රාවය

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (8)

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (8)

පසුගිය සතියේ මේ කොලමේ අවසාන ඡේද කිහිපය මගේ අත්වැරැද්දක් හේතුවෙන් පළ නොවීය. ඒ ගැන මුලින්ම පාඨක සමාව ඉල්ලා සිටිමි. එහිදී මා විස්තර කරමින් සිටියේ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු මෙන් නොව, තමන් ලබන අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා විශේෂ උනන්දුවක් දක්වන බවයි. එහිදී සයිටම් විශ්වවිද්‍යාලය උදාහරණයට ගනිමින් එහි ශිෂ්‍යයෙකු වැය කරන ලක්ෂ සීයක් හෝ ඊට ආසන්න අතිවිශාල මුදල් ප්‍රමාණය නිසා, ඒ මුදලේ වටිනාකමට සරිලන අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි එවැනි ශිෂ්‍යයෙකු ස්වභාවයෙන්ම විශේෂ උනන්දුවක් දක්වන බව පෙන්වා දීම මගේ අභිප්‍රාය විය. ඊට අදාළව මේ කොලමේ පළ නොවූ කොටස තුළ සඳහන් වුණේ පහත සඳහන් ආකාරයේ අදහසකි:
“ලක්ෂ සීයක් යනු සෙල්ලමක් නොවේ. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව සයිටම් ශිෂ්‍යයෙකු වඩාත් සවිඥානක වනු නියතයි.
එපමණක් නොව, විදේශ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයකින් අධ්‍යාපනය ලබන වෛද්‍ය උපාධිධාරීහු නිතිපතා ලංකාවට එති. මේ උපාධිධාරීන් අධ්‍යාපනය ලැබූ එකී විදේශ විශ්වවිද්‍යාලවලින් අතලොස්සක් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සොයා බලා ඇතත්, බහුතරයක් අධ්‍යාපනික ආයතන පිළිබඳ කිසි සොයා බැලීමක් වෛද්‍ය සභාව සිදු කර නැති බව ඔවුහුම පිළිගනිති. ලංකාවේ සයිටම් ආයතනයේ අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙරෙහි උනන්දු වන තරමටම, අර කියන විදේශ වෛද්‍ය සිසුන් අධ්‍යාපනය ලද ආයතනවල ප්‍රමිතිය ගැනත් අප උනන්දු විය යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුව නැත.
කෙසේ වෙතත්, ඒ වෙනුවට එම ශිෂ්‍යයන් සඳහා ලංකාවේදී වෙනම විභාගයක් පැවැත්වීම සිදු කෙරේ. එය යම් තරමක පිළිතුරක් අදාළ ප්‍රශ්නයට ලබා දෙයි. මන්ද යත්, යම් හෙයකින් ඔවුන් අධ්‍යාපනය ලැබූ විදේශ වෛද්‍ය පීඨවල යම් දෝෂයක් ඇතොත්, ලංකාවේ පැවැත්වෙන විශේෂ විභාගයක් හරහා ඔවුන්ගේ දැනුම සහ මට්ටම පරීක්ෂාවට ලක් කළ හැකි බැවිනි. එසේ නම්, සයිටම් විශ්වවිද්‍යාලයෙන් සමත් වන වෛද්‍ය ශිෂ්‍යයන්ටත් එවැනි විභාගයක් පැවැත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කරන්නේ මොන පදනමක් යටතේ ද?
මේ දක්වා සයිටම් විරෝධීන් ඉදිරිපත් කළ සෑම චෝදනාවක් සඳහාම වන ප්‍රතිකර්මයක් මෑතකදී ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යෝජනා මාලාව තුළ තිබේ.
‘තනි ධනපතියෙකු’ පිළිබඳ ඇති මාත්සර්යයට පිළිතුරක් වශයෙන් සයිටම් ආයතනයේ ‘ධනපති අයිතිය’ පුළුල් කළ යුතු බවට එක යෝජනාවක් තිබේ. ඇත්තෙන්ම ප්‍රශ්නය විය යුතුව තිබුණේ, ‘තනි ධනපතියෙකු’ අතේ ව්‍යාපාරයක් පැවතීම නොව, ‘තනි ව්‍යාපාරයක් පමණක්’ හෙවත් ඒකාධිකාරයක් පැවතීමයි. මුළු ගමකට ඇත්තේ එක කඩයක් පමණක් නම්, ඒ කඩය අයිති වන්නේ එක මුදලාලි කෙනෙකුටද නැත්නම් මුදලාලිලා කිහිප දෙනෙකුටද යන්න අපට අදාළ විය යුතු ප්‍රශ්නයක් නොවේ. අපට අදාළ ප්‍රශ්නය වන්නේ, කඩ තුන හතරක් වෙනුවට එක කඩයක් පමණක් තිබීම නිසා, මිල නියම කිරීමේ ඒකාධිකාරී අයිතියක් අර කියන තනි කඩයට ලැබීමයි. ඒ නිසා අප ඉල්ලා සිටිය යුත්තේ, කඩයේ අයිතිය පුළුල් කිරීම නොව, කඩ ප්‍රමාණය වැඩි කිරීමයි. කෙසේ වෙතත් විරෝධතාකරුවන්ගේ සැබෑ ප්‍රශ්නය වන්නේ, ‘තනි ධනපතියෙකු’ (දොස්තර නෙවිල් ප්‍රනාන්දු?) පිළිබඳ ඇති ඊර්ෂ්‍යාවක් හෝ මාත්සර්යයක් නම්, මේ කියන සයිටම් ආයතනයේ පෞද්ගලික අයිතිය, කොටස් වෙළඳ පොළ තුළ ප්‍රසාරණය කිරීමෙන් යම් මානසික සහනයක් එකී අදාළ පාර්ශ්වවලට ලබා දිය හැකිය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත යුතු බව තවත් යෝජනාවකි. මෙය, මුලින් කී කාරණයට වඩා අර්ථවත් යෝජනාවකි. මන්ද යත්, සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ගේ සායනික පුහුණුව පිළිබඳ ප්‍රශ්නය සමග, මේ රෝහලේ රෝගීන්ගේ සංඛ්‍යාව කෙලින්ම ගැට ගැසී ඇති බැවිනි. වෛද්‍ය ශිෂ්‍යයන් සායනික පුහුණුව ලබන්නේ රෝහලක රෝගීන් ආශ්‍රයෙනි. ඒ සඳහා රෝහලක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එම රෝහලේ රෝගීන් ද සිටිය යුතුය. දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල ගෙවන රෝහලක් වන නිසාත්, එහි සේවා මිල ගණන්, ඇතැමුන් චෝදනා කරන පරිදි ඉතා වැඩි නිසාත්, රෝගීන් එම රෝහලට පැමිණීම පවතින්නේ ඉතා අවම මට්ටමක බව කියැවේ. ඊටත් වඩා, මේ රෝහල පිළිබඳව කාලයක් තිස්සේ මාධ්‍ය තුළ ඇති වූ නරක චිත්‍රයත් මෙසේ අඩු රෝග ීන් සංඛ්‍යාවක් එම රෝහල වෙත පැමිණීමට බලපානවා විය හැකිය. ඒ කෙසේ වෙතත්, රෝහල රජයට පවරා ගැනීමෙන් පසු එක්කෝ නොමිලේ ප්‍රතිකාර කිරීම හෝ වඩාත් අඩු වියදමකින් සේවා සැපයීම සිදු කෙරෙනු ඇත. එවිට නිතැතින්ම වැඩි රෝගීන් පිරිසක් එම රෝහලට පැමිණෙතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඒ හේතුවෙන් සයිටම් ශිෂ්‍යයන්ට අදාළ සායනික පුහුණුව සඳහා එම රෝහලේ අවස්ථාවක් සැලසෙනු ඇතැයි ද සිතිය හැකිය.
ඊටත් අමතරව, සායනික සහ වෝහාරික අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ ඇති ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් රජයේ රෝහල් කිහිපයක් තුළ නියමිත කාලයක් තිස්සේ ලබන පුහුණුවක් යෝජනා කොට තිබේ. මීට කලින් ද, මෙවැනිම රජයේ රෝහල් මාර්ගයෙන් මේ ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන සායනික සහ වෝහාරික අධ්‍යාපනික පුහුණුව ලබා දිය යුතු බවට අධිකරණය මගින් නියෝග කොට තිබුණි. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පෑ නිසා එදා එය සාර්ථක නොවීය.
අවසාන වශයෙන්, සයිටම් ආයතනයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබා පිටවන සෑම ශිෂ්‍යයෙකුම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව පවත්වන තවත් විශේෂ විභාගයකින් සමත් විය යුතු බවටත් යෝජනා වී තිබේ. යම් හෙයකින් බොහෝ දෙනා කියන පරිදි, සයිටම් යනු හුදෙක් “උපාධි කඩයක්” නම්, ඒ කඩය විකුණන භාණ්ඩයේ ප්‍රමිතිය මේ කියන විභාගයෙන් පිරික්සා බැලිය හැකි වනු ඇත. භාණ්ඩය ප්‍රමිතියෙන් බාල නම් නොවැරදීම අදාළ පරීක්ෂණයෙන් එය අසමත් වනු ඇත.
ඉතිං දැන් ඇති ප්‍රශ්නය කුමක්ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධී සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනාවන්ට පිළිතුරු මේ කියන යෝජනා මාලාව තුළ, කාටත් පිළිගත හැකි මට්ටමකින් ඉදිරිපත්ව තිබේ. එහෙත් තවමත් ප්‍රශ්නය විසඳී නැතැයි කෙනෙකු කියන්නේ නම්, එහි අදහස වන්නේ, ඉල්ලා සිටින “මස් රාත්තලම” නොලැබීම පිළිබඳ ආඩාපාලියක් පමණක් ඉතිරිව ඇති බවයි.
සමහර ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පුළුවන්කමක් නැත. හේතුව, ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාට වැදගත් වන්නේ ප්‍රශ්නයම මිස පිළිතුරක් නොවන බැවිනි. ඔහු යැපෙන්නේ ප්‍රශ්නයෙනි. තුවාලයට ආදරය කරන්නේ හිඟන්නන් ය. වෛද්‍යවරුන් කළ යුත්තේ තුවාලය සුව කිරීමට පේ වීමයි.”
තත්වය එසේ තිබියදී ඊයේත් (17) විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ. තමන් අධිකරණය නොතකන බව කියාපාමින් එක් ශිෂ්‍ය භික්ෂුවක් අධිකරණ නියෝගය බිම දමා පෑගුවේය.
විරෝධතාකරුවන්ගේ සැබෑ දේශපාලනික අභිප්‍රායන් ගැන දැන් අපි ඕනෑවටත් වඩා දනිමු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඊනියා ‘වීරත්වයක්’ තමන් වෙත පැවරෙන ඕනෑම ක්‍රියාවක ස්වේච්ඡාවෙන් නිරත වනු ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති මොන ආකාරයකින් හෝ රාජපක්ෂ පාලනය යළි ස්ථාපනය සඳහා පාදක විය හැකි ඕනෑම විරෝධයකට සහාය වනු ඇත. ඒ සියල්ල අස්සේ රටේ සාමාන්‍ය ජනතාව සිටින්නේ මේ ප්‍රශ්නයෙන් හොඳටම බැටකමිනි.
එම තත්වය තුළ ආණ්ඩුව කරන්නේ කුමක්ද? වෛද්‍ය සංගමයේ වංචනික කුහකත්වය ගැන සහ ශිෂ්‍යයන්ගේ බොළඳ ආවේගශීලීත්වය ගැන ආණ්ඩුවක් මීට වඩා තත්පර විය යුතුය. බරසාර විය යුතුය. පසුගිය දවසක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්, රූපවාහිනී සාකච්ඡාවකදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමාගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල තමාට දැන් මතක නැතැයි කීවේය. (මා අපොස උසස් පෙළ කෙළේ 1972 වසරේ දී ය. අවුරුදු 45 කට පසුව අදත් මගේ ප්‍රතිඵල ඉතා හොඳින් මගේ මතකයේ තිබේ). මෙම පිළිතුර, වෛද්‍යවරුන්ගේ සමස්ත චර්යාව පසුපස ඇති නග්න වංචනිකත්වයේ අගනා සංකේතයකි. ජනාධිපතිවරයා සමග පසුග ිය දවසක සයිටම් ප්‍රශ්නයට අදාළ පාර්ශ්වකරුවන් පැවැත්වූ සාකච්ඡාවකදී, ලෝකයේ වෙනත් රටවල් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජන යොදා ගන්නවා නොවේ දැ යි ජනාධිපතිවරයා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ශිෂ්‍යයාගේ පිළිතුර වුණේ, එවැනි රටවල ශිෂ්‍ය ව්‍යාපාරත් දැනුවත් කිරීමට තමන් දැන් කටයුතු කරමින් සිටින බවයි. පෙනේද විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෙකුගේ බුද්ධි මහිමයක මහතෟ
අද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හැසිරෙන්නේ, ආණ්ඩුවක් නැති රටක බඩපිනුම් ගසන්නා සේ ය. එම තත්වය පාලනය කර ගැනීම සඳහා, යෝජනා ඉදිරිපත් කිරීමෙන් එහා යන, කිසියම් සංයුක්ත ක්‍රියාවලියක් ගැන ආණ්ඩුව සිතන බවක් පෙනෙන්ට නැත. වෛද්‍යවරුන්, වෙනත් සියලු වෘත්තිකයන්ගෙන් වෙනස්, වරප්‍රසාදිත සමාජ කුලකයක් සේ හැසිරීමට පාදක කර ගන්නා යල්පිනූ ආයතන ව්‍යුහයන් වහා ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව ආණ්ඩුව තේරුම් නොගැනීම නිසා, මේ ප්‍රශ්නය තවත් කුරුවල් විය හැකි බව පමණක් දැනට කිව හැකිය.■