Wednesday, 23/8/2017 | 12:28 UTC+0
රාවය

සමාජ මාධ්‍ය හරහා කටකථා හා නවීන මිථ්‍යා පැතිරීම නතර කළ හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ බරවා ක්‍ෂූද්‍ර පරපෝෂිතතාව දැන් ඉතා අවම අගයක් ගන්නවා. එහෙත් තවමත් මෙරට දිස්ත්‍රික් අටක බරවා රෝගය අඩු මට්ටමින් හමු වනවා.
නැවත එම රෝගය හිස එසවීම වැළක්වීම සඳහා බරවා රෝග මර්දන ව්‍යාපාරය කටයුතු කරනවා. මෙයට නිරතුරු රෝග ආවේක්‍ෂණය පවත්වා ගැනීම වැදගත්. බරවා රෝගකාරකයා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ පැමිණෙන බැවින් බරවා රුධිර පරීක්ෂාව රාත්‍රීයේදී සිදු කිරීම අවශ්‍යයි.
මේ සඳහා රාත්‍රියේ නිවෙස්වලට පැමිණෙන බරවා මර්දන ව්‍යාපාරයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් නිවැසියන්ගේ රුධිර පරීක්ෂා කිරීම දශක ගණනක සිට අපට පුරුදු දෙයක්.
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබුණු පදනම් විරහිත කටකතාවක් වූයේ යම් සංවිධානයකට සම්බන්ධ පිරිස් නිවෙස්වලට පැමිණ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් එන්නත් කටු මගින් එච්අයිවී වයිරසය පතුරවා හරින බවයි.
මේ ප්‍රලාපය බොහෝ දෙනකු නොසිතා, නොබලා ෂෙයාර් කිරීම හරහා අහේතුක භීතියක් ඉක්මනින් සමාජගත වුණා. එය සැබෑවට ගත් සමහරුන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට බැන වැදී පන්නා ගත් බවත්, ඔවුන්ගේ රාජකාරි අඩපණ වූ බවත් වාර්තා වුණා.
එසේ පැමිණෙන නිලධාරීන් නිල ඇඳුමෙන් සැරසී, සේවා හැඳුනුම්පත් පැළඳ සිටින අතර ඔවුන්ට සහාය වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ රුධිර පරීක්ෂාවට අවශ්‍ය බින්දු දෙකක් පමණයි. එය ලබා ගන්නට යොදා ගන්නා ඉඳිකටුව අලු‍තින්ම නිවැසියන් ඉදිරියේම විවෘත කරන බවත්, කිසිදු සැකයක් තිබේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.
“සෞඛ්‍ය සේවාවට හානි වන අයුරින් අසත්‍ය ප්‍රචාර පතුරන සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස” ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව ද වාර්තා වුණා.
කියන්න.lk වෙබ් අඩවියේ මේ ගැන විග්‍රහයක් කළ පැරකුම් ජයසිංහ මෙසේ කීවා: “මෙවැනි පදනම් විරහිත අසත්‍ය ප්‍ර‍චාර සමාජ මාධ්‍ය හරහා පැතිර යාම ශ්‍රී ලංකාවේ සුලබය. පසුගිය අවුරුදු සමයේ පතුරුවා හරින ලද කටකතාවකින් කියැවුණේ එක්තරා ජනවර්ගයක සාමාජිකයන්ට අයත් රෙදි කඩවල අලෙවියට තබා තිබෙන කාන්තා යට ඇඳුම්වලට ගල්වා තිබෙන ඖෂධයක් හේතුවෙන් කාන්තාවන් වඳ භාවයට පත් වන බවයි.”
සෞඛ්‍යය ගැන බොහෝ දෙනා සැලකිලිමත්. එනිසා බොරු ප්‍රචාර පතුරුවන්නෝත් එයට අදාළ වන්නට වැර දරනවා. ලෙඩ රෝග, පෝෂණය, සරුබව ආදි සාධක හරහා ලක් සමාජයෙන් බහුතරයක් දෙනා රවටන්නට හැකියි.
අපේ පොතේ උගතුන් බොහෝ දෙනකු පවා අභව්‍ය යමක් කියා රවටන්න ලෙහෙසියි. සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන විට ලක් සමාජයේ ජනප්‍රිය “නවීන බිල්ලෝ” හදා ගෙන තිබෙනවා. විදෙස් රහස් ඔත්තු සේවා, වතිකානුව, ඉන්දීය රජය, බහුජාතික සමාගම්, ෂීෂී වැනි යමක් ඈඳා ගනිමින් කුමන හෝ අභව්‍ය කථාවක් ගොතා මුදා හැරියොත් දිගට හරහට පැතිරෙනවා.
ඒවා හරියට කටකථා වගේ තමයි. අද සමාජ මාධ්‍ය හරහා කටකථාවලට උත්තේජක හෙවත් “ස්ටීරොයිඞ්” ලැබෙනවා වගේ වැඩක් වෙනවා.
සමාජ මාධ්‍ය වේදිකාවල ස්වභාවය අනුව මෙවන් අසත්‍යයක් කවුරු කොතැනින් පටන් ගත්තා ද යන්න සොයා ගැනීම අතිදුෂ්කරයි. මේවා පැතිර යාම හැකි තාක් අවම කර ගැනීම තමයි අපට කළ හැක්කේ. එසේ නැතිව වාරණ, තහංචි හෝ බ්ලොක් කිරීම අපරිණත ක්‍රියාවක්.
මේ සිදුවීම ගැන මත පළ කරන බොහෝ දෙනකුට සමාජ මාධ්‍ය වන්නේ මොනවාද හා නොවන්නේ මොනවාද යන්න ගැන හරි අවබෝධයක් නැති බව පෙනෙනවා. පොදුවේ ඉන්ටර්නෙට්වලට ගරහන්නම බලා සිටින අයත් මේ වාදයට පිවිසිලා.
ඉන්ටර්නෙට් කියන්නේ ඉතා විශාල හා විවිධාකාර අවකාශයක්. ඒ ගැන කථා කරන විට සංකල්පීය නිරවුල් බව අවශ්‍යයි.
2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ (එනම් මිලියන් 6ක් පමණ) නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටි බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බටත් විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයන් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.
මෙය තව දුරටත් නගරවලට හෝ ඇති හැකි අයට සීමා වූවක් නොවෙයි. රට පුරා විවිධ සමාජ තරාතිරම්වල අය මිලියන් හයකට වැඩි දෙනකු වෙබ්ගත වනවා. අපේ වෙබ් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හෝ වෙනත් ජංගම උපාංග හරහායි.
අඩු තරමින් සමාජ මාධ්‍ය එකක්වත් භාවිත කරන අය මිලියන 3.5ක් පමණ මෙරට සිටිනවා. Facebook ෆෙස්බුක් තමයි ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව. එයට අමතරව Twitter” Instagram” WhatsApp වැනි වේදිකා හරහා ද ලක්ෂ ගණනක් අය තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නවා (ෂෙයාර් කරනවා). මේ තමයි නූතන සන්නිවේදන යථාර්ථය.
මා සරසවි සිසුන්ට නව මාධ්‍ය උගන්වන විට එකිනෙකට වෙනස් වෙබ් අවකාශ පහදා දෙන්නට එක්තරා උපමිතියක් යොදා ගන්නවා.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන්) ආයතනවල නිල වෙබ් අඩවි තිබෙනවා. මේ කවුද – මොනවද කරන්නෙ කියා ප්‍රකටයි. මේවා රටේ නීතිරීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයි. උපමිතියකින් මා මේවා සම කරන්නේ සුපර්මාකට් වගේ කියායි.
සුපර්මාකට්වල බඩුවල ප්‍රමිතියක් තිබෙනවා. එහෙත් හැම සුපර්මාකට් ජාලයේම හමු වන්නේ එකම භාණ්ඩම තමයි. වෙනසක් නැති තරම්. එකම පුවත් ගොන්න මාධ්‍ය වෙබ් අඩවි හැමෙකකින්ම මතු වෙන්නේත් එලෙසමයි.
ඊළඟට වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය තිබෙනවා. සමහරක් මේවා රට තුළත් අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනවා. ලංකා ඊ-නිවුස්, ශ්‍රී ලංකා මිරර්, ඒෂියන් මිරර් වැනි පුවත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. සැවොම මාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වීත් නැහැ (එසේ කිරීම මෙරට කිසිදු නීතියකින් අනිවාර්ය නැති නිසා).
මේවායේ පූර්ණකාලීනව නියැලෙන අය සිටිනවා. කතුවරුන් ප්‍රකාශකයන් සමහර විට ප්‍රකට නැහැ. මගේ උපමිතියට අනුව මෙවන් වෙබ් අඩවි තනිව ඇති කඩ සාප්පු වගේ. හරි නිර්වචනයට අනුව නම් මේවා සමාජ මාධ්‍ය නොවේ!
ෆෙස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු ඉහත කී දෙවර්ගයටම වඩා වෙනස්. මෙවන් වේදිකාවලට ඕනෑම කෙනකුට නොමිලේ බැඳිය හැකියි. ඉහළ පරිගණක දැනුමක් ඕනෑ නැහැ. යම් බසකින් ටයිප් කරන්න නම් දැන ගත යුතුයි. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන මාධ්‍ය නොවෙයි.
මගේ උපමිතියට අනුව මේවා කලබලකාරී පොළක කැරෙන ඝෝෂාකාරී ගනුදෙනු වගෙයි.
නව මාධ්‍ය ගැන කථා කරන බොහෝ දෙනා මේ වෙබ් අවකාශ ආකාරයන් තුන පටලවා ගන්නවා. අප නිරවුල්ව ප්‍රශ්න විග්‍රහ කිරීම ඉතා වැදගත්.
තේරුම් ගැනීම පහසු කිරීමට මෙසේ භෞතික ලෝකයේ දේවලට සම කළත්, එකක් අනෙකට වඩා උසස් හෝ පහත් යයි මා කියන්නේ නැහැ. සුපර්මාකට්, කඩ මෙන්ම පොළෙන්ද හොඳ දේ මෙන්ම නරක දේත් හමු විය හැකියි. ගන්න හැම දෙයක්ම සුපරීක්ෂාකාරීව ගැනීම පාරිභෝගිකයාගේ වගකීමක්.
වෙබ් අවකාශයේ අපට හමු වන “සුපිරි වෙළෙඳසැල්”, “කඩ” හා “පොළ” යන තුනේම වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. ඒවා ගැන හරිහැටි දැන ගෙන තමයි ගොඩ විය යුත්තේ!
සමාජ මාධ්‍යවල සුවිශේෂී ලක්ෂණය නම් ඒ වේදිකාවලට ගොඩ වන ඕනෑම අයකුට මාධ්‍ය අන්තර්ගතය පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද කළ හැකි වීමයි.
සමාජ මාධ්‍යවල දිනපතා හුවමාරු වන තොරතුරු, අදහස් හා රූප /විඩියෝ කන්දරාව අතර හැම විදියේම දේ තිබෙනවා. ආගිය කතා, සතුටු සාමීචි, දේශපාලන වාද විවාද, සමාජ හා ආර්ථික කතා මෙන්ම අන්තවාදී ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවන අන්තර්ගතයන් ද හමු වනවා.
මේවා සත්‍ය හෝ අසත්‍ය විය හැකියි. නැතිනම් ඒ දෙක අතර දෝලනය විය හැකියි. විචාරශීලීව මේවා ග්‍රහණය කරන්න අපේ බොහෝ දෙනා නොදන්න නිසා තමයි ප්‍රශ්න මතු වන්නේ. කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ ගෙඩිපිටින් විශ්වාස කොට එය බෙදා ගන්නා (ෂෙයාර් කරන) පිරිස වැඩි එනිසායි.
බොහෝ විට කඩිමුඩියේ. සංශයවාදීව, දෙතුන් වතාවක් සිතා බලා යම් තොරතුරක් ග්‍රහණය කර ගන්න ඉස්පාසුවක්, දුවන ගමන් සමාජ මාධ්‍යවලට පිවිසෙන බොහෝ දෙනාට නෑ.
ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් (ත්‍්නැ භැඅි) ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මනින් පැතිර යන අවස්ථා ද තිබෙනවා. “ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති” බවට මීට සති කීපයකට පෙර පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයක්.
එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ෂෙයාර් වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
මෙවන් සමහර ප්‍රබන්ධ අහිංසක වින්දනයක් ගෙන දිය හැකි වුවත් සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි කරුණු අලලා ගොතන බොරු කථාවලින් සමාජ හානි සිදු වන්නට පුළුවන්.
මා නිතර කියන පරිදි අපේ රටේ සයිබර් සාක්ෂරතාව තාමත් පහළයි. අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා!
මේ යථාර්ථය ව්‍යක්ත ලෙස සන්නිවේදනය වන අවස්ථාවක් මම පසුගියදා ෆෙස්බුක් තුළම දැක්කා. එහි තිබුණේ මෙයයි: ”‍ෆෙස්බුක් එකේ ෂෙයාර් වන හැම මගුලම ඇත්ත කියා ගන්න එපා!” යැයි “1802 ජූනි 16 වනදා මහනුවර මගුල් මඩුවේදී” ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි.
උපහාසයෙන්වත් අපේ විචාරශීලී වෙබ් භාවිතය හා සයිබර් සාක්ෂරතාව වැඩි කර ගත යුතුයි. මෙය දිගු කාලීන වැඩක්. ඉක්මන් විසඳුම් මෙවන් සමාජ ප්‍රශ්නවලට නැහැ.
තවත් උපමිතියකින් විග්‍රහ කරනවා නම් ෆෙස්බුක් වේදිකාව හරියට ගාලු‍මුවදොර පිටිය වගේ. පොදු, විවෘත අවකාශයක්. එතැනට යන අය ජාතික ගීය කියනවාද, බැති ගී කියනවාද, පෙම් ගී කියනවාද, හූ කියනවාද යන්න පුද්ගලයා මත තීරණය වන්නක්.
සමහර විට එක් අයෙක් පටන් ගත්තාම අවට ඉන්න ටික දෙනෙක් හොඳ හෝ නරක යමකට එක් වනවා. ප්‍රලාප අවිචාරශීලීව ෂෙයාර් වන්නේත් එසේයි.
එයට වෙනස් ප්‍රතිචාරද තිබිය හැකියි. සමහරුන් කිසිවක් නොකියා, වික්ෂිප්තව ඔහේ බලා සිටීවි. තවත් අයෙක් ‘ඔහෙලාට ඔල්මාදයද මේ වගේ හූ කියන්න‘ කියා එයට අභියෝග කරාවි.
අපට සමාජ මාධ්‍යවල ගුණාත්මක දියුණුවක් ඕනෑ නම් කළ යුත්තේ භාවිත කරන ප්‍රජාව තුළින්ම සදාචාරත්මක, ධනාත්මක සන්නිවේදන සඳහා ඉල්ලු‍ම වැඩි කිරීමටයි. හූ කියන අය කොතැනත් සිටිය හැකියි. එහෙත් ඒ අය කොන් වෙනවා නම් දිගටම එසේ කරන එකක් නැහැ.
“සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම ඕනෑ” යයි කෑමොර දෙන උදවියට මා කියන්නේ මුලින්ම සමාජ මාධ්‍ය මොනවාදැයි තේරුම් ගන්න කියායි. ගාලු‍මුවදොර පිටියට ආචාරධර්ම රාමුවක් නිර්දේශ කරනු වෙනුවට එහි යන එන අය අශීලාචාර හැසිරීම්වලින් වළක්වා ගන්න තැත් කිරීමයි වැදගත්. මෙය නීති, පොලිසිය, දණ්ඩන හරහා කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
සයිබර් සාක්ෂරතාව වැඩි කර ගැනීම හා භාවිත කරන ප්‍රජාව තුළින්ම ප්‍රමිතීන් (user community standards) ගොඩ නගා ගැනීම තමයි හොඳම මාර්ගය.
එසේම සමාජ මාධ්‍ය තුළ අතිබහුතරයක් සන්නිවේදන ප්‍රයෝජනවත් හා හරවත් ඒවා බව අමතක නොකරමු. සමාජ මාධ්‍ය සන්නිවේදන ඉතා වැදගත් සමාජීය මෙහෙවරක් ඉටු කරනවා. වුවමනාවට වඩා බයපක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍යවල කැරෙන අදහස් ප‍්‍රකාශනය තුළින්.
සමාජ මාධ්‍ය කථාබහවල ඇතැම්විට රළු, අමු ගතියක් තිබිය හැකියි. ඒත් අහවල්තුමන්ලා රැසකට වන්දනා කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නැති නිර්ව්‍යාජ ගුණයක් එහි හමු වනවා. එය රැක ගෙන දියුණු කළ යුතුයි.■