රාවය

ලැසිල් බෝම්බය

ලැසිල් බෝම්බය

ලැසිල් බෝම්බය

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදි. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසිකරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි.
ඔහු කීවේ මෙයයි: “මගේ සේවය අහෝසි කැරැණේ ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේදී සිදුවී ඇති බවට ලැබුණු පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීම නිසා යැයි සිතමි. එම අවස්ථාවෙහිදී මේ කටයුතු තරමක් හෙමින් කරන්න යැයි ජනාධිපති ලේකම්තුමා මට කීවේය. දූෂිත පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් සිටී. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරුකිරීම පිණිස ඒවාට තිරිංග දැමීමට අවශ්‍ය වූයේ යැයි මම සිතමි. මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මා ඒ ගැන දැනසිටියේ නැත.”
මෙම ලක් සතොස සහල් ආනයන වංචාව රුපියල් මිලියන ගණනාවක එකක් වූ අතර ඊට සම්බන්ධ බවට චෝදනා ලද ඇමතිවරයා රිෂාඞ් බදියුදීන්ය. එම පරීක්ෂණ හිමින් කරන්නැයි කීවේ ජනාධිපති ලේකම් අබේකෝන්ය. ලැසිල් සිල්වාගේ සේවය හිටිහැටියේ අහෝසිකළේ ජනපති සිරිසේනය.
ලැසිල් ද සිල්වාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හෝ මානව හිමිකම් කොමිසම විසින් හෝ පරීක්ෂා කළ යුතු තරම් එකකි.
මෑත කාලයෙහි බ්‍රසීලයේ සහ දකුණු කොරියාවෙහි ජනාධිපතිවරුන්ට නිසි කාලයට පෙර ගෙදර යෑමට සිදුවූයේ දූෂණ චෝදනා නිසාය. අපේ රටේ එවැනි ප්‍රශ්නයක් නිසා ගෙදර යෑමක් තබා පුළුල් ජනමාධ්‍ය සාකච්ඡාවක් වත් සිදුවන්නේ නැත.
සුනිල් පෙරේරා හරියටම හරිය: ලංකාවේ එහෙම වෙන්නේ නෑ! ලැසිල් සිල්වා මේ කියන්නේ එංගලන්තයේ සිදුවූ දෙයක් ගැන විය යුතුය.

දෙමළ නම්වලට බයද?
දෙමළ ජනයා යුද්ධයේදී මියගිය සිය ඥාතීන් පවත්වන්නට සූදානම් කළ අනුස්මරණ උත්සවයක් ආණ්ඩුව පසුගිය 18දා තහනම් කළේය. එම අනුස්මරණ උත්සවයෙහිදී යුද්‍ධයෙන් මියගිය පිරිස්හි නම් කෙටූ කළුගල් පවුරු මුලතිව්හි දේවස්ථානයට යාබද ඉඩමක පිහිටුවීමටද සංවිධායකයන් සූදානම් කර තිබුණි.
මෙම අනුස්මරණෝත්සවය සංවිධානය කරන ලද්දේ එලීල් රාජන් නම් කතෝලික පියතුමාගේ ප්‍රධානත්වයෙනි. පොලීසිය අධිකරණ නියෝගයක් මගින් තහනම් කළේ එම උත්සවයයි. එසේ නමුත් පසුව දේවස්ථානය තුළ පමණක් එම අනුස්මරණ උත්සවය පැවැත්වීමට අධිකරණය අවසර ලබාදුන්නේය. මේ වන විට එලීල් පියතුමා තෙවතාවක්ම පොලීසියට කැඳවා ප්‍රශ්නකර තිබේ.
මෙම සුවිශේෂී අනුස්මරණෝත්සවයට බියවූ ආණ්ඩුව උතුරු නැගෙනහිර පුරා පැවති අනෙක් එවැනි කිසිදු අනුස්මරණෝත්සවයක් තහනම් කළේ නැත. අවසන් සටන් ඇතිවූ සහ දහස් ගණනක් මියගිය මුල්ලිවයික්කාල්හිම එවැනි අනුස්මරණෝත්සව දෙකක් පවත්වන ලදි.
ආණ්ඩුව මෙමගින් කියන්නට අදහස් කරන්නේ සිය මියගිය ඥාතීන්ගේ නම් කළු‍ගල් පුවරුවල කෙටීම, එම නම් අතර එල්ටීටීඊ සාමාජිකයන්ගේ නම්ද ඇතුළත් වන විට එය වරදක් බවද? එසේ නම් 1989-90 දෙවසර තුළ ශ්‍රී ලංකාවෙහි ජනඝාතක සිවිල් යුද්ධයක් දියත්කළ ජවිපෙ නායක රෝහණ විජේවීර අනුස්මරණ උත්සව විදේශීය නියෝජිතයන්ගේ පවා සහභාගිත්වය ඇතිව පවත්වන්නේ කෙසේද? එවැනි අනුස්මරණයන්හිදී ජවිපෙ සන්නද්ධ අංශයවූ දේශප්‍රේමී ව්‍යාපාරයේ නායකයන් පවා සැමරීමට අවස්ථාව ලැබේ.
යුද්ධයේ ගොදුරු බවට පත් දෙමළ ජනයා සහ දෙමළ සටන්කාමීන් සැමරීම තහනම් වන්නේ ඔවුන් දෙමළ වීම නිසා නේද?

මුස්ලිම් විරෝධී කළු‍ ජූලිය
පසුගිය සති ගණනාව මෙරට මුස්ලිම් ජනයා භීතියෙන් මුසපත් කළ ප්‍රහාර ගණනාවකින් අඳුරු විය. දැනට වාර්තාවී ඇති අන්දමට එම ගණන 20කට අධිකය‍. මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන මෙම ප්‍රහාරයන්හි ඉලක්කවී ඇති අතර පැහැදිලිවම මේ අහම්බ සිදුවීම් නොව සංවිධානාත්මක සහ සම්බන්ධීකරණයකින් යුතුව කැරෙන ප්‍රචණ්ඩ දේශපාලනයකි. මේ වනාහි මුස්ලිම් විරෝධී කළු ජූලියක් බවට පරිවර්තනය විය හැකි භයානක ප්‍රවණතාවකි.
2015 ජූනි මාසයේ සිට 2016 නොවැම්බරය දක්වා මෙරට දිසා 13කදී මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන 64කට එල්ලවූ ප්‍රහාර වාර්තාවී ඇත. එහෙත් මෙම ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ආණ්ඩුව කළ දෙයක් හෝ කරන දෙයක් නැත.
මෙම ප්‍රහාරයන් අතර ඉතා දරුණු වාචික වෛර ප්‍රහාරයන්ද වේ. විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියෙහි ලියා ඇති පරිදි “අල්ලා නම් කෙනෙකු නැත.” යනුවෙන් පවා ඥානසාර හිමි ප්‍රකාශ කර තිබේ. එම වෙබ් අඩවිය මෙසේ කියයි: “අෆෆෆ කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවාලු මෙතන..” ඥානසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික ආක්‍රමණයට එරෙහි සටන අතට ගනී. එය තවදුරටත් මෙසේ කියයි: “මේ තුන් ලෝකේ කොහේ හෝ ඉන්නවා හෝ දැකපු හෝ කෙනෙක් නැති අල්ලා කියා කෙනෙකුට අපහාස කළා කියා පරීක්‍ෂණ පවත්වනවා. හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ අල්ලාවත් කැඳවන්න කියා.”
බුදුන් වහන්සේ දුටු කෙනෙකු අද මෙලොව සිටීද? බෞද්ධාගමේ නාමයෙන් බෝධි පූජා පවත්වන දහස් ගණන් විශ්වාස කරන්නේ බුදුන් සතු යම් දේව බලයකින් සැපත ළඟා කරගැනීමට නේද? වත්මන් බුදුදහම අනුව කැරෙන බොහෝ ආමිස පූජා විධි පදනම් වන්නේ අප නොදන්නා ගුප්ත බලවේගයන් කෙරෙහි ඇති විශ්වාසයන් මත පදනම්වය.
අල්ලා පිළිබඳ විශ්වාසයද දෙවියන් පිළිබඳ ක්‍රිස්තියානි විශ්වාසයද එවැනිය. එම විශ්වාසයන් විවේචනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයෙහි අයිතියක් තිබේ. වරද ඇත්තේ එවැනි විවේචනයන් වෛර ප්‍රචාරයන් බවට පත්වන විටයි.
මුස්ලිම් ප්‍රජාවට සහ ඔවුන්ගේ විශ්වාසයන්ට එරෙහිව කැරෙන ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානියකු මෙසේ කියා තිබුණි. “මේ මුස්ලිම් ජනයාගේ ඡන්ද අපට ලැබීම වළක්වන කුමන්ත්‍රණයකි.”
තිත්ත නමුත් ඇත්ත මෙයයි: ආණ්ඩුවට මුස්ලිම් ප්‍රජාව යනු ඡන්ද ලබාගැනීමේ මෙවලමක් පමණි.

අපේ එකෙක්: ත්‍යාගලාභී ශවීර් වල්දෙස්
“මේ නරකාදිය ගැන වාර්තාකිරීම නිසා උරුමවන්නේ මරණය නම් උන් අප මරාදාපුදෙන්! නිහඬ නොවන බව කියමු!!”
ඒ වනාහි ත්‍යගලාභී මෙක්සිකෝ වාර්තාකරුවකුවූ ශවීර් වල්දෙස් (50) පසුගිය මාර්තුවේදී ඔහුගේ වෘත්තීය සගයකු වූ මිරොස්ලාවා බ්‍රෙච් ඝාතනය කරන ලද අවස්ථාවෙහිදී කී වචනය.
ඉන් දෙමසකට පසු පසුගිය 15දා දහවල් 12ට වෙඩි පහරවල් 12ක් එල්ල කර වල්දෙස් ඝාතනය කෙරුණි. 2000 වසරෙහි සිට මෙක්සිකෝවෙහි ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සියය ඉක්මවයි. මෙම වසරෙහි ඝාතනයට ලක් වූ හයවැන්නා ඔහුය.
සුලියකාන් නම් ඔහු ජීවත් වූ නගරය වෙලාගෙන පවත්නා මත්ද්‍රව්‍ය ජාවාරම ගැන නොබියව ලිවීම ඔහු කළ වරද විය. නගරයේ අනෙක් බොහෝ පුවත්පත් බියට පත්ව නිහඬව සිටියදී වල්දෙස් සිය පුවත්පත මගින් මත් ජාවාරමෙහි බියකරු ප්‍රචණ්ඩ ස්වරූපය නොනැවත වාර්තා කළේය. ඔහුගේ මාධ්‍යවේදය රඳා පැවැතියේ අගතියෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් ගවේෂණය කර වාර්තා කිරීමෙහිය.
ජනමාධ්‍යවේදයේ ගෞරවය රදා පවතින්නේ ශවීර් වල්දෙස් වැනි බය නැතිව ඇත්ත කියන මිනිසුන් නිසාය. වල්දෙස් ඔබට සුභ ගමන්!

මැන්චෙස්ටර් මනුෂ්‍යත්වය
තමන්ද පුපුරුවාගෙන සිය ලබ්ධියට අයත් නැති විනෝදකාමී තරුණ තරුණියන් ඝාතනය කිරීම ස්වර්ගස්ථ වීමට හේතුවක් යැයි යන අන්තවාදය පිළිගත් නිසාදෝ 22 හැවිරිදි තරුණයකු පසුගිය සඳුදා මැන්චෙස්ටර් නගරයේදී 22දෙනෙකු ඝාතනය කර 64 දෙනෙකු තුවාල කළේය. ඒ තරුණ ජනයාට රස සාගරයක්ව තිබූ සංගීත සංදර්ශනයක් මැද පුපුරුවා ගැනීමෙනි.
මැන්චෙස්ටර් නගරය විශාල ලිබියානු ප්‍රජාවක් වාසය කරන නගරයක් වන අතර තමන් පුපුරුවා ගත් සල්මන් අබේදිද ලිබියානුවෙකි. එසේ නමුත් නගරයෙහි ලිබියානු ප්‍රජාවට කිසිදු කරදරයක් නොවන බවට එහි පුරවැසියෝ වග බලාගත්හ.
පිපිරීමවූ රැයෙහි ජනයා සිය නිවෙස්හි නිදන කාමර අතරමංවූ තරුණ පිරිසවලට හැරදුන් අතර ටැක්සි රියදුරෝ මුදල් ඇතිවත් නැතිවත් රැය පුරා සේවයේ යෙදුණහ.
එහි ජනයා නගරය සුවපත් කිරීමට තමන්ට කළ හැකි දේ කළහ. ලේ දන්දීමට ආ හෝටල් සේවකයකු කීවේ තමන් මිනිසුන් හා සිනහ වෙමින් දවසම නගරයේ ඇවිද යන බවයි. තවත් තරුණයන් දෙදෙනෙකු මඟ යනෙන ජනයා වැළඳ ගනිමින් නගරයට ජීවය කැවූහ.
බොහෝ දෙනෙක් මෙසේ කීහ. බෝම්බවලට අප නගරයේ ජනයා බෙදන්න දෙන්නේ නැහැ!■