රාවය

දෙකක් කඩතොලු ඇතිකර ගනීවිද?

දෙකක් කඩතොලු ඇතිකර ගනීවිද?

 

මනුවර්ණගේ සතිය

ඇමති මණ්ඩල සංශෝධනය ගැන තිබුණු විවිධාකාර පුරෝකථනවලින් සමහරක් තහවුරු කරමින් හා සමහරක් බොරු කරමින් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අසීරු තීරණයක් ගෙන කිසියම් සංශෝධනයකට ගියෝය. විදේශ ඇමති ධුරය හා මුදල් ඇමති ධුරය අතර හුවමාරුවක් සිදුවන බව බොහෝ කාලයක සිට දේශපාලන සමාජයේ හැම දෙනාගේම සාමාන්‍ය දැනීම වී තිබුණු අතර, එහි කිසිදු අලුතක්, අමුත්තක් නම් තිබුණේ නැත. ඒ හැර අනෙක් ඇමතිවරුන්ගේ මාරුකිරීම් කිසිම විදියකින් පුරෝකථනය කර තිබුණු ඒවා නොවන අතර, සමහර මාරුවීම් සඳහා කිසිම පිළිගත හැකි තර්කයක් ද පෙනෙන්නේ නැත.
ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඇමති මාරුව ගත්තේ වැරදි තැනකිනි. කළ යුතුව තිබුණේ යහපාලන ආණ්ඩුවට අවුරුදු දෙකක් හෝ නිශ්චිත කාලයක් පිරීම පදනම් කරගෙන ප්‍රතිපත්තියක් හැටියට සමස්ත ඇමති මණ්ඩලයේ වෙනසක් සිදුකිරීමය. එසේ කළේ නම්, ඇමති මාරුව ගැන මේ තරම් අවුල්සහගත තත්ත්වයක් ඇතුළත සහ පිටත ඇති නොවන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට සිදුවුණේ ඇමතිවරුන් කිහිප දෙනකු ගැන පසුගිය කාලයේ මතුවුණු විවිධාකාර චෝදනා හා පැමිණිලි පදනම් කරගෙන ඔවුන් ඉලක්ක කරගෙන ඇමති මාරුව සිදුකිරීමය. ඒ බව වසා ගැනීමට අවශේෂ ඇමතිවරුන් අතරද විවිධ හුවමාරු සිදුකෙරිණි. එහෙත් එයින් මාරුවේ මූලය වසාගන්නට නම් නොහැකි විය.
මුදල් ඇමතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා පසුගිය කාලයේ සිටියේ පහන් සිතකින් නොවේ. ඔහු ගැන විවිධ මාධ්‍යවල පළවූ දේ මෙන්ම, ගජමිතුරන්ට සැලකීම, ඔවුන්ගේ විවිධ අක්‍රමිකතාවලට දිරිදීම, විවිධාකාර ව්‍යාපාරවල යෙදීම වැනි, ව්‍යාපාරික ක්‍ෂෙත්‍රයෙන් ඔහු ගැන අසන්නට දකින්නට ලැබුණු චෝදනා වැනි දේද ඊට හේතු වන්නට ඇත. ඊට අමතරව දැක්විය යුත්තේ, මුදල් ඇමතිවරයා ගැන විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන්ද සිටියේ බලවත් කනස්සල්ලකින් බවයි. බොහෝ අවස්ථාවලදී එජාපයේ මැති ඇමතිවරුන් මුදල් ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරන තරමට තත්ත්වය නරක්වී තිබුණි. අගමැතිවරයාද මේ යථාර්ථය තේරුම්ගෙන සිටි නමුත්, කවර හෝ හේතුවක් නිසා එක් අවස්ථාවක ඔහු සිටියේ ඍජු තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකය. විශේෂයෙන් ඊට බැඳුම්කර වංචාවට අදාළ යම් යම් පසුබිම් කරුණු බලපාන්නට ඇතැ’යි පෙනෙන්නට තිබේ. එහෙත් අවසානයේ ඕනෑවට එපාවට මෙන් අගමැතිවරයාද ජනාධිපතිවරයා සමඟ ඇමති මාරුවකට එකඟ වී සිටියේය. එහෙත්, එජාපය තුළ ඇමති මාරුව සාධාරණීකරණය පහසු දෙයක් නොවීය. මධ්‍යස්ථ මැති ඇමතිවරුන් ඇමති මාරුව ගැන උපේක්‍ෂා ගහගත සිතින් සිටි අතර, මෙතෙක් කාලයක් තමන්ට පිළිගත හැකි වගකීමක් ලැබී නැතැ’යි මැසිවිලි කියමින් සිටි මන්ත්‍රීවරුන්ට හා සමහර නියෝජ්‍ය ඇමතිවරුන්ට එය බලාපොරොත්තු දනවන අවස්ථාවක් බවට පත්විය. එහෙත්, සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් නැගුණු හඬක් වුණේ, ඇමති මාරුව ශ්‍රීලනිපයේ වුවමනාවට මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නට ගියහොත්, ඊට එරෙහි වන බවය. මේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට එදා එදා වියදම්, ඇමති මාරුවට ලක්වුණු එක්තරා ප්‍රබල ඇමතිවරයකුගෙන් ලැබෙන බව තතු දත් අයගේ සාමාන්‍ය පිළිගැනීමයි. මේ ත්ත්තවය යටතේ, කොයිතරම් ආරංචි පැතිර තිබුණා වුණත්, කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් වෙනස් කිරීම නම් කිසිසේත්ම සිදුවන්නට ඉඩක් නැතැයි විශ්වාසය පළකළ අය බොහෝය.
ඇමති මාරුව ආසන්නයේ මුදල් ඇමතිවරයා තමන්ගේ දක්‍ෂකම, පිළිගැනීම හා විශිෂ්ටභාවය ගැන දැනුවත් හා කැපීපෙනුණු ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙනගියේය. ඔහු ඍජුව හෝ වක්‍රව මුදල් යොදවන පුවත්පත්වල ඔහුගේ යහපත්භාවය ගැන වාර්තා දිගින් දිගටම පළවිය. අවසාන ඉරිදා, ‘ඇමති මාරුව කුමන්ත්‍රණයක්’යැයි හඳුන්වන ප්‍රධාන සිරස්තල පවා ඒ සමහර පුවත්පත්වල පළවන තරමට තත්ත්වය බැරෑරුම් විය. ප්‍රධාන පෙළේ භික්‍ෂූන්ට වාහන පරිත්‍යාග කිරීමක් ගැනද ඒ අතර වාර්තා විය. ඇමති මාරුවට දින දෙක තුනකට පෙර මුදල් ඇමතිවරයා පෞද්ගලිකවම ජනාධිපතිවරයා හමුවුණු බවත් වාර්තා විය.
ඇමති මණ්ඩල මාරුව සිදුවන්නට පෙර දින රාත්‍රියේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවුණු අතර, එහිදී ඇමති මාරුව ගැන අවසන් තීරණයකට එන්නට ඇතැ’යි සැලකේ. එදිනම රාත්‍රී එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන්ගේ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේද්ී පැවැත්වුණු අතර, මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු ඇදී ගිය එහිදී මුදල් ඇමති ධුරය ඉවත් කෙරෙන්නේ නම්, තමා කිසිම ඇමති ධුරයක් භාර නොගෙන පසුපෙළ මන්ත්‍රීවරයකු හැටියට අසුන්ගන්නා බවට කරුණානායක මහතා අවධාරණය කළ බවද දැනගන්නට ඇත. කෙසේ වුවත්, අවසානයේ ඔහුගේ ස්ථාවරය වෙනස් වී තිබිණ. එහෙත් කරුණානායක මහතා තවමත් සිටින්නේ නොසන්සුන් සිතින් බවත්, ඇමති මාරුව ඊර්ෂ්‍යාකාරයන්ගේ වැඩක් හැටියට ඔහු සිතන බවත්, ඔහු කියන කරන දෙයින් පැහැදිලි වෙයි.
මංගල සමරවීරට මුදල් ඇමති ධුරය පිරිනැමීමද අහිංසක වැඩක් නොවේ. විදේශ ඇමතිවරයා හැටියට සමරවීර මහතා, ලංකාවේ එතෙක් පැවති අපකීර්තිමත් විදේශ ප්‍රතිරූපය මුළුමනින්ම උඩුයටිකුරු කර, පසුගි ය අවුරුදු දෙකක කාලය තුළ ලෝකයේ පිළිගත් රටක් බවට ඔසොවන්නට සමත්වුණු බව අවිවාදිතය. යහපාලන ආණ්ඩුවේ වැඩක් කරන එකම ඇමතිවරයා ඔහු බව පෙනේයැයි සාමාන්‍ය මිනිසුන්ගේ මුවෙන් කියැවෙන තරමට සිය ක්‍ෂෙත්‍රයේ වනසක් කරන්නට සමරවීර මහතා කෙටි කාලයක් තුළදී සමත්විය. එහෙත්, ඔහුගේ ලිබරල්, ජාත්‍යන්තරවාදී, ඉදිරිගාමී චින්තනය හා ක්‍රියාපිළිවෙත සමඟ ආණ්ඩුවේ ඉහළ පහළ බොහෝ දෙනකුගේ චින්තන රටාව පෑහුණේ නැත. ඒ නිසා, මංගල ජාත්‍යන්තර වේදිකාවේදී දුරදිග නොබලා තීන්දු තීරණ ගැනීමෙන් රට තුළ විවිධාකාර ගැටුම් සඳහා ඉඩ සලසන්නේයැයි විවේචනයක් ඔවුන්ගෙන් එල්ලවී තිබුණි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා වුවද ඔහු ගැන සිටියේ සෑහීමකින් නොවේ. ඊට හේතු වුණේද මංගලගේ ජාත්‍යන්තර තීරණ හා පෙනීසිටීම් නිසා රට තුළ ඇතිවන කැළඹිලි සහගතභාවය, සිංහල බෞද්ධ දේශපාලන කෝණයකින් ජනාධිපතිවරයා විසින් මනිනු ලැබීම විය හැකිය. එහෙත්, ජාත්‍යන්තර වේදිකාවලදී තමා පෙනීසිටින ස්ථාවරයන් කිසිම අවස්ථාවක තමාගේ පෞද්ගලික ස්ථාවරයන් නොවන බවත්, ඒවා ජනාධිපතිවරයා අගමැතිවරයා ආදි ආණ්ඩුවේ ප්‍රධානීන් සුදුසු ලෙස දැනුවත් කිරීමෙන් හා ඔවුන් සමඟ එක්ව රටේ විදේශ ප්‍රතිපත්තියට අනුකුලව ගන්නා තීරණ බවත් සමරවීර ඇමතිවරයා කිහිප තැනකදීම අවධාරණය කර තිබුණි. කොහොම වුණත්, ජනාධිපතිවරයාට පමණක් නොව සාපේක්‍ෂව පසුගාමී මතවාද දරන ශ්‍රීලනිපයේ අනෙක් මැති ඇමතිවරුන්ටද මංගලගේ සමහර පිළිවෙත් ප්‍රශ්නසහගත විය. ඇමති මාරුව සඳහා ඔවුන්ගෙන්ද විශාල බලපෑමක් ජනාධිපතිවරයා වෙත එල්ලවූ බවට සැක නැත්තේය. ඒ අතර කරුණානායකගේ වගකීම දිය හැකි එකම පුද්ගලයාද සමරවීර බව කිසිවකු සිතුවා වන්නටද ඉඩ තිබේ. මංගලගේ තත්ත්වය ගැන හැම වේලාවකදී මෙන් මේ අවස්ථාවේදීද අගමැතිවරයා සිටියේ උපේක්‍ෂා ගහගතවය. ‘මංගල අමාරු කොටස කළා. දැන් සාමාන්‍ය කෙනකුට වුණත් වැඬේ දිගට කරගෙන යන්නට පුළුවන්’ය යන ස්ථාවරයේ අගමැතිවරයා සිටි බව දැනගන්නට තිබේ.
අවසානයේ ජනාධිපතිවරයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු හෙළා ගත්තේද?
සමරවීරගේ සම්ප්‍රාප්තියෙන් පසු මුදල් විෂය ගැනත්, කරුණානායකගේ සම්ප්‍රාප්තියෙන් පසු විදේශ විෂය ගැනත් ධන ඍණ විග්‍රහ ඉදිරිපත් කරන්නෝ බොහෝවෙති. ඒවා ඇත්තදැයි තීරණය වනු ඇත්තේ මේ දෙදෙනා ඉදිරියට වැඩකරන විදිය අනුවය.
ඇමති මණ්ඩල මාරුවක් ගැන කතාබහ තිබුණත්, එයින් කිසිම වැදගත් දෙයක් සිදුවන්නට බැරිය යන අදහසද ඒ සමඟම සියල්ලන්ගේ සිත්වල තිබුණි. එකක්, කුමන මාරුවක් වුණත් කළ යුතු වන්නේ මේ ඔළුගෙඩි ටික එක්ක නිසාය. ඒ ඔළුගෙඩි පාර්ලිමේන්තුවට එවා ඇත්තේ ජනතාවම විසිනි. තමන්ගේ වැඬේ හරියට කළේ නැති ජනතාවක්, දැන් අලුත් ප්‍රාතිහාර්ය බලාපොරොත්තුවීමත්, සිදුවන දේ ගැන බරපතළ විවේචන එල්ලකිරීමත් එක්තරා ආකාරයක විකාරයකි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිද ශ්‍රීලනිප හා එජාප ලෙස බෙදී තිබේ. ඇමති ධුරද බෙදාදී ඇත්තේ ඒ දෙපිළටය. වරාය හා ඛනිජතෙල් ඇමති ධුර දෙක හැරෙන්නට කඳවුරු දෙක අතරේ හුවමාරුවක් සිදුවුණේද නැත. එජාපයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් අතර දක්‍ෂයන් සිටියත් ජ්‍යෙෂ්ඨත්වයේ පදනම මත ඔවුන්ට දැන්ම ඉඩක් ලැබෙන්නටද හැකියාවක් නැත. මේ නිසා මේ ඇමති මාරුව සීමිත ඉඩක, තිබෙන ගඩොල්වලින්, හැකි විදියට ගෙයක් හැදීමකි.
එහෙත්, ඇමති මණ්ඩල මාරුව ගැන ජනතාව අතර යම් දුහුල් බලාපොරොත්තුවක්වත් තිබුණාද, එයද වියැකී යන තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි තොරතුරු දැනගන්නට තිබේ. වෙන විදියකට කිවහොත්, නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති සෙයක් ඉදිරියේදී පෙනිය හැකිය. එය තහවුරු කරන තොරතුරුවලින් එකක් නම්, විදේශ ඇමති ධුරයේ කටයුතු කරමින් වුණත්, මුදල් විෂයට අයත් සමහර ආයතන තමන්ගේ පාලනය යටතට ලබාදෙන ලෙස කරුණානායක ඇමතිවරයා ඉල්ලා ඇති බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, මහපොල අරමුදල, ඇල්කඩුව වතු සමාගම, ලොතරැයි මණ්ඩල දෙක වැනි ආයතන තවදුරටත් තමා භාරයේ තබන ලෙස ඔහු ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ. මුදල් ඇමති ධුරයෙන් ඉවත්වීමට ඔහු එකඟ වුණේ ඒ කොන්දේසිය මත බවද දැනගන්නට ඇත. එවැනි තත්ත්වයක් ඇතිවේ නම්, මේ ඇමති මාරුවේ ඉතිරිවී තිබෙන කිසියම්ම ආකාරයක හරයක් වේද, ඒ සියල්ලද දියවී යනවා මිස අන් දෙයක් සිදු නොවේ.
මේ කුමන ආකාරයේ විහිලුද? මෙතෙක් කල් තමන් යටතේ තිබුණේ යැයි කියා රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන ඇමතිවරයකු යන යන තැනක ගෙනයන්නට දෙන්නේ නම්, ඇමති මාරු මොකටද? ඇමති මාරුවකින් කළ හැකි කුමන තරමේ හෝ දේශපාලන වෙනස කුමක්ද? අනෙක් අතට ඇමතිවරුන් තමන් යටතේ තිබෙන සමහර ආයතනවලට මේ තරම් ලොබ බඳින්නේ ඇයි? ඒවායේ තිබෙන ජාතික වැදගත්කම නිසාද? ඒවායේ සේවකයන්ගේ ඉල්ලීම් නිසාද? මූල්‍ය වශයෙන් ඒවායේ ඇති වැදගත්කම නිසාද? නැතිනම්, තමන්ගේ ප්‍රදේශයේ ඡන්දදායකයන්ට රස්සා දෙන්නට තවදුරටත් එම ආයතන පාවිච්චි කළ හැකියැයි සිතන නිසාද?
කොහොමටත් වර්තමාන ඇමති මණ්ඩලයේ විෂයන් බෙදාදීම කිසිම නීත්‍යනුකූල පදනමක් නැති අවුල් ජාලාවකි. එවැනි අවුල් ජාලාවක් තුළ මෙවැනි කුඩා අවුල් සොයන්නට යෑමත් විහිළුවකි. එහෙත්, ප්‍රශ්නය නම් ආණ්ඩුව අවුල්වලින් තොර ලෝකයකට යනවා වෙනුවට අවුල්වලම ගිලාබැසීමට දක්වන කැමැත්තයි.
ඇමතිවරුන්ට අයත් ආයතන ලැයිස්තු සහිත ගැසට් පත්‍රය තවමත් නිකුත් වී නැත. ඒ ඒ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මොනවාදැයි දැනගත හැකි වන්නේ ඒ ගැසට් පත්‍රයෙනි. ඉහත දැක්වුණු ආකාරයේ නරක දේවල් ඒ ගැසට් පත්‍රයට ඇතුළු නොවෙතියි සිතමු. දැනට තිබෙන විකාරවලට අමතරව ඇමති මාරුවෙන්ද තවත් විකාරයක් සිය දේශපාලන වාර්තා පොතට යහපාලන ආණ්ඩුව එකතු කර නොගනු ඇතැ’යි අපි තවමත් විශ්වාස කරමු.■