ශිෂ්‍ය ව්‍යාපාරය නම් කවන්ධය


jna

කේඩබ්ලිව් ජනරංජන

අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ නොතිබුණි නම් අපට අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මතකයේ හැටියට අප වැනියවුන් පාසල් ගමන ආරම්භ කරන 70 දශකයේ රජයේ පාසලක වසරක පහසුකම් හා සේවා ගාස්තුව රුපියල් 72ක් පමණ විය. ඊට වැඩි වියදමක් පාසල් සඳහා දරන්නට සිදුවුණි නම් සමහර විට පාසල් යෑම අපට ළඟාවිය නොහැකි සිහිනයක් වන්නට ඉඩ තිබිණ. ඒ එවැනි වියදමක් දරාගන්නට අපේ වැඩිහිටියන්ට අපහසු නිසාය. අර්ධ නාගරික පරිසරයක වූ අපේ නිවෙස් අවට සිටි අනෙක් සම වයසේ දරුවන් පාසල් නොගොස් හෝ අතරමගදී ඒවායින් කට්ටි පැන හෝ ජීවිතය ඉබාග ාතේ ගෙනයද්දී අප වැන්නන් ඒ කුලකයට නොවැටුණේ, නිදහස් අධ්‍යාපනය විසින් අප බදා වැළඳගත් නිසාය. රටේ නගර ගම් නියම්ගම්වල පහළ මධ්‍යම පන්තියට අයත් රටේ බොහෝ දෙනකුගේ ජීවන ප්‍රවෘත්තිය මේ ජීවන ප්‍රවෘත්තිය හා සමානවේයැයි සිතමි. ඒ නිසා මෙය පෞද්ගලික විස්තරයක් නොවේ. අපේ විස්තරයකි.
ඒ නිසා නිදහස් අධ්‍යාපනය රැකගැනීම එවැනි අප හැමෝගේම ජීවිත වගකීමකි.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අපි බොහෝ දෙනෙක් හැකි පමණින් ජීවිතය වෙනස්කරගෙන ඇත්තෙමු. ඒ වෙනසේ ප්‍රතිඵලයක් හැටියට අපේ ආර්ථික හැකියාව එදාට වඩා වෙනස්ය. අද අපේ දරුවන් ඉගෙන ගන්නේද රජයේ පාසල්වලය. රජයේ පාසල්වල දරුවන්ගෙන් අදත් නිල වශයෙන් අය කෙරෙන්නේ ඉතා සුළු මුදලකි. ඔවුන්ට පාසල් පොත් රජයෙන් නොමිලේ ලැබෙන අතර පාසල් නිල ඇඳුමක රෙදිද නොමිලේ ලැබේ. ඇත්ත වශයෙන්ම, දැන් අපට රජයෙන් ලැබෙන ඒ සහනය කෘතඥතා පූර්වකව නොගෙන සිටිය හැකිය. ඒ අප වැනියවුන්ට දරුවන් වෙනුවෙන් වියදම් කරන්නට කිසියම් හැකියාවක් අද තිබෙන නිසාය. ඒ කියන්නේ රජයේ සහාය අත්‍යවශ්‍ය නැති තීරුවක්ද සිටින බවය. ඒ නිසා තවදුරටත් අපේ දරුවන්ට පාසල් නිල ඇඳුම් හෝ පාසල් පොත් නොමිලේ ලැබීම යුක්ති සහගත නැත. රජය කළ යුත්තේ එවැනි පිරිසගෙන් ඉහළ පහසුකම් හා සේවා ගාස්තුවක්ද ලබාගැනීමය.
එහෙත්, 70 දශකයේ අප මුහුණ දුන් ඉරණමම අත්විඳින හෝ ඊටත් වඩා පහළින් සිටින පාසල් දරුවෝ ඕනෑ තරම් අදත් පාසල්වල සිටිති. ඒ සියලු දෙනාටම කොන්දේසි විරහිතව අධ්‍යාපනය රජයේ වියදමෙන් සැපයිය යුතුය. ඉහත කී ආකාරයෙන් අප වැනි අයගෙන් එකතු කරගන්නා හා ඉතිරි කරගන්නා මුදල්වලින් රජයේ සහාය අවශ්‍ය දරුවන්ට දැනට වඩා දෙගුණයක් සලකන්නට හැකිවනු ඇත. එවිට අවුරුද්දකට පාසල් නිල ඇඳුම් රෙදි දෙකක් හෝ තුනක් ඒ දරුවන්ට දිය හැකිය. සමහර විට සපත්තු ජෝඩුද දිය හැකිය.
එවැන්නක් කිරීමෙන් පාසල් තුළ පන්ති භේද ඇතිවන බවත්, ඇති හැකි අය හා ආධාර ලබන යනුවෙන් දරුවන් තුළ භේදයක් ඇතිවිය හැකි බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මාරාන්තික ලෙස කැපවී සිටින්නන් දැන් කියනු ඇත. ඔවුන්ට කිව යුත්තේ, හැමෝම එකම ගාස්තුවක් ගෙවිය යුතුව තිබුණු අපේ පාසල් අවධියේද එවැනි පන්ති භේදයක් හැමදාම, හැමතැනම තිබුණු බවය. සමාන පාසල් ගාස්තුවක් ගෙව්වත්, ඇති හැකි දෙමාපියෝ දරුවන් අතේ ටීචර්ලාට සාරි හා සර්ලාට කලිසම් රෙදි කමිස එවූහ. අඩු ගණනේ අවුරුද්ද මුල ඩයරියක්වත් එවූහ. පිනිජම්බු ගෙඩි වැනි එවැනි අම්මලා ගුරු දෙගුරු රැස්වීමට ආ විට අපේ දුර්වර්ණ කැහැටු අම්මලා සමඟ කතාකරනවාට වඩා ඇල්මෙන් ආදරයෙන් ටීචර්ලා ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කළෝය. ශිෂ්‍යභට කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් ආදි නේක කණ්ඩායම්වල නායකකම් හා සාමාජිකත්වයද ශිෂ්‍ය නායක තනතුරුද වැඩියෙන් ගියේ ඒ දරුවන්ගේ පැත්තටය. එහෙත්, අවවරප්‍රසාදිත අප වැන්නන් ගැන ඇස ගසාගෙන සිට වුවමනාවෙන්ම ඉදිරි පෙළට ඔවුන් ඇදගත්, වචනයේ පිරුණු අරුතෙන්ම ගුරුවරුන් යැයි කිවහැකි පිරිසක්ද ඒ කාලයේ සිටි බව ඔවුන්ට ගෞරවය පිණිස ලියා තැබිය යුතුය. හිත සනසා ගන්නට කවුරුන් කෙසේ කීවත් අද රටේ නිදහස් අධ්‍යාපනයක් නැත. නාමික වශයෙන් පහසුකම් හා සේවා ගාස්තුවක් ගන්නා නමුත්, නිල ඇඳුම් හා පොත් රජයෙන් ලැබෙන නමුත් ඊට පිටින් වසරකට අතිවිශාල මුදලක් දරුවන් වෙනුවෙන් පාසලට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතුය. දරුවන්ගෙන් එවැනි මුදල් වරින් වර එකතු නොකොට පාසලක් පවත්වාගෙන යන්නට කිසිම පාසල් ප්‍රධානියකුට බැරිය. පාසලේ ආරක්‍ෂක කටයුතු, විදුලි බලය, දුරකතන ගාස්තු වැනි සරල වියදම්වල සිට ගොඩනැගිලි අලුත්වැඩියාව, තීන්ත ගෑම වැනි හැම දෙයක් සඳහාම දරුවන් මුදල් ගෙවිය යුතුය. සමහර වියදම් ආණ්ඩුවෙන් ලැබෙන නමුත් ඒ නාමික මුදලකි. උදාහරණයක් හැටියට, පාසලක දුරකථන බිල මසකට රුපියල් විසි දහසක් පමණ වන විට රජයෙන් ලැබෙන්නේ රුපියල් දෙදහසක වැනි මුදලකි. පාසල් සංවර්ධන සමිතිවල ක්‍රියාකාරීව කටයුතු කර ඇති දෙමාපියෝ වෙත් නම් ඔවුහු මේ තත්ත්වය හොඳින් දනිති. ඒ හැරෙන්නට සියලුම විෂයන්ට ටියුෂන් සඳහාද දරුවන් වෙනුවෙන් අතිරේක විශාල මුදලක් ගෙවිය යුතුය.
දැන් නැවතත් කිසිවකු කියනු ඇත්තේ, මේ ක්‍රමය වැරදි නිසා සියලුම දරුවන්ට සියලුම පහසුකම් ආණ්ඩුවෙන් සැපයිය යුතු බවය. අධ්‍යාපනයට දැනට කරන වියදමට වඩා විශාල මුදලක් ආණ්ඩුව වෙන් කළ යුතු බවය. වාහන ගෙන්වීමට වැනි දේට කරන නාස්තිකාර වියදම් හා වංචා දූෂණ වලක්වා ගැනීමෙන් සල්ලි ඉතිරි කරගෙන ඒ මුදල් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ යුතු බවය. අසන විට සතුට ගෙනදෙන නමුත්, රටේ ඉතාම සුපිරිසුදු හා ප්‍රතිපත්තිගරුක වාමාංශික පක්‍ෂය කවදා හරි බලයට ආවත්, ඔවුන්ටත් කිසි දිනෙක එවැනි දෙයක් කළ නොහැකි බව නම් ඉඳුරාම කිව හැකිය.
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේය. රජයේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ සීමිත වීම නිසා වසරකදී උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන් ලක්‍ෂ ගණනකට ඒ අවස්ථාව හිමි නොවන බව දැන් ඕනෑවටත් වඩා පැහැදිලි කොට තිබේ. විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී දැන් ක්‍රියාත්මක වන සියයට 40ක් කුසලතා, සියයට 55ක් දිස්ත්‍රික් කෝටාව හා සියයට 5ක් අතිදුෂ්කර අධ්‍යාපන තත්ත්වය සහිත පාසල් පදනම් කරගත් ක්‍රමය අනුව, ඇත්ත වශයෙන්ම ඉහළ ප්‍රතිඵල සහිත, අනිවාර්යයෙන්ම විශ්වවිiාලයක් හිමිවිය යුතු දරුවන් අතිවිශාල පිරිසකටද එහි ඇතුළුවීමට ඉඩ නොලැබේ. පෙර කී ලෙසම, උසස් පෙළ සමත් වන සියලුම සිසුන්ට රජය නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයැයි කියන අදහස ඉතාම සිත්ගන්නාසුලු නමුත්, එවැන්නක් සිදු නොවේ.
අධ්‍යාපනය ලබන්නට ඇති අයිතිය කිසිසේත් උල්ලංඝනය කළ නොහැක්කකි. අනෙක් අතට, හැම සාමාන්‍ය දරුවකුටම උසස් අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්තාවක් ඇත්තේ තමන්ගේ ජීවිතයේ සීමිත කාල පරාසයක් තුළදීය. සාමාන්‍යයෙන් අවුරුදු 18න් පටන්ගන්නා ඒ කාලය අවුරුදු 24-25 වනතෙක් පැතිරිය හැකිය. ඒ කාලයෙන් පසු ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවන් වෙනස්වෙයි. ඉතින්, උසස් අධ්‍යාපනය ලැබිය යුතු ඔවුන්ගේ ඉහත කී ජීවන කාල පරිච්ඡෙදය තුළ එය ලබාගත නොහැකි නම්, ඉන් සිදුවන්නේද ඒ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කඩවීමකි. උසස් පෙළට පෙනීසිට සමත්වන දරුවන්ට නියමිත කාලය තුළ රජයේ විශ්වවිද්‍යාලවල දොර ඇරෙන්නේ නැතිනම්, වෙනත් ක්‍රමයකින් අධ්‍යාපනය ලබන්නට අයිතිය තිබිය යුතුය. රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට පරිබාහිර පද්ධතියක් ඔවුන් වෙනුවෙන් ඇරී තිබිය යුතුය. මුදල් ගෙවා හෝ ඒ අධ්‍යාපනය ලබන්නට දරුවන්ට නිදහස තිබිය යුතුය. එම අවස්ථාව මුදල් ගෙවීමේ හැකියාව මත තීරණය වන බව ඇත්තය. මුදල් නොගෙවා හැමෝටම ඒ අවස්ථාව ලැබෙනවා නම් ඉතාමත් හොඳ බවද ඇත්තය. එහෙත් එවැනි දෙයක් පෙනෙන තෙක් මානයක ඇති නොවන තත්ත්වයක් මත, මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලැබීමට හැකි විය යුතුය. එවැන්නකට ඉඩ දීමෙන් හැමෝටම අධ්‍යාපනය ලබාදීමට රජය දැරිය යුතු බරෙන් හා වියදමෙන් කොටසක්ද අඩුවෙයි. එහෙත්, පෙර කීවාක් මෙන්, මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය නොහැකි දක්‍ෂ සිසුන්ට තවදුරටත් රජය නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුය. ඒ සඳහා ක්‍රමවේද සකස් කළ යුතුය. එවැනි ක්‍රමවේද ලෝකයේ ඕනෑ තරම් තිබේ.
දැන් සිදුවන්නේ, කවදා හෝ රටේ දරුවන් සියල්ලන්ටම රජයේ වියදමෙන් සමාන අධ්‍යාපනයක් ලබාදෙන තෙක්, මේ මොහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාව තිබෙන සියලුම දෙනාට එසේ නොකර බලාසිටින්නට යැයි කීමකි. එය කුහකකමකි.
සයිටම් ප්‍රශ්නය හරහා අද මතුවී තිබෙන නිදහස් අධ්‍යාපනය පිළිබඳ මේ සංවාදය ෂයිලොක්ගේ මස් රාත්තල මෙන් තමන්ගේ ස්ථාවරය පමණක් දිනවා විසඳාගත හැක්කක් නොවේ. එහි පරදු පාර්ශ්වයෝ කිහිපයකි. පොදු විසඳුමකදී තම ස්ථාවරයන් සියයට සියයක්ම සම්පූර්ණ නොවන බව තේරුම් ගැනීම අවශ්‍යය. සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් දී ඇති විසඳුම ඒ සියලු පරදු පාර්ශ්වයන්ට සාධාරණ එකක් හැටියට පිළිගත හැකිය. අවාසනාවකට වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්ත්වය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නේ නැත. අඩු ගණනේ පසුගිය දශක තුන හතර පුරා ශිෂ්‍ය සටන්වලින් ඔවුන් ඉගෙනගෙන ඇති බවක්ද, ඔවුන්ට නායකත්වය දෙන දේශපාලන පක්‍ෂ ඒ ගැන ඔවුන්ට උගන්වා ඇති බවක්ද පෙනෙන්නේ නැත. ඒ අර්ථයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය අද ළංවන්නේ කවන්ධයකටය. එවැනි කවන්ධයකට රටේ සිසු දරුවන් තවත් ලේ හැලීමක් දක්වා ගෙනයෑමට ඉඩ දිය යුතුද?■