Wednesday, 23/8/2017 | 8:06 UTC+0
රාවය

ටී එන් ඒ ඒකීයට එකගයි

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පැවතීම ගැන ගැටලුවක් නොමැති බවත්, ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේද සිංහලෙන් භාවිත කරන ‘ඒකීය’ යන වචනය පැවතිය යුතු බවත් ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවට දෙමළ ජාතික සන්ධානය දන්වා ඇත.

මැයි 22, 23 හා 24 දිනවලදී නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වී ඇති අතර එහිදී දෙමළ ජාතික සන්ධානය අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
නව ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පිළිගත යුතු බවත් ශ්‍රී ලංකාව බෙදිය නොහැකි රටක් ලෙස පැවතිය යුතු බවත්, දෙමළ ජාතික සන්ධානය පිළිගන්නා නමුත් ඒකීයභාවය වෙනුවට යෙදෙන ඉංග්‍රීසි වචනයෙහි ඇති නීතිමය අර්ථය ඊට වඩා වෙනස් බව දෙමළ ජාතික සන්ධානය එම සාකච්ඡාවලදී පෙන්වා දී ඇත.

ඒකීය බව වෙනුවට ඉංග්‍රීසියෙන් යෙදෙන වචනය වන ‘යුනිටරි’ යන වචනය ව්‍යවස්ථා නීතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමයක් හඳුන්වන වචනයක් බවත්, එම වචනය වෙනුවට ඒකීය යන සිංහල වචනය හෝ නොබෙදිය හැකි එක රටක් යන අර්ථය රැගත් වෙනත් ඉංග්‍රීසි වචනයක් යෙදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය යෝජනා කර ඇත.
එම යෝජනාවට අමාත්‍ය චම්පික රණවක සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත දිනේෂ් ගුණවර්ධන පමණක් විරුද්ධ වී ඇති අතර අනෙක් සියලුම පක්ෂවල නියෝජිතයන් එම යෝජනාවට එකඟ වී ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාව බෙදා වෙනත් රටක් තැනීමට ගන්නා උත්සාහයන් වැළැක්වීමට හා පළාත් සභාවක් රටෙන් වෙන්වීමට ගන්නා උත්සාහයකදී මධ්‍යම ආණ්ඩුව ක්‍රියාත්මක වී තීරණයක් ගත හැකි බවට වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට දෙමළ ජාතික සන්ධානය එකඟ වී ඇත.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාවලියට දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම අදහස් ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ඉල්ලා ඇත.
රාවය කළ විමසීමකදී ශ්‍රීලනිප නියෝජිතයෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවද රැස්වී සාකච්ඡා කර ඇති බවත් හැකි ඉක්මනින් පක්ෂයේ අදහස් ඉදිරිපත් කරන බවත්ය. ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් කළ යුතු බව ශ්‍රීලනිප මතය බවත් එම නියෝජිතයා පැවසීය.
කෙසේ වෙතත් මෙහෙයුම් කමිටු රැස්වීම් වාරයකදී ජනමත විචාරණයකට නොගොස් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පමණක් සිදුකළ යුතු බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා යෝජනා කර ඇති අතර ඊට මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන් විරෝධය පළ කර තිබේ.
නිමල් සිරිපාල අමාත්‍යවරයා පවසා ඇත්තේ මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති බවයි. එයට ප්‍රතිචාර ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ ජනාධිපතිවරයා නිමල් ඇමතිවරයාට රහසේ දුන් පොරොන්දු අදාළ නොවන බවත් රටට දී ඇති පොරොන්දුවලට අනුව කටයුතු කළයුතු බවත්ය. ■