රාවය

ප්‍රගීත් කොටියෙක්ද?

ප්‍රගීත් කොටියෙක්ද?

කේ.සංජීව

ගිරිතලේ බුද්ධි කඳවුර භාර එවක නිලධාරියා වූ කර්නල් ෂම්මි කුමාරරත්නගේ දුරකතන දත්ත වාර්තාවන්ට අනුව 2010 ජනවාරි 25 වැනි දිනයේ සවස පැය 18 පමණ සිට එදින මැදියම් රාත්‍රියේ 23.18 දක්වා කාලය තුළ මේ දුරකතනය අවස්ථා 36කදී ක්‍රියාත්මක වී ඇත. ඉන් අනතුරුව 26 වැනි දින උදෑසන පැය 00.23 සිට එදිනම පැය 03.27 දක්වා අවස්ථා 78කදී මේ දුරකතනය ක්‍රියාත්මක වී ඇත. මෙයින් පෙනෙන්නේ අදාළ බුද්ධි නිලධාරියා 25 වැනි දිනයේ මුළු රාත්‍රියම නිදිවර්ජිතව සිට ඇති බවයි.
මේ දුරකතන ඇමතුම් සියල්ල ක්‍රියාත්මක වී ඇත්තේ අක්කරෙයිපත්තුව හෝ ඒ අවට දුරකතන සන්නිවේදන කුලු‍නු හරහාය. මේ අනුව ඔවුන් ප්‍රගීත් අක්කරෙයිපත්තුවට රැගෙන පැමිණියා නම් ඔවුන් නිදිවර්ජිතව 25 වැනි දින රාත්‍රියේදී ප්‍රගීත් සමඟ කළ රාජකාරිය කුමක්ද? දැනට හෙළිවී තිබෙන තොරතුරුවලට අනුව ප්‍රගීත් එක්නැළිගොඩ අක්කරෙයිපත්තු හමුදා බුද්ධි කඳවුරට ගෙනගියා යැයි සිතිය හැකිය. එතැනින් එහාට තොරතුරු සෙවීම සදහා රහස් පොලීසිය අනවරත අරගලයක නිරතවෙමින් සිටින්නේය. ඒ රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට මේ පරීක්ෂණවලට එල්ලවෙන අවහිර කිරීම් බලපෑම් හමුවේය. ඒ අවහිර කිරීම් සියල්ල පැමිණෙන්නේ මේ සැකකරුවන් විශිෂ්ට රණවිරුවන් කියන පදනම මත සිටය. පසුගිය යුද්ධයේදී අදාළ යුද ජය වෙනුවෙන් මේ නිලධාරීන් සහ සෙබළුන් මෙහෙයක් සිදුකළ බව අපි මොහොතකට පිළිගනිමු. එහෙත් ඒ මෙහෙය නිසා මේ සාහසික වැරැද්ද අහෝසිවන්නේ යැයි කාට නම් තර්ක කළ හැකිද?
ප්‍රගීත් කොටියෙක්ද?
ප්‍රගීත් අතුරුදන් කිරීමේ මෙහෙයුමට සම්බන්ධ රණවිරුවන් කියන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක පාර්ශ්වයන් එම ක්‍රියාවලිය සාධාරණීකරණය කරන්නේ ප්‍රගීත් කොටියෙකු බව ප්‍රකාශ කරමින්ය. මේ නිසා ප්‍රගීත් කොටියෙකු කිරීම දැවැන්ත මාධ්‍ය මෙහෙයුමකි. ඒ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස යුද හමුදා බුද්ධි අංශයම ප්‍රකාශ කළේ ප්‍රගීත් ප්‍රහාරයක් සඳහා කොටින් එක්ක එකතුව සැලසුම් කරනවා තමන්ට හෙළිවී ඇති බවය. ඔවහු එතැනිනුත් ඉදිරියට යමින් කීවෝ තමන්ට ඒ සඳහා සාක්ෂි ලෙස හඬ පටයක් ලැබී ඇති බවය. දැන් අපට දැනගන්නට ලැබෙන්නේ මේ ප්‍රකාශයද අල්ලේ පැළවෙන බේගලයක් බවය.
කෙලෙසක හෝ මේ පිළිබඳව ඇත්තම තොරතුරු දැනගැනීම සඳහා රහස් පොලිසිය අදාළ අංශවලින් විමසා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී රහස් පොලිසිය යුද්ධ හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, අණදෙන නිලධාරි විශේෂ කාර්ය බලකාය, අධ්‍යක්ෂ විශේෂ කාර්යාංශය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය, අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව, අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය, නියෝජ්‍ය පොලිස්පති ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුගේගොඩ යන අංශවලින් අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ යම් අපරාධයකට හෝ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධවී තිබෙන්නේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල ලබාදීමක් කර තිබේද නැතහොත් ඔහුට විරුද්ධව යම් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන ප්‍රශ්න යටතේ කරුණු විමසා ඇත. එහිදී අදාළ පාර්ශ්වයන් දන්වා ඇත්තේ ඒ පිළිබදව තමන් සතුව කිසිදු වර්තාවක් නොමති බවය. ඒ අනුව පැහැදිලි වන්නේ එවක රාජපක්ෂ පාලනයට තමන් කළ සාහසික ක්‍රියාව වසාගැනීමට අතේ පැළවෙන බොරුවක් නිර්මාණය කරන්නට සිදුවී ඇති බවය. ප්‍රගීත් කොටියෙකු වන්නේ එලෙසින්ය. මේ ක්‍රියාවන්ට එකල හමුදාව නොමසුරු දායකත්වය සපයා ඇත. ඒ ආරක්ෂක ලේකම්වරයා නිසා වන්නට බැරි නැත. කරුමය වන්නේ යහපාලනය පැමිණි පසුද හමුදාවේ පිළිවෙත එයම වීමය. ඒ අනුව පෙනෙන්නේ හමුදාව තුළ ගෝඨාගේ සෙවණැල්ල තවදුරටත් සෙලවෙන බවය.
හමුදාව තවමත් ගෝටා යටතේද
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කළවුන් සොයාගෙන යන රහස් පොලිසියට ඒ පිළිබඳව ලැබෙන තොරතුරු කියන්නේ මෙය ගිරිතලේ බුද්ධි කදවුරේ එවක අණ දෙන නිලධාරියා යටතේ සිද්ධවූ වැඩක් බවය. ඒ කතාව අපි මේ වනවිට සෑහෙන ප්‍රමාණයකට කියවා අවසන් කර ඇත්තෙමු.
අක්කරෙයිපත්තුව කඳවුරේ සිදුවීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත්වෙන සාධක සහ සාක්ෂි යම් ප්‍රමාණයක් තවදුරටත් ලියන්නට ඉතිරිව තිබේ. අපට ඒ පිළිබඳව ඉදිරි සතියකදී කරුණු ලිවිය හැකිය.
රහස් පොලිසියේ පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව ගිරිතලේ කඳවුරේ සේවය කළ යුද්ධ හමුදා නිලධාරින් සහ සෙබළුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වෙන අතර ඔවුන්ට විරුද්ධව නැගෙන චෝදනා සනාථ කරගැනීම සඳහා යුද හමුදාව වෙතින් විසාල තොරතුරු ප්‍රමාණයක් අධීක්ෂණයට අවශ්‍ය වෙයි. ඒ අනුව 2015 සැප්තැම්බර් 28වැනි දින රහස් පොලිසිය යුද හමුදාවෙන් ලේඛන සහ වාර්තාවන් රැසක් ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි බී වාර්තාවක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ඒ 1979 අංක 15 දරන අපරාධ නඩු විභාග සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුවය. එහිදී ඔවුහු කරුණු 11ක් යටතේ අදාළ වාර්තා සහ ලේඛන ලබාදෙන්න යැයි ඉල්ලීමක් කරති.
1. ගිරිතලේ පිහිටි 3වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් කඳවුරේ 2009 අගෝස්තු 01 වැනි දින සිට 2009 අගෝස්තු 31 දක්වා සහ 2010 ජනවාරි 01 සිට 2010 ජනවාරි 31 යන දිනය දක්වා කාලය තුළ රාජකාරි කරනු ලැබූ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනයන් සහිත වාර්තාවක්
2. එම කාලයටම අදාළව එම කඳවුරේම ප්‍රධාන දොරටුවේ භාවිත කරනු ලැබු වාහන ඇතුල්වීම සහ පිටවීම සම්බන්ධව සටහන් තබන ලද DOB ලේඛනය.
3. එම කාලයටම අදාළව කඳවුරේ දොරටුවේ භාවිත කරනු ලැබු නිලධාරීන් සහ සෙසු නිලයන් පැමිණීම සහ පිටවීම සම්බන්ධ සටහන් තබන ලද DOB ලේඛණය.
4. එම කාලයටම අදාළව එම කදවුරේම නිලධාරින් සහ සෙසු නිලයන් පවිච්චි කළ වාහනවලට ඉන්ධන ලබාගැනීම පිළිබඳව T80 පෝරම සම්බන්ධ වාර්තාව
5. එම කාලයේම එම කඳවුරේම බුද්ධි කාර්යාලයේ පවත්වාගෙන ගිය DOB ලේඛනය.
6. එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් නිවාඩු ලබා පිටවීම සහ යළි කඳවුරට පැමිණීම සටහන් කරන ලේඛනය.
7. එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් නිවාඩු ලබා පිටව යනවිට ලබාදෙන පෝරමවල තොරතුරු සහ ලියූ චිට් පොතේ ඉතිරි කොටස සහිත පොත්.
8. එම කාලයේම එම කඳවුරේම බුද්ධි බලකායේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ආහාර වියදම් ලබාදීම පිළිබඳව පවත්වාගෙන යන ලේඛනය.
9. එම කාලයේම එම කඳවුරේම බුද්ධි නිලධාරීන් සහ සෙසු නිලයන් දිනපතා කරනු ලැබූ රාජකාරි, පුහුණුවීම් සදහා පිටවීම් සහ යළි පැමිණීම, පාඨමාලාවන් හැදෑරීම සඳහා පිටවීම සහ යළි පැමිණීම පිළිබඳව වූ වාර්තාවන්.
10. එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් භාවිත කළ දුරකතන අංකවල විස්තර සහිත වාර්තාවක්.
11. එම කඳවුරේම එම කාලයේදීම අණදෙන නිලධාරියා විසින් කඳවුරේ සිට කිලෝමීටර් 20ක් දුරට වැඩිය යන්නේ නම් ඒ සදහා ගත යුතු අනුමැතිය සහිත උ නමැති වාර්තාව.
රහස් පොලිසිය අධිකරණයෙන් මේ ඉල්ලීම කරන්නේ 2015 සැප්තැම්බර් 28 වැනි දිනය. මේ වාර්තාව ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව වූ අධිකරණ නියෝග ලැබිණ. ඉන් අනතුරුව හමුදාවේ හැසිරීම කෙසේද? ඒ හැසිරීම නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට හිතෙන්නේ හමුදාව තවම පාලනය කරන්නේ රාජපක්ෂවරුන් බවය.
ඉන්පසු
සිද්ධවන්නේ දිගින් දිගටම යුද හමුදාව අදාළ ලේඛන සහ වාර්තා අධිකරණයට හෝ රහස් පොලිසියට ලබා නොදීමය. අධිකරණයට දිගින් දිගටම හමුදාපතිවරයාට නියෝග නිකුත් කරන්නට සිද්ධවෙන අතර එහිදීද හමුදාව කරන්නේ ඒ නියෝග නොසලකා කටයුතු කිරීමය. එහිදී ඔවුන් අධිකරණය හෑල්ලු‍වට ලක්කළ බව පිළිගත යුතුය. අවසානයේදී අධිකරණයෙන් සහ ජනතාවගෙන් ආ පීඩනය නිසාදෝ හමුදාව යම් යම් තොරතුරු පොලිසිය වෙත ලබා දෙන අතර ඒවාද සමහර විට පරීක්ෂණ නොමගයවනසුලු‍ වීම සහ දෝෂ සහිත වීම, ඉල්ලූ තොරතුරු මගහැර වෙනත් තොරතුරු ලබාදීම, අදාළ තොරතුරු නැති බව පැවසීම යනාදි ලෙස සිදුවීම සැලකිය යුතුය. ඒ අනුව දිගින් දිගටම යුද හමුදාව මේ පරීක්ෂණවලට බාධාකිරීම් සිදුකළායයි කීම යුක්තියුක්තය.
මේ තත්ත්වය යටතේ 2016 ජනවාරි 25 වැනි දින පොලිසිය අධිකරණයට කියන්නේ, 2015 සැප්තැම්බර් 28 නියෝගවලට අනුව විමර්ශනයට අවශ්‍ය ලේඛන සහ අනෙකුත් දෑ අසම්පූර්ණ ලෙස ඉදිරිපත් කළ බවය. සමහර ලේඛන තමන් සතුව නැතැයි ප්‍රකාශ කළ බවය. ඉන්පසුව පොලිසිය නැවත අධිකරණයට කියන්නේ, අධිකරණය 2016 ජනවාරි 11 වෙනි දිනයට අදාළව ලබාදුන් නියෝග හමුවේ යුද හමුදාවේ පොලිස් සේවා බලඇණිය ඉහත කඳවුර පරික්ෂා කළ බව සහ එහිදී පරීක්ෂණවලට අවශ්‍ය වේයැයි සිතන ලේඛන කිහිපයක් සහ වාර්තා කිහිපයක් සොයාගත් බවය. මෙම කඳවුරු පරික්ෂාවට කර්නල් ඉලංගකෝන් නමැති නිලධාරියා සමඟ යුද හමුදා පොලිසියේ කණ්ඩායමක් සහභාගිවී ඇති අතර එම ලේඛන 2016 ජනවාරි 19වැනි දිනයේදී කපිතාන් දොන් කවුෂල් යන නිලධාරියා විසින් රහස් පොලිසියට ගෙනැවිත් භාරදී ඇත. එම තොරතුරුද බොහෝමයක් අසම්පූර්ණ බව දැනගන්නට ලැබෙන අතර ලැබෙන සීමිත තොරතුරු හමුවේ රහස් පොලිසිය අසීරු ගමනක යමින් සිටියි.
මේ ලැබුණු තොරතුරු සහ තවදුරටත් හමුදාව පොලිසිය වෙත ලබාදිය යුතු තොරතුරු ඉදිරි ලිපියකදී තවදුරටත් සටහන් කළ හැකිය. කෙලෙසක නමුත් පොලිසිය ඉල්ලන තොරතුරු ලබාදීමට හමුදාව බැඳී සිටින බව කිවයුතුය. අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ඉල්ලන තොරතුරක් ලබා නොදීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි. අදාළ තොරතුරු නැතැයි, විනාශවී ඇතැයි වැනි කතා කීම ලෝකයේ විශිෂ්ටතම හමුදාවයි කියා නම් ලබන ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ කැරැට්ටුවට එතරම් හොඳ මදි බව සදහන් කළ යුතුමය.
මීට දිනට සති දෙකකට කලින්ද අධිකරණය නැවත යුද්ධ හමුදාපතිවරයාට නියෝග කළේ පොලිසිය ඉල්ලන තොරතුරු නොපමාව ලබාදීමට කටයුතු කරන්න කියාය. එහෙත් දිගින් දිගටම ඒ අවශ්‍ය සහාය හමුදාවෙන් ලැබෙන්නේ නැති බව පෙනේ. ඒ නොලැබීයාම නිසාම පරීක්ෂණ එන්න එන්නම ප්‍රමාද වෙමින් තිබෙයි. එහෙත් තවමත් මේ සිද්ධියට අදාළ හමුදා සැකකරුවන්ට නොයෙකුත් සහායන් හමුදාව වෙතින් තවදුරටත් සැපයීම එළිපිටම පෙනෙන්නට තිබෙන කරුණක්ය. ඒ අනුව හමුදාව පෙන්වන්නේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදී හමුදාව මත ගෑවී තිබෙන කළු පැල්ලම සෝදාගන්නට හමුදාව තවමත් සුදානම් නැති බව නොවේද?■