෙනවා. ඒ එකේ ඒ හැටි දෙයක් නැහැ. මේ මිනිස්සුන්ට අනිවාර්ය ඉඩම් දෙන්න ඕනෑ කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ.. හැබැයි දින සීයේ ආණ්ඩුවෙන් දුන්න කැබිනට් තීරණයක් තියෙනවා. ඒක මේකට වඩා ප‍්‍රබලයි. අපි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මේ කැබිනට් තීරණයට අනුව කටයුතු කරන්න යනකොට දයා ගමගේ මහත්තයා කියනවා, මේ ඉඩම් ටික සංචාරක කර්මාන්තයට අරගෙන මේ ප‍්‍රදේශය දියුණු කරන්න වැඩපිළිවෙළක් මේ වෙනකොට සාකච්ඡා වෙනවා කියලා. ඒ නිසා මේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන එක පස්සට දාන්න කියලා. ඉතිං බලන්න මේ මිනිස්සුම තමයි මේ ජනතාව උසිගැන්නුවේ. ප්‍රශ්නය හැදුවෙත් ඒ මහත්තුරුම තමයි. දැන් විසඳන්න ගියාම බයිලා කියනවා. මගේ අදහස නම් මේ බිම මිනිස්සුන්ට නිදහස් කරනෙක රටක් විදිහට රටේ දියුණුව ගැන කල්පනා කරනවා නම් පාඩුයි. මේ මිනිස්සුන්ට කැලෑවකින් ඉඩම් දීලා මේක සංචාරක කලාපයක් විදිහට දියුණු කරන්න ඕනෑ. මොකද මේ මුහුද තමයි සර්පින්වලට හොඳම. අනික මේ මිනිස්සුන්ට මේක දුන්නත් මේ මිනිස්සු මේ ඉඩම් මුස්ලිම් මිනිස්සුන්ට විකුණනවා.”‍
මේ නිලධාරියාට අනුව දැන් මේ පවතින නිහඬියාව තේරුම් ගැනීමට අමාරු නැත. ඒ අනුව මේ සිදුවෙමින් යන දේ පැහැදිලිය. අනික මේ ඇමැතිවරයාද ලංකාවේ නොම්මර එකේ බිස්නස්කරුවෙකි. ඔහු මේ ඉඩම්වල වටිනාකම ටක්කෙටම දනියි. ඉතිං මේ ඉඩම් නැවත පානම ජනතාවට ලැබේදැයි සැකසහිතය.

ප්‍රාදේශීය ලේකම්ගේ තර්ජන
“‍අපිට ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් ලියුම් එව්වා මේ ඉඩම් පිළිබඳව නීත්‍යනුකූල මොනවා හරි අපි ළඟ තියෙයි නම් ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදීලා අයින් වෙන්න කියලා. අපිට බලපත‍්‍ර තියෙනවා. පානමට පස්සේ පිරිසිදු, බොන්න පුළුවන් වතුර තියෙන්නේ මේ සීමාවේ විතරයි. මේ කොටසේ වතුර ඉඩෝරෙකට වුණත් හිඳෙන්නේ කලාතුරකින්. ඒ නිසා තමයි අපේ තාත්තලා මේ ඉඩම් පදිංචියට ගත්තේ. පානම ඉන්නේ හෝටල් ගහන්න තරම් පෝසත් මිනිස්සු නෙවෙයි. හැබැයි එහෙම කියලා මේ ඉඩම් රජයට දෙන්න පුළුවන්ද? අනික රජයට ගත්තා කියමු, අන්තිමට යන්නේ කාගේ අතටද? දයා ගමගේ වගේ කෝටිපතියෝ අතට..”‍ මේ පුංචිරාළ සෝමසිරිය.
ඔවුහු මේ තර්ජන ඝර්ජන මැද්දේ මේ ඉඩම් ආරක්ෂා කරගන්නට පානම් පත්තුව සුරැකීමේ සංවිධානය විදිහට කැපවෙමින් සිටිති. ඒ පානම චන්ද්‍රරතන හිමියන්ද පෙරටුකර ගනිමින්ය. රටේ අනික් හිමිවරුන් පාලකයන් ජාතිවාදීන් පසුපස හිවල් රැළක් ලෙස වැටී දඟලන මේ අවධියේ මේ හිමියන් ගමේ දුප්පතුන් වෙනුවෙන් මෙලෙස වෙහෙසීම අගය කළයුතුය. උල්පස්ස, එගොඩයාය හොරෙයිකන්ද මේ බිමට අමතරව මේ මිනිසුන්ට අහිමිවූ ඉඩම්ය. ඒ යුද්ධ ජයත් සමඟය. මේ ප්‍රදේශයේ පමණක් වපසරිය අක්කර 830කට වැඩිය. දැන් මේ බිමේ නාවික ගුවන් පොලිස් කඳවුරුද හෝටල්ද ඉදිවී ඇත. ඒ පසුගිය කාලයේ රට පාලනය කළ රාජපක්ෂවරුන්ගේ සිතැඟියාවන්ට අනුවය. එහෙත් මේ කිසිදෙයක් ජනතාවගේ පැත්තෙන් බලා විසඳන්නට යහපාලනය තවමත් සමත්වී නැත. ඒ අනුව අපට දැන් කිවහැක්කේ දැන් තිබෙන්නේ රාජපක්ෂ මොඩලයේ යහපාලනයක් බවය. මේ බිමේ මිනිසුන් මේ ඉඩම් දෙස බලමින් හූල්ලමින් ඉන්නා මේ කාලයේ පානම ලන්ගුන් කබානා හෝටලය පිරීයන්නේ ධනවතුන්ගෙන්ය. ඔවුහු පානම ජනතාවට ඔච්චම් කරමින් පානම කළපුවේ බෝට්ටු සවාරි යමින් සිටිති. අහෝ යහපාලනය!
“අපිට පහුගිය කාලේ කැලෙන් ඉඩම් දෙනවා කියලා කතාවක් ගියා. ෆොරස්ට් එකේ ප්‍රශ්නයක් නිසා ඒක සාර්ථක වුණේ නැහැ. කොහොමත් මේ ඉඩම් දාලා මෙහෙන් යන්න අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. අනික ඔය හමුදාව අල්ලාගෙන ඉන්න අනික් ඉඩම්වලටත් අපි ඉස්සරහදි යනවා. අපි මේක අතාරින්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ මේ අරගලයට පානම සුරැකීමේ සංවිධානය ඉස්සරහටත් දිවි දීලා කැපවෙනවා.”‍ පුංචිරාළ සෝමසිරි මේ ඉඩම් කතාව අහවර කළේ එලෙසය.
දැන් පානමට පලු වාරය පැමිණ ඇත. උදෑසන හිරු නැගෙනහිරින් අහසට එමින් තිබෙයි. මිනිසුන්ද වාඩි ඉදිරිපිට උයාපිහාගෙන ලෑස්ති බෑස්ති වෙන්නේ පලු කඩන්නට කැලෑවට රිංගන්නය. කවදා මේ ඉඩම් අර්බුදය විසඳෙයිද? මම කල්පනා කරමි. මේ පුංචි කජු ගස් පුහුලමින් බර වෙන කාලය වනවිටවත් මේක විසඳිලා තිබුණොත් මදැයි, මම සිතමි. යහපාලකයන් කැබිනට් තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කර මේ ජනතාවගේ අපේක්ෂාව ඉටුකළ යුතුය.■