Wednesday, 23/8/2017 | 12:28 UTC+0
රාවය

වනාන්තර හා දේශගුණය රැක ගන්නට ජාතික වැඩපිළිවෙලක් සැකසෙයි

 

වනාන්තර හා දේශගුණය අතර සම්බන්ධයක් තිබෙනවා. හැබැයි එය “කැලෑ කැපුවාම වැස්ස නැති වෙනවා.” යැයි සමහරුන් සිතා සිටින ආකාරයේ සරල හෝ සෘජු සම්බන්ධයක් නොවෙයි.
ගෝලීය උණුසුම් වීමට දායක වන හරිතාගාර වායුන් (greenhouse gases) අතරින් වඩාත් ප්‍රකට කාබන් ඩයොක්සයිඞ් වායුවයි. සියලු‍ම හරිත ශාක වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඞ් උරා ගෙන, ප්‍රභාසංස්ලේෂණය හරහා ඒවා ශාකවල වර්ධනයට හා පලවලට හරවනවා.
ගෝලීය කාබන් චක්‍රය සැලකිල්ලට ගත් විට, ලොව තිබෙන සමස්ත කාබන්වලින් හතරෙන් පංගුවක් පමණ ඝර්ම කලාපීය වනාන්තරවල හසු කර ගෙන තිබෙනවා.
වනාන්තර හා වෙනත් ගස් කපා හෙලූ විට, ඒවායේ තැන්පත්ව තිබෙන එම කාබන් යළිත් පරිසරයට නිදහස් වනවා. හරිතාගාර වායු සමස්තයෙන් 15-18%ක් පමණ පිට වන්නේ වන විනාශය (deforestation) හා වන හායනය හරහායි.
වන හායනය ( degradation&) කියන්නේ වනයක් බැලූ බැල්මට තව දුරටත් ඉතිරිව තිබියදී, එහි පාරිසරික හැකියාවන් හා සේවාවන් ටිකෙන් ටික අඩාල වීමටයි.
වන විනාශය හා වන හායනය ගෝලීය උණුසුම් වීමට කරන දායකත්වය විද්‍යාත්මක පර්යේෂණ හරහා හරිහැටි අවබෝධ කර ගනු ලැබුවේ මීට වසර 15-20කට පමණ පෙරයි. බලශක්ති ජනනය හා ප්‍රවාහනය යන ක්‍රියාකාරකම්වලින් හරිතාගාර වායු නිකුත්වීම අවම කිරීමට ගන්නා ලෝක ව්‍යාප්ත උත්සාහයන්ට සමාන්තරව, වන විනාශය හා වන හායනය අවම කිරීමට ද හැකි සෑම පියවරක්ම ගත යුතු බව අද පිළිගැනෙනවා.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය (UNFCCC) යටතේ මේ සඳහා 2005 සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. වන විනාශයෙන් හා වන හායනයෙන් සිදුවන විමෝචන (වායු පිටවීම්) අඩු කර ගැනීමේ ප්‍රයත්නය නම් වන මෙහි ඉංග්‍රීසි කෙටි නම REDD+ යන්නයි (Reducing Emissions from Deforestation and Forest Degradation’).
මේ යටතේ දියුණුවන රටවලට සිය වනාන්තර රැක බලා ගෙන වැඩි දියුණු කිරීමට ජාත්‍යන්තරව ආධාර කැරෙනවා. ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ වනාන්තර බහුල රටවල් 68ක් මේ වැඩපිළිවෙළට සම්බන්ධයි.
ශ්‍රී ලංකාව UNFCCC සම්මුතිය 1992දීත්, එහි පැරිස් ගිවිසුම 2016දීත් අත්සන් කළා. UNFCCC යටතේ තිබෙන REDD+ වැඩසටහනට අපේ රට අන්තර්-රාජ්‍ය මට්ටමින් සම්බන්ධ වූයේ 2009දී.
මේ යටතේ විස්තරාත්මකව හා පර්යේෂණාත්මකව පිළියෙල කිරීම 2012-2016 වකවානුවේ සිදු කෙරුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා සම්පාදිත තාක්ෂණික වශයෙන් හොඳම වන සංරක්ෂණ හා වන කළමනාකරණ ක්‍රමෝපාය ශ්‍රී ලංකාවට දැන් ලැබී තිබෙනවා.
ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්ම (NRIFAP) නම් වන මේ ලේඛනය 2018-2022 කාලය තුළ වන කළමනාකරණ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග 13ක් නිර්දේශ කරනවා. මෙම සැලැස්ම 2017 මැයි 9 වනදා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට පිළිගන්වනු ලැබුවා.
සියලු‍ පාර්ශ්වකරුවන් හවුල් කර ගත් මෙහි නායකත්වය ගත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.
කෙතරම් විද්වත් සැලසුම් සම්පාදනය කෙරුණත්, මොන තරම් ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති පැවතුණත් වන විනාශය දිගටම සිදු වන බව අප දන්නවා. රටේ ජනප්‍රිය මතය නම් අනවසරෙන් කැලේ ගස් කැපීම එයට දායකවන බවත්, සංවිධානගතව කැරෙන මේ ජාවාරම්වලට දේශපාලන අනුග්‍රහය ලැබෙන බවත්.
මෙහි යම් සත්‍යයක් ඇති නමුත් යථාර්ථය මීට වඩා සංකීර්ණයි. REDD+ සැලසුම් සඳහා සරසවි ඇදුරන් හා වෙනත් ස්වාධීන පර්යේෂකයන් කළ අධ්‍යයනවලින් මෙහි සැබෑ තතු හෙළි වනවා.
2010 දත්ත විශ්ලේෂණයකට අනුව, එම වසර වන විට මෙරට සොබාවික වනගහනය හෙක්ටෙයාර් මිලියන් 1.95ක් (වර්ග කිලෝමීටර් 19,500ක්) පමණ වුණා. එය දිවයිනේ සමස්ත බිම් ප්‍රමාණයෙන් 29.7%ක්.
එහෙත් මේ වන වැස්ම, වසරකට සාමාන්‍යයෙන් හෙක්ටෙයාර් 8,000ක් (වර්ග කිමී 80ක්) පමණ ප්‍රමාණයකින් අඩු වනවා. වන විනාශය කියන්නේ මෙයටයි.
මෙය තේරුම් ගැනීමට පහසු වීමට මෙසේ සිතන්න. කොළඹ ගාලු‍ මුවදොර පිටිය විශාලත්වයෙන් හෙක්ටයාර් 5යි. මෙරට වාර්ෂික වන විනාශය ගාලු‍මුවදොර පිට්ටනිය මෙන් 1,600 ගුණයක්.
තවත් විදියකට කීවොත් වාර්ෂික වන විනාශය සමස්ත කොළඹ නාගරික ප්‍රදේශය (වර්ග කිමී. 37.3) මෙන් දෙගුණයකටත් ටිකක් වැඩියි.
වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, අම්පාර හා පුත්තලම හඳුනාගෙන තිබෙනවා.
මේ වන විනාශයට හේතුකාරක මොනවාද? පසුගිය දශක දෙකක කාලයේ දත්ත විග්‍රහ කරමින් REDD+සැලසුම් පෙන්වා දෙන්නේ ප්‍රධානතම සෘජු සාධක හතරක් මෙයට දායක වූ බවයි.
ජාතික මට්ටමින් වන විනාශයට වැඩිපුරම බලපෑ සෘජු සාධකය නම් රජයෙන් ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘති (මහාමාර්ග, වරාය, ගුවන්තොටුපළ, බලශක්ති පහසුකම් සංචාරක පහසුකම්) සඳහා වන බිම් හෙළි කිරීමයි. 2009 යුද්ධය හමාරවූ පසු මෙම ප්‍රවනතාව වඩාත් ශීඝ්‍ර වූ බව දත්ත පෙන්වනවා.
සෙසු සෘජු සාධක වන්නේ අනවසරයෙන් වන බිම් අල්ලා හෙළිපෙහෙලි කිරීම, පුද්ගලික ව්‍යවසායකන්ගේ කෘෂිකර්මික ව්‍යාපෘති, හා ප්‍රාදේශීය වශයෙන් කරන සුළු පරිමාණ ක්‍රියාකාරකම්.
වන විනාශයට දායක වන වක්‍ර සාධක ගණනාවක්ද හඳුනාගෙන තිබෙනවා. පදිංචියට හා බෝග වගාවට ඉඩම් හිඟවීම, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා දේශීය ඉල්ලු‍ම, ගෘහාශ්‍රිත අවශ්‍යතා, රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනපද පිහිටුවීම හා ජනයා නැවත පදිංචි කිරීම මෙන්ම විදේශවලින් ගෙන්වනු වෙනුවට මෙරටම සීනි නිපදවීමට උක්වගා කිරීම ආදි සාධක ඒ අතර වනවා.
REDD+ සැලැස්ම මෙසේ කියනවා: “සිවිල් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව කෘෂිකාර්මික කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් සඳහා වේගයෙන් ඉහළ නැගි ඉල්ලු‍ම, දේශීය හා විදේශීය වෙළඳපොළවල වන නිෂ්පාදන සඳහා පවත්නා ඉහළ ඉල්ලු‍ම වැනි හේතු නිසා මෙකී සෘජු සාධක උත්ප්‍රේරණය වී ඇත. බොහෝ අවස්ථාවල මෙම වක්‍ර සාධක ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම හෝ යටිතල පහසුකම් සංවර්ධනය යන කාරණා වෙනුවෙන් සකස් කරන ලද ඉඩම් ආශ්‍රිත ප්‍රතිපත්ති නිසා ඇති වේ. මේවා මඟින් රජයේ ආයතන අතර දුර්වල සම්බන්ධීකරණයක් හා අරමුණු සඳහා රජයේ ආයතන අතර ගැටුම්කාරිත්වයක් නිර්මාණය කෙරේ. වාර්තා වූ සෙසු සාධක අතරට ජනගහන වර්ධනය, තාක්ෂණික දියුණුව, ග්‍රාමීය ආර්ථිකය වාණිජකරණය හා දේශපාලනික මැදිහත්වීම්ද ඇතුළත් වේ. බලධාරීන් විසින් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කලින් කලට අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වල අයිතිය එසේ අනවසරයෙන් අල්ලා ගන්නා ලද පුද්ගලයාටම පැවරීමේ ක්‍රියාවලිය නිසා මෙය නොකඩවා සිදු වේ.”
වන හායනයට හේතු වන සාධකද ගණනාවක් තිබෙනවා. සමහර වනාන්තර බිම්වල කරදමුංගු වගාව, දර එකතු කිරීම, විවිධ දැවමය නොවන සම්පත් (වේවැල්, දුම්මල, ඖෂධීය ශාක) රැස් කිරීම, ගවයන් සඳහා උලාකෑමට යොදා ගැනීම, හිතාමතා කරනු ලබන ගිනි තැබීම් හා නීති විරෝධී ගස් කැපීම් ඒ අතර වනවා.
රට පුරා ක්‍රියාත්මක නොවුවද ප්‍රදේශීය වශයෙන් සිදුවන මැණික් ගැරීම, ගල් කැඩීම ආදිය නිසාද වන හායනය සිදුවනවා.
මේ අතර යහපත් ප්‍රවණතා කිහිපයක්ද තිබෙනවා. එකක් නම් වනබිම් එළිපෙහෙළි වන ශීඝ්‍රතාව අඩු වී තිබීමයි. 1956-1984 වකවානුවේ එය වසරකට සාමාන්‍යයෙන් හෙක්ටෙයාර් 42,000ක් වුවා. (ගාලු‍මුවදොර පිට්ටනිය මෙන් 8,400 ප්‍රමාණයක්) කඩිනම් මහවැලි ව්‍යාපාරය මෙයට එක් ප්‍රධාන හේතුවක්.
REDD+ සැලසුම් වාර්තාවට අනුව දැව ලබා ගන්නට වනාන්තර නොවන ප්‍රභවයන් දැන් වැඩි වැඩියෙන් මෙරට භාවිත කරනවා.
වනාන්තර සුවිශේෂිී පරිසර පද්ධති බව ඇත්ත. එහෙත් ඒවායේ ඇති දැව අතින් වටිනා ගස්, වනාන්තරවලින් පිටත වගා කළ හැකියි. වන වගා යනු පුනර්ජනනීය සම්පතක්. නිසි කල පැමිණි විට අස්වනු නෙළා ගත හැකියි.
REDD+ සැලැස්ම කියන හැටියට: “පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතා සඳහා ස්වාභාවික වනාන්තර එළිපෙහෙලි කොට නැත. ඒ සඳහා ගෙවතු වගා සහ ප්‍රජා වන කට්ටි දායක වී ඇති අතර, දර අවශ්‍යතා වන වගාවලින්ද, වනාන්තරයට බාහිරව ඇති ශාක සම්පත්වලින්ද ලබා ගෙන ඇත. පුද්ගලික මෙන්ම කාර්මික පරිහරණයටද අවශ්‍ය වූ දර හා දැව සපයනු වස් වන වගා හෙක්ටයාර 9,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPC) විසි තුනක් මඟින් කළමනාකරණය කෙරේ. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් වන වගා හෙක්ටයාර 80,000ක පමණ ප්‍රමාණයක් කළමනාකරණය කරනු ලැබේ.”
වන සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම අභියෝගාත්මකයි. සොබාවික වනාන්තර සුරකින අතර වගා කරන වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීමREDD+ සැලසුමේ ප්‍රධාන අංගයක්.
REDD+ සැලසුමේ තවත් එක් වැදගත් ප්‍රවේශයක් නම් සියලු‍ භූමි පරිභෝජන ප්‍රතිපත්ති වඩා විධිමත් හා තර්කානුකූල කිරීමයි. රටේ ඉඩම්වලින් 82%ක්ම යම් ආකාරයකින් රාජ්‍ය හිමිකාරිත්වයේ පවතින නිසා රජයේ මැදිහත්වීමෙන් මෙය කළ හැකියි.
තවත් ක්‍රමෝපායක් වන්නේ පාරිසරික සේවාවලට වටිනාකම් ගණනය කිරීමයි (valuing ecosystem services). පාරිසරික ආර්ථික විද්‍යාව දියුණුවීමත් සමඟ මෙයට ක්‍රමවේදයන් බිහි වී තිබෙනවා.
වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ මෙසේ කියනවා. “වනාන්තර වසා තිබෙන භූමිය අපතේ යාමක් ලෙස සමහරුන් තවමත් සලකනවා. ඔවුන් කියන්නේ මේ වනාන්තර හෙළි කරලා සමාජයට හා ආර්ථිකයට පලදායක යමක් කරන්න කියායි. එහෙත් දැව වටිනාකම හා ජෛව විවිධත්වයට අමතරව, ජල ප්‍රභවයක් ලෙසත්, වාතය පිරිපහදු කිරීම හරහාත් වනාන්තර ඉමහත් පාරිසරික සේවා සපයනවා. මේවාට ආර්ථීකමය වටිනාකම් ගණනය කළ විට එහි අගය ඉතා ඉහළ බව කාටත් පෙනී යනවා.”
මේ පාරිසරික සේවාවල අගය ආර්ථික විද්‍යාඥයන්ට හා දේශපාලකයන්ට සන්නිවේදනය කිරීම දුෂ්කර එහෙත් අවශ්‍ය කාරියක්. “නොයෙක් සමාජයීය අවශ්‍යතා සඳහා කැලෑ බිම් නිදහස් කරන්න යයි අපට නොයෙක් ඉල්ලීම් නිල වශයෙන් ලැබෙනවා. පාරිසරික සේවාවල මූල්‍යමය අගය ගණනය කිරීමෙන් අපට වනාන්තරවල වටිනාකම ගැන ඔවුන්ට තේරෙන බසින්ම කියා දීමට හැකි වනවා,” යයි සතුරුසිංහ කියනවා.
මේ පිළිබඳව පර්යේෂණ කරන මෙරට සිටින ප්‍රවීණතම උද්භිද විද්‍යාඥයකු වන පේරාදෙණිය සරසවියේ සම්මානිත මහාචාර්ය නිමල් ගුණතිලක කියන්නේ වනාන්තරවලින් ලැබෙන භෞතික සම්පත් (දැව, ඖෂධ පැළෑටි, මීපැණි ආදිය) ගැන යම් අවබෝධයක් සමාජයේ තිබෙතත් පරාගනය, ජල චක්‍රය හා මූලද්‍රව්‍ය චක්‍රවලට ලැබෙන සොබාවික නියාමනය මෙන්ම වනාන්තරවලින් දේශගුණයට කැරෙන යහපත් බලපෑම් ගැන බොහෝ දෙනා හරිහැටි නොදන්නා බවයි.
මේවාට මූල්‍යමය අගයන් දුන් විට ඩොලර් බිලියන් ගණනක පාරිසරික සේවා වනාන්තර සපයන බව පරියේෂණාත්මකව පෙන්විය හැකියි.
“දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අප ක්‍රමයෙන් හරිත ආර්ථීකයකට (green economy) යොමු විය යුතුයි. එම දුෂ්කර සංක්‍රාන්තියේ එක් වැදගත් පියවරක් වන්නේ අපේ සොබාවික වනාන්තර රැක ගෙන, වන සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමයි.” මහාචාර්ය ගුණතිලක කියනවා.
වනාන්තර රැක ගැනීම හා වන සම්පත් කළමනාකරණය ගැන මහජන අවබෝධය වැඩිදියුණු කිරීමද අවශ්‍යයි. සමහරුන් වන බිම් යනු ඉඩම් අපතේ යෑමක් ලෙස සලකන අතරේ තවත් අය හැම වන බිමක්, හැම ගසක්ම මුළුමනින් රැක ගත යුතු බව කියනවා. මේ අන්ත දෙකම අහිතකරයි.
ඍෑෲ+ මාධ්‍ය හමුවකදී පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මෙබඳු විග්‍රහයක් කළා.
“ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3,000ක් පමණයි. මේ ප්‍රශ්නය පමණක් අල්ලා ගෙන වසර හයක් පමණ පුරා සමහරුන් කථා කරන විට, එම කාලය තුළ වසරකට හෙක්ටෙයාර් 8,000 බගින් හෙක්ටෙයාර් 48,000ක පමණ වන බිම් පමාණයක් රට පුරා අපට අහිමි වී තිබෙනවා. ඒත් එසේ අහිමි වූ සෙසු වන බිම් ගැන උද්ඝෝෂණ කෝ?”‍
වන සම්පත් හා මහජන ආකල්ප ගැන ඉදිරි ලිපියකින් තවත් විග්‍රහ කරනවා.
වැඩි විස්තර සඳහා බලන්න නිල වෙබ් අඩවිය: www.redd.lk