මේ යක්‍ෂයා බැඳ දමනු


kathu

අවුරුදු තිහක යුද්ධයකින් පසු ව තව ගෙවී ඇත්තේ අවුරුදු අටක් පමණෙකි. මේ අවුරුදු අටක කාලය තුළ දී වත්, පෙනෙන්නට තිබෙන පරිදි ඉදිරි දශකයක කාලයක දී වත්, අවුරුදු තිහක යුද්ධයෙන් හා ඒ හා බැඳුණු වාර්ගික ප්‍රශ්නයෙන් සතුටුදායක ලෙස ගොඩ එන්නට ලංකාවට හැකි වන බවක් පෙනෙන්නට නැත්තේ ය.
ඒ අතර තවත් යක්‍ෂයා අලුත් වටයකින් ගමන් ආරම්භ කොට තිබේ. එක ම රටක වසන සියයට දොළහක් පමණ වන සහෝදර දෙමළ ජනතාව සමඟ අවිශ්වාසය, සැකය ඇතිකර ගැනීම නිසා ඇති තරම් බැට කෑ අපට, තවත් සියයට දහයක් පමණ වන සහෝදර මුස්ලිම් ජනතාව සමඟ ද සැකයක්, අවිශ්වාසයක් ඇති කරන්නට දැනුවත් ව වැඩ කරන යක්‍ෂයා අලුත් වටයකින් ගමන ආරම්භ කොට තිබේ.
මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේත් කරළියට ආ මේ සිවුරු පොරවා ගත් යක්‍ෂයාට ඇති තරම් අනුග්‍රහය ද, අනුමැතිය ද ඒ පාලකයන්ගෙන් ලැබිණ. එවකට සිටි ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, එළිපිට ම මේ යක්‍ෂ බලවේගයට සහාය පළ කළේ ය. සිනා මුසු මුහුණින් ඔවුන් හා පයුරුපාසානකම් පැවැත්වීය. ඔවුන්ගේ අධ්‍යාපන ආයතන විවෘත කරන්නට ආරාධනා ලැබ ගියේ ය. ඔහුගේ වැඩිමහල් සහෝදර පාලකයා, මේ යක්‍ෂ ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් කළ කිසි ම අපරාධයකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකරන්නට වග බලා ගත්තේ ය. අවසානයේ ඒ හයිය ගත් යක්‍ෂයා නිදැල්ලේ හැසිරෙමින් රට පුරා මහා විනාශයක් කළේ ය. අලුත්ගම දී ඔහු ඇවිළ වූ ජාතිවාදී ගින්නෙන් සහෝදර මුස්ලිම්වරුන්ගේ දේපළ හා ජන ජීවිතය එක රැයෙකින් විනාශයට පත්විය. එහෙත්, නීතිය ක්‍රියාත්මක වුණේ යක්‍ෂයාට විරුද්ධ ව නොවේ.
ඒ යක්‍ෂයාගේ ක්‍රියාකාරිත්වය නිසා රටේ මුස්ලිම් ජනතාව ඇති තරම් පීඩාවටත් සිත් තැවුලටත් පත්වූවාහු ය. මර බියෙන් රෑ නිදි මරමින් කල් ගත කරන තත්ත්වයක් ඔවුනට උදා විය. ඒ මර බියෙන් මෙහෙයවන ලද ඔවුහු ජනාධිපතිවරණයේ දී මුළුමනින් ම රාජපක්‍ෂවරුන්ට විරුද්ධ ව පෙරමුණ ගත් හ. පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන්නට එක් හේතුවක් නම් එය යි. එනයින් යක්‍ෂයා මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ මිනීවළ කපා දුන්නේ ය.
අවාසනාවකට මෙන්, අද යළිත් සිදු වෙමින් පවතින්නේ ද එය යි. අදත් මුස්ලිම් ජනතාව ඉන්නේ මරණ බියෙනි. තමන්ගේ ව්‍යාපාරයට, පල්ලියට, නිවෙසට කොයි මොහොතේ ජාතිවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වේ ද යන බියෙනි. ඒ බියට හේතුව උපදින්නේ ඒ එකම යක්‍ෂයා වෙතිනි. අදත් ඔහු නිදහසේ සැරිසරයි. ඉතින්, යහපාලන ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් සහෝදර මුස්ලිම් ජනතාව බියෙන් නිදහස් වූවාහු ද?
ජාතිවාදය, ආගම්වාදය හා ෆැසිස්ට්වාදය පතුරුවමින් රට පුරා යන එන මේ යක්‍ෂයා ඇත්ත වශයෙන් ම සිටිය යුත්තේ නිදැල්ලේ නොව සිරගෙයක් තුළ ය. මුස්ලිම් මෙන් ම සිංහල සාමකාමී මහජනතාවගේ රැස්වීම්වලට, සිද්ධස්ථානවලට කඩා පැන, දේපළවලට කඩා පැන ප්‍රචණ්ඩත්වය පැතිරවීම ගැන දැනටත් ඔහු ඉන්නේ උසාවි ගණනාවක් ඉදිරියේ චූදිතයකු හැටියට ය. සමහර නඩු සම්බන්ධයෙන් ඇඟ බැඳ ය. ඒ අතර, උසාවියට අපහාස කිරීමේ චෝදනා එල්ල වී උසාවිය ද මඟ හරිමිනි. ඔහුට අනුව, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කිසිවක් කර කියා ගත නොහැකිවුන් ය. තමා නීතියට, උසාවියට යටත් වන්නෙක් නොවේ. ඒ සියල්ලටමත් වඩා සහෝදර මුස්ලිම් ජනතාවගේ ආගමික නායකයාට පහත් ආකාරයට අගෞරව කරමින්, ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය වපුරමින්, අන්තවාදීන් අතළොස්සක් පිරිවරා ගෙන ඔහු රිසි සේ තැන තැන යමින් සිටියි. රට යළිත් ජාතිවාදී ආගම්වාදී ගැටුමක මුව විටෙහි ය. එහෙත්, රටේ නීතියත් පොලිසියත් නිහඬ ය. භාවනාවෙන් දවසේ වැඩ අරඹන පොලිස්පතිවරයා නීතිය නවමින් පිළිකුල් භාවනාවේ යෙදී සිටියි. සරසවි සිසුන් හතර අතින් වට කොට එළව එළවා පහර දෙන පොලිසිය මේ යක්‍ෂයා ඉදිරියේ නිවටකමේ ප්‍රතිමූර්තිය බවට රූපාන්තරණය වෙයි.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සංහිඳියාව හා සාමය ගැන නිතර කියති. දැන් පැමිණ ඇත්තේ ඒ ඇත්තදැයි පරීක්‍ෂණයට ලක්වන මොහොතයි. සාමය පවත්වා ගැනීමට අවශ්‍ය සියලු බලය පොලිසියට දුන්නායැ’යි අත පිසදා ගෙන සිටින්නට හැකියාවක් රටේ නායකයන්ට නැත. රටේ ජාතික හා ආගමික ගැටුමක් යළි ඇති නොවන්නට තමන්ගේ දේශපාලන අධිෂ්ඨානයත් උනන්දුවත් ඔවුන් දැන් ප්‍රදර්ශනය කළ යුතු ය.
ඒ නිසා පළමු ව යක්‍ෂයන්ට එරෙහි ව කොන්දේසි විරහිත ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඔවුහු සුළු පිරිසකි. මාධ්‍ය හරහා පෙන්වන අසභ්‍ය විකාර හැර ඔවුන්ට ඇති මහජන බලයක් නැත. සාමය සංහිඳියාව හා ජාතීන් අතර සහෝදරත්වය අගයන ජනතාව ඉන්නේ ඔවුන්ට වඩා දසලක්‍ෂ ගුණයකිනි. අන්තවාදීන් අතළොස්සකට කිසි ම යහපත් සමාජයක ඉඩක් තැබිය යුතු නැත. ඔවුන් සමස්ත සමාජයට ම මිනීවළ කපන්නෝ ය. ඒ නිසා සමාජයක් හැටියට අප සියල්ලන්ම ද මේ යක්‍ෂන්ට එරෙහි ව නැගී සිටිය යුතු අවස්ථාව එළැඹ තිබේ.■