බතික් බතික් සලාපුරේ බතික්


bathik

කේ සංජීව

බතික් කිව්වාම එන්නේ වර්ණවත් බව ගැන හැඟී මක්.. අනෙක් පැත්තෙන් සුවදායක සිසිලසක මතකයක්.. ඒ බතික් බවට පත්වෙන්නේ කපු රෙද්ද නිසා. ලංකාව සමකය ආසන්න රටක් හින්දා අවුරුද්ද පුරාවටම නොකඩවා හිරු අපිත් එක්ක ඉන්නවා.. ඒ නිසා මාස දෙකතුනක ඇරෙන්න අනෙක් කාලවල ඇඟට දැනෙන්නේම දාහය. හැබැයි මේ දාහයට ඔරොත්තුදෙන ඇඳුම් අපි අඳින්නේ නැහැ. කාට හරි වුවමනා වුණොත් අඳින්න ඒ ඇඳුම් හරිම ගණන්. හැබැයි ඒ වෙනුවට සීත රටවලට ඔරොත්තු දෙන රළු ඇඳුම්වලට තමයි අපි කැමති. ඒ වාගේම අපේ රටේ ලාබෙට තියෙන්නේත් ඒ ඇදුම්. ඒකට හේතුව අපිට ගැළපෙන්නේ නැති දේවල් වැළඳගන්න අපි සන්තකේ තියෙන මාරාන්තික ආසාව වෙන්න පුළුවන්.
මේ සේරම කතා කියන්නේ බතික් ගැන කතාකරන්න පාරක් හදාගන්න.. බතික් කියන්නේ ගොඩක් වෙලාවට කපු නිසා මේ ඇඳුම් අපිට හරියටම ගැළපෙනවා. හැබැයි බතික් අපි අතඇරලා.. හේතුව අධික වීම මිල වෙන්න පුළුවන්.. නැත්නම් අපේ දේශගුණයට අපිට හරියටම ගැළපෙන ඇදුම් තෝරාගන්න අපිට තියෙන නොදැනුවත්කම වෙන්නත් පුළුවන්. අනික් පැත්තෙන් බලධාරියෝ හිතනවා නම් මේ ඇඳුම් අඩුවට නිෂ්පාදනය කරන්න, ඒ වෙනුවෙන් වැඩක් හදන්නත් අමාරු නැහැ.
අපි කෙලින්ම කතාවට බහිමු. මම බතික් හොයාගෙන සලාපුරේ නැත්නම් හලාවත මාරවිලට ආවා. මාරවිලෙන් තල්විලට.. තල්විලට එහායින් කොස්වාඩිය. කොස්වාඩිය තමයි සලාපුරේ විතරක් නෙවෙයි ලංකාවේම බතික් කේන්ද්‍රය. බතික් කියන්නේ පාට. නෙක වර්ණ මුසුවෙච්ච ඇඳුම්.. රෙදි. ඉතිං මේ පාටපාට ලෝකය අස්සට යන්න කලින් බතික් ගැන ඉතිහාසය ටිකක් අවුස්සමු.

බතික් අතීතය
බතික්වල උපත ගැන කතාව එන්නේ ජාවා දුපත්වලින්. අදටත් ඉන්දුනීසියාව තමයි බතික් නිෂ්පාදනය කිරීම අතින් කප්එක ගහලා තියෙන්නේ. ඉන්දුනීසියාවේ ජාවා දූපත්වල ඉපදුණා කියලා සැලකෙන මේ කලාව අද ඉන්දුනීසියාවේ ජාතික උරුමයක්. ඒ වාගේම ඉන්දුනීසියාව අස්සේ කෙරෙන මේ බතික් කලාව අද යුනෙස්කෝ උරුමයක්. ඉන්දුනීසියාවේ රජයත් තමන්ගේ රටේ මිනිස්සු අස්සේ බතික් ඇඳුම් ප්‍රචලිත කරන්න ලොකු මහන්සියක් ගන්නවා. මේ කර්මාන්තයේ දියුණුවට ඔවුන් නිතරම අතහිත දෙනවා. ඒ නිසාම අද ලෝකයේ බතික් ඇඳුම් අපනයනය කරන රටවල් අස්සේ ඉන්දුනීසියාව ඉහළින්ම ඉන්නවා. ඔවුන් අද තමන්ගේ බතික් ඇඳුම් නිෂ්පාදන සඳහා යුරෝපයේ ඇමරිකාවේ ස්ථිර වෙළෙඳපොළක් සොයාගෙන.
බතික් කලාවේ පදනම වෙන්නේ ඉටි සහ වර්ණ. ඉටිවලින් වැක්ස් කිරීම අස්සේ තමයි මේ කලාවේ වර්ණ හැඩතල මතුවෙන්නේ. එතකොට මේ කලාවේ මූලයන් ක්‍රිස්තුපූර්ව 4වැනි සියවසේදී විතර ඊජිප්තුවෙන් මුණගැහෙනවා. ඒ වාගේම චීනය ජපානය වගේ රටවල ඇඟළුම් කර්මාන්ත ඉතිහාසය පිරික්සනකොට මේ කලාවේ යම් ලකුණු සොයාගන්න පුළුවන්. කොහොම හරි මේක කලාවක් විදියට ප්‍රචලිත වෙන්නේ ඉන්දුනීසියාව මැලේසියාව සිංගප්පූරුව පිලිපීනය බංගලිදේශය ශ්‍රී ලංකාව වගේ රටවල තමයි. යටත්විජිතකරණය අස්සේ ලන්දේසි යුගයේදී තමයි මේ කලාව ලංකාවට එන්නේ. මේ ඉතිහාසය ගැනත් රණ්ඩු එමටයි. කොහොම හරි ලංකාවේ අස්සේ මේ කලාව මෑත යුගයේදී වැඩියෙන්ම ප්‍රචලිත වෙන්නේ 1970 දශකයේදී. ඒ ගෘහ කර්මාන්තයක් විදියට. හැබැයි දැන් ගොඩාක් තැන්වල ගෘහ කර්මාන්තයන් අභාවයට ගිහිං, නැත්නම් යමිනුයි තියෙන්නේ. නුතන තරගකාරී වෙළෙඳපොළ අස්සේ ඒ පුංචි පුංචි කර්මාන්තයන්ට රැකෙන්න අමාරුවෙලා. හැබැයි තරමක් ලොකු සහ නවීන දැනුමත් එක්ක මුසුවෙලා මේ ගමන යන්න උත්සාහ කරන කර්මාන්තයන් තවමත් මේ ප්‍රදේශයේ අඩු නැහැ. හැබැයි පොදුවේ බතික් වසන්තයක් නම් දැන් මාරවිල තල්විල කොස්වාඩිය නාත්තණ්ඩිය වගේ මේ ප්‍රදේශවල දකින්න නැහැ.

බතික් කලාව
‘මුලින්ම සුදු කපුරෙද්ද ගන්නවා. ඊළඟට අපි හිතමු අපි හදන්නේ බතික් සරොමක් කියලා. එතකොට ගොඩක් වේලාවට එකේ බෝඩරේට තමයි රටාව එන්නේ. අපි ඒ ඩිසයින් එක ටේ්‍රසින් එකක ඇඳගන්නවා. ඊළඟට ටේ්‍රසින් එක තියලා ඒක යටින් කාබන් කොලයක් තියලා ඒක යටට සරොම තියනවා. මේ විදියට අපිට එක සැරේකට සරොම් දහයක් විතර ඇඳගන්න පුළුවන්. ඊළඟට ටේ්‍රසින් එක උඩින් තමයි අඳින්නේ. ඊළඟට අපි ඒ රටාව ඉටිවලින් වැක්ස් කරගන්නවා. ඊළඟට තමයි ඩයි (වර්ණ ගැන්වීම) කරන තැනට මේ රෙද්ද යන්නේ. මුලින්ම එතැනදී කරන්නේ නැප්තොල් දියර තියෙන ටැංකියට රෙද්ද දාලා හොඳට අතගාන එක. එතකොට රෙද්ද කහපාට වෙනවා. ඊළඟට ලු‍ණු වතුරේ පොඟවනවා. ඊට පස්සේ වතුර බේරෙනකම් වනලා තියලා ඩයි එකේ හොඳට දාලා පොඟවනවා. අපි හිතමු දැන් අපි දැම්ම කලර් එක නිල් කියලා එතකොට අර වැක්ස් කළ රටාව ඇරෙන්න ඉතුරු පසුබිම හැම තැනම නිල්පාට වෙනවා. ඊට පස්සේ අපි මේක තම්බනවා. එතකොට අර වැක්ස් කළ ඉටි සේරම අයින් වෙනවා. ඊළඟට අපි හිතමු මුලින් වැක්ස් කළ රටාවට කහපාට දෙන්න ඕනෑ කියලා. එතකොට රටාව ඉතුරුකරලා මුලින් පාටකරගත්ත නිල් පසුබිම ඉටිවලින් වහගන්නවා. ඊළඟට පළවෙනි ක්‍රමයටම නැප්තෝල්, ලු‍ණුවලින් පස්සේ කහපාට සායම් තියෙන ටැංකියට දානවා. සාමාන්‍යයෙන් අපි මේ විදියට පාට තුනකින් තමයි වර්ණ ගන්වන්නේ.’ තල්විල ෂැඩෝ බතික් ආයතනයේ හිමිකරු ක්‍රිෂාන් බතික් කලාව ගැන කතාව පටන්ගත්තේ මෙහෙමයි.
නැප්තෝල්වලට ලු‍ණුවලට නේක වර්ණවලට වෙන්වෙච්චි එකේක ටැංකි මෙතැන නිර්මාණය කරලා තියෙනවා. කාන්තාවන් දෙන්නෙක් දිගු අත්මේස් පැළඳගෙන යුහුසුළුව වැඩ. ඉක්මනට ටැංකිවලට දාන්න ඕනෑ, ගන්න ඕනෑ, දිය සිඳෙන්න වැලේ වනන්න ඕනෑ. මේවා කරන්නේ වළලු‍ දාපු අත්වලින් තමයි. ඊළඟට තම්බන පැත්තේ නම් ගොඩක් වෙලාවට හැප්පෙන්නේ පිරිමි. හැබැයි මේ බතික් ආයතනයේ නම් හැම දෙයක්ම කෙරෙන්නේ ගැහැනු අත්වලින්ම තමයි. ගිනි කබලක් හිනැහෙනවා. ඒ උඩ ඉඳගත්ත හට්ටියක් පැරපින් ඉටි දියකරලා තියාගෙන ඉන්නවා මේ ගැහැනුන්ගේ අත්වල රැඳිලා තියෙන බුරුසුවල දැවටෙන්න. ඊළඟට කපු රෙද්දේ තාවකාලිකව ඇළවෙන්න.
දුම් කාගෙන රටා වසන මැඩෝනා
මම මැඩෝනා ළඟට ගියා. මැඩෝනා හිනාවකින් මුහුණ සරසාගෙන බරටම වැඩ. මොකද්ද ඔය කරන්නේ? මම කතාවට වැටුණා. ‘වැක්ස් කරනවා.’ මොකද්ද මේ ළිපේ ගොජදාන්නේ? ‘ඉටි. ඒක රස්නෙට තියෙන්න ඕනෑ. නැත්තං රෙද්දට හොඳට අල්ලාගන්නේ නැහැ. මම මෙතැන කරන්නේ ඉටි ගාන එක විතරයි. මෙතැන වැඩකරන අපි හැවෝටම ගෙවන්නේ කෑලි ගානට. රටාව උඩ හරියට ගන්න ඕනෑ. පිට ගියොත් වරදිනවා. හිත මෙතැනම තියාගෙන තමයි වැඩකරන්න ඕනෑ. මුලින් මුලින් නම් අමාරුයි. හැබැයි දැන් ලේසියි. මම දැන් බතික් වැඩවලට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. ලොකු රෙද්දක ගානවා නම් රුපියල් 300ක් ගෙවනවා. ස්කාෆ් එකක් නම් රුපියල් 50යි. සරමකට රුපියල් 30යි. කැන්ඩියන් එකක් කළොත් රුපියල් 500යි. හුඟාක් වේලාවට එක රෙද්දේ තුන්පාරක් විතර ඉටිවලින් වහන්න වෙනවා. සීසන් කාලෙට නම් මාසෙට විසිදාහ හොයනවා. අනික් කාලවලට රුපියල් හත්අට දාහ තමයි ගන්නේ.’
මැඩෝනාට දුවලා දෙන්නෙක් එක පුතෙක් ඉන්නවා. ඉස්කෝලේ යන වයසේ. ඇය අවුරුදු දහයක් තිස්සේ බතික් රටාව ලස්සනට මතුකරගන්න ඉටි තවරනවා. මේ පැරපින් ඉටි. මී ඉටි ගන්නවා කියලාත් කියනවා. කොහොම හරි බතික් කළ රෙද්ද තම්බන්න බොයිලේරුවට එබුවාට පස්සේ මේ ඉටි කට්ටයක් විදියට බෝයිලේරුවේ වතුර උඩ පාවෙනවා. ඒවා ආයෙත් පාවිච්චියට ගන්නවා. හැබැයි ඉටි කිලෝ එකක් මුලින්ම උණු කළොත් එකෙන් 50%ක් විතර තමයි ආයෙත් පාවිච්චි කරන්න ගන්න වෙන්නේ. මේ බොයිලේරු ළඟ වැඬේත් එපාවෙන වැඩක්. ඒ තරමට එතැන රස්නෙයි. සියුමැලි ගැහැනු අඟුරු වෙයි කියලා හිතෙනවා. කොහොම හරි ජීවිතයට පාට ඉසින්න මේ මිනිස්සු ගැහැනු මේවා ළඟ රස්සාව කරනවා. ළිප් තුනක ලීකුඩු අඟුරු වෙනවා. ලොකු යකඩ බැරල් තුනක් ඒ ළිප් උඩ නළියනවා. මේ බැරල් දෙකකම තියෙන්නේ වතුර. එකක සබන් කුඩු මිශ්‍ර වතුර. ඒ හොඳට ඩයි හේදිලා රෙද්ද ලස්සන නිමාවකට ගෙනෙන්න. අවසානයේ වෙළෙඳපොළට යනකොට එක ඩයි බිඳක් හෝ වැරදි විදියට තිබුණොත් ඒ රෙද්ද රිටර්න් තමයි. බතික් නිර්මාණයක් ගොඩක් වෙලාවට අඳින තැනදී වරදින්න පුළුවන්. ඊළඟට වැක්ස් කරන තැනදී. ඊළඟට සෝදන තැනදී.

බතික්මයි ජීවිතේ
මට නියම බතික් ආර්ටිස්ට් කෙනෙක් හම්බවුණා. අපි මුලින් කතාකළේ මෝස්තරය ඇඳගෙන ඒක ඉටිවලින් වහලා, ඒ මෝස්තරය මතුකරගන්න ක්‍රමයේ බතික් ගැන. තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයේදී පින්සලක් පාවිච්චි කරලා කෙළින්ම රෙද්ද උඩ වර්ණ රටාව ඇඳගන්නවා. මේ විදිහට රටාව ඇඳගත්තාට පස්සේ ආයෙත් අර මුලින් කියපු පරණ ක්‍රමයටම තමයි රෙද්ද නිමාවට එන්නේ. මේක හරි අමාරුයි. මේක හොඳට කරන්න හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනෑ. ඉතිං මට තල්විලදී හමුවුණ සමන්ප්‍රිය මහත්තයාත් එහෙමයි. බතික් කාලා වතුර බීපු මිනිහෙක් තමයි සමන්ප්‍රිය. මනුස්සයා මේ කලාවට කොච්චර ආදරෙයිද කියනවා නම් දැන් වචනයක් කතාකළොත් ඒ හැමතැනම තියෙන්නේ බතික්. ඉස්සර බතික් කලාවට තිබුණ තැන දැන් අහිමිවීම ඇතුළේ මේ කලාකරුවන්ටත් පියවි ජීවිතය අහිමිවෙලා. දැන් සිහින ලෝකෙක තමයි ඉන්නේ. ඇත්තටම ලංකාවේ කලාවට කලාකරුවාට උරුමවෙච්චි පොදු කරුමයක් තමයි මේක. අපි කොහොමහරි අමාරුවෙන් සමන්ප්‍රිය එක්ක කතාකළා.
‘සිංහ කටේ ඩග්ලස් තමයි මෙහාට ඉස්සෙල්ලාම බතික් ඇරගෙන ආවේ. ඒ විදියට ඩග්ලස් බතික්, බුද්ධි බතික්, ස්ටැන්ලි බතික්, එරික් බතික් කියලා බතික් කරන තැන් ගොඩාක් ඒ කාලේ මාරවිල මේ අවට තිබුණා. දැන් නම් ගොඩක් බතික් කරන තැන් වැහිලා. බසාර් එක නැතිවුණා ඒකත් එක හේතුවක්. බසාර් එක තියෙන කාලේ අපිට එයාලා රෙදි දීලා කෑල්ලකට ගණනක් ගෙව්වා. දැන් හොඳට මේ වැඬේ කරන්නේ බුද්ධි බතික් විතරයි. හරියට සාරියක් කළොත් ලක්ෂ එකහමාරකට විකුණන්න පුළුවන්.’‍ සමන්ප්‍රිය කියන්නේ හොඳ බතික් ශිල්පියෙක් බිහිකරන්න මාස තුනක් ඇති කියලා. අපි අන්තිමට සමන්ප්‍රිය අලු‍තින් පටන්ගත්ත නිර්මාණය බැලු‍වා. සමන්ප්‍රිය මහත්තයාගේ බිරිඳ කියන්නේ ඔහු මේ නිර්මාණයත් එක්ක මේ දවස්වල හොඳටම නොසන්සුන් කියලා. සමන්ප්‍රිය කලාකරුවාගේ බතික් සිහිනය නිසා අද ඔහු මානසිකව නොසන්සුන්. ඒක තමයි මේ වාගේ සම්ප්‍රදායික කලාවන්ට ලංකාවේ උරුම තත්ත්වය.

වෙළෙඳපොළ
අද ලංකාවේ බතික් අඳිනවා කියන්නේ ඔහු ටිකක් උසස් සල්ලි තියෙන මනුස්සයෙක් කියන එක. කඬේකට ගිහිං බතික් සරමක් ෂර්ට් එකක් ගවුමක් ඔසරියක් ගන්න ගියාම සෑහෙන්න ඉහළ මුදලක් වියදම් කරන්න වෙනවා. හැබැයි මේ කලාකරුවන්ට ඒ මුදලින් සොච්චමක් තමයි ලැබෙන්නේ. අනික රෙදි තොගයක් කඬේට දැම්මාම ලැබෙන චෙක් එක මාරුවෙන්න මාසයකට වැඩිය කාලයක් යනවා කියලා තමයි මේ කලාකරුවෝ අපිට කීවේ. බුද්ධි බතික් වගේ තැන් බතික් ලෝකයේ අද වෙනකොට දුර ගමනක් ගිහිං. ඒ නවීන තාක්ෂණය සහ ෆැෂන් ඩිසයිනින් වගේ දැනුමත් එක්ක. හැබැයි අපිට තල්විලදී හමුවුණ ෂැඩෝ බතික්, සමන්ප්‍රිය බතික් එතරම් දුරක් ගිහිං නැහැ. ඒකට හේතුව දැනුම තාක්ෂණය දීලා උදව් කරන්න කෙනෙක් නැතිකම.
අනික බතික් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අධික නිසා. ෂැඩෝ බතික් හිමිකරු ක්‍රිෂාන් නැවත අපිට කතා කළා.
‘මමයි නෝනායි අපි දෙන්නාම ඉතාලියේ හිටියා. මම අවුරුදු හතක් ඉතාලියේ හිටියා. සල්ලි හම්බවුණාට ඒ ජීවිතය එපාවෙනවා. එහේ ඉදලා ඇවිත් තමයි මේ බතික් කර්මාන්තේ පටන්ගත්තේ. අපිට අවුරුදු කාලේට නත්තල් කාලේට හොඳයි. අනික් මාසවලට ටිකක් වැඩ අඩුයි. අපිට දවසට සරොම් නම් 10ක් විතර තමයි කරන්න පුළුවන්. ඔසරි වගේ වුණොත් 3කට වැඩිය බැහැ. දැන් සායම් කළු කිලෝ එකක් රුපියල් 11500ක් විතර වෙනවා. සරොම් 50යි උපරිම හදන්න පුළුවන්. ඉටි කිලෝ 50ක් 12500ක් වෙනවා. මේවා සේරම ඉන්දියාවෙන් චීනයෙන් තමයි ගෙනෙන්නේ. ඉතිං සරමක් අපි උපරිම 750කට කඬේට දායි. මේ තත්ත්වයත් එක්ක මේ කර්මාන්තේ දුෂ්කර අඩියක තමයි තියෙන්නේ.’
බතික් කර්මාන්තෙට උරුම මේ දසාවත් එක්ක දැන් බතික් එක්ක ගැහැනු මිනිස්සු එකතුවෙනවා හරි අඩුයි කියලා තමයි කියන්නේ. තරුණ පරම්පරාව මේ රස්සාවට ආවත් වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. ඒ එක පැත්තකින් මේ රස්සාවේ තියෙන දුක්ඛිත තත්ත්වය නිසා. මේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන් නවීන තාක්ෂණය සහ දැනුම එක්ක ඉතා ඉක්මනින් සමපාත කළ යුතුයි.■