රාවය

නුවර අධිවේගය මිනිසුන් ඩෝසර් කරගෙන යාවිද?

නුවර අධිවේගය මිනිසුන් ඩෝසර් කරගෙන යාවිද?

කේ. සංජීව

ඡායා රුවන් මීගම්මන

මේ වනවිට රට තුළ අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනගා ඇත. ඒ කොළඹ කටුනායක සහ කොළඹ මාතර ලෙසය. ඊට අමතරව කොළඹ පිටරවුම් පාර අධිවේගී මාර්ගයද ඉදිවෙමින් පවතියි. මෙලෙස මාර්ග පද්ධතිය දියුණුවීම රටේ සංවර්ධනයට මෙන්ම ජනතාවගේ පහසුව සඳහාද හොඳය. එමෙන්ම මේ වනවිට මේ මාර්ග පද්ධතිය තුළින් විශාල ජනතාවක් ප්‍රතිලාභ ලබමින් සිටිති.
මේ මාර්ග පද්ධතියට අලු‍තින්ම එකතුවී තිබෙන්නේ කොළඹ නුවර අධිවේගී මාර්ගයයි. නැතිනම් උතුරු නැගෙනහිර අධිවේගී මාර්ගයයි. මේ මාර්ගයද අලු‍ත් ලංකාවක් සඳහා අලු‍ත් බලාපොරොත්තු එකතු කරනු ඇති. අනෙක් පැත්තෙන් මේ මාර්ග පද්ධතිය උතුර නැගෙනහිර දකුණට හොඳ බැඳීමක් ගොඩනගා දෙනු ඇති.
මේ මාර්ගය තැනීම පිළිබඳව කතිකාවත ඇරඹෙන්නේ සෑහෙන්න කාලයකට කලින්ය. එහි ශක්‍යතා අධ්‍යයනය 2001 වර්ෂයේදී නිමකර තිබෙන අතර යෝජිත මාර්ගය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලැබී ඇත. එහෙත් මේ මාර්ගය දෙපස ජීවත්වන මිනිසුන් කියන්නේ 2013 වර්ෂයේදී මිනින්දෝරුවන් මනින්න පැමිණෙන තුරු තමන් මේ අධිවේගී මාර්ගය පිළිබඳව කිසිවක් නොදන්නා බවය.
මේ වනවිට මේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ වී ඇත. අමාත්‍යාංශ වෙබ් අඩවිය කියන්නේ මේ මාර්ගය ඉදිකිරීම අදියර දෙකක් ඔස්සේ සිදුකරන බවය. එහි පළමු අදියර කඩවත සිට අඹේපුස්සට ඉදිවෙන අතර එහි දුර කි.මී. 48.2ක් ය. දෙවෙනි අදියර අඹේපුස්ස සිට කටුගස්තොටට ඉදිවෙන අතර එහි දුර කි.මී. 50.7ක් ය. ධාවන මංතීරු 4 කින්ද තවත් මංතීරු දෙකකට ඉඩ සහිතවද මේ මාර්ගය ඉදිවෙන බව කියන්නේ අදාළ අමාත්‍යාංශයේ වෙබ් අඩවියයි. මෙම මාර්ග ඉදිකෙරෙන ප්‍රදේශයේ මුල් කි.මී. 25ක කොටස ගංවතුර ආපදා ඇතිවීමේ ප්‍රදේශයක් හරහා ගමන් කිරීමට නියමිත බවද ඒ නිසා එම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම මුල් කොටසේ දී පාර ඉදිවන්නේ කණු මතය. එහි දුර ප්‍රමාණය කි.මී. 9 ක් පමණ බවද කියන්නේ අදාළ වෙබ් අඩවියමය. මේ වනවිට පළමු අදියරේ මැනුම් කටයුතු බොහෝ දුරට නිමාවී ඉඩම් අත්පත් කරගැනීමේ කාර්යයන් සිදුවෙන බව දැනගන්නට ඇත. ප්‍රශ්නය මතුපිටට පැමිණෙන්නේ මෙතැනදීය. දැන් මේ මාර්ගය උතුරට ගමන් කරන ප්‍රදේශය දෙපස මිනිසුන් සිටින්නේ ගල් පහර වැදුණු දෙබර සමූහය මෙන් ඇවිස්සිලාය. ඒ ඇයිදැයි සොයා බැලීම සඳහා අපි ප්‍රදේශ කිහිපයක සංචාරය කළෙමු.

සංවර්ධනය කියන්නේ මිනිසුන් පාරට දැමීමද?
ඉහත ප්‍රශ්නය අප වෙත යොමුකළේ මිහිරිගම හකුරුකුඹුරේ රණසිංහ මහතාය. රටක සංවර්ධනය යනු ඒ රටේ මිනිසුන්ගේ ජීවිත ඉහළට ඔසවා තබන ගමන්ම රටද රටක් වශයෙන් ඉහළට ගෙනයෑමය. අධිවේගී මාර්ගයක් නිර්මාණයේ වුවද අවසාන ඉලක්කය ඒකය. එහි ආයෙත් කතා දෙකක් නැත. දැන් අපි මේ අධිවේගී මාර්ගය නිසා මේ මිනිසුන්ට උදාවී තිබෙන තත්ත්වය සොයා යමු.
අප මුලින්ම නතරවන්නේ රණසිංහ මහතා ළඟය.
“අපි අපේ ගෙවල් ඉඩම් උඩින් මේ වගේ පාරක් යනවා කියලා මුලින්ම දැනගත්තේ 2013 අවුරුද්දේ. ඒ මැනුම් කරන්න මිනින්දෝරුවෝ ආවාට පස්සේ. ඊට පස්සේ සෙන්ටර් ලයින් එක දාලා කිව්වා දෙපැත්තට අඩි 80 ගාණේ ගන්නවා. 1ට 10යේ අනුපාතයට වන්දි දෙනවා කියලා. අපි කවුරුවත් මේ පාරට මේ සංවර්ධනයට විරුද්ධ නැහැ. මේ ගොඩනැගෙන්නේ රටේ අනාගතේ. ප්‍රශ්නය තියෙන්නේ ඒ ගොඩනැගෙන අනාගතේ අස්සේ අපේ, අපේ දරුවන්ගේ අනාගතය කාබාසිනියා වෙන එකයි.”‍
මේ පාර නිසා මේ මිනිසුන්ගේ අනාගතය විනාශ වන්නේ කෙසේදැයි අපි සොයා බැලු‍වෙමු. මේ පාර නිසා රණසිංහ මහතාට අහිමි වන භූමිය පර්චස් 52ක් පමණය. ඒ වපසරිය තුළ අවුරුදු 3ක් මහන්සි වී ගොඩනගන ලද රුපියල් කෝටි 2.5කට වැඩි වටිනාකමක් තිබෙන නිවසද ඔහුට අහිමිවෙයි.
“අපිට මොනවා නැතිවුණත් කමක් නැහැ. මේ නැතිවෙන දේවල්වලට හරි යන වන්දියක් ඕනෑ. ඒ වන්දිය දැන් අපි ගෙවන ජීවිතයට වැඩිය හොඳ ජීවිතයක් අපිට ගෙනත් දෙන වන්දියක් වෙන්න ඕනෑ. දැන් තියෙන තත්ත්වය අනුව අපිට අපේ ඉඩම්වලට, ගෙවල්වලට අද දවසේ තියෙන වෙළෙඳපොළ වටිනාකමවත් ලැබෙන්නේ නැහැ. දැන් මෙතැන වෙන්නේ රාජ්‍ය නිලධාරීන් එක එක නීති පෙන්නලා අපිව බයකරලා අපේ ඉඩම් කුණුකොල්ලයට ගන්න එක. දැන් සමහරුන්ට වන්දි දීලා තියෙනවා. සොච්චමක්. ප්‍රාදේශීය ලේකම් වුණත් බලන්නේ කොහොමහරි කරලා ඉඩම් ටික නිදහස් කරගන්න.”‍
නුවර අධිවේගයේ ගැටලු‍ව පටන්ගන්නේ මෙලෙසින්ය. මේ ගැටලු‍වට හේතුව වන්දි ලබාදීමට නිසි වන්දි ක්‍රමවේදයක් නැතිකමය. මේ වනවිට වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂයක් ඉක්මවූ ගණේගොඩ ප්‍රදේශයේ ඉඩම් සඳහා රජය තක්සේරු කර ඇත්තේ රුපියල් 40,000ත් 60,000ත් අතර මුදලක්ය. දැනගන්නට තිබෙන ලෙස මේ මිල ගණන් යටතේ මේ ප්‍රදේශයේ සමහර ඉඩම් සඳහා වන්දි ලබාදී ඇත.
“මේ පාරට යන ඉඩම්වලට ගෙවල්වලට වන්දි දෙන්න ක්‍රමවේදයක් 2013දී කරුණාතිලක කියලා කෙනෙක් හදලා තියෙනවා. ඒකට අනුව ගෙදරකට දෙන වන්දිය දෙන්නේ වර්ග අඩියකට උපරිම රුපියල් 4500යි. මගේ ගෙදර ගත්තොත් වර්ග අඩි 6500ක් විතර තියෙනවා. එතකොට ගණන් හැදුවාම මේ දෙන වන්දියෙන් කවදාවත් මට මේ තියෙන ගේ වගේ ගෙදරක් හදාගන්න බැහැ. මම ඔය ගෙදර හදාගන්න පුදුම විදිහට මහන්සි වුණා. අනික දැන් තියෙන තත්ත්වය අනුව මට ගමෙන් යන්න වෙලා තියෙන්නේ. එතකොට මගේ දරුවාට පාසලක් හොයාගන්න, ගෙයක් හදාගන්න ඒ මොකුත් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. දැන් මට ලියුම් තුනක් එවලා තියෙනවා ඉඩමේ හිමිකම තහවුරු කරන්න ඔප්පු පත්ඉරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනත් දෙන්න කියලා. ඒත් අනාථවෙයි කියන බයට මම තවමත් ගිහින් දුන්නේ නැහැ.”‍ මේ රණසිංහ මහත්තයාගේ ප්‍රශ්නයේ දිග පළලය. මේ කිලෝමීටර් 99ක් පමණ දිග මේ මාර්ගය දෙපස බොහෝදෙනෙකුගේ අද දවසේ ගැටලු‍වද මෙයමය.

සුපර් ලාර්ක් ගියත් වැඩක් නැහැ
“‍මගේ ඉඩමෙන් පර්චස් 362ක්, ගෙදර මේ පාරට අහුවෙනවා. දැන් මට රජයේ තක්සේරුව ලැබිලා තියෙනවා. ඒ තක්සේරුවත් කරලා තියෙන්නේ මේ මුළු ඉඩම් ප්‍රමාණය 5කට බෙදලා. ඒ පර්චස් එක රුපියල් 2500, 1366, 12500, 21875 කියන ගණන්වලට. එක කොටසක තක්සේරුව තවම ලැබුණෙත් නැහැ. මම මේ තක්සේරුවට එකඟ නැහැ. මම ඉන්න පොල්ගහවෙල මේ කියන ඉඩම තියෙන හරියේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 4ක්. මම පොල් වගාව තමයි කරන්නේ. මේ ඉඩම මම බැංකුවට තියලා ණයක් අරගෙන තමයි බිස්නස් එක කරන්නේ. දැන් ඒ සේරම වැටිලා. 2013 ඉඳලා මට නිවනක් නැහැ. මගේ ළමයි කුරුණෑගල පුද්ගලික ඉස්කෝලෙකට යන්නේ. මේ ගාණට මට මගේ ඉඩම මේ පාරට දෙන්න වුණොත් වහ කන්න තමයි වෙන්නේ. මම මේ වන්දි දෙන ක්‍රමයට විරුද්ධයි. මම ජනාධිපතිට එනකම් හැම තැනකටම අභියාචනා ඉදිරිපත් කළා. තවම කිසිම තැනකින් උත්තරයක් නැහැ.”‍ මේ පොල්ගහවෙල මංගල මහතාගේ ප්‍රශ්නයේ ස්වරූපයයි.
තමන්ගේ ඉඩමට රජය තක්සේරු වන්දි මුදලින් යම්කිසි පුද්ගලයෙකු තෘප්තිමත් නැතිනම් ඔහුට දිසාපතිගේ ප්‍රධානත්වයෙන් තියෙන ලාර්ක් කමිටුවට ඉල්ලීමක් කළ හැකිය. එහිදී ඔවුන් නිර්දේශ කරන වන්දියටද එකඟ නොවන්නේ නම් ඔහුට හෝ ඇයට අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු නියෝජනය කරන සුපර් ලාර්ක් කමිටුවට තම අභියාචනය ඉදිරිපත් කළ හැකිය. ඒ කමිටුව නිර්දේශ කරන වන්දියද යම් පුද්ගලයෙකුට හරියන්නේ නැතිනම් ඔවුන්ට අවසානයේ යන්නට තිබෙන්නේ උසාවියටය. එහෙත් රජය නියෝජනය කරන පාර්ශ්වය එවැනි පුද්ගලයන්ට තර්ජනය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා උසාවි නියෝගයක් ගෙන අදාළ ඉඩම් පවරා ගන්නා බවය. මේ සියලු දේවල් මෙලෙස සිද්ධවෙන අතර සමහරුන් දේශපාලන ලොක්කන්ගේ පසුපස වැටී හොර පාරෙන් ලොකු වන්දි මුදලක් ලබාගන්නා බවද දැනගන්නට ඇත. සමහර තැනක දේශපාලන හිතවතුන්ගේ බලපෑම මත අධිවේගී මාර්ගයේ මධ්‍ය රේඛාවද වෙනස්කර සමහර පුද්ගලයන්ගේ ඉඩම් මගහැර අධිවේගයට මග සකස්කර ඇති බවද දැනගන්නට ලැබෙයි.

දේශපාලකයෝ ගොඩ
“‍අපිට දැනගන්න තියෙනවා සමහර දේශපාලන ලොක්කෝ රාජ්‍ය සේවයේ ලොක්කෝ මැදිහත්වෙලා ලොකු ලොකු ගණන් වන්දි අරගෙන දෙනවා. ඒ මිනිස්සුන්ට අත යටින් ගණනක් යනවා කියලාත් කියනවා. කොහොම හරි මේ වැඩවලින් අන්තිමට අනාථ වෙන්නේ මොකවත් කරගන්න බැරි කිසිම සම්බන්ධතාවක් නැති අසරණ දුප්පත් මිනිස්සු. මේකට හරි ක්‍රමවේදයක් ගොඩනගන්න ඕනෑ. අපි දන්නවා දේශපාලකයෝ මේකෙන් ලොකු ගණනක් හම්බකර ගන්නවා කියලා. අපි ඒකට එපා කියන්නේ නැහැ. හැබැයි අපිට ලැබෙන්න ඕනෑ නියමිත වන්දිය අපිට දෙන්න ඒකයි අපේ ඉල්ලීම. අපි කොහොමත් කරන්න බැරි අසාධාරණ ඉල්ලීම් රජයට ආණ්ඩුවට කරන්නේ නැහැ. අපි කියන්නේ අපිට සාධාරණයක් කරන්න. අපි මෙතැනින් පහළට ඇදලා දාන්න එපා.”‍ මේ මාවතගම දිසානායක මහතාගේ කතාවය. ඔහුගේද පොල් ඉඩමක් මේ මාර්ගයට කොටුවී ඇත.
අනෙක් පැත්තෙන් මේ වනවිට දේශපාලකයන්ද, ඔවුන්ගේ හිතවතුන්ද මේ වනවිට පස් කඳු ගල් කඳු පීරමින් සිටින්නේ නුවර හයිවේ එකෙන් ගොඩ යන්න පිඹුරුපත් සකස් කරමින්ය. මේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවල තත්ත්වයයි. මේ හැම ව්‍යාපෘතියකින්ම ලොකු කුට්ටියක් දේශපාලකයන්ගේ සාක්කුවට යෑම සාමාන්‍ය දෙයක් වී තිබෙන පසුබිමක මේ අසරණ මිනිසුන්ගේ වන්දි මුදලටද තට්ටු කිරීමට දේශපාලන බලධාරීන් මෙන්ම රාජ්‍ය අංශයේ ලොක්කන් උත්සාහ කිරීම පිළිකුල දනවයි. ඒ නිසා අපට අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ ව්‍යාපෘතිය තුළ වන්දි ලෙස ඇස්තමේන්තුගත මුදල ඔවුන්ට නියමිත පරිදි ගෙවන්නට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සහ ඒ වෙන්කරන ලද මුදල ප්‍රමාණවත් නැතිනම් ඒ මුදල ඉහළ දමා හෝ මේ මිනිසුන්ගේ අනාගතය අනතුරේ හෙළීම නැවතිය යුතු බවය. රටේ සංවර්ධනයට මේ මිනිසුන් ඔවුන්ගේ භූමිය පරිත්‍යාග කර තිබෙන පසුබිමක සහ මෙවැනි මාර්ගයකින් රජයට නිරන්තරව ආදායමක් ලැබෙන පසුබිමක ඔවුන්ට සාධාරණ වන්දියක් ලබාදීම රජයේ යුතුකම බවය.■