රාවය

ක්‍රීඩාව සහ හෙට

ක්‍රීඩාව සහ හෙට

ටිරන් කුමාර බංගගම ආරච්චි

සියක් වාරයක් අපතේ යන ඊතලය වරෙක ඉලක්කයට හඹා යනු ඇතැයි කතාවක් තිබුණද මෙරට ක්‍රීඩාව අරබයා එය කෙතෙක් දුරට ගළපා ගත හැකිද යන්නත් ඉලක්කයක් නැති අරමුණක් වී ඇත. මෙරට ක්‍රීඩාව විනාශ වූයේම පරිපාලනයේ වරදිනි. එය ක්‍රීඩා ඇමතිවරුන්ගේ දැක්මේ මෙන්ම ක්‍රීඩා සංගම් ප්‍රධානින්ගේ වරදින්ද සිදු විය. එහි නරක ප්‍රතිඵල අද රටක් ලෙස අපි භූක්ති විඳිමින් සිටිමු. ක්‍රීඩා ක්‍ෂේත්‍රය දියුණුවක් නොළඹන පිරිහුණුම විෂය බවට අද පත්වී ඇත.
කුමන පිළලයක් වුව මුලින් කපා ඉවත් නොකළහොත් එය කුමන යෝධ ගසක් වුව වේලා ආක්‍රමණය කරන බව නොරහසකි. මෙරට ක්‍රීඩා සංගම්වල පාතාල නිලධාරී පැලැන්තිය මේ වන විට කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට මෙරට ප්‍රධාන මධ්‍යස්ථානය වන ක්‍රීඩා අමාත්‍යාංශයට හිංචි පිංචි ක්‍රීඩා සංගම් බලධාරීන්ට යටත් යෝධයෙකු වී ඇත. මේවාට වගකීව යුත්තේ මීට පෙර සිටි ක්‍රීඩා අමාත්‍යවරුය. ඔවුන් කාලෙන් කාලයට ක්‍රීඩා සංගම් සඳහා තම හිතවතුන් දමාගෙන කළ තක්කඩි ක්‍රියා පිළිවෙත අද දවසේ කි්‍රීඩාව මරණය කරා රැගෙන ගොස් ඇත. හැම ක්‍රීඩා ඇමැත්තෙකුම තමන් ඉන්නා කාල පරාසය තුළ ලොරි ගණන් බයිලා ඇදබාන මුත් අවසානයේ කළ කෙංගෙඩියක් නොවීය. එබැවින් මෙරට ක්‍රීඩාව නැවත නැඟිටවිය හැකි දැයි බරපතළ ප්‍රශ්නයක් ඉතිරි කොට ඇත.

දැල්පන්දු
නොබෝදා දකුණු කොරියාවේ දී අවසන් වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී මෙරට දැල්පන්දු කණ්ඩායම ජයග්‍රහණයේ අබැටක් රැගෙන නාවද ප්‍රශ්න පත්තර බන්ඩලයක් නම් රැගෙන ආවේය. දැල්පන්දු පිලේ නායිකාව මෙරටට පැමිණ කීවේ තම කණ්ඩායමේ සමහර ක්‍රීඩිකාවන් මෙරට පරාජය වන තෙක් බලා සිටි බවය. මෙය සුළුපටු කියමනක්ද? එලෙස බාර ගත යුතුද? රට වෙනුවෙන් යැයි නමට හෝ ක්‍රීඩා කරන අය තම රට පරාජය කරන්නට ක්‍රීඩා කරනවා යැයි කීම මොන තරම් විගඩමක්ද? මේ කණ්ඩායම් නායිකාව මාධ්‍යයට කියන දැය එසේ නම් ඇය මෙරට පරදින ආශාවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් ගැන දන්නේය. එසේ නම් ඒ කවුද? කණ්ඩායම් ක්‍රීඩාවක කණ්ඩායම් හැඟීම නැත්නම් එතැන ක්‍රීඩාවක් පවතීද? තවත් රටකට එරෙහිව තරගයක් දිය හැකිද?
ලොව දැල්පන්දු ක්‍රීඩාව දිනෙන් දින ඉහළ යන අතර ලංකාව පහළම අඩියට වැටෙමින් තිබේ. ආසියානු දැල්පන්දු ශූරියන් යන ලේබලයක් කාලාන්තරයක පටන් අලවා ගෙන මේ දැල්පන්දු ක්‍රීඩාව ආසියාවේ අඩියටම වැටෙන තෙක් ක්‍රීඩා බලධාරීන් බුදියාගෙන සිටියාද යන පැනය පැනනගී. කාන්තාවන් සඳහාම වන එකම ක්‍රීඩාව දැල්පන්දුය. (පිරිමිත් ක්‍රීඩා කරනවායැයි සරල උදාහරණ පෙන්වා දිය හැක.) එය වෙනම කතාවකි. එහෙත් දැල්පන්දුව ප්‍රසිද්ධ කාන්තාවන්ටය. එහෙත් දැල්පන්දු ක්‍රීඩාවෙන් කෙස්වලු පටලවා ගන්නා හොඳම කණ්ඩායම තේරුවහොත් කිසිදු කණ්ඩායමකට ලංකාව අබිබවා යෑමට නොහැකි වනු ඇත. ඒ තරමට මෙරට දැල්පන්දුව අසූචි වලකි. කණ්ඩායම තේරීමේදී පවා කිසි කලක නිවැරදිභාවයක් අනුගමනය කළ නොහැකි සංගමය බවට දැල්පන්දුව පත්ව ඇත. දියණිය දක්‍ෂ ලෙස ක්‍රීඩා කරද්දී දියණියගේ තැනට වඩා පුහුණුකාරීත්වය වටිනවා යැයි සිතු අම්මලා සිටින රටකි මේ. දීප්ති අල්විස් එවැනි ළාමක පුහුණුකාරියකි. අවසානයේ සිය දියණියගේ දැල්පන්දු ජීවිතයම විනාශ කළේ ඇයය. ඇයට පුහුණුකාරියක වීමට ඕනෑ තරම් කල් තිබියදී සිය දියණියගේ හොඳම ක්‍රීඩා අවධියේදී එයට රිංගා ගත්තාය. රිංගාගෙන ලොවෙත් නැති තර්ක ගෙනාවාය. අවසානයේ වුයේ කුමක්ද? මෙවන් යටගියාවක් ඇති දැල්පන්දුවේ වසර විස්සක තිහක සිට එහාමෙහා වන්නේ මේ ගැහැනු ශරීර ටිකමය. අලුත් දැක්මක්, අලුත් පෙනුමක් එයට නැත.
ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේදී ප්‍රශ්න තොගයක් ගෙන මෙරටට පැමිණි කණ්ඩායමට නැවත බොට්ස්වානා යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වන අවස්ථාව ක්‍රීඩා ඇමතිවරයා නවතා දමන බවට මුලදී ප්‍රකාශ කළද අවසානයේ විවිධ හේතු මත එය කළ නොහැකි විය. බොහෝ දේ කීමට පෙර සිතා බැලීමට අද ඇමතිවරයාට සිදුව ඇත්තේ එලෙස කී බොහෝ කතා අද නිකංම නිකං කයිවාරු වී ඇති බැවිනි. දැල්පන්දු ලෝක කුසලානයට යන තනතුරු සියල්ලේ ආධිපත්‍යය ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයය. ක්‍රීඩා අමාත්‍යාංශය එහි ප්‍රධාන පුහුණුකාරීත්වය හයසින්ත් විජේසිංහට පවරා ඇත. හයසින්ත් යනු මෙරට දැල්පන්දුවට කාලෙන් කාලයට වැටෙන උල්කාපතයකි. ඇය මීට පෙර මෙවැනි ලොකු තනතුරු ගෙන බැණ බැණ සිටි බැරිබැරියාවකි. එබැවින් මේ සියල්ල හිසේ ඇම්මට කොට්ට මාරු කිරීමක් පමණි. මේ නාඩගමේ ඉතිරි කොටස බලාගන්නට හැක්කේ මෙම තරගාවලියට ගොස් ආ පසුවය. මන්ද මෙහි ජයග්‍රහණයක් අහුලා ගැනීම ලේසි පහසු නැත. එම අසීරුතාව හමුවේ එහි ගිය අයගේ අඳෝනා, දෙස්දෙවොල් පමණක් ඉතිරිවනවා නියතය. ලංකාවේ දැල්පන්දුව යනු හැටේ වත්තේ ගැහැනු ටිකකගේ කයිවාරු හැර වෙන කිසිවක් නොවේ.

නිලවරණ
ක්‍රීඩා සංගම් නිලවරණ විගණකාධිපතිවරයා යටතේම විගණනය විය යුතු නැති බව ක්‍රීඩා ඇමතිවරයාගේ අදහසය. මෙය විවාදාපන්නය. මන්ද ඕනෑම තැනකින් විගණනය කර ගත හැකි නම් එය භයානකය. තම හිතවත් විගණන ආයතනයක් ලවා තමන්ට අවැසි ලෙස විගණනය කර ගත හැකිය. මෙය හොරාගේ අම්මාගෙන් පේන බැලීමක් වැනිය. එබැවින් විගණකාධිපතිගේ අනුදැනුම මත විගණන ආයතනයකට විගණන ලබා දීම හරහා විනිවිදභාවයක් පවතිනු ඇත. එසේ නොවුණහොත් විගණන කළා නොකළා වෙනසක් නොවනු ඇතිය.

දඬුවම්
මෙතෙක් සංගම් කුමක් කළද දඬුවම් නොදෙන ක්‍රමවේදයක් පැවති මුත් මින් මත්තට එලෙස නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසය. ඔහු දැඩි ස්ථාවරයක සිටිනු පෙනේ. සුරාජ් දන්දෙණියට තරග කළ නොහැකි බව ඇමතිවරයා කියා තිබියදී සුරාජ් දන්දෙණිය බබා පාට් දමමින් නැවත තරග කරන බවට පොර ටෝක් බෙදමින් සිටියි. ඒවායේ ප්‍රතිඵල ඉදිරියේදී බැලිය හැකිය. සුරාජ්ද ඇමතිද ඇත්ත කියනුයේ යන්නය.

පාපන්දුව
පාපන්දු නිලවරණයට සියල්ල සූදානම්ය. එහි ප්‍රතිමල්ලවයන් එකී නොකී තම ජයග්‍රහණ ගැන පුරසාරම් ඇදබාති. කවුරු ජය ගත්තද මේ කාට වුව පාපන්දුව නැවත සංවර්ධනය කළ නොහැකිය. එය ගොඩ ගත නොහැකි තත්ත්වයට විනාශ වී ඇත. එය ගොඩ ගැනීමට රංජිත් පත් වුවද අනුර පත්වුවද කාට වුව නොහැකිය. එලෙස හැකි නම් ඒ දේවල් මීට පෙර වන්නට ඉඩ තිබුණි. අපගේ නිගමනය මේ දෙපළගෙන් කවුරු පත් වුවද පාපන්දුවට වන සෙතක් නැති බවය.
ක්‍රීඩා සංගම් නිලවරණ හෙමින් සීරුවේ සිදුවුවද මේ සංගම්වලට පත්වන අය ක්‍රීඩාවට කුමක් කරන්නේද යන්න ඊළඟ වසරවල සෙවිය යුතුය. ඇමතිවරයා මෙවර ක්‍රීඩා නිලවරණය පැවැත්වීම කොතෙක් දුරට සාර්ථකව කරනු ඇත්ද, ඒ අනුව ඉතිරිය කෙසේ වෙයිද යන්න තීරණය කළ හැකිය. එතෙක් ඉක්මන් වීම නොවටී.■