සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම


unanda

 

2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයන් කළයුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නොයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශක්‍යතාව ගොඩනංවා ගැනීම’ බවත් අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ.
මට තේරුම් යන අන්දමට නම් බොරුවට ශක්තිය අපතේ යැවීම යනුවෙන් ඔහු අදහස් කරන්නේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගරුකැරෙන දේශපාලනයක් ද නීතිරීතිද ඇතිකර ගැනීමට විවිධ තලයන්හි විවිධාකාර ලෙස අප බොහෝ දෙනා දරන වෑයම්ය. නිර්මාල්ට අනුව අප දැන් එම ක්‍රියාකාරිත්වයන් නතරකර 2020 ගෝඨාභය රජවන තුරු බලාසිටිය යුතුය.
වඩා වැදගත් වන්නේ ගෝඨාභයට මුහුණදීමට සූදානම් විය යුතුය ප්‍රකාශයයි. ඒ අනුව අප කළ යුතු කාර්යයන් ගණනාවකි.
පෝද්දල ජයන්තට මෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තරම් කිහිලිකරු හෝ කැඩිය නොහැකි යකඩ කකුල් සූදානම් කරගත යුතුය. ලසන්ත වික්‍රමතුංගට මෙන්, ක්‍ෂණයකින් ගවයන් මැරීමට යොදාගන්නා විදිනයක් මගින් මරාදැමීමට නියමිත මාධ්‍යකරුවන්ගේ අවසන් කටයුතු සඳහා අවශ්‍ය මූලික වියදම් ලැහැස්ති කරගත යුතුය. කීත් නොයර්ට මෙන් පැහැරගෙන වධහිංසා පැමුණුවහොත් සගයන්ට සොයාගත හැකිවන පරිදි දුරකථනය සංක්‍රීයව තබාගැනීමට ක්‍රම සකස්කර ගත යුතුය.
සිරස, සන්ඬේ ලීඩර්, උදයන්, සියත, ලංකා ඊනිව්ස් වැනි මාධ්‍ය ආයතන ගිනි තැබීම්වලට මුහුණදීමට වැලි, ගිනි නිවන උපකරණ, වතුර බවුසර් සහ විකල්ප කාර්යාල සොයා තබාගත යුතුය.
දෙහිවල සහ මට්ටක්කුලියේ තරුණ පිරිස් පැහැගෙන මරාදැමීම වැළැක්වීම පිණිස එම දරුවන් නිවෙස්වලින් පිටට නොයවා තබාගැනීමට මාපියන් සූදානම් විය යුතුය.
උතුරු නැගෙනහිර වෙසෙන විවේචනාත්මක මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරි පිරිස් මරණයෙන් බේරීම සඳහා බිංගෙවල් තනාගත යුතුය. නැත්නම් ආරක්ෂාව සඳහා රට යෑමට නොහැකි අය සිය කැමැත්තෙන් සිරගතවීමට සූදානම් විය යුතුය.
මීගමුවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ නිවෙස් ඉදිරිපට හරක් ඔළු‍ තැබෙනු ඇති බැවින් ඒවා වළ දමීමට වළවල් කපාගත යුතුය‍.
ජනමාධ්‍යවේදීන්, වේදිනියන්ගේ සියලු දුරකථන ටැප් කැරෙනු ඇති බැවින් නූතන තාක්‍ෂණයන්ගෙන් ඉවත්වී පරණ ක්‍රම සොයාගත යුතුය.
ඉහත දැක්වෙන්නේ මාධ්‍ය, එක් රැස්වීමේ සහ සංචරණයේ නිදහස සම්බන්ධයෙන් වර්ධනය කරගත යුතු ශක්‍යතා කිහිපයක් පමණි. අනෙක් අංශද මේ ගැන කල්පනා කිරීම වටී.
අපේ එකෙක්: අකීකරු ලේඛකයා
හේ තමා හඳුන්වා ගත්තේ අකීකරු ලේඛකයා කියාය. ඔහු නමින් යමීන් රශීඞ් විය.
‘දිනපතා කුලප්පු!’ නමින් සමාජ දේශපාලන උපහාසාත්මක බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය 29 හැවිරිදි යමීන්, පසුගිය අප්‍රෙල් 25දින සිය නිවස ඉදිරිපිටදී පිහියෙන් ඇන ඝාතනය කරන ලදි. ඝාතකයා රහසිගතය.
බාලවියෙහි සිට විසිවසරක් ඉන්දියාවෙහි ගතකළ යමීන් 2009 වසරෙහි යළි මාලදිවයිනට ආවේ එරට පිබිදෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ මාධ්‍ය කොටස්කරුවකු වීමටය. තවත් බ්ලොග්කරුවකු වූ අහමඞ් රිල්වාන් මේ ගමනෙහි ඔහුගේ යහපත් වැඩිමහල් මිතුරා බවට පත්විය.
දෙදෙනාම මාලදිවයින් සමාජය මානුෂික සහ නූතන එකක් බවට පත්විය යුතුයැයි විශ්වාස කළෝය. ඒ වෙනුවෙන් කැපවූවෝය.
2014 අගෝස්තුවෙහිදී සිය නිවස ඉදිරිපිටදී පැහැරගන්නා ලද මාධ්‍යවේදී අහමඞ් රිල්වාන් සදාකාලිකව අතුරුදන් විය. අපේ අකීකරු ලේඛකයා, සිය සගයාවූ රිල්වාන් සෙවීමෙහි පෙරමුණ ගත්තේය. රිල්වාන් අතුරුදන්වීම අරභයා ලියූ දිගු ලිපියක් යමීන් රශීඞ් අවසන් කළේ මෙසේය:
‘ඔහුගේ අතුරුදන්වීම ගැන නොනැවත, වෙහෙස නොබලා, ආත්ම පරිත්‍යාගයෙන්, ක්‍රියාකාරීව පිළිතුරු සොයන අනර්ඝ මිනිසුන් මට හමුවී තිබේ. ඔවුන් සමඟ වැඩකිරීමත් කතාබහ කිරීමත් රිල්වාන් නැතිවීමේ පාඩුවත්, පසුතැවිල්ලත්, කේන්තියත් සමනය කැරෙන මානසික ඔසුවකි.
නොදන්නා අයවලුන්ගේ කරුණාවෙන් මම සංවේදීත්වයටද පත්ව ඇත්තේමි. රිල්වාන් ගැනවූ දැවැන්ත ප්‍රචාරක පුවරුවක් ප්‍රවාහනය කිරීමෙන් පසු මුදල් ප්‍රතික්ෂේප කළ ට්‍රක්රථ රියදුරු, සහාය හා උදව් දෙමින් සහ විරෝධයට එක්වූ දන්නේම නැති අය ඒ අතර වෙති.
එසේ නමුත් රිල්වාන් සෙවීම විසින්, සිය පුරවැසියනට මාලදිවයින් රජය දක්වන අවඥාව මෙන්ම අපේ සමාජය පුරා ඇති භයානක වෛරී ස්වභාවයද මට මුණගස්වා තිබේ.
රිල්වාන් කොතරම් දුලබ මිනිසකුද යන්න මට දැන් තේරුම්යයි. ඔහු යහපත් මාර්ගය දැනසිටි අතර අතරමංවූ සෙනඟට මඟ පෙන්වීමට තැත්දැරීය. ඔහු සෙවීම, මට ජාතියේ ආත්මය සොයායෑමක් බවට පත්විය. මට රිල්වාන් සොයාගත නොහැකි තරමටම ජාතියේ ආත්මයද සොයාගැනීමට බැරිය.
ඔහු සෙවීම මම අත නොහරිමි. එහෙත් රිල්වාන්, මිතුරකු කෙරෙන් කියැවෙන පහත එන රුමීගේ සදාකාලික වචන අගයනු ඇති බවද මම දනිමි.
මන්ද මා සෙවිය යුත්තේ?
මා ද ඔහු වැනිම වෙමි
ඔහුගේ සාරය මා තුළින් කියැවෙයි
ඔහුගේ සාරය මා තුළින් කියැවෙයි. (2016 දෙසැම්බර් 12)
දැන් සිය මිතුරු මාධ්‍යවේදියාගේ හඬ බවට පත්වූ යමීන් රශීඞ්ද අප අතර නැත. වචනවලට ඒ සා බලයක් කැවූ යමීන් රශීඞ් වෙනුවෙන් කවරකු විසින් රුමීගේ කව් පද මුමුණනු ඇත්ද?
නව ත්‍රස්ත විරෝධී පනත
ආණ්ඩුවේ නව ත්‍රස්ත විරෝධී පනත කොතරම් දුෂ්ඨ සහ නපුරු එකක් විය හැකිදැයි දැන් අපි දනිමු. එය කෙටියෙන් පොලීසියේ බලතල අපාලිතව ඉහළ නංවන, ජනමාධ්‍යවේදය දඬුකඳේ ගැසිය හැකි, වධහිංසා පැමිණවීමට බලපත්‍ර දෙන, සැකකරුවන්ගේ අයිතින් වළපල්ලට යවන පනතකි.
එහෙත් මේ පනත් කෙටුම්පත ගැන ‘යහපාලන’ රජය බලයට ගෙනඒමට සහ එය ආරක්ෂා කරන කොළඹ සිවිල් සමාජය තවමත් නිහඬය. ජනමාධ්‍ය සංවිධානද නිහඬය. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමීන්ද නිහඬය. මෙම පනත දැනට පවත්නා අකාරයෙන් සම්මත වුවහොත් ජවිපෙ මෙන්ම අනෙක් නව වාමාංශික පිරිස්ද එහි ගොදුරු බවට පත්වීමට ඉඩ නැතිවා නොවේ.
මේ තාක් ඊට විරුද්ධත්වය දක්වා ඇත්තේ, මානව හිමිකම් ජනමාධ්‍යවේදීන්, වේදිනියන් හැරුණ විට දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ සිවිල් සමාජය පමණි.
ඉන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ මානව නිදහස රැකගැනීමේ කේන්ද්‍රය දෙමළ සමාජය වෙත මාරුවෙමින් ඇති බවක්ද?
කපා කොටා මරනවා!
යුද හමුදාව මෙවරත් බෞද්ධයන් ජීවත් නොවන උතුරු නැගෙනහිර ජයටම වෙසක් උත්සව සැරසිලි කළෝය. බෞද්ධයන් ජීවත් නොවන කිළිනොච්චිය වැනි පෙදෙසක විශාල වෙසක් සැරසිලි කර තිබුණේද යුද හමුදාව විසිනි. යුද්ධය පෙර මෙවැනි උත්සව පැවැත්වුණේ නැත.
එලෙස හමුදා බලයෙන් දෙමළ ජනයා ජිවත්වන පෙදෙස්හි බෞද්ධ වෙසක් සැරසිලි කිරීම වැරැද්දක් නොවේදැයි කියමින් මා විසින් යවන ලද ට්වීට් පණිවිඩයකින් උරණ වූ ‘බෞද්ධයකු’ ලංකාවට පැමිණිය හොත් ඊළඟ වෙසක් උත්සවයට පෙර මා කෑලිකෑලිවලට කපා මරාදමන බවට මුහුණු පොත හරහා පණිවිඩයක් එවුයේය. මේ පුද්ගලයා ව්‍යාජ නාමයක් නොවේ. ඔහු රත්නපුර පෙදෙසෙහි විවාහකව දරු සුරතල් බලමින් ජීවත්වන සැබෑ පුද්ගලයෙකි.
එවැනි ‘බෞද්ධයන්’ ගණනාවක්ම ඊටත් වඩා කැත තර්ජන මුහුණු පොතෙහි ලියා එවූහ. බොහෝ දෙනෙකුට අවශ්‍ය වූයේ මගේ මව සහ බිරිඳ ලිංගික වශයෙන් අතවරයට ලක්වනු දැකීමටය.
යුද්ධය, ආගම සහ පුරුෂ මූලික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කැරෙන විමසුමකට මේ මුහුණූ පොත්කරුවෝ ධන නිධානයකි.
එමෙන්ම ඒ බොහෝ දෙනා නිර්මාල් රංජිත්ගේ ඉහත කී අනාවැකිය අනුව බලයට ඒමට නියමිත ගෝඨාභය රාජපක්ෂ වන්දනා කරන අය වෙති.
එබැවින් අප ඊටත් සූදානම් වී සිටිය යුතු නොවේද?■