Wednesday, 23/8/2017 | 8:01 UTC+0
රාවය

අධිකරණයට සිදුවී තිබෙන වින්නැහිය

වික්ටර් අයිවන්

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට හේතුවන ලෙස ලබාදී තිබෙන තීන්දුව සේ ම එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය නිසා දැන් නැවත වරක් අධිකරණය උණුසුම් කතාබහකට හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

ගීතා කුමාරසිංහ
ගීතා කුමාරසිංහගේ නඩුව පිළිබඳව රාවය කතුවරයා විවරණයක් ලියා තිබුණු අතර එම විවරණයට ඇතුළත් කරුණු අනුව එම පෙත්සම සලකා බැලීමේ ක්‍රියාවලිය සිරවී තිබෙන්නේ දේශපාලන පක්ෂපාතකම මත ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක ස්වරූපයෙනි. අභියාචනය ගොනුකර තිබෙන ආකාරය, ඊට ඉක්මන් දිනයක් ලබාදී තිබෙන ආකාරය හා වගඋත්තරකරුවන්ට කිසිදු දැනුම්දීමක් නොකර විභාගය සඳහා ඉක්මන් දිනයක් නියම කිරීම හා එම ඉක්මන් දිනයේදී විනිශ්චය මණ්ඩලය පත්කර තිබෙන ආකාරය සැලකිල්ලට ගත් විට සියල්ල කුමන්ත්‍රණකාරී ස්වරූපයකින් සිදුවී තිබේය කියන හැඟීම ඇති කරයි.
මෙම සිද්ධියේදී ප්‍රධාන කොට චෝදනා එල්ල වී තිබෙනුයේ ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට එරෙහිවය. ජනරංජන එම ලිපියේ රෙජිස්ට්‍රාර්වරිය හඳුන්වා තිබුණේ සිදුවූ සියල්ලටම වගකිවයුතු ප්‍රධාන චරිතය ලෙසය. පෙත්සම මුල් අවස්ථාවේදී විභාගයට ගත් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වන ප්‍රියන්ත ජයවර්ධන එම රෙජිස්ට්‍රාර්වරියගේ සහෝදරයෙකි. මුල් අවස්ථාවේදී අභියාචනය විභාගයට ගැනුණු ආකාරයට සේ ම එහිදී ලබාදී තිබෙන තීන්දුවද විශ්වාසයට හේතුවන්නේ නැත. ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු (අනිල් ගුණරත්න) තහනම් නියෝගයට පක්ෂ වී නැත.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය
අධිකරණයෙන් දැන් අසන්නට ලැබෙන මේ කතාවෙන් සේ ම මීට පෙර විටින් විට අසන්නට ලැබී තිබෙන වෙනත් කතාවලින්ද පෙනෙන්නේ ආණ්ඩු බලය වෙනස් වී අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත්, අධිකරණයේ ඇතිවී තිබූ දූෂිත හා ජරපත් බව වෙනස් වී නැති බවය. යහපාලන ආණ්ඩුව විසින් කරළියට ගෙනා 19 වැනි සංශෝධනයට ඇතුළත් ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයෙන් අපේක්ෂා කළේ රාජ්‍ය ආයතන ක්‍රමයේ තිබුණු කුණුවීම හා ජරපත් බව ජයගැනීමය. ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සලකන ලද්දේ රාජ්‍ය ආයතන ක්‍රමයේ ඇතිව තිබූ පරිහානිය ජයගැනීමට තිබෙන එකම හා හොඳම ක්‍රමය ලෙසය. ව්‍යවස්ථා සභාව යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමෙන් පසු රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය දූෂණයෙන් තොර නීතිගරුක හා කාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීමට හේතුවනු ඇතැයි එම විසඳුම නිර්දේශ කළ උගතුන් සේ ම ඔවුන්ගේ එම නිර්දේහය භාරගත් දේශපාලන නායකයෝද විශ්වාස කළෝය.
එහෙත් එම විසඳුම ක්‍රියාත්මක කොට දැන් බොහෝ කාලයක් ගතවී ඇතත් රාජ්‍ය ආයතන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවී නැත. අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණු දූෂිත බව, කුණුවීම හා ජරපත් බව නැති කිරීමට ව්‍යවස්ථා සභාව යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සමත් වී නැත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ බුද්ධිමතුන් ඉදිරිපත් කළ කෙටුම්පත ආරම්භයේ සිටම මාගේ දැඩි විවේචනයට හේතුවිය. මාගේ මතය වූයේ එම සංශෝධනයට ඇතුළත් බොහෝ දේවල් ගැඹුරු වෙනසක් ඇති කිරීමට ශක්තිය නැති, අවුලක් බවට පත්ව තිබෙන ආණ්ඩු ක්‍රමය තවදුරටත් අවුල් කිරීමට හේතුවන මනෝරාජික වැඩසටහනක් වන බවය. රාජ්‍ය ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම නැති කිරීමට 19 වැනි සංශෝධනයට ඇතුළත් ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සමත් නොවනු ඇති බවද මම කීවෙමි. 19 වැනි සංශෝධනය හා ඊට ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ගැන මා කියන ලද අනාවැකිය මේ වනවිට හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය.
මා එම උගතුන් ගෙනා වැඩසටහන ප්‍රසිද්ධ විවේචනයන්ට ලක්කිරීමෙන් පසුත් ඔවුන් එම වැඩසටහන නැවත සලකා බලන තැනකට ගියේ නැත. එය කිසිදු සංශෝධනයකින් තොරව යහපාලන ආණ්ඩුවේ අනාගත නායකයන් වෙත පිළිගැන්වූහ. එම නායකයෝද ඒ ගැන කිසිදු කරුණු සලකා බැලීමකින් තොරව එම වැඩසටහන ඔවුන් තමන්ගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන බවට පත්කර ගත්තෝය. සමස්ත වැඩසටහන අසාර්ථක වූ පසුව එම වැඩසටහනේ නිර්මාතෘවරුන් ලෙස ක්‍රියා කළ උගතුන් හෝ එය ක්‍රියාවට නැංවූ දේශපාලන නායකයන් ඒ ගැන වන තමන්ගේ කනගාටුව මහජනයා වෙත පළ කළේ නැත.

මහේස්ත්‍රාත්වරයෙකුගේ කතාව
මාගේ මේ ලිපියේ අරමුණ අධිකරණයේ ඇතිවී තිබෙන අතිවිශාල පරිහානියේ තරම අධිකරණයට අදාළ මගේ අත්දැකීම් අතුරින් එක් විශේෂ අත්දැකීමක් පාදක කොටගෙන විග්‍රහ කිරීමය. අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානියට අදාළ වැදගත් හැම දෙයක්මත් එම විශේෂ අත්දැකීම තුළ කැටිවී තිබෙන්නේ යැයි කිව හැකිය.
ලංකාවේ අධිකරණය සැලකිය හැක්කේ විධිමත් ඉදිරි දැක්මකින් තොර අවිධිමත්භාවය හා දූෂිත බව රජ කරන අධිකරණයක් ලෙසය. විනිසුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය අවිධිමත්ය. දූෂිතය. ඔවුන්ට පුහුණුව ලබාදෙන ක්‍රමයද අවිධිමත්ය. නඩු අසන ක්‍රමයද අවිධිමත්ය. එය මහජනයා පීඩාවට පත් කරන දූෂිත ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. විනිසුරුවරුන්ගේ කටයුතු අධීක්ෂණය කෙරෙන හා ඔවුන්ගේ විනය පාලනය කරන විධිමත් ක්‍රමයක් නැත. අධිකරණ ක්‍රමයේම වැදගත් කොටසක් ලෙස සැලකිය හැකි නීතිඥ සේවය තිබෙන්නේද අවිධිමත් හා දූෂිත තත්ත්වයකය.
නීතිය පසිඳලන ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන මහා කඩාවැටීම මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා කලක් අභියාචනාධිකරණයේ සභාපති වශයෙන්ද, තවත් කලක් නීතිපති වශයෙන්ද අවසානයේ රටේ අගවිනිසුරු වශයෙන් ද ක්‍රියා කළ සරත් නන්ද සිල්වා ආශ්‍රයෙන් විග්‍රහ කළ හැකිය. ඒ දෙදෙනාගේ අවලස්සන කතාව තුළ අධිකරණයේ ඇතිවී තිබෙන මහා පරිහානිය කෙරෙහි බලපා තිබෙන සියලු රෝග හඳුනාගත හැකිය.
ලෙනින් රත්නායක රාජ්‍ය ආයතනයක්ව තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියත් මත විධිමත් පරීක්ෂණයකින් පසුව සංස්ථා සේවයෙන් පහළ කළ පුද්ගලයෙකි. ඔහු සිය වංචාකාරී අතීතය වසන් කොට නීතිඥ සේවයට එකතු වූවා පමණක් නො ව, ඉන්පසු අධිකරණ සේවයටද එකතුවීමට සමත් විය. ඔහු අධිකරණ සේවයට බඳවා ගැනීමට නිර්දේශ කර තිබුණේ ප්‍රමුඛ පෙළේ නාමධාරී ජනාධිපති නීතිඥයන් දෙදෙනෙකි. අධිකරණ සේවයට එකතුවීම සඳහා ඔහු ඉදිරිපත් කරන ලද අයදුම්පතෙහි තමන්ට උපාධි දෙකක් ඇති බව සඳහන් කර ඇතත්, අපොස සා. පෙළ සහතිකය හැර උසස් පෙළ හෝ උපාධි අධ්‍යාපනයක් සහතික කරන සහතික ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් නැත. අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පැටිකිරිය හොඳින් සොයා බලන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බව හා ඒ නිසා බලවතකුගේ අනුග්‍රහය ලබාගත හැකි ඕනෑම තක්කඩියෙකුට අධිකරණ සේවයට ඇතුළුවීමේ හැකියාව තිබෙන බවද ඉන් පෙනී යයි.
මෙම තක්කඩි මිනිසා අධිකරණ සේවයට එකතුවීමෙන් පසුව තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු දූෂණය කළේය. මෙම මහේස්ත්‍රාත්වරයාට කාන්තාවන් සපයන පිම්පියන් ලෙස ක්‍රියා කර තිබුණේ එම නඩු දෙක භාරව ක්‍රියා කළ නීතිඥයන් දෙදෙනාය. ලෙනින් රත්නායක පරීක්ෂණයේදී එම කරුණ හොඳින් සනාථ වූ අතර ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදෙන ලද්දේ එම අධිකරණයේ සේවය කළ නීතිඥයන් දෙදෙනෙකුය. ලංකාවේ නීතිඥ වෘත්තිය කුණුවී තිබෙන තරම ඉන් තේරුම් ගත හැකිය.

උපාලි අබේරත්න
ලෙනින් රත්නායක ග්‍රාමීය දුප්පත් පවුලකින් පැවත එන වංචාවෙන් හා සටකපට කමින් ඉහළ නැගීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි වුවත් සරත් නන්ද සිල්වා එහි ප්‍රතිවිරුද්ධය සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.
ඔහුගේ පියා තමාගේ සුළු පොල්වතු හිමියෙකි. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. මා ද වගඋත්තරකරුවකු වී සිටි 71 කැරැල්ලේ මහා නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ ආණ්ඩුවේ නීතිඥ කණ්ඩායමේ කනිෂ්ඨ නීතිඥයා වූයේ සරත් නන්ද සිල්වාය. වික්ටර් තෙන්නකෝන් එම කණ්ඩායමේ ප්‍රධානියා වූ අතර, කොලින් තෝමේ දෙවැනියාද, රංජිත් අබේසූරිය තෙවැන්නාද, තිලක් මාරපන සිව්වැන්නාද වූහ.
සරත් නන්ද සිල්වා පසුකලක නීතිපති දෙපාර්තමේන්තුවෙන් අභියාචනාධිකරණයට උසස්වීමක් ලැබ අවසාන කාලයේදී එම අධිකරණයේ සභාපති ධුරයද ඉසිලීය. ඔහු සිය බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන් නොවූ තමන්ගේ මිත්‍රයෙකුගේ බිරිඳක සමඟ එකට ජීවත් වන තත්ත්වයක් ඇති කරගෙන තිබුණේද ඒ කාලයේදීය.
සරත් සිල්වා සමඟ අනාචාර ජීවිතයක් ගත කළ සිය බිරිඳ හා සරත් සිල්වා සම වගඋත්තරකරුවන් කරමින් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා (ඔහු රසායන ඉංජිනේරුවරයෙකි.) දික්කසාද නඩුවක් ඉදිරිපත් කළේය. මහත් විවාදයට හේතුවූ එම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා වූයේ ගීතා කුමාරසිංහ අභියාචනය විභාගයට ගත් විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නය. එම නඩුවේදී එම විනිසුරුවරයා ක්‍රියා කර තිබුණේ යුක්තිගරුක හා නීතිගරුක විනිසුරුවරයෙකු වශයෙන් නොව අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් ක්‍රියා කළ සරත් නන්ද සිල්වාගේ වුවමනාවන් වෙනුවෙන් ක්‍රියාකරන අගතිගාමී විනිසුරුවරයෙකු වශයෙනි.
මෙම විනිසුරුවරයා රසායන ඉංජිනේරුවාගේ පැමිණිල්ල එහි වැරදි තිබුණේ නම් ඒවා නිවැරදි කරගැනීමට ඉඩක් නොදීම ඉවත දැම්මේය. ඒ නිසා රසායන ඉංජිනේරුවාට නැවත නඩු පැවරීමට සිදුවූ අතර දෙවැනි නඩුවේදී විනිසුරුවරයා සරත් සිල්වාගේ නම නඩුවෙන් ඉවත් කොට ඉංජිනේරුවාගේ බිරිඳට එරෙහිව පමණක් සිතාසි නිකුත් කළේය. නඩුව අවසන් කෙරුණේ දික්කසාදයට ඉඩදෙමින් සරත් නන්ද සිල්වා සමඟ අනාචාර ජීවිතයක් ගත කළ පැමිණිලිකරුගේ බිරිඳට රුපියල් දශ ලක්ෂයක වන්දියක් ගෙවීමට පැමිණිලිකරුට නියම කරමිනි.
රසායන ඉංජිනේරුවා මෙම නඩුව අසන ලද විනිසුරුවරයාට එරෙහිව අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා වෙතත් අධිකරණ සේවා කොමිසම වෙනත් පැමිණිලි කළේය. අගවිනිසුරුවරයා හා රසායන ඉංජිනේරුවා අතර දැනහැඳුනුම්කමක් තිබීම හේතු කොට ගෙන අගවිනිසුරුවරයා නැතිව කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වී සිටි තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාට එම පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැවරීය.
මෙම විනිසුරුවරුන් දෙදෙනා දිසා විනිසුරු උපාලි අබේරත්න කොමිසම ඉදිරියට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් හා නඩුව පිළිබඳව ඔහුගේ නිරීක්ෂණද ලබාගැනීමෙන් පසුව මෙම විනිසුරුවරයා මෙම නඩුවේදී විනිසුරුවරයාට තිබෙන අධිකරණ බලය හා අභිමත බලය වැරදි ලෙසත්, කර්කශ හා පීඩාකාරී ලෙසත් පාවිච්චි කර ඇති බවට චෝදනා කෙරෙන චෝදනා පත්‍රයක් සකසා අධිකරණ සේවයෙන් පහකිරීමට හෝ වෙනත් දඬුවමක් ලබානොදීමට හේතු ඇතොත් දැනුම් දෙන ලෙස දක්වා එම චෝදනා පත්‍රය දිසා විනිසුරු උපාලි අබේරත්න වෙත යැවීය.

පරීක්ෂණ දෙක
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ විශ්වාසවන්තයෙකු වූ සරත් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලබන්නේ 1995 ඔක්තෝබර්වලදීය. ඉන්පසු ඔහු නීතිපති ධුරයට පත්කරනු ලබන්නේ 1996 මාර්තු 1 වැනිදාය. විනිසුරු උපාලි අබේරත්න තමන් වෙත අධිකරණ සේවා කොමිසම එවන ලද චෝදනා පත්‍රයට පිළිතුරු දිය යුතුව තිබුණේ 1996 මාර්තු 12 වැනිදාට පෙරය. සරත් සිල්වා නීතිපති ධුරයට පත්වීමෙන් පසුව විනිසුරු උපාලි අබේරත්න චෝදනා පත්‍රයට පිළිතුරුදීමෙන් වැළකී සිටියා පමණක් නොව ඔහුට එරෙහිව ආරම්භ කොට අවසානයක් කරා ගමන් කරමින් තිබුණු පරීක්ෂණ ක්‍රියාවලියද යටපත් විය.
ඉන්පසු උපාලි අබේරත්න විනිසුරුවරයා සම්බන්ධයෙන් නීතිපති සරත් සිල්වා පවත්වාගෙන ගිය නීති විරෝධී පිළිවෙතට එරෙහිව හඬ නගන්නට සිදුවූයේ මටය. ඒ නිසා උපාලි අබේරත්න විනිසුරුවරයා පිළිබඳ ප්‍රශ්නය නැවත සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන්නට එවකට සිටි අගවිනිසුරුවරයාට සිදුවිය. එම පරීක්ෂණ කමිටුව මෙම විනිසුරුවරයා චෝදනාවලට වරදකරු කිරීම නිසා 1999 ජනවාරි 31 වැනිදා සිට අනිවාර්ය පදනම මත විශ්‍රාම යැවීමට අධිකරණ සේවා කොමිසමට සිදුවිය. එහෙත් ඉන්පසු එම විනිසුරුවරයාගේ නීතිඥයා ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බලා අධිකරණ සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ නියෝගය ඉවත් කොටගෙන ඔහුගේ උසස්වීම් අවුරුදු දෙකක කාලයකට අත්හිටුවා ඔහුට මොනරාගලට ස්ථාන මාරුවක් ලබා දුන්නේය.
මෙම විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම අනුගමනය කළ එම පිළිවෙත විවේචනයට ලක්කරමින් එවකට නීතිඥයන් අතර සිටි ප්‍රමුඛතම හා ගරු කටයුතු පුද්ගලයා ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වා කීවේ වැරදි කරන අධිකරණ නිලධාරීන් ඌන පහසුකම් හෝ දුෂ්කර පරිසරයක් ඇති තැන්වලට මාරු කිරීම රෝගයට පිළියමක් නොවන බවය.
මෙම දඬුවම් මාරුවෙන් පසුව නීතිපති ධුරයෙන් අගවිනිසුරු ධුරයට පත් සරත් නන්ද සිල්වා තමන්ට ආධාර කළ මෙම විනිසුරුවරයා ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ උසස්වීම් අත්හිටුවා තිබූ කාලය අවසන් වන්නට පෙර ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන්නේය. ඉන්පසු පාර්ලිමේන්තුවට හැර දඬුවම් කරන්නට බැරි තැනක් ලෙස සැලකිය හැකි අභියාචනාධිකරණයට උසස් කළේය. ඉන්පසුව ඔහු දැන් ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේය.
ලෙනින් රත්නායක සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේද නීතියට පටහැනි ලිහිල් පිළිවෙතකි. ලෙනින් රත්නායකට එරෙහිව රාවයෙන් එල්ල කරන ලද චෝදනා සොයා බැලීම සඳහා අධිකරණ සේවා කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුවද ඔහුට එල්ල වී තිබුණු චෝදනා හතරටම ඔහු වරදකරු කළේය. එහෙත් සරත් නන්ද සිල්වාට තිබූ බලය නිසා තමන්ගේ වංචාකාරී ඉතිහාසයද සඟවා නීතිඥ සේවයටද පසුව අධිකරණ සේවයටද එකතු වී තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු දූෂණය කළ මේ පුද්ගලයාට එරෙහිව හරියාකාරව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය. ඔහුගේ වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් රජය කර තිබූ වියදම් ඔහුගෙන් ආපසු අයකර ගැනීමක් සිදුවූයේ නැත. ඔහුට තිබුණු නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ස්ත්‍රීන් දෙදෙනකු දූෂණය කිරීමේ වරදට හෝ ඔහුගේ වංචාකාරී අතීතය සඟවමින් අධිකරණ සේවයට එකතුවීමේ වරදට ඔහුට දඬුවම් කළේ නැත. අඩුම වශයෙන් ඔහු නීතිඥ සේවයෙන්වත් පහ කළේවත් නැත. දෙන ලද එකම දඬුවම වූයේ අධිකරණ සේවයෙන් ඉවත් කිරීම පමණය.

රෙජිස්ට්‍රාර්වරිය
විවාදයට හේතුවී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය (මහේෂි ජයසේකර) අභියාචනාධිකරණයේ නොතිබූ පුරප්පාඩුවක් සඳහා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් අවිධිමත් ආකාරයට බඳවා ගන්නා ලද්දේ ද සරත් සිල්වා විසින් ඔහු අභියාචනාධිකරණයේ සභාපතිව සිටි කාලයේදීය. ඇගේ සැමියා එකල සේවය කළේ විදේශ රටකය. පසුව ඔහු විසින් ඇය අත්හරින ලදි. සරත් නන්ද සිල්වාට ඇය සමඟ සම්බන්ධයක් තිබූ බව අධිකරණයේ සේවය කළ සමහර අය ඒ කාලයේදීම දැන සිටියෝය. ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත්ම මර්මස්ථානයක් ලෙස සැලකිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්කමට ඇය ගෙනාවේද අගවිනිසුරු ධුරයේ සිටියදී සරත් නන්ද සිල්වාය. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ඇය හොබවන ලද එම වැදගත් තනතුරින් ඉවත් කොට ළමා අධිකරණයේ මහේස්ත්‍රාත්වරියක බවට පත් කළාය. එහෙත් මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ඔහු විසින් ඇය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුරට ගෙනාවේය. ඉන්පසු අද දක්වාම එම බලවත් තනතුරේ රැඳී සිටීමේ වාසනාව ඇයට ලැබී තිබෙන්නේය.

බෙල්ල හිරවීම
ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න පිළිබඳව සොයා බැලීමට පත් කළ පරීක්ෂණ කමිටු දෙක එම විනිසුරුවරුන් දෙදෙනාම ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනාවන්ට වරදකරුවන් කිරීමෙන් පසුව ලෙනින් රත්නායක පිළිබඳ පොලිස් පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටීම හා ලෙනින් රත්නායක නිර්දෝෂි කරන රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිවරයාට ලබාදීම මගින් නිල බලය වැරදි ලෙස පාවිච්චි කිරීමේ චෝදනා යටතේ නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව අධිකරණ විධි විධාන පනතේ 42 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. සරත් සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් සිය බිරිඳට එරෙහිව දික්කසාද නඩුවක් පැවරූ රසායන ඉංජිනේරුවරයාද නීතිපති සරත් සිල්වාට එරෙහිව පැමිණිලි කළේය. මා ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණයට ගත යුතුද නැද්ද යන්න ගැන අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් කර තිබුණු අතර නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවාට විරුද්ධ වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පමණය. අන් සියලුදෙනා පරීක්ෂණයකට පක්ෂවීම නිසා මෙම පැමිණිලි දෙක පිළිබඳව පරීක්ෂණ දෙකක් ආරම්භ කිරීමට තීරණය විය. මාගේ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණය භාර නිලධාරියා වශයෙන් පත් කෙරුණේ අමිර් ඉස්මයිල් මහතාය. රසායන ඉංජිනේරුවාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාර නිලධාරියා වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. පරීක්ෂණ දෙකේ අධීක්ෂණය භාරවූයේ මාක් ප්‍රනාන්දු මහතාටය.
අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. ද සිල්වා විශ්‍රාම ගියේ එම පරීක්ෂණ දෙක ආරම්භ කොට ඉදිරියට යමින් තිබුණු අවස්ථාවකදීය. මෙසේ පහසුවෙන් ගැලවිය නොහැකි ආකාරයට සරත් නන්ද සිල්වාගේ බෙල්ල හිරවෙමින් තිබූ අවස්ථාවේදී මෙම චෝදනාලාභී තත්ත්වයක සිටි නීතිපතිවරයා ජනාධිපතිවරිය විසින් අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවෙමින් තිබූ බෙල්ල බේරා ගත්තේය. එකල සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ විශ්වාසවන්ත සගයෙක් විය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ ආණ්ඩුවට එරෙහිව නඩු තීන්දු ගණනාවක් දී තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය කීකරු තැනකට ගැනීමට ඇයට අවශ්‍ය වී තිබුණි. සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණ දෙකක් ආරම්භ කොට පවත්වාගෙන යන අවස්ථාවකදී ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ නීති උපදේශකයන් ලෙස ක්‍රියා කළ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර හා ඊ.ඩී. වික්‍රමනායක යන අයගේ මතය වී තිබුණද ඔවුන්ට ඇගේ තීරණය වෙනස් කළ නොහැකි විය. ජනාධිපතිනියගේ එම තීන්දුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාරව ක්‍රියා කළ උසස්ම නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම් කුමාරස්වාමිගේද බලවත් විරෝධයට හේතුවූ අතර ඔහු එම පත්වීම ප්‍රසිද්ධියේ හෙළා දුටුවේය.
අධිකරණය මුළුමනින්ම දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්වීම ආරම්භවන්නේ එතැන් සිටය. ඔහු අධිකරණයට තිබූ විශ්වාසය හා ගෞරවය නැත්තටම නැති කළේය. ඔහු අධිකරණය ආණ්ඩු පක්ෂයේ පක්ෂ ශාඛාවක් බවට පත් කළේය. ඔහු විසින් අපවිත්‍ර කරන ලද අධිකරණය පවිත්‍ර කිරීමක් අද දක්වාම සිදුවී නැත. අධිකරණයේ යහපත් පරිවර්තනයක් අවශ්‍ය නම් සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන සොයා බලන තැනකට යා යුතුය. අධිකරණයට නැතිවී තිබෙන ගෞරවය නැවත හිමිකරගත හැකිවනු ඇත්තේ මහජන ගෞරවයට හා විශ්වාසයට හේතුවන පැවැත්මක් ඇතිකර ගැනීමෙනි. ඒ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙනි.■