රාවය

දයාසිරි ගිලටීනයට යෑමට පෙර

දයාසිරි ගිලටීනයට යෑමට පෙර

ටිරන් කුමාර බංගගම ආරච්චි

ගෙවුණු වසරේදී මුදල් අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදල හත්සිය හතළිස් හතර කෝටි හැත්තෑ හතර ලක්‍ෂ විසි නවදහසකි. (7,44,74,29,000) ඉන් අමාත්‍යාංශයේ වියදම් කොට තිබූ මුදල තුන්සිය විසි දෙකෝටි අනුඅට ලක්‍ෂ පනස්පන්දාහකි. (3,22,98,55,000) ඒ අනුව කරන්නට වැඩක් නැතිව ක්‍රීඩා අමාත්‍යාංශය නැවත මුදල් අමාත්‍යාංශයට ආපසු යැවූ මුදල (121,75,74,000) එකසිය විසිඑක් කෝටි හැත්තෑපන්ලක්‍ෂ හැත්තෑ හතර දහසකි.
රජයක් ක්‍රීඩා අමාත්‍යාශයක් පිහිටුවා එයට අමාත්‍යවරුන් පත් කොට වාර්ෂිකව විශාල මුදල් කන්දරාවක් දී එය නඩත්තු කරනුයේ ඇයි? මෙරට ක්‍රීඩාව නගා සිටුවීමේ කාර්යය ඔවුන් සතු නිසා නොවේද? එහෙත් ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශය මේ වගකීම මනාව ඉටු කරන්නේද? අද දවසේ ඉතිරිව ඇති බරපතළ ප්‍රශ්නය එයය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සමඟ අපට ක්‍රීඩාමය රණ්ඩුවක් ඇතත් ඉන් එපිට කිසිවක් නොපවතී. එද ක්‍රීඩාව හරි මගකට ගැනීමට විනා වෙන අන් යමකට නොවේ.
ක්‍රීඩා අමාත්‍යවරයා ගිය වසරේ රියෝ ඔලිම්පික් නරඹා මෙරටට පැමිණ උදම් ඇනුවේ ජනවාරි පළමු වැනිදායින් පසු බොහෝ දේ වන බවය. අද වන විට ක්‍රීඩා සංගම් පඹගාලකට වැටී ඇත. ඒ මෙවර නිලවරණ පවත්වා ගන්නට නොහැකිවය. ක්‍රීඩා අමාත්‍යවරයාට වසර මුල කරගන්නට බැරි වූ විප්ලවය මැයි 31 වනදා වන විට සිදුකර අවසන් කරන බව ඔහු කීවේය. මේවාට මාධ්‍ය හරහා ලොකු පදාසයක් වෙනස්විය. අප ඒ මොහොතේම ලීවේ මැයි 31 වනදාටත් ඔය වික්‍රමය පෑ නොහැකි බවය. එදා අප කී කතාවලට ඇමතිවරයාට හිනායන්නට ඇතත් ප්‍රායෝගිකව දැන් එය කළ නොහැකි වන තැන අපි ඇමතිවරයාට හිනා නොවෙමු. එහෙත් දැන් හෝ පොළොවට පැමිණ ඇත්ත ප්‍රශ්නයට මුහුණ දෙන්නැයි ඉල්ලමු.
මේ මොහොත වන විට ක්‍රීඩා සංගම් කිසිවක් ක්‍රීඩා ඇමති හෝ ක්‍රීඩා අමාත්‍යාංශය තඹේකට නොතකන තැනකට පත්ව ඇත. මෙලෙස වූයේ ඇයි? එහි සමස්ත වගකීම ගතයුත්තේද ක්‍රීඩා අමාත්‍යාංශයටමය. අද දවසේ ක්‍රීඩාව විනාශ වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේම වරදිනි. ක්‍රීඩා සංගම් මෙතරම් හයිකාරකම් පෙන්වනුයේ ක්‍රීඩා අමාත්‍යවරුන් පඹයන් වී ඇති නිසාවෙනි. එයට දයාසිරි අමාත්‍යවරයා වගකිව යුතු නැතත් දැන් ඔහුටද මේ වගකීමෙන් පලා යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
යුද්දේට නැති කඩුව කොස් කොටන්නද කියන්නාක් මෙන් ක්‍රීඩා පනත අහකට කර තම තම න්‍යායන්වලට වැඩ කරන්නට ගොස් අමාත්‍යාංශය සියල්ල ඇනගෙන සිටී. දැන් ඒ ඇන ගැලවීමත් දයාසිරි ඇමතිවරයාට ලේසි පහසු නැති බව පැහැදිලිය.
අලුත්ගමගේ ගෙනා නව රෙගුලාසි එහා මෙහා කර කරපින්නා ගත් දයාසිරි ජයසේකරට දැන් සිදුව ඇත්තේ ගිලටිනයට බෙල්ල තියන්නටය. මෑත කාලයේ පත් වූ ක්‍රීඩා අමාත්‍යවරු සැවොම පාහේ ක්‍රිකට් ඇමතිවරුය. ජයසේකර අමාත්‍යවරයාද එලෙසමය. හෙලිකොප්ටරයක නංවාගෙන පල්ලේකැලේට රැගෙන ගොස් එහි යමක් විවෘත කර කතා පැවැත්වූවාට ඔහු ලබාදෙන අල්ලසෙන් ක්‍රිකට් ආයතනය රිසිසේ පිස්සු කෙළින විට ඔහුට ඒ කිසිවක් නොපෙනේ. තිලංගම වැළඳගන්නා විට අප එදා කීවේ නිකමට නොවේ. තිලංගට දයාසිරි යනු පූස්පැටියෙකි. මන්ද ඔහු ඊට පෙර මේ දංවැල බොහෝ අයගේ ගෙලේ බැඳි බැවිනි.
නව ක්‍රීඩා රෙගුලාසී අනුව සියලුම ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති ලවා විගණනය කළ යුතුය. එය අනිවාර්ය වන අතර එය එසේ සිදු නොකොට නිලවරණයක් පැවැත්වූයේ තමා එහි ප්‍රධාන නිලධාරීන් තිදෙනාට ජීවිත කාලයටම ක්‍රීඩා තනතුරු දැරිය නොහැකි වන පරිදි ක්‍රීඩා තහනමක් පනවන බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
එහෙත් මේ අභීත ප්‍රකාශ ක්‍රීඩා සංගම් සතේකට නොතකන බව පෙනේ. බැඞ්මින්ටන් සංගමය එය අකුරටම කඩකළේය. ක්‍රීඩා අමාත්‍යවරයාද එයට එරෙහිව නැවත බැඞ්මින්ටන් නිලවරණයක් පවත්වන්නට අණ කළේය. දැන් මේ ප්‍රශ්නවලට ජාත්‍යන්තර සංගම් අත පොවන්නට පටන්ගෙන ඇත. එනම් පත්වන සංගමය පිළිනොගන්නේ නම් එය ජාත්‍යන්තරය විසින් තහනමට ලක්කරන බවට තර්ජනය කරමිනි. මේ තර්ජනය එනුයේ කාටද? එය බැඞ්මින්ටන් සංගමයට නොව ක්‍රීඩා අමාත්‍යාංශයට එන තර්ජනයකි. මෙම නව සංගම්වලින් ඉදිරියේදී කළ හැකිය එනම් සංගම් මේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ලියා ඒ හරහා මේරට ක්‍රීඩා අමාත්‍යාංශයට කරනු ලබන බලපෑමක් බවට මෙය පත්ව ඇත.
අභාග්‍ය මේ පැනවලට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පින් පඩි ලබන නිලධාරීන් නිසි පිළිතුරු නොබැඳීමය. ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙද්දී අපට ජාත්‍යන්තරයට අනුව ක්‍රියා කිරීමට සිදුවේ. එහෙත් ඕනෑම රටක පරිපාලනය ස්ථාපිත කිරීමට රටක නීතියක් පවති. අප ජිනිවා යනුයේ මෙරට නීතියෙන් සාධාරණයක් නොවන තැනය. එහෙත් අද සිදුව ඇත්තේ අපගේ නීතිය බිල්ලට දමා ජාත්‍යන්තර සංගම් මතට යැපෙන්නටය. මේ ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මූල්‍යය පිළිබඳ ගැටලුවකි. මේ සංගම් නමට ස්වේච්ඡා සංගම් වුවද පෞද්ගලික බුදලය. ඔවුන් කිසිවෙක් මේ සංගම් අත ඇරීමට මැලිය. ඒ තම පරම්පරාව ගොඩ යන ව්‍යාපාරය මෙය වන බැවිනි. ඒවාට එන මුදල් තම බුදලය බවට පත් වී ඇත. මෑත ඉතිහාසය පුරාම සංගම් නිලධාරීහු ධනවතුන් වුණා විනා ක්‍රීඩාව අඟලක් හෝ ඉදිරියට නොආහ. මේ තත්ත්වය තුළ වාර්ෂික ගිණුම් වාර්තා ඉල්ලීම වරදක්ද? එහෙත් මෙය මීට පෙරද පනතේ තිබූ දෙයකි. ක්‍රමානුකූලව පවත්වාගෙන ආ දෙයකි. එහෙත් පසුගි ය කාලයේදී ක්‍රීඩාවද දේශපාලනයට වී ක්‍රීඩා ඇමතිගේ දේශපාලකයන්ගේ හිතවතුන් සංගම් නිලතලවලට ඒමත් සමඟ ගිණුම් වාර්තා තබා කුමක් කළත් නොසොයන මට්ටමක් උදා විය. අද කයිවාරු ගහන සුරාජ් දන්දෙණියලා එදා මේ සංගම්වලට ආවේ මහින්දානන්දගේ ඥාතිකමට පින්සිදු වන්නටය. අද එකී කරුමය ගෙවනුයේ ක්‍රීඩකයන්ය.
මෙවර දයාසිරි ඇමතිවරයා සිරවී ඇත්තේ ඔහු හිතාමතාම අටවා ගත් උගුලකය. ඔහු කර ඇති බරපතළම වරද මේ සියලු ගිණුම් වාර්තා විගණකාධිපති ලවාම අනුමත කරවා ගත යුතුය යන මෝඩ වගන්තිය නිසාය. මිට පෙර මෙහි පෞද්ගලික විගණන ආයතන ලවා විගණනය කොට මේවා අධීක්‍ෂණය විගණකාධිපතිට දෙන්නට තිබුණි. එසේ නොවී සියල්ල විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැවරීමෙන් මේ ප්‍රශ්න මෙතරම් උග්‍ර විය. රජයේ ආයතන ලවා වැඩ කරවාගැනීම විහිළුවක් බව පොඩි ළමයෙකු වුව දන්නා කරුණකි. එවැනි කලක සංගම් 55ක් පමණ විගණනය කිරීම ලේසි පහසු නැත. විගණකාධිපති ක්‍රීඩා අමාත්‍යාංශයට අප දන්නා පරිදි වෙන්කොට ඇත්තේ නිලධාරීන් හතරක් හෝ පහකි. මේ අය මෑත කාලය පුරාම ක්‍රිකට් විගණන පරීක්‍ෂා කරන බව සැලය. ඇමතිවරයා දැන් හෝ කළ යුත්තේ විගණකාධිපතිගේ අනුමැතිය මත වෙනත් පෞද්ගලික ආයතනවලට මේ විගණන බාර දීමය.
ක්‍රිකට්, පාපන්දු, රග්බි, මලල ක්‍රීඩා වැනි ප්‍රධාන සංගම් පමණක් විගණකාධිපති ලවා විගණනය කළ හැකිය. එසේ නොමැතිව ලක්‍ෂ දෙකේ පුංචි සංගම් විගණකාධිපති ලවා අනුමත කරවා ගන්නට යෑම ප්‍රායෝගික නොවේ.
අද දවසේ ක්‍රීඩා අමාත්‍යවරයා සිතා සිටින එකම සිහිනය නම් විගණන ලබා නොදෙන සංගම්වලට දැඩි විනය ක්‍රියා ගැනීමය. මේ තත්ත්වය සරලව සලකා බලමු. මේ විගණන කිරීමෙන් අනතුරුව බරපතළ වංචා දූෂණ හසුවූවායැයි කියමු. එවිට ක්‍රීඩා අමාත්‍යාංශයට කළ හැක්කේ කුමක්ද? ඒවා පාර්ලිමේන්තුවට ගෙනගොස් කෝප් කමිටුවට ඇතුළත් කිරීමය. කෝප් කමිටුවට ඇතුළත් කළ හැක්කේ කුමක්ද?
මීට පෙර මෙරට ක්‍රිකට් ආයතනයේ බරපතළ වංචා දූෂණ සිදුවිය. පාපන්දු සංගමයේ මහා පරිමාණ මුදල් කොල්ල සිදු විය. ඒවා කෝප් කමිටුවටද ගිය අතර බරපතළ ප්‍රශ්න කිරීම්ද සිදු විය. එහෙත් සිදු වූයේ කුමක්ද? ඒ ගැන තීන්දු ගැනීමට නීතිපතිට යොමු කිරීමය. එලෙස දැමු ෆයිල් අදටත් එලෙසම නීතිපති දෙපාර්තමේන්තුවේ පවතී නම් ඉටුවූයේ ඉටි ගෙඩියක්ද? විගණකාධිපති වාර්තාවලින් හෙළි වූ කිසිම පුද්ගලයකුට මේ වන විට දඬුවම් කරනු තබා නඩුවක් හෝ ගොනු කර ඇත්ද?
මේ සියලු පරීක්‍ෂණ නීතිපති උපදෙස් පැතීම සඳහා යැවූ කල ඒවා අධීක්‍ෂණයට එක් එක් අංශවලට යොමුකළ විට හොරා කරනුයේ එම අංශයේ අල්ලාගෙන ෆයිල් එක යට ගැසීමය. මේ ප්‍රායෝගික තත්ත්වය ඇතැම් අය විශ්‍රාම යන තෙක් යට වී තිබු ෆයිල් ඕනෑ තරම්ය. මේවා ඇත්තය. පාපන්දු සංගමය කළ දූෂණ අක්‍රමිකතා සෙවීමට අලුත්ගමගේ සහ ලේකම් උදය සෙනවිරත්න ක්‍රියා කළා මතකය. විශ්‍රාමික විනිසුරුවරයකුගෙන් යුත් කමිටුවක් පත් කළා මතකය. ඒ අය බොහෝ කරුණු හෙළිදරව් කළා මතකය. එහෙත් වූයේ කුමක්ද? අවසානයේ එළියට ආවේ මේවා පොදු දේපළ යටතේ නොවැටෙන බවත් සිවිල් සිද්ධීන් බවත්ය.
එසේනම් ජයසේකර අමාත්‍යවරයා මුලින්ම සකස්කරගත යුත්තේ මෙයය. රජයේ ප්‍රතිපාදනවලින් යම් කිසි මුදලක් ඒ සංගම්වලට දමා ඒවා රජය යටතට ගැනීමය. එය අපහසු කටයුත්තක් නොවේ. එවිට ඒවා රජය සතු දේපළය. එවිට මොවුන්ට රිසි සේ ක්‍රියා කළ නොහැකිය. මන්ද රාජ්‍ය දේපොළ අවභාවිතාව යටතේ මොවුන්ට දඬුවම් කළ හැකිය. එවිට මේ අය බිය වනු ඇත. එහෙත් දැන් අල්ලස් හෝ දූෂණ පනතට රැගෙන ගියද ඔවුන් මේ සංගම් තම සීමාවට නොවැටෙන බව පවසා අහකට වේ. පොදු දේපොළ පනතට අනුව ගෙනගියද ඔවුන් පවසනුයේ මේ සංගම් ඔවුන්ට අයත් නැති බවය. එවිට ඔවුන්ගේ මතය මේ සිවිල් නඩු බවය. මේ අනුව මේවායේ අයිතිකාර තත්ත්වය බාර ගන්නා කෙනෙක් නැත.
අද බැඞ්මින්ටන් සංගමය මේ හයිකාරකම් පෙනුවනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට කළ හැකි කෙංගෙඩියක් නැති නිසාය. හැම හොරාම මනාව දන්නා කාරණය නම් දැනට මොනතරම් හොරකම් කළද කිසිවක් කළ නොහැකි බවය. කෝප් එකට යාමද විහිළුවක් විනා ඊට එහා දෙයක් නොවේ. හඳුන්නෙත්තිලා කුමන කතා කීවද ඉන්පසු වනුයේ කුමක්ද? ඩිව් ගුණසේකර කුමක් කීවද සිදුවුයේ කුමක්ද?
ක්‍රීඩා සංගම්වල සිටියේ සුළුපටු හොරු නොවෙති. ඔවුන් අදත් පිරුවට දමාගෙන සිටිනුයේ කළ හැකි දෙයක් නැති බැවිනි. ඒ නිසා අලි යන ගුල් තිබියදී කූඹී යන ගුල් වැසීමෙන් පලක් නොවන බව ඇමති තේරුම් ගත යුතුය.
ක්‍රීඩා ඇමතිවරයා අවංක උත්සාහයක් ගන්නවා ඇත. එහෙත් එය පල රහිතය. ඇමතිවරයාට වඩා ක්‍රීඩා සංගම්වල අය වෙට්ටපිත්තල වී හමාරය. ඇමතිවරයා බල්ටි ගසන්නේ නම් ඒ අය ඇමතිවරයාටද කරේ තබාගෙන බල්ටි ගැසීමට සමතුන්ය.
අද සුරාජ් දන්දෙණිය එළියට පැමිණ කෑගසන්නේ තනිව නොවේ. ඒ හොර නඩයේම එකමුතුවකි. බැඞ්මින්ටන් හරහා මතු වනුයේ එක සංගමයක හඬ නොව සියලු හොර සංගම් හඬය.
දැන් හෝ ඇමතිවරයා බොහෝ දුර සිතිය යුතුය. මුලින් කළ යුත්තේ විගණකාධිපති ලවාම විගණනය කිරීම වෙනුවට විගණකාධිපති අනුමැතිය මත වෙනත් විගණන ආයතන ලවා මෙය ඉක්මන් කර ගැනීමය. අනෙක් අතට එහා කළ යුත්තේ මේවා පොදු දේපොළ පනත යටතට ගැනීමය. සංගම් යනු සැබැවින්ම පොදු දේපළය. එය රටේම ක්‍රීඩාව කරවන තැන්ය. දැන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශය තම බලය තහවුරු කරගත යුතුය. වරදට දඬුවම් දෙන ක්‍රම හැදිය යුතුය. දැන් ඇති තත්ත්වය අනුව වරදට දඬුවම් නැත. ඒ නිසා මේ තත්ත්වයන් නිවැරදි කිරීම ක්‍රීඩා ඇමතිට ඇති ලොකුම අභියෝගයයි. එය ජයගත හොත් ඉන්පසු එන ඇමතිවරුන් හෝ මේවා ඉදිරියට රැගෙන යනු ඇතිය. ඔලිම්පික් පදක්කම් ගෙනෙනවාට වඩා මේ තත්ත්වය නිවැරදි කිරීමට අමාත්‍ය ජයසේකරට හැකි නම් එයම ක්‍රීඩාවට මහඟු පින්කමකි.
මැයි 31 වනදාට පෙර නිලවරණය පැවැත්වීම කළ හැකි දෙයක් නොවේ. එය සැප්තැම්බර් 30වත් කළ හැකිදැයි ගැටලුසහතය. ඒ නිසා දැනට ඇති විගණකාධිපතිම කළ යුතුය යන අනවශ්‍ය වදන් ඉවත් කළ හැකිය විගණකාධිපතිගේ අනුමැතිය යටතේ ඒවා වෙනත් ආයතනවලට කළ හැකිය. ඇමතිවරයා සෙල්ලමට අවතීර්ණ වූයේ නම් ඒ සෙල්ලම කළ යුතුව ඇත. එහිදී උපක්‍රම වෙනස් කිරීම අවැඩක් නොවේ. අවැඩ සිදුවන්නේ ක්‍රීඩාව මේ විදියටම පවතින්නට ඉඩ හැරියොත් පමණය.■