රාවය

කොන්දක් නැති ආණ්ඩුවක රෝග ලක්ෂණ දෙකක්: ගීතා කුමාරසිංහ සහ ගලගොඩඅත්තේ ඥානසාර

කොන්දක් නැති ආණ්ඩුවක රෝග ලක්ෂණ දෙකක්: ගීතා කුමාරසිංහ සහ ගලගොඩඅත්තේ ඥානසාර

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටට දැනෙන වැඩ කොටසක් කළ කාලය වශයෙන් තවමත් සටහන් වන්නේ පළමු දින 100 වකවානුවයි. ඒ කාලය තුළ, ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යයන් කිහිපයක් කෙටි කාලයක් තුළ සාර්ථක කර ගැනීමට මේ ආණ්ඩුව සමත් විය. ඒ අතරින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය කැපී පෙනේ. එහෙත් එම දින 100 වකවානුව ගතවීමෙන් පසු මේ දක්වා එවැනි නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බවක් පෙනෙන්ට නැත. එට්කා ගිවිසුම වේවා, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වේවා, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වේවා, හැම විටෙකම ආණ්ඩුව එක පියවරක් ඉදිරියට තබමින් පියවර දෙකක් ආපස්සට තැබූ අවස්ථා වශයෙන් ඉතිහාසගත වන්නේය.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ලෝකයේ විවිධ රටවලට ගොස් අපේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ යම් පියවරක් ඉදිරියට තැබීමට තැත් කරන බවක් පෙනී යයි. මෙය ලියන මොහොතේ පවා ජනාධිපතිවරයා සිටින්නේ ඕස්ටේ්‍රලියානු සංචාරයක ය. පසුගිය දා අගමැතිවරයා චීනය සහ ජපානය වැනි රටවල සංචාරය කෙළේය. එහෙත්, යුරෝපය සහ ඇමරිකාව වැනි බටහිර ලෝකයෙන් අපේක්ෂා කළ තරමේ ආයෝජනයක් ලංකාවට ආවේ නැත. ඒ තත්වය තුළ, අද වන විට අපි ආසියාතික යෝධයන් වන චීනය, ඉන්දියාව සහ ජපානය දෙසට හැරෙමින් සිටිමු. මේ කියන රටවලින් පවා අප අපේක්ෂා කරන ආයෝජනයන් පැමිණියත්, ඒවා අර්ථවත් සේ භාවිතයට ගැනීමට නම් රට ඇතුළේ ඒ සඳහා ගැළපෙන ව්‍යවසායක පරිසරයක් තිබිය යුතුය. සෑම සතියකම පාහේ වැඩ වර්ජනයක් දියත් වන, සතියකට වරක් දෙවරක් කොළඹ ජනාකීර්ණ මාර්ග අවුරමින් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙන, ඕනෑම විදේශ ආයෝජන ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාවක් ආ සැණින් බිල්ලෙකු මවා පාමින් ජනතාව උසි ගන්වන පරිසරයක් තුළ, බටහිර ලෝකයෙන් පමණක් නොව, ආසියාතික ලෝකයෙන් පවා ව්‍යවසායකයන් ලංකාවට පැමිණීම ගැන දෙවරක් සිතා බලනු නියති. එබැවින්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෝකයේ කරක් ගසා සොයා ගන්නා කිසි කෑමක් කටට දා ගැනීමට නොහැකි වන තත්වයක් රට ඇතුළේ නිර්මාණය වෙතොත් එය අවාසනාවකි.
එබැවින් මුලින්ම වැදගත් වන්නේ, රාජ්‍ය පාලනය අභ්‍යන්තරිකව ශක්තිමත් පදනමක් මත පිහිටුවා ගැනීමයි. හෙවත්, බෙලහීනභාවයෙන් මිදී තිරිහන් වීම නොහොත් කොන්ද කෙලින් තියාගෙන කටයුතු කිරීමයි. යහපාලන ආණ්ඩුව වනාහී අනාථ ආණ්ඩුවක් ය යන අදහසක් සාමාන්‍ය ජනතාව අතර මුල් බැස ගනිමින් තිබීමට පාදක විය හැකි, මේ මොහොතේ දිග හැරෙන සංසිද්ධි දෙකක් ගැන පමණක් මෙහිදී අපගේ අවධානය යොමු කෙරේ.
ගීතා කුමාරසිංහට ද්විත්ව පුරවැසිභාවයක් තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බව අභියාචනාධිකරණය මැයි 3 වැනි දා තීන්දු කෙළේය. අධිකරණයේ එම තීන්දුව ඊට පසුව දා කතානායකවරයා වෙත දන්වා යැවුණි. ඉන් පසු කතානායකවරයා විසින් එම තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීමට දවස් පහක්ම ගත්තේය. ඒ සා කාලයක් ගතවීමට හේතුව, අභියාචනාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන නීතිපතිගේ නිර්දේශයක් කතානායකවරයා බලාපොරොත්තු වීමයි. අධිකරණයක තීන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නැවත වරක් නීතිපතිවරයෙකුගේ උපදේශයක් හෝ නිර්දේශයක් අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි නැත. වෙන කිසිවක් නිසා නොව, එක පැත්තකින් එය බලාත්මක අධිකරණ තීන්දුවක් වන නිසාත්, අනිත් පැත්තෙන් අධිකරණය එම තීන්දුව ගැනීමට නීතිපතිවරයාගේ සියලු සහාය ඒ වන විටමත් ලබා සිටි බවත් සැලකිල්ලට ගත් විට, අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් නීතිපතිවරයාගේ නිර්දේශ සෙවීම අනවශ්‍ය බව, පෘථග්ජන මනසට පවා ගෝචර වන කාරණයකි. මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ, නීතිපතිවරයාගේ නිර්දේශයකින් තොරව කතානායකවරයා විසින් ගත හැකිව සහ ගත යුතුව තිබූ එම තීරණයම, අවසානයේ නීතිපතිවරයාගේත් නිර්දේශය වීමෙනි. ඔහු කියා එව්වේ ද, මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා අදාළ කාරණය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි.
මෙසේ සතියකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්නය රස්තියාදු වෙන අතරේ, තවත් පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් අංශයේ පරිපාලනය ඔස්සේ අධිවේගී මෙහෙයුමක් දියත් කොට තිබුණි. ඒ අනුව, ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිව එක වැඩ කරන දිනයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කොට, එහි වගඋත්තරකාර පාර්ශ්වයන්ට පවා දැනුම් දීමකින් තොරව පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පමුණුවමින්, එම රෙජිස්ට්‍රාර් අංශය ආණ්ඩුවට කොකා පෙන්නුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින තුනක අත්හිටුවීමේ නියෝගයක් ලබා ගැනුණි. ඒ දින තුන අවසානයේ, තව මාස හතරක් හෙවත් ඊළඟ සැප්තැම්බරය දක්වාම එම අත්හිටුවීමේ නියෝගය මේ වන විට දිග් ගස්සා ගැනීමට එම පාර්ශ්වය සමත්ව තිබේ.
පාර්ලිමේන්තුවේ සිදු වූ අනවශ්‍ය රස්තියාදුව චේතනාන්විත ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවිය හැකිය. එහෙත් එක වැඩ කරන දිනයක් ඇතුළත, ප්‍රතිපාර්ශ්වයට පවා නොදන්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම කැඳවීම පසුපස සිටියේ කවර පුද්ගලයන්ද සහ පැවතියේ කවර අවශ්‍යතාවක්ද යන්න සොයා බැලීම වටී. කෙසේ වෙතත්, අනතුරුව දින තුනක අත්හිටුවීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන ඉනුත් පසුව තවත් මාස හතරක දීර්ඝ කිරීමක් ලබා ගැනීම අධිකරණමය කාරණා වශයෙන් මොහොතකට පසෙකින් තැබිය හැකි වෙතත්, එක කාරණයක් මගහැර යා නොහැකි අන්දමින් අප ඉදිරියේ මතුවෙයි. එනම්, එක වැඩ කරන දිනයක් ඇතුළත පෙත්සම විභාගයට ගැනුණේ අදාළ කාරණයේ ‘හදිසි වැදගත්කම’ සැලකිල්ලට ගෙන නම්, එම ප්‍රශ්නය වහා නිරාකරණය නොකොට තව මාස හතරකින් එම වාරණය දිග් ගැස්සීමේදී ඒ ‘හදිසිභාවයට’ සිදුවන්නේ කුමක්ද යන්නයි. තවත් විදිහකින් කිවහොත්, ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානම තුළ තිබූ ‘හදිසිභාවය’, ඇගේ මන්ත්‍රී ධුරයේ නීති විරෝධීභාවය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පාවිච්චි වී නැති බව ය.
මෙය, ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ක්‍රියාත්මක වන පරිපාලනයේ කුමන්ත්‍රණකාරී කොටස් ඉදිරියේ වර්තමාන ආණ්ඩුව නිරුත්තර වීම පමණක් නොව, සමස්තයක් වශයෙන් යුක්ති ක්‍රියාදාමය කණපිට හැරවීමක් ද කියාපායි. මහින්ද රාජපක්ෂව පරාජය කොට, රාජ්‍ය තන්ත්‍රය අරක්ගෙන සිටින ‘රාජපක්ෂලාව’ නිරුපද්‍රිතව තබා ගැනීමේ ආනිශංසය, අනිත් සැම අංශයකමත් මේ අවස්ථාවේ දක්නට ලැබේ.
අපේ වාසනාවට අයි.ආර්.සී. කාරයන් සිවුරු පොරවා ගන්නේ කලාතුරකිනි. එහෙත් අපේ අවාසනාව වන්නේ, පැවිදි වෙස් ගත් මදාවියන් අතලොස්සක් කරන කියන දෑ, දියුණු මාධ්‍ය භාවිතාවක් ඇති යුගයක, ඉතා ශීඝ්‍රයෙන් පොදු ජන සිත්සතන් දූෂ්‍ය කිරීමට හේතු විය හැකි වීමයි. අධිකරණ තීන්දු ඉරා බිම දමා පාගන මදාවි පැවිද්දන්ගේ චර්යාව මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කෙරේ. ගලගොඩඅත්තේ ඥානසාර යනු, මහින්ද රාජපක්ෂගේ පරාජයට පාර කැපූ එක් ප්‍රධාන චරිතයකි. ඔහු මීට බොහෝ කලකට පෙර හිරේක දමා වැසිය යුතුව තිබූ සමාජ-විරෝධී පිළිලයකි. එදා ඔහු හැසිරුණේ, ගෝඨාභය රාජපක්ෂගේ සෘජු හව්හරණය සහ ආශීර්වාදය යටතේ ය. එවැනි රාජ්‍ය බලයක් සහිතව කෙනෙකු චණ්ඩියෙකු වීම සහ නීතියෙන් නිරුපද්‍රිතව සිටීම අපට තේරුම්ගත හැකිය. එහෙත් අද එවැනි රාජ්‍ය බලයක් නැතිව එදාටත් වැඩියෙන් ඥානසාර නැමැති මේ භික්ෂුව මදාවියෙකු සේ හැසිරෙන්නේ, ඔහුගේ ඇඟේ ඇති හයියකින් නොව, ආණ්ඩුවේ කොඳු ඇට පෙළේ ඇති පරහක් හේතුවෙන් බව පැහැදිලි ය.
මේ වසරේ අප්‍රේල් 16 වැනි දා සිට මැයි 22 වැනි දා දක්වා, රටේ විවිධ පළාත්වල වෙසෙන මුස්ලිම් ජාතිකයන්ව ඉලක්ක කර ගනිමින් සිදු වී ඇති ප්‍රචණඩ ක්‍රියා 17 ක් වාර්තා වී තිබේ. ඉන් බොහොමයක් හටගෙන ඇත්තේ ඥානසාරගේ සෘජු මෙහෙයවීම මතයි. එක අවස්ථාවකදී, ‘අල්ලාගේ ලබ්බ’ යන අධම භාෂාවෙන් ඉස්ලාම් දහමට ගැරහීමට තරම් මොහු නිහීන වී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ තිබූ, පුපුරා නොගිය බෝම්බයක් ගැන ඇති වූ බලධාරී අවධානය සහ හාහෝව, අප්‍රේල් 16 වැනි දා පෝරුව, ගොඩපිටියේ මුස්ලිම් වෙළඳසැල් හතරකට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සහ විනාශය වෙනුවෙන් යොමු වුණේ නැත. මැයි 15 වැනි දා පානදුරේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් එම අවධානය සහ සැලකිල්ල යොමු වුණේ නැත. මැයි 16 වැනි දා කොහිලවත්තේ (සේදවත්ත) මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එය යොමු වුණේ නැත.
අගමැති රනිල් වික්‍රමසිංහ, මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය ගැන පළමු වරට කතා කරන්නේ, පසුගිය අඟහරුවාදා (23) ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ගැන කතා කරන්නේ පසුගිය සඳුදා (22) ය. එනම් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ මැර භික්ෂුවක් රට පුරා යකා නටද්දී මේ ආණ්ඩුව අහක බලාගෙන සිටිය බවයි. අඩු වශයෙන්, පොලිස් නිලධාරීන් භාවනා කළ යුතු බවට වෙන් කොට ඇති පැය කාලේ විහිළුව, රට ගිනි ගනිමින් තිබූ මේ ජාතිවාදී විනාශය වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා යොදා ගත්තේ නම්, අද තත්වය මෙතරම් බරපතළ නොවනු ඇත. එසේ විණි නම්, පොලීසිය ඉදිරියේ සහ මාධ්‍ය කැමරා ඉදිරියේ නීතියට පිටුපාමින් තවත් ආගමික ප්‍රජාවකට අඩන්තේට්ටම් කිරීමට සහ අපහාස කිරීමට මේ අලජ්ජී භික්ෂුවට මෙතරම් හයියක් නොලැබෙනු ඇත.
රටේ ජාතික සංහිඳියාව ඇති කිරීම අරමුණු කොට පිහිටුවා ඇති අමාත්‍යාංශ දෙකක්ම තිබේ. එක ඇමතිවරයෙකුට ජාතික ඒකාග්‍රතාව භාර කොට ඇති අතර තවත් ඇමතිවරයෙකුට ජාතික සහජීවනය භාර කොට තිබේ. ඊට අමතරව, ඒ ජාතික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන තවත් රාජ්‍ය ආයතන සහ යන්ත්‍රණ ගණනාවක් පිහිටුවා තිබේ. පම්පෝරි ආයතන සහ අමාත්‍යාංශ පිහිටැවූ පමණින් රටක ජාතික සංහිඳියාවක් ඇති වෙතැයි රාජ්‍ය නායකයන් දෙන්නා සිතතොත් එය ළාමක මුළාවකි.
භාෂණයේ නිදහස යනු, ජාතිය, ආගම සහ කුලය ආදි කරුණු මුල් කරගෙන ජන කොටසක් ඉලක්ක කොට වෛරය වපුරන සෙල්ලමක් නොවේ. ආණ්ඩුවක් නම් පඹයෙකු විය යුතු නැත. නියපොත්තෙන් කඩා ගත හැකිව තිබෙන දෙයක්, පොරොවක් අවශ්‍ය වන තෙක් බලා සිටීමට ආණ්ඩුවක් අවශ්‍ය නැත.■