දේශපාලන අරමුණක් එක්ක කුහක විදිහට ගේන්න යන ව්‍යවස්ථාවක්

තරිඳු උඩුවරගෙදර

මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ ලොකු ගැටලු‍වක් එළියට පෙනෙන්න තියෙනවා. ආණ්ඩුව ඇතුළේ තියෙන ලොකුම අවුල මොකක්ද?
ඉතිහාසය පුරා දෙපැත්තේ හිටපු පක්ෂ දෙකක් එකට කටයුතු කිරීම කියන එක තමයි ලොකුම අවුල. කොහොම වුණත් සාකච්ඡා කරමින් මේ අවුල ලිහාගෙන ඉදිරියට යන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක හදිසියේ ඇතිවුණු තත්ත්වයක් නෙවෙයි. අපි අතර මතවාදී ප්‍රශ්නයක් තියෙනවා. අනික අපේ පක්ෂයේ කොටසක් විපක්ෂයේ ඉන්නවා. දැනට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳුම් ඉදිරිපත් කරමින් පවතිනවා. ඉදිරියේදීත් ප්‍රශ්න ඒවි. ඒවාත් සාකච්ඡා කරලා විසඳාගන්න බලාපොරොත්තු වෙනවා. බැරිවුණොත් අපි අයින්වෙනවා.

සරත් ෆොන්සේකා මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් තමයි මෑත කාලයේ ගැටුණේ. ශ්‍රීලනිප ඇමතිවරු මොනවා කිව්වත් ෆොන්සේකා ඇමතිවරයා දිගටම කියනවා ජනාධිපතිවරයා විහිළුවක් නෙවෙයි කළේ කියලා.
ඇත්තටම ජනාධිපතිතුමා කතාවක් මැද කළ ප්‍රකාශයක් ඒක. ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගත්ත නිල තීරණයක් නෙවෙයි. ඒක දැන් හැමෝටම පැහැදිලි වෙලා තියෙනවානේ. රාජිත සේනාරත්න ඇමතිවරයා ඒක කැබිනට් සාකච්ඡාවේදී කිව්වාම මාධ්‍යවල පළවෙන්නේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා නිල තීරණයක් ගත්තා වගෙයි. මොකද කැබිනට් සාකච්ඡාව තියෙන්නේ ඒ වගේ නිල තීරණ දැනුම් දෙන්න. කැබිනට් රැ ස්වීමේදී ඇහුණ දේවල් ඇසුරෙන් තමාට හිතෙන දේවල් කියන්න නෙවෙයි. කොහොම වුණත් දැන් ඒ ගැන අපි කතාකරලා විසඳුමක් යෝජනා කරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලයේදී රාජිත සහ ජෝන් ඇමතිවරයා මේ ගැන කතාකළා.

කැබිනට් මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආණ්ඩුවේ නිල මතය නොවන තමාගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කළාම ඒක ආණ්ඩුවේ නිල මතය විදියටයි සලකන්න වෙන්නේ. හැබැයි මෑත කාලයේ කැබිනට් ප්‍රකාශකවරයා කියන ඇතැම් දේවල් ආණ්ඩුවේ නිල මතය නෙවෙයි. මේ ගැන ආණ්ඩුව බරපතළ ලෙස කල්පනා කළයුතුයි නේද?
කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව ඉතාම බැරෑරුම් වගකීමක්. කැබිනට් ප්‍රකාශකවරයා කියන හැම වචනයක්ම ආණ්ඩුවේ නිල මතය විදියට පිළිගන්නවා. මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියන දෙයක් ආණ්ඩුව සැබැවින්ම කරන දෙයක් විදියට පිළිගන්නවා. මේ ආණ්ඩුව පක්ෂ දෙකක් එකතුවෙලා කරන ආණ්ඩුවක්. පක්ෂ දෙකට තියෙන්නේ වෙනත් අදහස්. මාධ්‍යවේදීන් උත්සාහ කරන්නේ හොඳ ප්‍රවෘත්තියක් හොයාගන්න. ඉතින් කැබිනට් මාධ්‍ය හමුවේදී කියන කතාවක් රටේ ජනප්‍රිය මාතෘකාවක් බවට ඉක්මනින්ම පත්වෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමබර වීම වැදගත්. කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ මේක පක්ෂ දෙකක් එකතුවුණ සන්ධාන ආණ්ඩුවක් කියන එක. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ප්‍රකාශවල එහෙම පරස්පර විරෝධයක් තිබුණේ නැහැ. මොකද ඒ ආණ්ඩුවේ ශ්‍රීලනිපය හැර හිටියේ කුඩා පක්ෂවල ඇමතිවරු. ඔවුන්ගෙන් දැවැන්ත විරෝධයක් එල්ලවුණේ නැහැ. අනික කෙහෙළිය ඇමතිවරයා ජනාධිපතිවරයාටත් වඩා බලයක් ආරෝපණය කරගෙන හිටියේ නැහැ. ප්‍රකාශක කියන එකේ වගකීම ඔහු දැනගෙන හිටියා. මෙතැන තියෙන්නේ මතවාද දෙකක් තියෙන පක්ෂ දෙකක්. ජනාධිපතිවරයා හෙවත් ආණ්ඩුවේ නායකයා ශ්‍රීලනිපයේ. අගමැතිවරයා එජාපයේ. ඒක තේරුම් නොගැනීම නිසා තමයි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. ඉදිරියේදී වගකීමක් සහිත තනතුරක් බවට කැබිනට් ප්‍රකාශක තනතුර පත්වෙන්න ඕනෑ. නැත්නම් මේක විහිළුකාරයන්ගේ ආණ්ඩුවක් විදියට දකීවි.

අලුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ශ්‍රීලනිපයෙන් පත්කරන බව ජනාධිපතිවරයා කියලා තිබුණා. දයාසිරි ජයසේකර ඇමතිවරයාට වැඩි අවස්ථාවක් තියෙන බවයි කියැවෙන්නේ. ඉදිරියේදී මොනවා වෙයිද?
ශ්‍රීලනිපය පැත්තෙන් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට සහභාගිත්වයක් ඕනෑ. ඇත්තටම කැබිනට් ප්‍රකාශකවරු දෙන්නෙක් පත්කළේ ශ්‍රීලනිපය සහ එජාපය නියෝජනය වෙන විදියට. දින සීයේ ආණ්ඩුවේදී රාජිත සේනාරත්න මහත්තයා පත් කරනකොට ඔහු ශ්‍රීලනිපයේ උපසභාපතිවරයෙක්. ඉන් පස්සේ තමයි ඔහු එක්සත් ජාතික පෙරමුණෙන් ඡන්දය ඉල්ලු‍වේ. අගෝස්තු ඡන්දෙන් පස්සේ කැබිනට් ප්‍රකාශකවරු දෙන්නාම එජාපයට ගියා. දැන් මේක ආපහු සමබර කරන්න ඕනෑ. හොඳම විසඳුම තමයි අපේ පක්ෂයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරන එක. ළඟදීම අපේ පක්ෂයෙන් ඇමතිවරයෙක්ව පත් කරාවි. මම, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා සහ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ නම් යෝජනා වෙලා තියෙනවා කැබිනට් ප්‍රකාශක ලෙස. කොහොමවුණත් ජනාධිපතිතුමාගේ අදහස් අනුව සුදුස්සෙක් පත් වේවි.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන චෝදනා තිබුණා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවෙනවා කියලා තියෙනවා. ඒක සිද්ධවෙන්නේ කොහොමද?
අපි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාව දිනවන්න, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාව පරදවන්න වැඩකරපු අය. ඒක හැමෝම දන්නා දෙයක්. අපි පක්ෂය වෙනුවෙන් ඒ වෙලාවේ පෙනී සිටියා. ඒක අපි හැමෝම දන්න නිසා යළි යළිත් ඒක කියන්න අවශ්‍ය නැහැ. ඉන්පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රීලනිප නායකයා වුණාම අපි එතුමා එක්ක ඉඳලා මහඡන්දයට ඉදිරිපත් වුණේ. ඒ ඡන්දයේදී එජාපයට බැරිවුණා ආණ්ඩුව හදන්න අවශ්‍ය බහුතරය ගන්න. එතකොට එක් පැත්තකින් පෙනෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ආවේ එජාප ඡන්දවලින් විතරක් නෙවෙයි කියන එකත්. කොහොමවුණත් අපේ පක්ෂයේ වැඩි කොටසක් විපක්ෂයට යද්දී අපි ආණ්ඩුවේ ඉඳගත්තා. එතකොට දැන් හැදුණු ආණ්ඩුව යූඇන්පී ආණ්ඩුවක් නෙවෙයි. අපි යූඇන්පිය කියන ඕනෑම දෙයකට අත උස්සන ලයිට් කණු නෙවෙයි. ඒක ඕනෑම කෙනෙක් තේරුම් ගන්න ඕනෑ. අපටත් අදහස් තියෙනවා. අපේ අදහස්වලට ස්වාධීන වටිනාකමක් ලැබෙන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සංවිධාන ගණනාවක් එක්ක ඇතිකරගත්ත එකඟතාවක් තියෙනවා. එතුමාට තමයි ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ. එතුමා අපේ පක්ෂයේ නායකයා බවට පත්වුණාම අපේ ප්‍රතිපත්ති ඇතුළේ ඉඳගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා දුන් පොරොන්දු ඉටු කිරීමට සහයෝගය දීමේ වගකීමක් අපට තියෙනවා. මේක උභතෝකෝටිකයක්. හැබැයි ජනාධිපතිතුමා සතු වගකීම අපට තේරෙනවා. මේ සියල්ල මෙසේ තියෙද්දී එළියට පෙනෙන්න තිබුණා අපි වගේ ආණ්ඩුවේ නෙවෙයි, ජනවාරි අටවැනිදා වෙනතුරු එජාපය නියෝජනය කරමින් විපක්ෂයේ සිටි කණ්ඩායම අපේ කණ්ඩායමේ අය තරම් දූෂිතයන් නෙවෙයි කියලා. අපි පවා හිතුවා ඔවුන් අපේ අයට වඩා දූෂිතයන් නොවන අය කියලා. ඔවුන් ප්‍රතිපත්තිගරුකයි කියලා අපි හිතුවා. ඔවුන් චෝදනා කළා අවුරුදු විස්සක් තිස්සේ ශ්‍රිලනිප ආණ්ඩුවල හිටපු දූෂිතයන් ආණ්ඩුවේ ඉන්නවා කියලා. ඉතින් අපව තමයි ආණ්ඩුවේ දූෂිත කණ්ඩායම විදියට හැඳින්වුණේ. එහෙත් ඇත්තටම මොකක්ද වෙන්නේ. එජාපයේ ඉන්න ඇමතිවරුන් අතර මුළු රටම දන්න දූෂිතයෝ ඉන්නවා. මහා පරිමාණ දූෂණ චෝදනා ඉදිරිපත් වුණා. හැම මනුස්සයාටම මේවා තේරෙනවා. ඉතින් අපි කියන්නේ පහුගිය අවුරුදු දෙකේ ආණ්ඩුව ඇතුළේ ශ්‍රීලනිපය සහ යූඇන්පිය කියන දෙකේම දූෂණ චෝදනා ලබලා තියෙන අයව ඉවත් කරන්න. ප්‍රතිපත්තිගරුක නොවන අයව අයින් කරන්න. ඒක ජනාධිපතිතුමාගේ වගකීමක්. මේක අපි යූඇන්පියට ගේම දෙන්නවත්, අපේ අයට ගේම දෙන්නවත් කරන දෙයක් නෙවෙයි. ඕනෑම කෙනෙක් දන්නවා මේ ආණ්ඩුවේ දූෂිතයන් ඉන්නවා කියලා. හොරෙක් නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ගෙනෙන්න මහන්සි වුණාද නැද්ද කියන එක අදාළ නැහැ. ඔවුන් ඉවත් කරන්න.

බොහෝ දෙනෙක් දන්නවා රවි කරුණානායක ඇමතිවරයා ඉවත්කළ යුතු බව කියන ඇමතිවරුන් අතරේ ඉදිරියෙන්ම ඉන්නවා කියලා. ඒ වගේ ලොකු බලයක් තියෙන චෝදනා ලත් ඇමතිවරුන් කිහිපදෙනෙක්ම ඉන්නවා. දැන් වාර්තාවෙන විදියට ඒ අයව ඉවත් නොකර තමයි කැබිනට් සංශෝධනය සිදුවෙන්නේ….
මට ඒ ගැන කියන්න බැහැ. අපි පැහැදිලිව ජනාධිපතිවරයාට කිව්වේ මේ විදියට ගියොත් මේ ආණ්ඩුව අව්වේ මහපාරක වැටුණු අයිස් පලමක් වේවි කියලා. සංශෝධන නොකළොත් ඉදිරියට යන්න බැහැ. එකක් දූෂණ සම්බන්ධයෙන් පියවර ගන්න වේවි. දෙවැන්න ආණ්ඩුවේ ඉන්න දූෂිතයන් සම්බන්ධයෙන් පියවරක් ගන්න වෙයි. තුන්වැනුව ආර්ථික වශයෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කරන්න වේවි. ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. පොදුවේ ගත්තාම රාජ්‍ය ත්‍රස්තවාදයක් නැහැ. ඒ සියල්ල හොඳයි. දැන් ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නේ උඩින් කිව්ව අවශ්‍යතා තුන ඉටු නොවීම. දැන් ආණ්ඩුව හැදුවේ කවුද, කලින් ආණ්ඩුව කළේ මොනවාද කියලා උද්දච්ච වාක්‍ය කියමින් හිටියා ඇති. ඉතාම තීරණාත්මකව අපි ජනාධිපතිවරයාට කිව්වා, ඔබතුමා තීරණාත්මක විදියට උඩින් කිව්ව තීන්දු අරගන්න. නැත්නම් අපි ආණ්ඩුවෙන් ඉවත්වෙලා ශ්‍රීලනිප කණ්ඩායම විදියට පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනවා කියලා. ඒක අපි තීරණාත්මක විදියට කියන්නේ. දූෂිතයන් ඉවත් නොකළොත් අපි ඉවත්වෙනවා, ජනාධිපතිවරයාට දරුණු ඉරණමකට මුහුණදෙන්න සිදුවේවි.

එජාපය ආර්ථික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. දැන් ප්‍රශ්නය ශ්‍රීලනිපය ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ නොදීමයි. එක්කෝ පක්ෂ දෙක එකතුවෙලා දෙපැත්තටම පිළිගත හැකි පොදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න ඕනෑ. නැත්නම් ආණ්ඩුවේ ආර්ථිකය ගැන වගකීම දරන එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනෑ. විවේචනම ගෙනෙන ශ්‍රීලනිපයටත් ආර්ථිකයේ අවුල ගැන වගකීමක් තියෙනවා නේද?
මම කලින් කිව්වා වගේ එජාප තීන්දුවලට අත උස්සන ලයිට් කණු නෙවෙයි අපි. අපි විශ්වාස කරන්නේ නෑ ආණ්ඩුව ක්ලියරන්ස් සේල් එකක් කියලා. අර වරාය අහවලාට, අර වරාය මෙයාට, අහවල් එක අහවල් රටට දෙනවා කිව්වාම අපි ඒවාට අත උස්සන්නේ නැහැ. එක්කෝ එජාපය අපි එක්ක කටයුතු කරන්න ඕනෑ. කොහොම වුණත් ඉදිරියේදී ජනාධිපතිතුමා වැඩියෙන් මේ කාරණාවලට මැදිහත් වේවි. කැබිනට් සංශෝධනයෙන් පස්සේ ආර්ථික කමිටුවේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකට ඉඳගනීවි. ඒ හරහා මධ්‍යස්ථ තීන්දු ගන්න හැකිවේවි.

නව ව්‍යවස්ථාව ගැන ශ්‍රීලනිපයට තිබුණේ වෙනත් අදහසක්. එහෙත් ව්‍යවස්ථාව ගැන මෙහෙයුම් කමිටුවට ශ්‍රීලනිපය ඒ මතය ඉදිරිපත් කළේ නැහැ. දැන් මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතට ශ්‍රිලනිපයේ අදහස් ඉල්ලලා තියෙනවා නේද? ඔබේ පක්ෂයේ අදහස ජනාධිපතිවරයා දුන් මූලිකම පොරොන්දුව කඩ කළ යුතුයි කියලාද?
මේක තේරුම් ගත යුතුයි. අපේ අදහසත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් හොඳයි. හැබැයි දැන් උත්සාහ කරන්නේ අවංක අරමුණෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව චෙක්මේට් කරන්නයි උත්සාහ කරන්නේ. යටි දේශපාලන අරමුණක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මෙතෙක් කල් බලයේ ඉඳලා විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතිවෙලා ඉන්නේ. මෙතැන දේශපාලන අරමුණක් එක්ක කුහක විදියට ගෙනෙන්න යන ව්‍යවස්ථාවක් විදියට අපි දකින්නේ. ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් අපි දකින්නේ මූලික දේවල් කිහිපයක් තියෙනවා. දහතුන්වැනි සංශෝධනය ඇතුළේ පළාත් සභාවලට බලය වැඩිකිරීම, විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අහිතකර බලපෑම නැතිකිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කියන්නේ මූලික අවශ්‍යතා. ඒවා අනිවාර්යයෙන් කරන්න ඕනෑ. ජනමත විචාරණයකට නොයා මේ කියන මූලිකම අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන්. දැන් මම කියන්නේ ජනමත විචාරණයක් දිනන්න බෑ. මේ වෙලාවේ ආණ්ඩුව පෙරළිලා දැවැන්ත අර්බුදයක් වෙන්න පුළුවන්. ඒ නිසා තුනෙන් දෙකෙන් කරන්න ඕනෑ කාරණා ගැන එකඟතාවකට ඇවිත් ඒවා මුලින් කරගන්න ඕනෑ. ඉන්පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන ක්‍රියාවලියකට යන්න පුළුවන්. ඒක තමයි අපේ අදහස.■