Wednesday, 23/8/2017 | 8:01 UTC+0
රාවය

අතීත ශ්‍රී විභූතියේ සීමා

වික්ටර් අයිවන්

නිදහස හිමිකරගෙන අවුරුදු 70කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාව තවමත් ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වී තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ ඇතිවූ මහා ලේ වැගිරීම් කෙරෙහි බලපෑ වැදගත් සාධකයකි. ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අද දක්වාම ප්‍රබල හැඟීමක් සමාජයේ ඇති නොවීම කෙරෙහි ශ්‍රී ලාංකික සමාජ සවිඥානකත්වයේ අඩු දියුණුව බලපා තිබෙනවා විය යුතුය. ලංකාව ඉන්දියානු නිදහස් සටනින් එළිය බලා නිදහස හිමිකරගත් රටක් ලෙසද සැලකිය හැකිය.
අප නිදහස ලබාගත්තේ ඉන්දියාවේ මෙන් ප්‍රබල බහුජන ක්‍රියාකාරීත්වයක් කරළියට ගෙනා නිදහස් සටනකින් නොව බහුජන ක්‍රියාකාරීත්වයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතැබූ බි්‍රතාන්‍ය පාලනය කෙරෙහි පූර්ණ විශ්වාසයකින් ක්‍රියා කළ බි්‍රතාන්‍ය පාලකයන්ට සිය පක්ෂපාතීත්වය පෙන්නුම් කරන අතර කිසියම් ප්‍රමාණයකට සටකපටකම්ද යොදා ගනිමින් නිදහස ලබාගත යුතුයි කියන අදහසේ සිට ක්‍රියා කළ නිදහස් ව්‍යාපාරයක් මගිනි.
ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට බලය ලබාගැනීමේ සරල අරමුණක් මිස නිදහස පිළිබඳ ගැඹුරු ඉදිරි දැක්මක් නොතිබුණි. ඔවුන්ට නූතන ජාතික රාජ්‍යය ගැන හෝ එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතිවම බැරි නූතන ජාතිය පිළිබඳව හෝ නිසි අවබෝධයක් නොතිබුණි. එකල ලංකාවේ තිබූ එකම විකල්ප ව්‍යාපාරය ලෙස සැලකිය හැකි මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයට පවා ඒ ගැන වන හරි දැක්මක් නොතිබුණි. ඔවුන් පවා ජාතිය ගොඩනගනවා වෙනුවට වඩා වැදගත් කොට සැලකුවේ පන්තිය ගොඩනැගීම ගැනය. ඒ නිසා ජාතිය ගොඩනැගීම පිළිබඳ දැනුම බැහැරින් හෝ නිදහස් ව්‍යාපාරයට එකතුවීමේ හැකියාවක් නොතිබුණි.

ජාතිය ගොඩනැගීම
ලංකාවේ නිදහස් ව්‍යාපාරය නිදහස දිනාගැනීම සඳහා තෝරාගත් අතිසරල මාවත වෙනුවට බහුජන අරගලයක් මගින් නිදහස දිනාගැනීමේ සටන්කාමී මාවතක් තෝරා ගත්තේ නම් ලැබෙන ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. එහිදී ඔවුන්ට සටන් කරන්නට සිදුවන්නේ ඉතාමත් බලවත් සතුරකු සමඟින් වන නිසා ඒ සමඟ වර්ග කුල හා ආගම් භේදයෙන් තොර සියලු ස්වදේශිකයන් මෙම සටනට කැඳවා ගැනීමට හේතුවන ප්‍රවේශයක් මත පිහිටා ක්‍රියා කරන්නට නිදහස් ව්‍යාපාරයට සිදුවන්නේය. එසේ වී නම් ජාතිය ගොඩනැගීම ගැන හොඳ න්‍යායික අවබෝධයක් නැතිව වුවත් ඔවුන්ට නිදහස දිනාගැනීමේ අරගලයේදී ජාතිය ගොඩනගන ව්‍යාපාරයක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. ඒ අර්ථයෙන් ගත්විට ලංකාවේ ප්‍රචණ්ඩව ගැටුම් නිසා මහා ලේ වැගිරීමකට හේතුවූ වර්ගය, කුල හා ආගම් භේද ලංකාවේ නිදහස් ව්‍යාපාරයට ආවේණික දෘෂ්ටිමය දිළිඳුභාවයේ නපුරු ඵලයක් ලෙස සැලකිය හැකිය.
යටත්විජිත රටවල ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන දෙයක් වනවා මිස ඉබේ ගොඩ නැගෙන දෙයක් වන්නේ නැත. නූතන අර්ථයෙන් ජාතිය ලෙස සැලකෙනුයේ එම ජාතික රාජ්‍යයේ ජීවත් වන සියලු මිනිසුන්ය. ඒ සියලුදෙනා ඇතුළත් වන ලෙස ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන දෙයක් බවට පත්වී තිබෙනුයේ ඔවුන් අතර වර්ගය, කුලය හා අදහන ආගම මත ගොඩනැගුණු බෙදීම් හා උස් පහත් භේද තිබෙන නිසාය. ඒ උස් පහත් භේද එසේ තිබියදී ඔවුන් ඒකාග්‍ර කළ නොහැකිය. වර්ග අතර භේද තිබිය හැකිවා සේ ම කුලය නිසා වර්ග තුළද භේද තිබිය හැකිය. ජාතිය ගොඩනැගීමට අවශ්‍ය කරන ඒකාග්‍රතාවක් ඇති කිරීම සඳහා ගැටුම් ඇති කිරීමට හේතුවන එවැනි භේද නැති කළ යුතුය. කුලය මත පදනම් වූ ශ්‍රම විභජන ක්‍රමයක් වර්තමානයට අවශ්‍ය නැත. ඒ නිසා කුලයට තිබෙන පිළිගැනීම සේ ම කුල ක්‍රමය නිසා ඇතිවී තිබෙන උස් පහත් භේදයද නැති කළ යුතුය. වර්ගය හා ආගම නැති කළ හැකි දේවල් නොවන නිසා එහිදී වර්ගය හා ආගම මත ගැටුම් ඇති කිරීමට හේතුවන සාධක නැති කොට වර්ග හා ආගම් අතර සහජීවනයක් ඇති කිරීමට හේතුවන වටාපිටාවක් ඇති කළ යුතුය. ඒ සමඟ භේදයකින් තොරව ඒ සියලුදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන විධිවිධාන ඇති කළ යුතුය.

කුණුවීමට බලපා තිබෙන හේතු
ලැබූ නිදහසේදී එම ඓතිහාසික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අසමත්වීම නිසා නිදහසින් පසු ලංකාවට ඉදිරියට යන්නට සිදුවූයේ ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීමෙන් තොරවය. වර්ග භේදය, කුලභේදය හා ආගම් භේදය තුනී කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා නිදහස ලැබී වසර 10කට පසුව ලොකු කලකෝලාහලද, ඉන් තවත් වසර 10කට පසුව ලොකු ලේ වැගිරීම් ඇති කිරීමට හේතුවන ප්‍රචණ්ඩ ගැටුම්ද ඇතිවිය.
ඒ නිසා දීර්ඝකාලීන වශයෙන් රටේ ඇතිවූ අශීලාචාර වටාපිටාව සමාජය පමණක් නොව රාජ්‍යය හා එම රාජ්‍යයේ සියලු ආයතන ක්‍රමද අකාර්යක්ෂම දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුත් ජාතිය ගොඩනගන තැනකට හා රාජ්‍යය නැවත ප්‍රතිසංස්කරණයට නොයෑම නිසා තිබුණු අර්බුදය උග්‍රවී රට අරාජක තත්ත්වයකට ගමන් කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. පුනරුදයේ අරමුණ අරාජක තත්ත්වයක් ඇතිවෙතොත් ඉන් රටට සිදුවිය හැකි හානිය අවම කරන අතර, ජාතිය ගොඩනැගීමේ මතවාදී අරගලයක යෙදෙන අතර අකාර්යක්ෂම දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යය හා එහි ආයතන ක්‍රම නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හේතුවන සමාජ වටාපිටාවක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමය.
එළැඹ තිබෙන ඓතිහාසික වටාපිටාව තුළ සමාජය දැනුවත් කිරීම වෙනදාට වඩා පහසු වුවත් සමාජයේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන ආකල්පවලට තිබෙන පිළිගැනීම නැති කිරීම ඒ අරමුණ සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැයි කිව හැකිය.
පසුගිය මැයි 12 වැනිදා කොටවෙහෙරද, මැයි 13 වැනිදා උදේ කුරුණෑගලද, සවස පොල්ගහවෙලද, පසුදින කුලියාපිටියේද පුනරුද ශාඛා හතරක් ඇතිකර ගැනීමට හැකිවිය. මීට අතිරේකව කොටවෙහෙර විද්‍යාලයක දේශපාලන විද්‍යාව හා ජනමාධ්‍ය කලාව හදාරන උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් සඳහා පවත්වන ලද වැඩමුළුවකදී ඔවුන් අමතා දේශනයක් පැවැත්වීමට මට අවස්ථාවක් ලැබුණු අතර මට එහිදී කතා කරන්නට සිදුවූයේ ලංකාවේ හා ඉන්දියාවේ නිදහස අළලාය. එහිදී ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය හා ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සැසඳීමක් කරමින් ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයන්ට තිබූ සීමාසහිතකම් පෙන්වාදීමට මට සිදුවිය. ඒ සමඟ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය චින්තනමය වශයෙන් ඉන්දියානු සමාජයට විශාල බලපෑමක් කළද ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය මිස ලංකාවේ නිදහස් ව්‍යාපාරය චින්තනමය වශයෙන් ලාංකික සමාජයට ලොකු බලපෑමක් නොකළ බවද කියන්නට සිදුවිය. නිදහස් ව්‍යාපාරය වෙනුවට චින්තනමය වශයෙන් ලංකාවට බලපෑවේ සිංහලයන්ට නම් අනගාරික ධර්මපාලතුමා බවත් දමිළයන්ට ආරුමුග නාවලර්තුමා බවත් කියන අතර ඒ දෙදෙනාම ඒ කාලයේ සිටි නිර්භීත නායකයන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකි වුවත් ඔවුන් දෙදෙනාට ජාතිය එකතු කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට භේද කරන පිළිවෙතක් අනුගමනය කළ බව කීවෙමි.
මාගේ එම විග්‍රහය එම සභාවේ සිසුන් පමණක් නොව ගුරුවරුන් පවා මීට පෙර අසා නොතිබුණු අලුත් දෙයක් බව පෙනෙන්නට තිබුණි. මාගේ දේශනය අවසන් කිරීමෙන් පසු ප්‍රශ්න ඇසීමට වෙන් කළ කාලයේදී ගුරුවරයෙක් ඒ ගැන සිය අදහස් පළ කළේය. ධර්මපාලතුමා හා නාවලර්තුමා පිළිබඳව මා ඉදිරිපත් කළ විග්‍රහයෙන් එම ගුරුවරයා අන්දමන්ද වී තිබුණු බව ඔහුගේ අදහස් පළකිරීමෙන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එම තත්ත්වය සමාජයටද පොදුය. සිංහල සමාජයට අනගාරික ධර්මපාලතුමා ගැනද දෙමළ සමාජයට ආරුමුගම් නාවලර්තුමා ගැනද ඇත්තේ බැතිමත් ආකල්පයකි. ඔවුන් පළකර තිබෙන භේදකාරී අදහස් පිළිබඳව විචාරයක් ඇත්තේම නැති තරම්ය.

අතීත ශ්‍රී විභූතිය
ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ගැනද සිංහලයන් අතර පවත්නා ජනප්‍රිය මතය නිවැරදි නැත. ඔවුන් හිතන්නේ පැරණි ශිෂ්ටාචාර අතර තිබුණු හොඳම ශිෂ්ටාචාරය තිබුණේ අපට කියාය. ඒ වැරදි අදහසද සිංහල සමාජයේ බලවත් ලෙස සමාජගත කිරීමට දායක වූ ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ධර්මපාලතුමාය. ඉන්පසු කුමාරතුංග මුනිදාස පඬිතුමා ඇතුළු එතුමාගේ හෙළ හවුලද ඒ වැරදි මතය සිංහල මනසේ ස්ථාපනය කිරීම සඳහා දායක වී තිබෙන්නේ යැයි කිව හැකිය.
සිංහලයන්ට අන් කවර ජාතියකටවත් නොදෙවැනි දියුණු හා උත්තම (ඒ සඳහා අනගාරික ධර්මපාලතුමා පාවිච්චි කළේ උත්තම යන යෙදුමය.) ශිෂ්ටාචාරයක් තිබුණේ කියන අදහස ඇති කරගත්විට සිංහලයන් වශයෙන් තමන් අන් සියලුදෙනාට වඩා උත්තමවේයැයි කියන හැඟීම සේ ම අන් සියලුදෙනා තමන්ට වඩා පහත්වේය කියන හැඟීම සිංහලයන් තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. එයද සිංහල වර්ගවාදී ආකල්ප පෝෂණය කිරීමට බලපා තිබෙන වැදගත් සාධකයකි. මේ නිසා බොහෝ සිංහලයන්ගේ විශ්වාසය වී ඇත්තේ අන් කවර ජාතියකටවත් නොතිබුණු දියුණු හා ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී අපට තිබුණු බවය. ඒ කාලයේදී අපට සතුටුවිය හැකි තරමේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණද එම ශිෂ්ටාචාරය ලෝකයේ පැරණි ශිෂ්ටාචාර අතර තිබුණු දියුණුම ශිෂ්ටාචාරය ලෙස සැලකිය නොහැකිය.
ලංකාවේ රජරට ප්‍රදේශ පළමු වරට බලන්නට යන ඕනෑම පුද්ගලයෙකු තුළ ලංකාවේ ඉපැරණි අතීතය පිළිබඳව බලවත් හැඟීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එහිදී අනුරාධපුරය, සීගිරිය හා පොළොන්නරුව යන ප්‍රදේශවලදී දකින්නට ලැබෙන අතීත ශ්‍රී විභූතියේ ස්මාරක ලෙස සැලකිය හැකි රුවන්වැලිසෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා ස්ථූපද, අවුකන බුදුපිළිමය, සමාධි පිළිමය වැනි ගලෙන් නෙළන ලද මහා බුදු පිළිමද, ඒවායේ තිබෙන ජල පොකුණු හා උද්‍යාන හා මාලිගාවල නටබුන්ද, කාශ්‍යප රජතුමා ඉදිකළ සීගිරියද බොහෝ තැන්වල දක්නට තිබෙන මහා වැව්ද දකින ඕනෑම පුද්ගලයෙකු තුළ ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ගැන බලවත් හැඟීමක් පහළවීම නොවැළැක්විය හැකිය. ඒ සියලු දේවල් අතරින් සීගිරි පර්වතයද සිංහ ස්වරූපයක් ලැබෙන ආකාරයට ඉදිකර තිබෙන සීගිරිය ඉතාමත් සුවිශේෂ ගණයේ කලා නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. එසේම වාරි කර්මාන්තයේදී පෙන්නුම් කර තිබෙන දියුණුවද නරඹන්නන් තුළ විස්මයක් ඇති කරයි. වැව්වල වතුර බැස්සවීමට යොදාගෙන තිබෙන වැව් ඉවුරේ ඉහළ කොටසේ ඇති බිසෝකොටුව වර්තමානයේ විශාල ජලාශවලින් පිටවන ජලය නැවැත්වීමට හා සීමා කිරීමට යොදා ගැනෙන වැල්ව් ටවර්ස් හා වැල්ව් පිට්ස්වලට සමාන බව පාකර් ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් කියා තිබෙන්නේ අවුරුදු 2100ටත් පෙර බිසෝකොටු බැඳීමෙන් ලංකාවේ ඉංජිනේරුවෝ ඒවාහි ආදිම කර්තෘවරුන් වීමේ ගෞරවය ලැබීමට සුදුස්සන් වන බවය.
ලංකාවේ අතීත ශ්‍රී විභූතියට අදාළ ඒ සියල්ල සත්‍යයක් වුවද රජරට ඒ යුගයේ පැවති ශිෂ්ටාචාරය ලෝකයේ පැරණි ශිෂ්ටාචාර අතර තිබුණු දියුණුම හා උසස්ම ශිෂ්ටාචාරය ලෙස සැලකිය නොහැකිය. දැනට හඳුනාගෙන තිබෙන ඉපැරණි ප්‍රධාන ශිෂ්ටාචාර අතරට ලංකාව ඇතුළත්වන්නේ නැත. අඩුම වශයෙන් ඉන්දියාවේ ඉන්දු නිම්නය ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති මොහොන්ජෝදාරෝ – හරප්පා ශිෂ්ටාචාරය තරමටවත් ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය වැදගත් කොට සැලකෙන්නේ නැත. එය එසේ වන්නට ඇත්තේ ලංකාවේ ඇති පැරණි ශිෂ්ටාචාරය තුළ වෙනත් ප්‍රධාන ශිෂ්ටාචාරවල දක්නට ලැබෙන නව නිපැයීම් හා සොයා ගැනීම් කිසිවක් ඇතුළත් නොවන නිසාය.

ශිෂ්ටාචාර
ශිෂ්ටාචාර ඇතිවීම ආරම්භවන්නේ මානව වර්ගයා කෘෂිකර්මය සොයා ගැනීමත් සමඟය. ස්වාභාවිකව වැවී තිබෙන දේවල් ආහාරයට ගන්නවා වෙනුවට ඒවා වවාගෙන ආහාරයට ගන්නා තැනකට යොමුවීමත් සමඟ කෘෂිකර්මය ඇතිවූ අතර එය මානව වර්ගයාගේ ඉතිහාසයේ ඉතා වැදගත් හා විප්ලවකාරී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ සමඟ ආහාර සොයාගැනීම සඳහා තැනින් තැනට යන ගමන අතහැර ස්ථිර ජනාවාස ඇති කරගැනීමක් සිදුවිය. බොහෝවිට මේ ජනවාස ඇතිවූයේ ගොවිතැන් කටයුතු සඳහා සුදුසු ගංගා නිම්න ආශ්‍රයෙනි. එම ගංගා අතරින් නයිල්, ටයිග්‍රීස්, යුප්‍රටීස් වැනි ගංගා ප්‍රධානය.
ක්‍රි.පූ. 4000ක් පමණ මිසරයේදී හා ඉන් වැඩිකල් නොගොස් බැබිලෝනියාවේද ලිවීමේ කලාව නිපදවනු ලැබීය. එම ශිෂ්ටාචාර දෙකේම ලිවීම සිදුවූයේ අදහස් කළ වස්තූන් චිත්‍රයට නගන ක්‍රමයක් මගිනි. අංක ගණිතය හා ජ්‍යාමිතිය ඇතිවන්නේද එම ශිෂ්ටාචාර දෙකේය.
මිසරයේ හා බැබිලෝනියාවේ පැවති ආගම් අතර ලොකු වෙනසක් තිබුණි. මිසරවරුන් මරණයෙන් පසු ජීවිතය ගැන උනන්දුවක් දක්වන විට බැබිලෝනියන්වරුන් වැඩි උනන්දුවක් දැක්වූයේ එලොව සැපත ගැන නොව මෙලොව සැපත ගැනය. මළවුන්ගේ ආත්මවල් කිසියම් අද්භූත තැනකට ගොස් එහිදී ඔවුන්ගේ මෙලොව ජීවිත ඔසයිරස් විසින් විනිශ්චය කරනු ඇතැයි මිසරවරුන් විශ්වාස කළහ. ඔසු ගල්වා මිනී කල්තබා ගැනීමේ ක්‍රමය හා පිරමිඞ් නමින් හැඳින්වෙන ශ්‍රේෂ්ඨ සොහොන් කොත් ක්‍රමය ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගෘහ නිර්මාණයේදී යොදා ගැනෙන කුලුන ගොඩනැගිලිවල මුදුන්වල තිබෙන ගෝලාර්ධ ශිඛරය හා ආරුක්කුව සොයා ගන්නා ලද්දේ මිසරුන්ය. දින 365 දින දර්ශනය හා බෝට්ටුව සොයා ගන්නා ලද්දේද ඔවුන්ය. ගණිතයේ භාගය, දශමය, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හා බෙදීම සොයා ගන්නා ලද්දේද ඔවුන්ය.
අභිචාර ක්‍රම, පේන කීම, ජ්‍යොතිෂ වැඩියෙන්ම සංවර්ධනය වූයේ බැබිලෝනියාවේය. දවස පැය 24කටද, කවය අංශක 360කටද බෙදන ලද්දේ ඔවුන්ය. ග්‍රහණයන් පිළිබඳ චක්‍රයක් සොයා ගන්නේ ලද්දේද ඔවුන්ය. ඒ නිසා චන්ද්‍ර ග්‍රහණයක් නිසැකවද, සූර්යය ග්‍රහණයක් තරමක් නිවැරදිවද කල්තියා ප්‍රකාශ කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුණි. බැබිලෝනියාවේ හබුරාවේ රජුගේ (ක්‍ර්‍රි.පූ. 2067-2025) නීති සංග්‍රහය මෙතෙක් දන්නා පැරණිම නීති සංග්‍රහය ලෙස සැලකේ.

ග්‍රීක ශිෂ්ටාචාරය
මධ්‍යම ඇමරිකාව ආශ්‍රයෙන් පැවති මායා ශිෂ්ටාචාරය සේ ම ඉන්දියාවේ ඉන්දු නිම්නය ආශ්‍රයෙන් පැවති මොහෙන්ජොදාරෝ-හරප්පා ශිෂ්ටාචාරය වැනි අනික් ප්‍රධාන ශිෂ්ටාචාරයෙන් නොසලකා ඉපැරණි ඉතිහාසයට ඇතුළත් ශිෂ්ටාචාරයන්ගේ අවසන් මහා පුරුක ලෙස සැලකිය හැකි ග්‍රීක ශිෂ්ටාචාරය ගැන කරුණු සලකා බලනුයේ ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වළකා ගැනීම සඳහාය.
ග්‍රීකයන් හෝඩිය ලබාගෙන තිබුණේ වෙනත් අයගෙනි. එහෙත් ඔවුහු එසේ ලබාගන්නා ලද හෝඩියට ස්වරයක් එකතු කළෝය. ග්‍රීක ශිෂ්ටාචාරයේ නැගීමට ඔවුන් විසින් දියුණු කරන ලද ලේඛන ක්‍රමය බලපෑවේය. එම ශිෂ්ටාචාරයේ වඩාත්ම ප්‍රකට ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන්නේ හෝමර්ය. හෝමර් කවුද යන්න නොපැහැදිලිය. ඔහු එක කවියකු නොව කවීන් සමූහයක් බව පිළිගත් විශ්වාසය වී තිබේ. හෝමර්ගේ ඉලියඞ් හා ඔඩිසි යන ග්‍රන්ථ දෙක නිම කිරීමට අවුරුදු 200ක් පමණ කාලයක් ගතවන්නට ඇති බවට තක්සේරු කර තිබේ. එය යුද්ධය හා සාමය ගැනද, ගෞරවය හා අවඥාව ගැනද, ආදරය හා වෛරය ගැනද ප්‍රබල හැඟීම් ප්‍රකාශ කරන ප්‍රථම මහා කාව්‍ය ලෙස සැලකේ.
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථම වරට ලෝකයට හඳුන්වා දුන්නේද ඔවුන්ය. ග්‍රීසියේ වෙනත් ශිෂ්ටාචාරවල වෙති. රජවරුන් ඒකාධිපතියන් නොවීය. ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලකුණේ සියලු රටවැසියන්ගේ රට පාලනය කිරීමය. එහෙත් ස්ත්‍රීන් හෝ වහලුන් රට වැසියන් ගණයෙහිලා සැලකුණේ නැත.
ග්‍රීකයේ රජවරුන් වෙනත් ශිෂ්ටාචාරවල රජවරුන් මෙන් ශිෂ්ටාචාරය තුළ සාහිත්‍ය හා දේශපාලන තලවල දකින්නට ලැබුණු දියුණුවට වැඩි දියුණුවක් බුද්ධිමය තලයේ දකින්නට තිබුණි. ගණිතය, විද්‍යාව හා දර්ශනය අවසාන වශයෙන් නිපදවන ලද්දේ ඔවුන්ය. ජ්‍යාමිතිය මුළුමනින් ග්‍රීක නිර්මාණයක් විය. නූතන වෛද්‍ය විද්‍යාව ආරම්භ වන්නේද ග්‍රීසියෙනි. ඉතිහාස රචනා සම්ප්‍රදාය ආරම්භ කළේද ඔවුන්ය.
ග්‍රීක ශිෂ්ටාචාරය මහා ප්‍රාඥයන් හත්දෙනකු බිහි කළේය. ඒ සියලුදෙනාට ප්‍රකට බුද්ධිමත් කියමනක්ද තිබුණේය. කේලිස් සැලකෙන්නේ දර්ශනවාදයේ ආරම්භකයා ලෙසය. ඔහුගේ බුද්ධිමත් කියමන වූයේ සියල්ල ජලයෙන් සෑදී ඇතැයි කියන කියමනය. සියල්ල වෙනස් වන බව හා අනිත්‍ය බව කීවේ හෙරාක්ලීටස්ය. ඔහුගේ මතය අනුව ලෝකයේ ඒකත්වය ප්‍රතිවිරෝධයන්ගේ සංයෝගයෙන් ඇතිවී තිබෙන ඒකත්වයකි. ලෝකය පඨවි, වායු, ආපෝ, තේජෝ යන මූලද්‍රව්‍යවලින් සැදී තිබෙන බව කීවේ එනිපිඩොක්ලිස්ය. වාතය ද්‍රව්‍යයක් හැටියට සොයා ගත්තේ ඔහුය. සියලු දේ සංඛ්‍යා වේයැයි කීවේ පෛතගරස්ය. සංගීතයේදී සංඛ්‍යාවන්ගේ වැදගත්කම සොයා ගන්නා ලද්දේ ඔහුය.
කොන්පියුසියස් – බුදුන් වහන්සේ අයත් වන්නේ එම සියවසේ ග්‍රීක ශිෂ්ටාචාරයේ සියවසටය. සිංහල වර්ගයාගේ ආදිතමයා වන විජය අයත්වන්නේද එම සියවසටය. ලංකාව අනුරාධපුර ශිෂ්ටාචාරය ආරම්භ කිරීමට සූදානම් වවිටත් ග්‍රීක ශිෂ්ටාචාරය උපරිමයකට වර්ධනය වී තිබුණි.
අප එයට හිමි නැති බොරු වටිනාකමක් දුන්විට ඒ වෙනුවෙන් පෙනී සිටින අපේ දූ දරුවන් ලෝකයා ඉදිරියේ හාස්‍යයට ලක්වීමය.■