රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම


lasantha

ලසන්ත රුහුණගේ

ශ්‍රී ලංකා රේගුව විසින් රෝස්වුඞ් හෙවත් රෝස් දැව ටෙන්ඩර් මගින් විකිණීමේ ක්‍රියාවලිය ආන්දෝලනයකට තුඩුදී තිබේ. එම ආන්දෝලනයට හේතුවී ඇති මතුපිට ජනප්‍රිය කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල හා සැසඳීමේදී ඉතා අඩු මුදලකට මෙම රෝස් දැව විකුණා ඇති බවයි. එම මතුපිට ජනප්‍රිය කතාව ඇත්තය. මෙම රෝස්වුඞ් විකුණා ඇත්තේ කිලෝවක් ඇමරිකානු ඩොලර් 7.50ක් හෙවත් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 7500කටය. ඒ ද නිකම් නොවේ. ටෙන්ඩරය සඳහා මිල ඉදිරිපත් කළ එකම ලංසුකරුවාටය.
ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකරට අනුව ඔහු විසින් අත්අඩංගුවට ගත් තද රතු පැහැති මෙම රෝස්වුඞ් වර්ගය ලෝකයේ මිල අධිකම රෝස්වුඞ් වර්ගයකි. එහි ජාත්‍යන්තර මිල මේ වනවිට මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 25,000ත් 65,000ත් අතර පරාසයක පවතී. එහෙත් ශ්‍රී ලංකා රේගුව මෙම රෝස්වුඞ් තොගය විකුණා ඇත්තේ එකී මිල පරාසයේ අවම මිලටත් වඩා අඩු මිලකට හෙවත් අවම මිලෙන් තුනෙන් එකකටත් වඩා අඩු මුදලකටය.
රෝස්වුඞ් විකිණීමේ මෙම ප්‍රශ්නගත ටෙන්ඩරය කැඳවා ඇත්තේ 2017 මැයි මස 20 දිනය. එම ටෙන්ඩරයට අනුව අංක 118 භාණ්ඩ අයිතමය යටතේ කන්ටේනර් 28ක අඩංගු රෝස්වුඞ් කිලෝ 419910ක් හෙවත් දළ වශයෙන් රෝස්වුඞ් මෙටි්‍රක් ටොන් 420ක් ටෙන්ඩරයට ඉදිරිපත් කර ඇත.
මෙම ටෙන්ඩරයේදී A,B,C,D,E හා Fයනුවෙන් ලංසු ඇපකර වර්ග 6ක් ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. එහිදී AAලංසු ඇපකරය රුපියල් 5,000ක් වශයෙන් නම් කර ඇති අතර එම ලංසුව යටතේ ඉදිරිපත් විය හැක්කේ රුපියල් 25,000ක් දක්වා මිල ගණන් නියම වන භාණ්ඩ ලබාගැනීම සඳහා පමණය. රුපියල් 10,000ක් වූ B කාණ්ඩය යටතේ රුපියල් 50,000ක් දක්වා මිල නියම වන භාණ්ඩ සඳහා ඉදිරිපත් විය හැකි අතර රුපියල් 25,000ක් වන C කාණ්ඩය යටතේ රුපියල් ලක්ෂ 2ක් දක්වා වන භාණ්ඩ සඳහා ඉදිරිපත් විය හැකිය. රුපියල් 50,000ක් වන D කාණ්ඩය යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා වන භාණ්ඩ සඳහා ඉදිරිපත් විය හැකි වන අතර රුපියල් ලක්ෂයක් වන E කාණ්ඩය යටතේ ඕනෑම මිල ගණනක් සඳහා වන භාණ්ඩ සඳහා මිල ඉදිරිපත් කළ හැකිය. F කාණ්ඩය ඇත්තේ අයිතම අංක 118 වශයෙන් නම් කළ රෝස්වුඞ් සඳහා පමණය. එහි ලංසු ඇපකරය රුපියල් මිලියනයකි. විශේෂත්වය වන්නේ එම ලංසු ඇපකරය නැවත ආපසු ලබානොදෙන ලංසු ඇපකරයක් වීමය. (Non Refundable Deposits) ඊට ඉහළින් ඇති හැම ලංසු ඇපකරයකම දක්වා ඇත්තේ නැවත ආපසු ගෙවනු ලංසු ඇපකර (Refundable Deposits) වශයෙන්ය.
රෝස්වුඞ් අඩු මිලට විකිණීමේ රහස ඇත්තේ එම නැවත ආපසු නොගෙවන ලංසු ඇපකරය මතය. ටෙන්ඩරය නොලැබුණහොත් තමන්ට ආපසු නොලැබෙන රුපියල් මිලියනයක් වැනි විශාල මුදලක් ලංසු ඇපකරය වශයෙන් තැන්පත් කර මිල ගණන් ඉදිරිපත් කරන්නෝ කවරහුද? ටෙන්ඩරයකදී ලංසු ඇපකරයක් ලබාගැනීමේ පරමාර්ථය වන්නේ භාණ්ඩ මිලදී නොගන්නන් විසින් මිල ගණන් ඉදිරිපත් කිරීම වැළැක්වීමත්, මිල ගණන් ඉදිරිපත් කරන්නන් විසින් ඔවුන්ට ලැබෙන ටෙන්ඩරය අත්හැරීම වැළැක්වීමත්ය. යම් මිල ගණන් ඉදිරිපත් කරන්නකු ඔහුට ලැබුණු ටෙන්ඩරය අත්හැරි විට සිදුවන්නේ ඔහු තබා ඇති ලංසු ඇපකරය රාජසන්තක වීමය. එය සාධාරණය. එමෙන්ම ටෙන්ඩරය නොලැබුණ අයගේ ලංසු ඇපකරය ආපසු ලබාදීමද සිදුවේ.
හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ටී. අශෝක පීරිස් මහතාට අනුව ආපසු ලබා නොදෙන ලංසු ඇපකර කියා දෙයක් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නැත. ආපසු ලබා නොදෙන ගාස්තු වශයෙන් සැලකෙන්නේ ලියවිලි සඳහා හා පරිපාලනමය කටයුතු සඳහා අවශ්‍ය වෙතැයි සැලකෙන ඉතා සුළු ගාස්තුවක්ය. එම සුළු ගාස්තුව ශ්‍රී ලංකා රේගු ටෙන්ඩරයේද සඳහන්ය. ඒ එක් අයිතමයක් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා රුපියල් 300ක ගාස්තුවක් ගෙවිය යුතුය යන්නය. එය ආපසු ගෙවනු නොලබන(Non Refundable Deposits)ගාස්තුව වශයෙන් සඳහන්ය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බැහැරව ආපසු ලබා නොදෙන හෙවත් Non Refundable Depositsදෙකක් රෝස්වුඞ් විකිණීම සඳහා පැමිණුණේ කෙසේද යන්න විමසා බැලීමේදීද හරි අපූරු තොරතුරු රැසක් අනාවරණය වේ. මේ රෝස්වුඞ් මුලින්ම ශ්‍රී ලංකා රේගුවේ ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් කර ඇත්තේ එක කන්ටේනරයක් විකිණීම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමටය. ඒ සඳහා වැඩිම මිල ඉදිරිපත් කළ පුද්ගලයාට ටෙන්ඩරය ලබාදීමට තීරණය කර ඇතත්, පසුව එම තීරණය ශ්‍රී ලංකා රේගුව වෙනස් කර ඇත. ඒ මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණු නියෝගයක් මතය. මුදල් අමාත්‍යාංශ නියෝගය වී ඇත්තේ එක් එක් කන්ටේනරය නොව රෝස්වුඞ් කන්ටේනර් සියල්ලම (කන්ටේනර් 28කි) එකවර විකුණන ලෙසය. එවැනි විශාල තොගයක් එක් අයිතමයක් වශයෙන් ඉදිරිපත් කර මිල ගණන් කැඳවූ විට සිදුවන්නේ තරගකාරීත්වය අවම වී මිල ගණන් පහළ යෑම පමණක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන කරුණක්ය. එවැනි සටකපට නිර්මාණාත්මක නියෝග යෝජනාවක් ඉදිරිපත් කළ හැකිවන්නේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයෙකු මෙහෙය වූ මුදල් අමාත්‍යාංශයකට විනා වෙන කවරකුටද?
මේ නිර්මාණාත්මක නියෝගයේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද? කන්ටේනර් 28ක් වූ මේ මුළු රෝස්වුඞ් තොගය සඳහාම ඉන්පසු එක අයිතමයක් වශයෙන් ශ්‍රී ලංකා රේගුව මිල ගණන් හෙවත් ටෙන්ඩර් කැඳවීමය. එහිදීත් විශේෂත්වය වන්නේ රුපියල් ලක්ෂයක ආපසු ගෙවන ලංසු ඇපකරයක් තබා ඕනෑම මිල ගණනක භාණ්ඩයක් ඉල්ලුම් කිරීමේ හැකියාව රෝස්වුඞ් සඳහා පමණක් අහෝසි කර ඒ සඳහා රුපියල් මිලියන 11ක (රු. 11,200,000) හෙවත් රුපියල් එක් කෝටි දොළොස් ලක්ෂයක ආපසු ගෙවන ලංසු ඇපකරයක් අවශ්‍ය බව ප්‍රකාශයට පත්කිරීමය. එවැනි විශාල ලංසු ඇපකරයකින් සිදුවී ඇත්තේ කුමක්ද? ලංසු සඳහා ඉදිරිපත්වීම අධෛර්යමත් කිරීමය. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ආකාරයට විශාල වාර ගණනාවක් ලංසු ඉදිරිපත් නොකිරීමට තවත් හේතුවක් එයය. පෙර සඳහන් කළාක් මෙන් තවත් හේතුවක් වන්නේ විශාල තොගයක් එක් අයිතමයක් වශයෙන් ඉදිරිපත් කිරීමය. අනෙක් හේතුව ආපසු නොගෙවන රුපියල් මිලියනයක ලංසු ඇපකරයක් ලබාගැනීමය.
කෙසේ වෙතත් ආපසු ගෙවනු ලබන රුපියල් මිලියන 11ක ලංසු ඇපකරය තබා මුල් අවස්ථාවලදී ඒ සඳහා පුද්ගලයෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකා රේගුවෙන් දැනගන්නට ලැබෙන පරිදි රෝස්වුඞ් කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලර් 20ක පමණ (මෙටි්‍රක් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 20,000ක) මිලක් ඉදිරිපත් වී ඇති අතර එම පුද්ගලයාට ටෙන්ඩරය පිරිනමා ඇත.

ඒක අමාත්‍යාංශයේ නියෝගයක්
ධර්මසේන කහඳව රේගු මාධ්‍ය ප්‍රකාශක
ආන්දෝලනයකට ලක්වී ඇති රෝස්වුඞ් ටෙන්ඩරය ගැන විස්තර දැනගන්නයි කතා කළේ?
අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ලංකාවේ නැති නිසා තවම ඒ සඳහා අනුමැතිය ලබාදීලා නැහැ. ටෙන්ඩරය ගැන මාධ්‍යවල යන කතා ඇත්ත නෙමේ. ටෙන්ඩරය ගැන රජයේ පුවත්පත්වල දැන්වීම් පළකරලා තියෙනවා. මේ ටෙන්ඩරය අපි 37ක් පාරක් දාලා තියෙනවා. 28 පාරක්ම කවුරුවත්ම මිල ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. මේ සැරේ එක්කෙනෙක් මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. එයාට දෙනවාද නැද්ද කියලා තමයි තීරණය කරන්න ඕනෑ.
මේ ටෙන්ඩරයේදී ආපසු නොගෙවන රුපියල් මිලියනයක ලංසු ඇපකරයක් ඉල්ලලා තිබුණා.

ඒක අමාත්‍යාංශයේ නියෝගයක් කියලා තමයි මම හිතන්නේ?
මීට පෙර කිලෝවක් ඇමරිකානු ඩොලර් විස්සක විතර මිලකට ගන්න ගැනුම්කරුවෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශාල මුදලක් නිසා එම මුදල් ගෙවන්න ඔහු වැඩිපුර කාලයක් ඉල්ලලා තියෙනවා. ඒත් රේගුව ඊට අවසර දී නෑ.
ටෙන්ඩරයෙන් පසු මුදල් බැඳීම සඳහා වැඩ කරන දින දහයක කාලයක් තමයි අපි ලබා දෙන්නේ. ඒ නීතිය අපිට කඩන්න බැහැ. ඒ නිසා ඒ ඉල්ලුම්කරුගේ ලංසු මුදල් රාජසන්තක වුණා.

දැනට වඩා ඉහළ මිලක් ලැබිලාත් රේගුවේ මිල ලැබුණේ නැහැ කියලා ටෙන්ඩරය නොදුන් අවස්ථාත් තියෙනවා නේද?
ටෙන්ඩරය දිගින් දිගටම කවුරුත් ගන්නේ නැති වුණාම අපේ මිල අඩු කරනවා. ඒ වගේම කාලයක් යනකොට මේ ලී සවුත්තු වෙන්නත් පුළුවන්. ඒකත් සලකා බලනවා

මිල තීරණයට රේගුවට දැනුම නෑ, සමන්ත ගුණසේකර හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ

මේ රෝස්වුඞ් තොගය අත්අඩංගුවට ගත්තේ මමයි. මේක ඉහළ මිල වටිනාකමක් තියෙන මැඩගස්කර්වල තද රතු රෝස්වුඞ් තොගයක්. ලෝකයේ රෝස්වුඞ් වර්ග තිස් එකක් විතර තියෙනවා. ගෘහ භාණ්ඩ හදලා ඉතිරි වෙන කුඩු ටික පවා මේ වටිනාකම නිසාම විසි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙම වර්ගයේ රෝස්වුඞ් මෙටි්‍රක් ටොන් එකක් ජාත්‍යන්තර වෙළෙඳපොළේදී මේ දිනවල ඇමරිකානු ඩොලර් 25,000 සිට 65,000 දක්වා මිල නියම වෙනවා.
මේ රෝස්වුඞ් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 20,000කට වගේ ගණනකට මීට පෙර ඉල්ලලා තිබුණාම අපි දෙන්න කිව්වා. ඒත් දුන්නේ නෑ. මට දැනගන්නට තියෙන විදිහට මෙවර මිල නියම කිරීමේදී මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 3500කට තමයි විශේෂඥ කමිටුව මිල තීරණය කර තිබෙන්නේ. මිල තීරණය කළ කිසිවකුට ඒ ගැන දැනුමක් නැහැ. මේ රෝස්වුඞ් අද ලෝකයේ මත්ද්‍රව්‍යවලටත් වඩා ඉහළින් තියෙන ජාවාරමක්. මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවා වෙනස් කිරීමට මේ රෝස්වුඞ් ජාවාරම සමත් වුණා. ලබාදී ඇති ටෙන්ඩරය සම්බන්ධයෙන් මම විරුද්ධත්වය පළ කළා. ටෙන්ඩරය තාම ගැනුම්කරුට ලබාදී නැති බවක් තමයි මට දැනුම් දී තියෙන්නේ.

ආපසු නොගෙවන ඇපකර නෑ
ටී. අශෝක පීරිස් හිටපු අමාත්‍යාංශ ලේකම්
යම් විකිණීමක් සම්බන්ධයෙන් ටෙන්ඩර් ලංසුකරුවන් වැඩිවන තරමට තමයි රජයට වාසි වෙන්නේ. එහිදී රජයට ලබාගත හැකි මිල ඉහළට යනවා. ජාතික ප්‍රසම්පාදන නියෝජිත ආයතනයේ ප්‍රසම්පදාන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.1.3 අනුව අවශ්‍ය නම් ප්‍රසම්පාදන ලියවිලි සඳහා මුදලක් අය කළ හැකි බව දක්වා තිබෙනවා. හැබැයි එම මුදල ලංසුකරුවන් අධෛර්යමත් කරන ඉහළ මිලක් නොවිය යුතුයි.
එහිම 5.3.11 යටතේ ලංසු සුරක්ෂණය ගැන සඳහන් වෙනවා. ලංසු සුරක්ෂණය රජය බලාපොරොත්තු වන මිලෙන් 1%ත් 2%ත් අතර තමයි අය කළ යුත්තේ. ලංසුකරුවන්ට වටිනාකම තීරණය කර ගන්න බැරිවෙන්නයි ප්‍රතිශත දෙකක මිල පරාසයක් ගැන සඳහන් වන්නේ.
ඉහළ මිල ලංසු සුරක්ෂිතතා අය කරනවා කියන්නේම තරගකාරීත්වය අඩු තෝරාගත් අයෙකුට ටෙන්ඩරය ලබාදීමට සිදුකරන ක්‍රියාවලියක්. කෙසේ වෙතත් නැවත නොදෙන ලංසු සුරක්ෂිතතාවක් ගැන නම් කොහෙත්ම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වන්නේ නැහැ. එවැන්නක් ශ්‍රී ලංකා රේගුව සිදුකළේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.■