රාවය

මේ වෙලාවෙ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්

මේ වෙලාවෙ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්

තරිඳු උඩුවරගෙදර

මේ වෙද්දීත් ආණ්ඩුව කරමින් ඉන්නේ බලයට පත්වෙද්දී පොරොන්දු වුණ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවට ආර්ථික ප්‍රතිසංස්කරණ. ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුල් තැන දෙන්න ගිහින් ආණ්ඩුව ජනප්‍රියත්වය නැති කරගෙන තියෙනවා. මේ තත්ත්වය ගැන අදහස මොකක්ද?
ආණ්ඩුව තමන්ගේ එදා වේල බේරාගන්න කරන දේශපාලන කටයුතු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ආණ්ඩුව මහලොකු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන බව අපි දකින්නේ නැහැ. ඔවුන් කරන්නේ ජේ.ආර්. ජයවර්ධනලා පටන්ගත්ත විවෘත ආර්ථිකයේ දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීම. දෙවැනි ඉනිම පටන්ගත්තේ රාජපක්ෂලා. ඔවුන් තවම බලයේ හිටියා නම් මෙයාලා ගිහින් තියෙන දුරටත් වඩා යන්න ඉඩ තිබුණා. ඔවුන්ට දේශපාලන බලය තිබුණු නිසා. රාජ්‍ය සම්පත්, ජනතා මුදල් තමන්ගේ හිතමිතුරන්ට සහ විදේශීය ධනපතියන්ට පවරාදීම තමයි කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහලා ණයගැති බවට උත්තර, ආර්ථික ගැටලු‍වට උත්තර කියලා කරන්නේ මේකයි. අද ඒකට විරුද්ධව සටන් පෙරමුණු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඇතුළු ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලියට එරෙහි සටන් පෙරමුණු ගණනාවක් තියෙනවා. ඇත්තටම රටට ආර්ථික වෙනසක් කළා නම් කළේ ආණ්ඩුව නෙවෙයි. රාජපක්ෂලාව පරාජය කළ ජනතා බලවේගය. ජීඑස්පී ප්ලස්, යුරෝපයට මත්ස්‍ය සම්පත් අපනයනය කිරීමේ තහනම ඉවත් කිරීම වුණේ ආණ්ඩුවේ වික්‍රමයක් නිසා නෙවෙයි. ඒක වුණේ ජනතාව ලබාදුන්නු ජයග්‍රහණ නිසා. ඉදිරියේදී එන්නට ඉඩතිබුණු සම්බාධක පැනවීම්වලින් රට ගැලවුණේ ආණ්ඩුව නිසා නෙවෙයි. රාජපක්ෂලාව පරාජය කළ ජනතාව නිසා.

මේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගිලිහෙනවා නේද?
ආණ්ඩුවට ආර්ථිකය හදලා ජනතාවගෙන් ලකුණු ගන්න බැහැ. හැබැයි පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ කළොත් ආණ්ඩුවට ඒකේ දේශපාලන වාසි ගන්න අවස්ථාවක් තියෙනවා. අනෙක් පැත්තෙන් ජනතාවගේ අයිතිවාසිකම්වල යම් පුළුල් වීමක් වෙන්න ඉඩ තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළොත් ඊට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. කැබිනට් සංශෝධනය වගේ ජනතාවට විහිළු සපයන වැඩ කරමින් ඉන්නවාට වඩා දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමයි වැදගත්. ආණ්ඩුවක් බලයට එන්න කලින් තියෙන පසුබිම නෙවෙයි ආණ්ඩුව බලයට ආවාම තියෙන්නේ. ඇත්තටම දේශපාලන ප්‍රතිසංස්කරණවලින් අංක එකට තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ඉන්න තරමට හොඳයි කියලායි ඔහු හිතන්නේ. රනිල් වික්‍රමසිංහ අහෝසි කිරීමට පක්ෂයි වගේ ඉන්නවා. හැබැයි අවංක මැදිහත්වීමක් කරන්නේ නැහැ. ඔහු කරන්නේ අවුරුදු විස්සක් අසරණ වෙලා හිටපු ඔහුගේ ගජමිතුරන්ට ආර්ථික වශයෙන් සැලකීමයි. අලුතින් ගජමිතුරු ආර්ථිකය සැලසුම් කිරීමයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිතනවා ඇත්තේ අගමැති තනතුරත් එක්ක 2020 ජනාධිපතිවරණයට යන්න පුළුවන්. එහෙම වුණොත් ගජමිතුරන්ව සතුටු කිරීම එක්ක ඔහුට විධායක ජනාධිපති වීමේ කකියන හීනය හැබෑ කරගන්න පුළුවන් කියලා. ඇත්තටම බලයට පත්වුණ මෛත්‍රීපාල සිරිසේනටත් රනිල් වික්‍රමසිංහටත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඡන්දය දිනන්න පාලමක් මිසක් ඡන්දයෙන් පස්සේ කරන්න ලොකු වුවමනාවක් නෑ. මේ දෙන්නාව බෞතීස්ම කළ, ඉන්පසුව තනතුරු ගත්ත අය ඉන්නවා. ඔවුන්ට නොපෙනන දේශපාලන යථාර්ථය එයයි. ආණ්ඩුව එක්ක යාප්පුවෙන් ඉඳලා දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ. මේ දෙන්නාව හෙළිදරව් කරලා තමයි කරන දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ. මේ දෙන්නා ප්‍රතිසංස්කරණවලට තල්ලු‍ කරගන්න වෙනවා.

ආණ්ඩුවේ ආර්ථික සංශෝධනවලට සහයෝගය දෙනවාද, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුනොකිරීම ගැන විරෝධය පළකරනවාද කියන තෝරාග ැනීම සිවිල් සමාජය ඉදිරියේ වුණත් තියෙනවා නේද?
මෙහෙම එකක් තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නය ඇතුළේත් ඒක තියෙනවා. සිවිල් සමාජය හම්බන්තොට වරාය විකුණන එකට හෝ සයිටම් එකට විරුද්ධ නැහැ. ඔවුන් ඒකට කැමතියි. ඒත් ඔවුන් කියන්නේ ජනතාව ඒකට දක්වන විරෝධය නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වේවි කියලා. ඔවුන් ඒ අප්‍රසාදයට තමයි කැමති. හම්බන්තොට වරාය විකිණීමට ජනතාව විරුද්ධ නැත්නම් සිවිල් සමාජයට ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම ජනතාවක් ලංකාවේ නැහැ. මේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලියට සහයෝගය දෙන ගමන් අනෙක් පැත්තෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ කරවාගන්න බැහැ. ආණ්ඩුව ලව්වා බලෙන් තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න වෙන්නේ. ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන දහනවයෙන්ම දෙකයි ප්‍රගතිශීලී ඒවා. ඒ දෙකම කරගත්තේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරලා. බලයෙන් අඩු ආණ්ඩු යටතේ තමයි අපි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කළේ. දාහත කළේ චන්ද්‍රිකා ආණ්ඩුව දණෙන් වැටුණාම. දහනවය කළේ ජනාධිපතිවරණයකින් පස්සේ සුළුතර ආණ්ඩුවක් ඉන්නකොට. ආණ්ඩු ශක්තිමත් කරලා දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ කියන තැනයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ. බලවත් ආණ්ඩුවකින් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වගේ. ආණ්ඩුව බිත්තියට හේත්තු කරලා තමයි කියන්න ඕනෑ දැන්වත් දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න කියලා. ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහයෝගය දෙමින්, යාප්පු වෙමින් 2015 මතක් කළාට වැඩක් නැහැ.

ව්‍යවස්ථාදායක සභාව තුළ ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඉන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධව නේද?
ජනාධිපතිවරයා ජනතාවට අහෝසි කරනවා කියනවා. එහෙත් ඔහුගේ නියෝජිතයන් ව්‍යසවස්ථාදායක සභාවේදී විධායක ජනාධිපති ක්‍රමයට ඉතාමත්ම හිතවත් තැනක ඉන්නේ. රාජපක්ෂ කණ්ඩායමත් ඊට කිට්ටු තැනක ඉන්නේ. මෙතැන ඉන්න නිමල් සිරිපාල හෝ දිනේෂ් ගුණවර්ධන කියන්නේ දහඅටටත් අත උස්සපු අය. මෛත්‍රී පිල කල්පනා කරන එකම විදිය පොරොන්දු ඉටු කිරීම නෙවෙයි. බලය ආරක්ෂා කිරීම. ඔවුන්ට තියෙන එකම හයිය විධායක ජනාධිපති ධුරය. ඔවුන් හිතන්නේ විධායක බලතල අඩුවුණාම තමන්ට පක්ෂයේ බලය නැතිවේවි කියලා. ඒ වෙනුවෙන් 2015 අගෝස්තුවේත් රාජපක්ෂලා එක්ක හිටපු අය අද මෛත්‍රීපාල අස්සට රිංගාගෙන ශ්‍රීලනිපයේ බලය ගන්නට ජනවරම අනිත් පැත්ත හරවනවා. අනික රාජපක්ෂ තරම් බලවත් ජනාධිපතිවරයෙක් ලංකාවේ ඉඳලා නැහැ. රාජපක්ෂ හිටියා විතරක් නෙවෙයි ඡන්ද පවා දින්නා. හැබැයි ඒ රාජපක්ෂ තමයි 2015 නිකන්ම වැටිලා ගියේ. මෛත්‍රී පිල හිතනවා නම් ශ්‍රීලනිපයේ බලය, විධායක ජනාධිපති ධුරය තබාගෙන ඉඳලා ඡන්දයක් දිනන්න බලය එකතුවේවි කියලා, අපි කියන්නේ ඔවුන්ට හරිස්චන්ද්‍ර විජේතුංග ගත්ත ඡන්ද ප්‍රමාණයවත් ගන්න බැරිවේවි කියලා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ ජනාධිපතිවරණයකට ආවොත් ඔහු එන්නේ ලංකාවේ ලොකුම බොරුකාරයා සහ විහිළුකාරයා විදියට. ඔය මෛත්‍රී පිලේ ඉන්න බොහෝදෙනෙක් දෙපාරක් නොහිතා ඕනෑම වෙලාවක රනිල් පිලට හෝ රාජපක්ෂ පිලට යන්න සූදානම්. අපි දකින්නේ ජනාධිපතිවරයාට තමන් වටේ ජනතා බලවේගයක් එකතුකරගන්න, 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න ස්වාධීන ජනතාව එකතුකරගන්න නම් එතුමාට තියෙන්නේ ප්‍රතිසංස්කරණ ටික කිරීමයි. පොරොන්දු ඉටු කළ පළවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීමයි. ඔහුට පක්ෂයේ බලය එන්නේ ඒ ටික කළොත්. පක්ෂ හදන්න ජනාධිපති බලය අවශ්‍ය නැහැ. ජනතා බලයයි අවශ්‍ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ප්‍රතිසංස්කරණ පොරොන්දු ඉටු නොකළොත් මහින්ද පිලෙන් මෛත්‍රී ළඟට ආ බහුතරය 2020දී රනිල් වික්‍රමසිංහ ළඟ හිටගන්නා බව මගේ දේශපාලන අත්දැකීම් අනුව පැහැදිලිව කියනවා.

ජනමත විචාරණයක් ආණ්ඩුව පරාද වේවිද?
මේ වෙලාවේ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ඇතුළු ඒකෙදී සහයෝගය දක්වන ස්වාධීන කොටස් ඕනෑ තරම් ඉන්නවා. මේකට විරුද්ධ වෙන්නේ ජාතිවාදී රාජපක්ෂ පිළ විතරයි. ඉන්පසුව කරගන්නා ප්‍රතිසංස්කරණයක ගෞරවය තනියෙන් ආණ්ඩුවට ලැබෙන එකක් නැහැ. හැබැයි ඒ ගෞරවයෙන් වැඩි කොටස ආණ්ඩුවට යන එක කාටවත් වලක්වන්න බැහැ. විශේෂයෙන් වැඩි ගෞරවය ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට.

මේ සියල්ල මැද අගමැතිවරයා සහ රාජපක්ෂලා අතර එකඟතාවක් තියෙන බවක් පෙනෙනවා නේද?
එකඟතාවක් තියෙන බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. හැබැයි අපට පෙනෙන්නේ නැහැ ඒකෙන් රාජපක්ෂලාට යළි බලයට එන්න දොරටුවක් තියෙනවා කියලා. රාජපක්ෂලාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. මැයි දිනයට රාජපක්ෂලා සෙනඟ පිරෙව්වාට අලුත් බලවේගයක් රාජපක්ෂලාට ලැබිලා නැහැ. බත් පැකට් එකට දුවගෙන එන අයගෙන් ආණ්ඩු හදන්න බැහැ. ඔය සෙනඟ පෙන්න පෙන්න රාජපක්ෂලා හිටියාට ඔහුට බලයට එන්න පාරක් නැහැ. රනිල් වික්‍රමසිංහ දැන් කරන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරමින් ශ්‍රීලනිපය දෙකට බෙදලා මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති බලතල පාලනය කිරීමයි. ඒ උපායට මෛත්‍රීපාල සිරිසේන මහතා අහුවෙලා ඉන්නේ. ඒකට ඔහු ගන්නේ විහිළු සහගත ප්‍රතිකර්ම. ඔහු කැබිනට් සංශෝධන කරලා රවී කරුණානායක වෙනුවට මංගල සමරවීරව දානවා. මේවායින් ජනාධිපතිවරයාට මොනවත් ලැබෙන්නේ නැහැ. රනිල්-මහින්ද කෙටිකාලීන එකඟතාවක් තියෙනවා. රාජපක්ෂලා ශ්‍රීලනිපය දෙකට බෙදලා තියාගෙන ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ දූෂණ චෝදනාවලින් ඔහුව බේරාගන්නා එකට හිලව්වක් විදියට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසාධාරණ විදියට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව ඉවත් කරන්න තියෙන ධෛර්යය හොරු ආරක්ෂා කරන අයව ඉවත් කරන්න නැහැනේ. අඩු තරමේ රවී කරුණානායකව ඉවත් කරන්න ඇත්ත හේතුව කියන්න ධෛර්යයක් මෛත්‍රීපාල සිරිසේනට නැහැනේ.

විහාරමහාදේවියේදී නැවතත් සාමාන්‍ය ජනතාවට පොලීසිය වටකරලා පහරදෙනවා. හැබැයි ඥානසාර හිමිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තත්වය ගැන අදහස මොකක්ද?
රාජපක්ෂලා මජරම තත්ත්වයට ගෙනා රාජ්‍යයේ මජරකම බිඳවැටීමක් වෙලා හැර යහපාලනයක් ඇවිල්ලා නැහැ. රාජපක්ෂලාට කලින් යහපාලනයක් තිබුණා නම් රාජපක්ෂලාව අයින්කළාම ඉබේ යහපාලනය එනවා. හැබැයි ලංකාවේ යහපාලනයක් තිබිලා නැහැ. තිබුණේ මජර ක්‍රමයක්. මජර එක කැඩුවාම යහපාලනය හදන්න ඕනෑ. මෙයාලා ඒක කරන්නේ නැහැ. අපේ රාජ්‍යය ඇතුළේ හැංගිච්ච එකවුන්ට් තියෙනවා. ජනතාවට වගකියන්නේ නැති, නීතියට යටත් නැති ඒවා. කැමැත්තක් කළ හැකි ආයතන තියෙනවා. ඒවායින් තමයි රටේ දේශපාලන ප්‍රශ්න කළමනාකරණය කරන්නේ. සයිටම් සිසුන්ට කරන පහරදීම් ගත්තාම අද ආණ්ඩුව ඔවුන්ව රාජ්‍ය විරෝධීන් විදියට දකින්නේ. උද්ඝෝෂණ වැඩිවෙද්දී ජනාධිපතිවරයාට සරත් ෆොන්සේකාව මතක් කරන්නේ ඇයි? ෆොන්සේකා කියන්නේ නන්දිකඩාල් කළපුවේදී එල්ටීටීඊය පරාජය කළ පුද්ගලයා. දැන් ජනාධිපතිවරයාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පෙනෙන්න තියෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයෝ විදියට. ඉතින් මේ වගේ ආණ්ඩුව භීතියට පත්වෙද්දී ඒ භීතියට හේතුව විනාශ කරන්න අවශ්‍ය හැංගිච්ච ආයතන ගොඩක් තියෙනවා. ජේආර්ලා ප්‍රේමදාසලා ඒවා හැදුවා. චන්ද්‍රිකා ඒවා ක්‍රියාත්මක කළා. මහින්ද රාජපක්ෂ හොඳටම ඒ ආයතන ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුවට ඒ අපරාධකාරී ආයතන බරපතළ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පසුබිමක් හැදිලා නැහැ. උද්ඝෝෂණවලට පහරදීමක් විතරයි දැනට වෙන්නේ. මොකද මේ ආණ්ඩුව අමාරුවෙන් හුස්ම අදින දුර්වල ආණ්ඩුවක්.

ඥානසාර හිමි ප්‍රමුඛ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ගැන අදහස මොකක්ද?
ඥානසාර හිමි ගත්තාම මම කියන්නේ ලංකාවේ ඉන්න හැම බොරු දේශප්‍රේමියෙක්ම, හැම අන්තවාදියෙක්ම ආණ්ඩුවල හයියෙන් තොරව වැඩ කරන්නේ නැහැ. මම ඉතාම වගකීමෙන් කියනවා ඥානසාර උන්නාන්සේ රාජපක්ෂ හදලා රාජපක්ෂ විසින් උඩ දාපු කෙනෙක්. ඊට පස්සේ යම් ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක වෙද්දී අවුරුද්දක් විතර අකුලාගෙන හිටියා. දැන් ඥානසාර උන්නාන්සේට නඩු තියෙනවා. නඩු තියෙද්දී ඔය තරම් කෑගහන්න හයියක් කොහෙන්ද. ඔහුට වැඩ කරන්න තරම් විශ්වාසයක් එන්නේ කොහෙන්ද. ඒකට හේතුව ආණ්ඩුව පැත්තෙන් ලැබිලා තියෙන සහතිකයක්. මම නම් කියන්නේ මේවා සිද්ධවෙන්නේ අගමැතිවරයාගේත් අවබෝධය මතයි. ජනතා විමුක්ති පෙරමුණට ඒ ගැන කිසිම සැකයක් නැහැ. පහුගිය දිනවල මුස්ලිම් ජනතාව ඉලක්ක කරලා ප්‍රහාර විස්සක් විතර එල්ලවෙලා තියෙනවා. සාගල රත්නායක ඇමතිවරයා කියනවා කහවත්තේ කඩයක් පහනක් පෙරළිලා ගිනිගත්තා කියලා. තව තැනක වයර් ෂෝට් වෙලා කිව්වා. අපි හිතමු මේ විස්සෙන් දහක් වයර් ෂෝට් සහ පහන් පෙරළීම් කියලා. ඉතිරි දහයක් තියෙනවානේ. ඇයි ඒ දහය අත්අඩංගුවට ගන්නේ නැත්තේ. අපි දන්නවා එදා ඉඳන් ඕවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහයක් තියෙන හින්දා. දැන් නිතර ෆෙස්බුක් එකේ නිතර ෂෙයා වෙනවා බුදුපිළිම කැඩීම් ගැන, පන්සල් ගිනිතැබීම් ගැන කියනවා. මැයි 19 වැනිදා එල්ටීටීඊ කොඩි දාගෙන මෝටර්සයිකල්වල පෙළපාලි ගියා කියලා ෆෙස්බුක්වල ෂෙයා වෙනවා. ඒ බොහෝ දේවල් ලංකාවේ ඒවා නෙවෙයි. ආණ්ඩුවේ වගකීමක් ෆෙස්බුක් වගේ අවකාශයක කතාබහට ලක්වුණු සිද්ධි අරගෙන මේ මේ සිදුවීම් බොරු. මේ සිදුවීම වුණේ මෙහෙමයි, ඒක සම්බන්ධයෙන් මේ පියවර අරගෙන තියෙනවා කියලා කියන්න.■