සිංහරාජය කවියක් නම් මම එහි පද පෙළක්


sinharaja

කේ. සංජිව ඡායා/ රුවන් මීගම්මන

උසට උසේ ගස්, චුරු චුරු වතුර බිඳිති හිනා ගොඩයි එක්ක තරගෙට ඉහිරෙන නදීකෙඳි, රැහැයි මියුසික්, අපි තව තවත් ඇතුළට යනවා.. අපි දැන් පුංචි තිතක්.. මහකැලේ කතාකරනවා… අපි නවතිනවා. අපි මුසු වෙනවා.. අපි අතහරිනවා.. තැන තැන ගස් අස්සෙන් මූණට පනින හිරුකිරණ තුරුපතක රටාවක් මුහුණේ මවනවා. හරියට සොබාව අකුරු ලියනවා වගේ. සිංහරාජ මහකැලේ කවියක් නම් එහි පද පේළියක් වගේ ගමක් හොයාගෙන හොයාගෙන අපි යනවා.
තැනක ආයෙත් ආයෙත් කැලය අපි වටකරගන්නවා. එතකොට ටිකක් බය හිතෙනවා. වේලාවකට කැලේ කතාකරනවා.. පතකින් මූණට ගහනවා.. වැස්සක් කඩන්වට්ටලා ගමන බිඳකට නතර කරනවා. අපි සීතලේ තෙමෙනවා. රූස්ස ගස් යට වැස්ස දෙකයි කියනවානේ… කූඩැල්ලෝ මනින්න පටන්ගන්නවා. මළ කරදරේ. අපි හූරනවා.. ටික් ගාලා විදිනවා. ඒත් ආයෙත් කකුල උඩට පනින ඌ මනින්නම හදනවා.. මොනවා කරන්නද අපි ඉඩදෙනවා.. ලේ එනවා.. ඕකුන් අදින්නේ විෂ ලේ. අපි හිත හදාගන්නවා.. ඇත්තටම අපි දැන් මේ ඉන්නේ කළුතර මායිමක.. රත්නපුරේ මායිමට පොඩි දුරක.. මේ ඉසව්වට එන්න මතුගම කලවාන පාරේ බදුරලිය එහෙම පැනලා කන්ද ටිකක් නැගලා කලවාන පැත්තට එන්න ඕනෑ. ඊළඟට අත්වැල්තොට හංදියෙන් දකුණට හැරිලා කොන්ක්‍රීට් පාරේ උඩට උඩට එන්න ඕනෑ. එතකොට පාරට යට ගඟට අයිනෙන් ගඟත් එක්ක හාද නිල් පිට්ටනිය. හරියට ලෝර්ඞ්ස් වගේ ලස්සනයි. ඊට පස්සේ ගම් පොකුරටම තියෙන එකම කඬේ පහුකරන්න ඕනෑ. අම්මෝ ඊට පස්සේ ඉතිං..

මරුපාර
අපි දැන් මේ යන්නේ මන්නවත්තට. ඊට මෑත හරබකන්දට. මැන්න වත්ත මන්නවත්ත වුණා වෙන්න පුළුවන්. හරබකන්දට ඒ නම වැටුණේ නම් මේ ළඟ පැළෑඳේ මාලිගාවක් හදාගෙන ප්‍රාදේශීය රජෙක් වගේ හිටපු වීදිය බණ්ඩාර නිසා. ඒ මනුස්සයා මේ කන්දට ඇවිත් කඩුහරඹ පුරුදු වුණ නිසා. හරඹ කළ කන්ද හරබකන්ද වුණා. මේ පාර කැපෙන්නේ 1970 කාලේ. ඒ රාජ්‍ය දැව සංස්ථාව නිසා. අපි යන මේ කන්ද මුදුනේ හිනැහෙන මේ සිංහරාජ කුමරිය කිලිටිවුණා. ඒ 1970 සිරිමාගේ කාලේ. කැලේ මහ ගස් පෙරළුවේ රාජ්‍ය දැව සංස්ථාව. ඒ පෙරළෙන දැවැන්තයෝ ඩෝසර් අලි සත්තු ඇදගෙන ගියේ මේ පාරේ.
‘‍ඇත්තටම දැව සංස්ථාව එදා පාර කැපුවේ නැත්තං මේ ගම්මානයට අදටත් පාරක් නැහැ. බලන්න ඒ කපපු පාරට හරියට තාර ටිකක් වැටිලා තියෙනවද?…’
‍මගේ මිත්‍රයා, දුමින්දගේ තාත්තා, සිරිපාල මාමා තමයි ඉස්සෙල්ලාම කතාවට මුල පිරුවේ. ඇත්තටම දැන් මේ පාරේ යන්නම බැහැ. ගල්වළවල් ගල්කෙමි පාර පනින පුංචි පුංචි. හැබැයි පුංචි වැස්සකටත් ලොකුවෙන්න බලාගෙන ඉන්න දියකදුරු. බයිසිකලයක ආ අපි හරි අමාරුවක වැටුණේ. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ දෙයක් තමයි අපිට වුණේ. අපි වැඬේ අතෑරියේ නැහැ. මේ මිනිස්සුන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි. අපි මහකැලේ ඇතුළට රිංගුවා. ඒ මන්නවත්ත හරබකන්ද හොයාගෙන.

අතීතයට ගමනක්
‘මේ ගම්මානය වැටිලා තියෙන්නේ අතීතයේ දකුණේ මිනිස්සු සිරීපාදේ ගිය පාරේ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලය වෙනකම් අතීතයක් මේ ගමට තියෙනවා. ඊළඟට පැළෑඳේ වීදිය බණ්ඩාර රජකරන කෝට්ටේ කාලේ වෙනකොට මේ ගම ගොඩක් දියුණුයි. මම ඉපදෙනකොට මේ ගම මීට වැඩිය කළුවරයි. මැටි වරිච්චි ගෙවල් තමයි තිබුණේ. බටකොළ තමයි ගොඩක් ගෙවල්වල වහලෙට හෙවිලිකරලා තිබුණේ. මහ කැලේ අලි ඕසේට හිටියා. ඔය මන්නවත්තට එහා ගමක් තිබුණා, ඒ ගමේ මිනිස්සු අලි කරදර නිසාම ගම දාල ගියා. දැන්නම් අලි දකින්නත් ආසයි. තව තුන්දෙනෙක් ඉන්නවා. උන් රක්වාන පැත්තට ගිහිං දැන් මෙහාට එන්නේ නැහැ.”‍
මේ හඬ සුදු මාමාගේ. ගමේ හැමෝම වාගේ ආදරේට සුදු මාමාතමයි කියන්නේ. අපිත් ඉතිං ඔන්න ඔහේ සුදු මාමාම කියමු.
‘ඉස්සර මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන රස්සාව තමයි කැලේට ගිහිං කිතුල් කපලා පැණි හකුරු හදන එක. 1990 වගේ වෙනකොට ගමට තේ ආවා. දැන් හැමෝටම වගේ තේ තියෙනවා. තේ කරනකොට ඉතිං පැණි හකුරු රස්සාව අතෑරෙනවා. ඉස්සර පැණි සේරු මැන්නේ. අපි හැම දේකටම කලවානට තමයි ගියේ පයින්ම. හරිම දුෂ්කර ජීවිතයක් ඒක. දැන් ඉතිං ටිකක් නිදහස්. ඒත් තවම පාරක් නැහැ. ඉස්කෝලේ වැහිලා.”‍
සුදු මාමා කිව්වට මිනිස්සු පැණි හකුරු හදන්නේ නැහැ කියලා ඒක එතරම්ම ඇත්ත නෙවෙයි. විටක් කාලා කට රතු කරගෙන බීඩියකුත් දෙතොල් අස්සේ හීනියට හිරකරගෙන කැලේට දුවදුවා හිටිය සිරිසේන අයියා නම් කිව්වේ වෙනස් කතාවක්.
‘‍මම නම් තවම පැණි රස්සාව තමයි කරන්නේ. මම කැලේ ගස් දහයකට පර්මිට් අරගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් විතර සොයනවා. මගේ දරුවා දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගනගන්නවා. ඒ සේරම කළේ කිතුල් කපලා. මේක පිළිවෙළකට කරනවා නම් හොඳම රස්සාවක් තමයි.”‍
කැලේ වාඩි ගහගෙනද ඉන්නේ? මම අයියාගේ කිතුලේ සීරුවට නගින කතාව මොහොතකට නතර කළා. අයියා මැදක ඉඳලා කතාව ආයෙත් පටන්ගත්තා.
‘මම නම් කැලේ නවතින්නේ නැහැ. හැබැයි ගොඩාක් අය නතරවෙනවා.”‍
මහකැලේ කිතුල් මණ්ඩි ඕනෑ තරමට තියෙනවා. මේ මිනිස්සු ඒවා සමගියෙන් බෙදාගෙන පර්මිට් අරගෙන තමයි වැඩකරන්නේ. දවසට අවම දෙපාරක් ගහේ රූස්ගාලා නගින්න බහින්න ඕනෑ. මේ විසේසෙට තියෙන්නේ, මලට බෙහෙත් අනම්මනම් මොකවත් බඳින්නේ නැහැ. මල දිගෑරල අව්වේ ටිකක් කරකරලා හොඳට වේලනවා. ඊළඟට බ්ලේඞ් තලය වාගේ පිහියෙන් කපනවා. කපනවා කිව්වාට පැන්සලක් උල් කරනවාට වැඩිය සියුම් මේක. දවසට දෙපාරක් ගස් බඩගාලා මාසෙට ලක්ෂයක් කියන්නේ හොඳ ඉන්කම් එකක්. ඉතිං රජෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි ඒ මේ ගමේ තමයි. ඒ සියලුම අඩුමකුඩුම වත්තෙන් කුඹුරෙන් එනවානේ.

ඛේදවාචකය
අපි මන්නවත්තට ගියේ නැහැ. වැස්ස මග හරස් කළා. ගියත් මන්නවත්තේ ඉන්නේ පවුල් එකයි. අපි හරබකන්දේ හක්කලං ගැහැව්වා. ඒත් ගමේ පවුල් 25කට වැඩිය සෙනග නැහැ. සිංහරාජ මහකැලේ ආරක්ෂා කරන පුංචි පුංචි පරිවාර කැලෑ කැටි ගොඩක් තැන්වල ගම වසාගන්න ඔන්න මෙන්න. ගමත් කැලයට පැරදිලා. මට බැද්දේගම නවකතාව මතක්වුණා. සමහර තැනක මිනිස්සුන්ගේ පාරම්පරික හේන් රජය මහ කැලේට කියලා උදුරලා අරගෙන. මායිම් ගල් හිටවලා. ඒ අරගෙන සීත රටවල හැදෙන පයිනස් ඉන්දලා. අනේ අපොයි අපේ ගොන් මොළය කියලා හිතෙනවා. ගම කැලේ අස්සේ දියවෙලා යනවා. මහකැලේ මේ හැමදෙයක්ම බලාගෙන ඔහේ ඉන්නවා, හිටහන් මම උඹ ගිලින්නම් කියලා.
අපි රවුමේ ගිය හරබකන්දට නැත්තං නීඩාවට අත්වැල්තොට ඉඳලා කිලෝමීටර් 14ක් විතර තියෙනවා කියලා තමයි අපේ සුදු මාමා අපිට කිව්වේ. ගමේ ඉස්කෝලේ වැහිලා යෑමත් ගම කැලේ ඇතුළේ දියවෙලා යන්න හේතුවක් වෙලා. මිනිස්සු තමන්ගේ පැටවුන් ලොකු වෙනකොට මේ ගම අතෑරලා ඉස්කෝල හොයාගෙන යාබද ගම්වලට පදිංචියට යන්න හුරුවෙලා. මගේ මිත්‍රයා දුමින්ද මේ ගැන කතාකළා.
‘මමත් ඉස්කෝලේ ගියේ කලවානේට. එහේ නැවතිලා තමයි ඉගනගත්තේ. මෙහේ මිනිස්සුන්ට ළමයින්ට උගන්වන්න ලොකු වියදමක් යනවා. ඒ මොකෝ අපි ළමයි කලවානේ හරි බදුරලියේ හරි බෝර්ඞ් කරන්න ඕනෑ. මගේ පුතා හෙටානිද්දා මොන්ටිසෝරි යනවා. එතකොට පදිංචියට යන්න අපි කලවානෙන් ඉඩමක් ගත්තා. මෙහේ ගමේ ගොඩක් අය ගම අතෑරලා යන්නේ එහෙමයි. එහෙම ගියාට පස්සේ ළමයි ඉගෙනගෙන ඉවරවුණාම ආයෙත් ගමට එන්නේ සුළු පිරිසක් තමයි. ඉතිං එන්න එන්නම ගමේ මිනිස්සු අඩුවෙනවා.”‍
සිංහරාජය කියන්නේ යෝධයෙක්. වපසරිය ගත්තොත් හෙක්ටයාර් 11,187ක්. රක්වාන කියන කඳු වළල්ලේ තමයි මේ යෝධයා නවාතැන් අරගෙන ඉන්නේ. රත්නපුරට කළුතරට ගාල්ලට මාතරට මේ මහකැලේ මායිම් වෙනවා. මේ මායිමේ මේා වගේ ගම් ගොඩක් තියෙනවා. ඒ ගම් සේරම වාගේ ගොඩාක් පරණ උරුමයක් දරාගෙන තමයි කැලේ එක්ක ජීවිතය ගෙනියන්නේ. මුළු අවුරුද්ද පුරාම පැතිරුණු වැස්සක් එක්ක යෝධ ගස් සෙවණේ එදා ඉඳලා ජිවත් වුණ මේ මිනිස්සුන්ගේ ජීවිත ඉසියුම්ව නිරීක්ෂණය කරනවා නම් මේ මිනිස්සු අනෙක් මිනිස්සුන්ගෙන් කොච්චර වෙනස් වෙනවාද, ඒ වෙනස කොච්චර ලස්සනද කියලා තේරුම් ගන්න පුළුවන්. කොයිම දිනකවත් පන්සලක් තිබිලා නැති මේ ගමට ආගම එක්ක එච්චර සින්නවෙච්චි ජීවිතයක් නැහැ. එනිසාම වෙන්න ඇති මේ මිනිස්සු හරිම ලස්සන ජීවිතයක් මේ කැලේ ගතකරන්නේ.
ඇත්තටම අපි මුලින් කිව්වා වගේ මුදල් ටිකක් අතේ තියෙන මිනිස්සු මේ ගම කැලේටම දීලා දරුවන් අරගෙන නගරෙට ගියත් සල්ලි අතේ නැති අසරණයන්ගේ තත්ත්වය කොහොමද?
අපිට හරබකන්ද පටන්ගන්න හරියේදී ඒ වාගේ දුප්පතුන් කණ්ඩායමක් හමුවුණා. ඒ මිනිස්සුන්ගේ ගෙවල්දොරවල් වුණත් එතරම් සෝබනයක් දරාගන්නේ නැහැ.
‘අපේ ළමයි මොරපිටියට තමයි ඉස්කෝලේ යන්නේ. මෙතැන ඉඳලා දුර හැතැක්ම 20ක් විතර. අත්වැල්තොටට පයින්ම යන්න ඕනෑ. ළමයි ඉතින් ඉස්කෝලේ යනවා හරි අඩුයි. යලට මහට තමයි ඉස්කෝලේ යන්නේ. අපිට දරුවෙක් ලැබුණත් ලැබෙන්න හිටියත් සේරම වැඩවලට මොරපිටියට යන්න ඕනෑ. අත්වැල්තොටට ත්‍රීවීල් එකක යනවා නම් මෙතැන ඉඳලා රුපියල් 700ක් ගන්නවා. අපිට තේ නැහැ. අපි පැණි හකුරු කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට මේ ගමේ ජීවිතේ හරිම අමාරුයි. ඒත් මොනවා කරන්නද මැරෙන්නද?…”‍
ඒ හරබකන්ද කරුණාවතී නැන්දාගේ කතාවය. ඔවුන්ට තියෙන්නේ කැලේට ගිය ජීවිතයක්ය. කැලේ ගිලගත්ත ජීවිතයක් ය. කැලේ ඇතුලේම වියැකිලා යන ජීවිතයක්ය.

කැලේ මැද ධර්ම සාකච්ඡා
අපි දුමින්දත් එක්ක කැලේ මැද ඇල්ලට ගියා. ලස්සන දිය ඇල්ලක්. මේ වතුර එකතුවෙන්නේ කළු ගඟට. හැමතැනම නිහඬයි. ගඟයි රැහැයියෝයි, ඉඳලා හිටලා දඬුලේනෙකුගේ බෑඟිරි ගෑමක් විතරයි හාත්පස.
‘සත්තු ඉන්නවා සෑහෙන්න. කොටියා නිතරම දකිනවා. ගමේ කාටවත් තවම හානියක් නැහැ. ඊළඟට ගෝන්නු ඉන්නවා ගොඩක්. ඉස්සර වාගේ දැන් සත්තු මරන අය අඩු නිසා අපිට කරදර ප්‍රමාණේටම සත්තු ඉන්නවා.”‍ මේ දුමින්දගේ හඬ.
මේ යෝධ කැලේ සත්තු හිටියේ නැති නම් තමයි පුදුම. සත්තුන්ට අමතරව තාපසයෙක් ගැන කතාවකුත් අපිට අහන්න හම්බවුණා. ඒ දුමින්දගෙන්.
‘දැන් ගොඩක් කල් ඉඳලා ඔය ඇල්ලට උඩින් ලෙනක මුනිවරයෙක් ඉන්නවා. රත්නපුරේ පැත්තෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඉඳලා හිටලා ගමට වඩිනවා පිණ්ඩපාතේ.’
දුමින්දගේ කතාවත් එක්ක කුතුහලයක් හිතේ දැඟලු‍වත් අපි ලෙනට ගියේ නැහැ. හැබැයි අපි දුමින්දලාගේ ගෙදරට එනකොට මුනිවරයා දුමින්දලාගේ ගෙදරට ඇවිත් තිබුණා. අපි ටිකක් කතා කළා.
‘මම කැලේට ඇවිත් දැන් අවුරුදු නමයක් වෙනවා. මට ගෙදරදී ආසාව තිබුණේ ඇඟ උඩ තියලා ඔය ගල් එහෙම කුඩුකරලා විස්කම් දක්වන සැන්ඩෝ කෙනෙක් වෙන්න. මට පෙම්වතියක් හිටියා. ඒ නිසා මට ප්‍රශ්න ගොඩක් ආවා. ඊළඟට මම භාවනා කරන්න පටන්ගත්තා. මම ගමේ මටම කියලා පන්සලක් වගේ තැනක් හදාගත්තා. හැබැයි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මට ගමේ ඉන්න දුන්නේ නැහැ. අරියාදු කරලා ගමෙන් එලෙව්වා. ඊළඟට මම අකුරැස්සේ කැලේක ඉඳලා භාවනා කළා. මට ෆොරස්ට් එකෙන් ඉන්න දුන්නේ නැහැ. ඊළඟට මම මේ කැලේට ආවා. මෙතැනදීත් ෆොරස්ට් එකේ අය මාව අත්අඩංගුවට අරගෙන පොලිසියට භාරදුන්නා. හැබැයි පොලිසිය මාව නිදහස් කළා. මන් දැන් ආයෙත් මේ කැලේට ඇවිත් භාවනා කරනවා. කැලෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මං ඒවා ඉගෙනගත්තා. මේක හරිම දුෂ්කර ජීවිතයක්. සහල් පරිප්පු වගේ තියෙන දේවල් සේරම එකට දාලා කැඳක් හදාගෙන තමයි බඩගින්න නිවාගන්නේ. ඉතින් දැන් මට මේ අත්දැකීම් ලියන්න ඕනෑ. දැන් මම සමහර දවසට හිරමනේ උඩ තියාගෙන හිතට එන දේවල් ලියනවා.”‍
මේ අවුරුදු නමයක් තිස්සේම කැලයට දියවුණ ජීවිතයක්. අපි කවුරුත් කැලෙන් තමයි සමාජයට ආවේ. දැන් මේ ප්‍රශ්න අස්සේ හැමෝම ආයෙත් කැලයට යමු කියලා තමයි කියන්නේ. සමහරුන් දැනටමත් කැලයට ගිහිං. සමහර ලෝ ප්‍රකට නිර්මාණකරුවෝ වුණත් තමන්ගේ නිර්මාණ හරහා ඉඟිකරන්නේ අපි ආයෙත් කැලයට යමු වගේ දෙයක්. විරසේතුකල් අපිචත්පොන්, විමුක්ති ජයසුන්දර වගේ අයගේ සිනමාව කියවනකොටත් තේරෙන්නේ ඒක. ඉතිං අපිත් සිංහරාජේ දියවෙමු. එන්න.■