ජීඑස්පී ප්ලස් ජයග්‍රහණය


kathu

 

යළිත් ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබේ. එය ජනාධිපතිවරයාගේ, ආණ්ඩුවේ මෙන් ම රටේ මහජනතාවගේ ද ජයග්‍රහණයකි. අතිශයෝක්තියෙන් කියන්නේ නම්, දින කිහිපයකට පෙර ලංකාවෙන් අපනයන භාණ්ඩ රැගෙන පිටත් වූ නැව් යුරෝපා සංගමයේ රටවලට ළඟා වන විට ඒ භාණ්ඩවලට ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය ලැබී තිබෙනු ඇත. මැයි 19 වැනි දා සිට මේ තීරු බදු සහනය ක්‍රියාත්මක නිසා ය.
ලංකාවට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය අහිමි වුණේ 2010 දී ය. ඒ අහිමි වුණේ, එවකට සිටි රාජපක්‍ෂ ආණ්ඩුව යුරෝපා සංගමයට යටත් නොවී, කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කළ නිසා නොවේ. ජීඑස්පී ප්ලස් සහනය සඳහා පවත්වා ගෙන යා යුතු අත්‍යවශ්‍ය මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් අමු අමුවේ කඩ කළ නිසා ය. මානව අයිතිවාසිකම් ඇත්තේ රටේ මහජනතාවට ය. ආණ්ඩුවක් වුවමනාවෙන් ම ඒ අයිතිවාසිකම්වලට එරෙහි ව යන විට ඉන් අගතියට පත්වන්නේ රටේ මහජනතාව ය. ජීඑස්පී ප්ලස් නැතිවන විට රටට සිදුවුණේ ආර්ථික පාඩුවක් පමණක් නොවේ. රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් ද ඉන් සිදුවිය.
ඒ අර්ථයෙන් ජීඑස්පී ප්ලස් නැවත ලැබීම යනු, එක පැත්තකින් විශාල ආර්ථික ලාභයකි. අනෙක් පැත්තෙන් රටේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් තත්ත්වය දියුණු වීමකි. තවත් පැත්තකින් පසුගිය දශකයේ රට අගාධයට ඇද ගෙන ගිය පසුගාමී දේශපාලන බලවේගවලට ලැබුණු කනේ පහරකි. ජීඑස්පී ප්ලස්වලින් කියන තරම් දෙයක් ලැබෙන්නේ නැතැ’යි අද බොරුවට විස්සෝප වන්නෝ ඒ පහර ලත් පිරිස ය.
ජීඑස්පී ප්ලස් ලැබුණාක් මෙන් ම යුරෝපා රටවලට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබුණු බාධක ද පසුගිය කාලයේ ඉවත් කරන ලදි. මේ සියලු පියවරවලින් රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් ලැබෙයි. ලංකාවේ සමස්ත අපනයනවලින් තුනෙන් එකක ප්‍රමාණයක් කෙරෙන්නේ යුරෝපා සංගමයේ රටවල් සඳහා ය. දැනටත් ඒ රටවලට කෙරෙන අපනයනයන් ජීඑස්පී ප්ලස් නිසා තව තවත් දිරි ගැන්වෙනු ඇත.
ජීඑස්පී ප්ලස් ලංකාව විෂයෙහි සදාකාලික නොවේ. ලංකාවට ඒ සහනය ලැබෙන්නේ පහළ මැදි ආදායම් ලබන රටක් හැටියට සලකා ය. වසර තුනක් එක දිගට ඉහළ මැදි ආදායම් ලබන රටක් හැටියට ලංකාව ශ්‍රේණිගත වුවහොත්, මේ තීරුබදු සහනය ලංකාවට නොලැබී යනවා ඇත. යුරෝපා සංගමයේ පුරෝකථනයන්ට අනුව 2021 වන තුරුවත් ලංකාවට මේ සහනය ලැබෙනු ඇත. එනිසා, ලැබෙන කාලය තුළ ඉන් උපරිම ප්‍රයෝජනය ලැබීම අවශ්‍ය ය.
ජීඑස්පී ප්ලස් සහනය ලැබුණු පමණින් ලංකාව ආර්ථික වශයෙන් දියුණු වන්නේ නැත. විවෘත වී ඇත්තේ මාවතක් පමණ ය. ඒ මාවතේ ගමන් කොට එහි ප්‍රතිලාභ නෙළා ගත යුත්තේ ලංකාව ය. අපනයනයන් සඳහා තීරු බදු සහන ලැබෙන විට, එහි ආර්ථික ප්‍රතිලාභය වැඩි කර ගත හැක්කේ අපනයනයන් වැඩි හා දියුණු කිරීමෙනි. නව අපනයන භාණ්ඩ හඳුන්වා දීමෙන්, නව්‍යකරණයන් හා අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීමෙන්, සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ නව්‍යකරණයට ලක් කිරීමෙන් ආදි ක්‍රමවලින් මේ විවෘත වූ අවකාශය ප්‍රයෝජනයට ගැනීම ආණ්ඩුවේ වගකීම යි. විශේෂයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය මේ වැදගත් වගකීම දරන ආයතනය හැටියට දියුණු කිරීම අත්‍යවශ්‍ය ය. අනෙක් අතට, ලංකාවට ලැබෙන තීරු බදු සහනය උපයෝගි කර ගෙන ලාභ ලැබීම සඳහා විදේශ ආයෝජකයන් ලංකාවේ නිෂ්පාදන ඇරඹීම හෝ තිබෙන නිෂ්පාදනවලට ආයෝජනය කිරීම ද සිදු විය හැකි ය. එය තවත් ආර්ථික සහනයකි.
ජීඑස්පී ප්ලස් ලැබෙන්නේ කිසියම් රටක හිතවත්කමකට නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කර ගන්නා ලද මූලික ප්‍රඥප්තීන් 27ක් කෙරෙහි බැඳෙන බවට ලංකාව දැක් වූ එකඟතාව මත ය. ජීඑස්පී ප්ලස් ලැබීමෙන් ඒ බැඳීම් ලංකාව විසින් මේ වන විට සියයට සියයක් සම්පූර්ණයෙන් ම ඉටු කරනු ලැබ ඇතැ’යි අදහස් නොවේ. ලංකාව සතුටුදායක ලෙස ඒවා ඉටු කරන්නට පටන් ගෙන ඇතැ’යි යන්න පමණක් ඉන් අදහස් වේ. ඒ නිසා ලංකාව සිටින්නේ යුරෝපා සංගමයේ අධීක්‍ෂණයකට යටත් ව ය. එකඟ වූ ඒ දියුණු සම්මුතීන් ලංකාව ක්‍රියාත්මක කරන්නේ ද යන අධීක්‍ෂණයට යටත් ව ය. ඒ සම්මුතීන් ක්‍රියාත්මක වන කල එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ද ලංකාවේ මහජනතාවට ය. ඒ නිසා, ආණ්ඩුව ඒ සම්මුතීන් ක්‍රියාත්මක කිරීම ද අවංක ව කළ යුතු ය.■