අඩියක් ගහනවා නම් මිනිහා ගහේ බඩු


adiyak

ටිරන් කුමාර බංගගමආරච්චි 

මිනිස්සු කියන්නෙම ඉතිහාසයක්. ගෙවුණු අතීතයේ නොගෙවුණු මතක ඒ ඉතිහාසයට සාක්ෂි සපයනවා. මම දැන් ඉන්නේ එහෙම ඉතිහාසයක් ඉදිරිපිට.
ඇම ගිලපු මාළුවා වගේ යොත දිග තියෙනකම් ඒ කතාව දිගේ මාත් ඇදෙනවා.
කතා කරපං කතා කරන ඒවයෙන් තමයි මිනිස්සු තේරෙන්නේ. මම මටම කියාගන්නවා. මම ඇහුම්කන් දෙන්න ආස ඒකයි.
ඇන්ටන් ජෝ. ඒ ඔහුගේ නම. පදිංචිය මට්ටක්කුලිය. ඒ එයා කියපු විදිහ.
බෝතලයක් දෙකක් හිස් කරන්න කියාපු බඩුව. කතාබතා අස්සේ බෝතලේ අඩිය පෙනෙන්නේ දන්නෙම නැතිව. අඩියක් ගහනවා නම් මිනිහා ගහේ බඩු.
ඔහුගේ මුළු සිරුරම වචන ගොඩක්. ඒ මම හිතන හැටි.
‘ඇත්තම කියනවා නම් මචං මම දෙමළ. ඒත් දෙමළ කියන්න බෑ. මොකද පුංචි කාලේ ඉඳලාම කට ගෑවේ සිංහල. දෙමළ දන්නේ නැති දෙමළ අය ඉන්නවාද බං. මේ ඉන්නේ ඇන්ටන් එකින්ම වරද පිළිගන්නවා.
මම මචං බුලත්විට කනවාට විරුද්ධයි. අපේ අල්ලපු ගෙදර එකා බුලත්විට කනවා.’
‘ඇයි තැන තැන කෙළ ගහනවාටද?’ අපේ සමාගමේ එකෙක් ඇන්ටාට ප්‍රශ්නයක් වක්කරනවා.
‘පිස්සුද බං. බුලත් කෙළ ගහන්නේ නැතිව කෙළ ගිලින්නයැ. බුලත් කන එකාට ප්‍රමිතියක් නෑ බං. ඌ හිඟන්නාගේ අතේ තිබුණත් ඉල්ලාගෙන කනවා.’ ඒ ඇන්ටගේ විග්‍රහය.
පත්තරකාරයෝ අතර ඇන්ටන් ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන් අතර ඇන්ටන් ප්‍රවීණයෙක්. කොටින්ම ඇන්ටන්ගේ වෘත්තිය ඡායාරූප ගැනීම. ඔහු වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක්.
‘අපි මට්ටක්කුලියේ ඉන්න කොට ගෙවල් දෙකක් විතර එහා පදිංචි කෙනා ළඟ කැමරාවක් තියෙනවා. බොක්ස් එකක් වගේ. මේ 1971 මම ඉස්කෝලේ කෙළවරේ හිටියේ. මට මාර ආසයි අර කැමරාවට. මම කෙළින්ම ගිහින් අංකල් බැරිද මට කැමරාව උගන්වන්න කියලා ඇහැව්වා. මිනිහා ගත් කටටම කිව්වා පිස්සුද මේවා කොච්චර වටින බඩුද කියලා. ඇත්තටම ඒ කාලේ කැමරාවක් තියෙනවා කියන්නේ කාර් එකක් තියෙනවා වගේ තමයි. ඉතින් එහෙව් එකක් මිනිහා මට දෙයිද? ඒක තේරුණේ ඇහැව්වාට පස්සේ. බෑ කිව්වාටත් පස්සේ.’ මිනිහා කට කපලා හිනා වෙනවා. මම කියවනවා. ‘උඹලා ඇරලා දානවා නේද? අසාධාරණයි බං.’ ඇන්ටා බෝතලය දිහා බලාගෙනම හතර අතේ වනනවා.
‘කොහොමහරි දැන් මට කැමරා පිස්සුව. මේක හොඳ කරගන්න විදියක් හොයන කොට ගෙදර මතක් වෙනවා. ඉල්ලීම් දිනාගන්න ඕනෑ ගෙදරින්ම කියලා හිතෙනවා. මොකද අපේ ගෙදර ගෑනුම හතරක් ඉන්නවා. මේ හතරදෙනාම ලොකු ළමයින් වුණාම තාත්තා හොඳ වටින මාල දැම්මා. මම තාත්තාට ගිහිල්ලා ඒ සියල්ල මතක් කරලා දීලා, මාත් දැන් ලොකු ළමයෙක්, මට මාල එපා, කැමරාවක් අරන් දෙන්න කිව්වා. කොහොම හරි ඉල්ලීමට අනුව ටික දිනකින් රුපියල් 500ක් හම්බ වුණා. අඬල අඬලා ගත්තේ.
ඒකත් අරගෙන ෆොටෝ ෆෝකස් එකට ගියා. ඒක තිබුණේ මල්වත්ත පාර සෝනි බිල්ඩිමේ. කොහොම හරි එතැනින් මට ගැළපෙන විදිහට රුපියල් 400කට එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් දන්න සෙල්ලම් දාලා එක එක්කෙනාගෙන් අහගෙන පින්තූර ගත්තා. අද වගේ හැම තැනම ඒ කාලේ ප්‍රින්ට් කරන්න බෑ. ඔක්කොම එන්නේ එක තැනකට. එහෙම රස්තියාදු වෙනකොට මෙන්න එතැනට නියම බඩු එනවා. පත්තරවල කට්ටිය. මාත් කොහොම හරි කට්ටිය එක්ක යාළුවුණා. ශිල්පෙත් ටික ටික ඉගෙන ගන්නවා. පත්තරයකට යන්න ආසාවත් ඉපදුණා. ඒක තමයි මම 71දී කළ විප්ලවය.’ ඇන්ටා කතාවත් වෙරි කරනවා. අපි හිනා වෙනකොට එයා බයිට් කනවා.
‘ඉතින් පත්තරකාරයෝ දැකලා මාත් ආස හිතුණා. දැන් නම් පැත්ත හැරිලා බලන්න හිතෙන්නේ නෑ.’
ඇන්ටා කතාව අස්සේම ටොකුත් අනිනවා. මම මුලින්ම ගියේ ‘ප්‍රියාවි’ කියන පත්තරයට. විමලේන්ද්‍ර වතුරේගම මහත්තයා තමයි ඒක කළේ. සිරිල් සී. සීලවිමල මහත්තයාත් ඒකේ ලොක්කෙක්. මම මහ ලොකු ඡායාරූප ශිල්පියෙක් නොවන නිසා එකපාර පින්තූර ගන්නද කියලා ඇහැව්වොත් මාව ගන්නේ නෑ. මම ගිහින් ඇහැව්වා මාත් ලියන්නද කියලා. ඉතින් ලියන්න කිව්වා. ඉතින් ලියන්නද කියලා අහන්නම මම කීප පාරක්ම ගියා. විමලේන්ද්‍ර මහත්තයට කේන්ති ගියා. මේ අයිසේ දැන් දවස් කීයක් ආවාද ලියන්නද ලියන්නද ගගා. අන්න අතන ඉඳගෙන අදම ලියනවා. එයා නඩුකාරයා වගේ කිව්වා.
කොහොමහරි ලියන වැඬේ අස්සේ ෆොටෝ වැඬේට මම සෙට් වුණා. විමලෙන්ද්‍ර මහත්තයා මට මාර කතාවක් කිව්වා.
‘ඇන්ටන් පින්තූර ගන්නවා නම් මේක මතක තියා ගන්නවා. මට අනුව නම් පින්තූරයක් කියන්නේ නිව්ස් එකක්. තමුන් මඟුල් ෆොටෝ එකක් ගත්තත් ඒකේ මට නිව්ස් එක්ක තියෙන්න ඕනෑ.’ ඒක මම අදටත් අදහනවා. ඒක තමයි මම ගුරු කොට සලකන ඔවදන. ඔවදන කරේ තියාගත්තාට එතැන ඉන්න බැරිවුණා මචං. කොහොමත් අපිට එක තැනක ඉන්න බෑනෙ. එක්කෝ ඉන්න දෙන්නේ නැහැනේ.’ වෙන්න පුළුවන් හැම විදියම ඇන්ටා කියනවා. කාටවත් ඒකේ සිවිය අරින්න දෙයක් නෑ.
‘ඊළඟට ‘ශ්‍රී’ පත්තරේට පින්තූර දුන්නා. ශ්‍රියා රත්නකාර ඒකේ හිටියේ. ඔය අතරේ ‘දවස’ත් පටන් ගත්තා. දැන් මේ හැම එකකම මගේ පින්තූර යනවා. මම නිදහස් ඡායාරූප ශිල්පියෙක්. නිදහස් කියන්නෙ ඔය හැමෝටම දෙන්න පුළුවන් එකනේ.’
කතාව අස්සේ ඇන්ටා හිනාවෙන්න විරාම කලාප හදනවා.
‘ඔය කාලේ සුනිල් හොරේෂස් මට කිව්වා රංජිත් විජේවර්ධන පත්තරයක් පටන් ගන්නවා කියලා. කතාව අහපු ගමන් මම ගිහිල්ලා රංජිත් මහත්තයා හම්බවෙලා පත්තරයක් පටන් ගන්නවා නේද, මම ඒකට එන්නද ඇහැව්වා. එයා මගෙන් අහනවා, ඔයා කොහොමද දන්නේ අපි පත්තරයක් පටන් ගන්නවා කියලා.
මම කිව්වා මම පත්තරකාරයෙක් නේ කියලා. එයාටත් හිනා. හිනාවෙලා කිව්වා. ‘ඔයාට හැකියාව, උනන්දුව, දක්ෂකම තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම ඔයාව ගන්නවා. තව මාස හයකින් එන්න. මොකද පටන් ගන්නෙ තව මාස හයකින්’ කියලා.
මාස හයක් ගෙවුණා. කොහොම හරි මම ඒකට ගියා. ඒත් එක්ක ෆොටෝග්‍රැෆර්ලා තුනයි. බන්දු එස්. කොඩිකාර. ඩී. ගලප්පත්ති, ප්‍රසන්න හෙන්නායක. ඒ තුන්දෙනාම ඇවිත් හිටියේ කර්තෘලාගේ ආරාධනයෙන්. මම විතරයි චාමන්(චෙයාමන්)ගේ ආරාධනයෙන් ආවේ. හුටා දැන් මම චාමන්ගේ මිනිහා. කවුරුත් ගණන් ගන්නේ නෑ. මදැයි කල්තියා දුවගෙන ගිහිල්ලා කරගත්ත වැඬේ. මට පින්තූර ගන්න දෙන්නේත් නෑ. මම බත් එකක් බැඳගෙන යනවා. ඒක කාලා හවස ගෙදර එනවා. ඔය අස්සේ මට ආයේ ආරංචි වුණා ආතර් යූ. අමරසේන මහත්තයා පත්තරයක් පටන් ගන්නවා කියලා. එතකොට තිලක් රත්නායක එතැන වැඩ. නියම වැඩකාරයා තිලක්.’ ඇන්ටා තිලක්ව කරටම ගත්තා.
‘මම චාමන්ට ගිහින් කිව්වා සර් මම යනවා, මට ප්‍රශ්න කියලා. කවුද ප්‍රශ්න ගණන් ගන්නේ එයා කිව්වා. එයාට ප්‍රශ්න නොවුණාට මටනේ ප්‍රශ්න මම කිව්වා. මම සර්ගෙන් ආපු නිසයි මේ ප්‍රශ්න කියලා. එයා ගණන් ගනීද මම කියන ඒවා. මම ආවා එන්න. ඒ ඇවිත් අර පත්තරේ වැඩ කළා. ‘සිත්සර’ පත්තරේ නම. ඊට පස්සේ ‘සුරතලී’ පත්තරේ වැඩ කළා.’
හෙමිහිට පටන්ගත්තාට දෙකක් තුනක් දාගත්තාම ඉතිරිවා හලාගන්න හැටි දන්නේම නෑ වගේ තමයි ඇන්ටත් කතාව හතර අතේ යනවා. අපිළිවෙළට ගලාගියේ. කතා පිළිවෙළකට ගන්න ලේසි නෑ. ඉතින් ඇන්ටන් මතක් වෙන විදියට කතා පිටු පෙරළනවා. තැනින් තැන.
‘සිත්සර පත්තරේ මල්ටි ෆැක්ස් අය කරනකොට ඒකේම බන්දුල පද්මකුමාර, ‘කුමරි’ත් කළා. ඒත් කුමරි දිහා බලනවාට ආතර් මහත්තයා කැමති නෑ. මම අරකේ විතරයි.’
‘මේ අහපං. මේක මේක මරු කතාව.’ ඇන්ටන් පදමට එනවා.
‘ඒ කාලේ බොනියම්ලා, ඇබාලා මාර ජනප්‍රියයි. ඒ අය ඉන්න ගෘප් පින්තූර හරියට එනවා. ලංකාවේ ජනප්‍රියතම ගෘප් එක ‘සුපර් ස්ටාර්ස්.’ අර්නස්ට් පෙරේරා හරි හොඳ මනුස්සයා. දවසක් එයා පොඩි ළමයා වගේ මට කියනවා ඇන්ටන් බැරිද අර ඇබාලා, බොනියම්ලා වගේ අපෙත් ගෘප් පින්තූරයක් කරලා පත්තරේ දාන්න. මම එක පයින් හා කිව්වා. කර්තෘගෙන් ඇහැව්වෙත් නෑ. අර විදිහට කරලා අරගෙන ගියා. අප්පට සිරි මේ මොනවාද, මේවා දන්න බෑ. මේවා දාලා ඊළඟට රටේම ඉන්න සංගීත කණ්ඩායම් එයි එයාලාගේ ඒවාත් දාන්න කියලා ආතර් මහත්තයා වැඬේ ප්‍රතික්ෂේප කළා. මට හරිම අප්සට්. මට අප්සට් වෙනකොට මම කරන්නෙ ‘කුමරි’ දිහා බලන එක තමයි. (හිනා) ටක්ගාලා ආතර් මහත්තයා හරි හරි දාමු කියලා දැම්මා. වැඬේ නැගලා ගියා. එහෙම තැන් තැන්වල හිටියාට මම ආයේ කැරකිලා ලංකාදීපෙටම ගියා. මචං සීටීඕ බෝම්බේ පුපුරද්දී මම ඒ කිට්ටුව. මම දඩබඩ ගාලා පින්තූර ගත්තා. ඕක ආරංචි වුණා ලංකාදීපෙට. මට පින්තූර අරගෙන එන්න කිව්වා. මාත් ගියා. ඒ බෝම්බෙ තමයි මාව ලංකාදීපෙට ආයේ ඇරියේ.’ ඇන්ටා හිනා කනවා.
දැන් දැන් ඇන්ටන් කතාවට අමතරව රංගන දායකත්වයක් දානවා. දැන් පෙරට වඩා කතාවට ලතාවක් එනවා.
‘මේකත් අහන්න. මේකත් මරු.’ ඇන්ටන් අතරින් පතර මතක පිටු පෙරළනවා.
‘ලලිත් ඇතුලත්මුදලි මැරුණාම ආණ්ඩුවේ පත්තරවලට එන එක තහනම් කළා. ඒ නිසාම ප්‍රේමදාස මහත්තයා මැරුණාම ලංකාදීප, දිවයින පත්තරවලටත් ආවරණ තහනම්. දැන් යන්න එකෙක් නෑ. ඕනෑ ගුටිකන වැඩකට සිරි රණසිංහ මහත්තයාත් ඇරියේ මාවම තමයි. ඇන්ටන් හැබැයි පරිස්සමෙන්. එක්කෝ ඕනෑත් නෑ කියලා කිව්වා. ඒත් මම ගියා.
ඊට කලින් පොඩි දෙයක් තියෙනවා. මචං කියන්නං. මැයි පළවැනිදා බෝම්බය පිපිරුණා කිව්වාට ප්‍රේමදාස මහත්තයා මැරුණා කියලා කියන්නේ නෑ. ඔක්කොම රේඩියෝවට කන්දීගෙන ඉන්නේ. මම කිව්වා සිරි මහත්තයාට ප්‍රේමදාස මහත්තයා මළා කියලා. ඇන්ටන් කොහොමද දන්නේ මගෙන් ඇහැව්වා. ඒ වෙලාවේ රේඩියෝ එකේ ‘සාති මෙරි සාති’ එකේ සිංදුවක් යනවා. මම ඒක බලලා තියෙනවා. ඒක යන්නේ චිත්‍රපටයේ අලියා මැරුණාම. මේ වෙලාවේ ඒක යනකොට තේරෙන්නේ නැද්ද? ඒක දැම්මේත් ඒකේ අය අරුතින්මනේ. මේ මචං මාධ්‍යවල ඔහොම ගේම්කාරයෝ ඉන්නවා බං.’ කතාව වෙලාවට බාධාවක් නෑ. තත්පර කට්ට වගේ කැරකෙනවා.
ඇන්ටන්ට නවත්තපු තැන මතක නෑ. අර ප්‍රේමදාස මහත්තයාගේ පින්තූර ගන්න එකනේ කිව්වේ. අපි සහායට හිටගත්තා.
‘ආ… හරි. මට තිබුණේ චැලියක්. ඒකෙන් ගිහින් ළිඳ ළඟ නැවැත්තුවා. එතකොට රෝලන්ඞ් පෙරේරායි, චිත්‍රානන්දයි එතැන. එයාලා මගේ යාළුවෝ. මම විස්තරේ කිව්වා. හරි හරි වරෙන් අපි බලාගන්නන් උඹ ගනින් කියලා මාව එක්කගෙන ගියා. ඒ කාලේ රීල්නේ ළඟ තිබුණේ. තව ෂොට් 14යි. දැන් ගිහිල්ලා ගන්නවා හිටු කියලා. එතකොටම රෝලන්ඞ් කිව්වා උඹට නියම චාන්ස් එක. දැන් සජිත් එනවා කියලා. මමත් බලාගෙන හිටියා. එතකොටම හේමා, අනේ පුතේ කියලා පනිනකොටම කලබලේට මම චටාස් ගහලා ගැහැව්වා. සජිත් ඈත. ෆොටෝ ඉවරයි. අන්තිම එක තිබිලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ. ඒ ළඟ තිබුණා ඒ කාලේ රීල් ගන්න පුළුවන් තැනක්. එතැනට යනකොට මිනිහා කඬේ වහලා නානවා. මම කිව්වා යකෝ මාත් නාලා ඉන්නේ. ටක්ගාලා දීපන් කියලා. වතුර පිටින්ම අරන් දුන්නා.’
‘මේ ඔය ගමන් කියන්න ඕනෑ අර ආපු සමහර අයගෙන් රීල් කෑල්ලක් ඉල්ලුවා. එකෙක් දුන්නේ නෑ. ඒ කාලේ රීල් කෑලි සාක්කු පුරවාගෙන ඉන්නේ. පින්තූර ගන්නකොට තරගය බං. ඉතින් එහෙම දෙන්නෙ නෑ.’ ඇන්ටන් වෘත්තීය ජීවිතේ සීමා ලකුණු කරන ගමන් ආයේ කතාවට පණදුන්නා.
කොහොමහරි ආයේ ගිහිල්ලා ගත්තා. ඒත් එතකොට මාට්ටු. බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒවා කිව්වොත් එළිවෙනකම් කියන්න වෙනවා.’
‘කියන්න නම් කතා තියෙනවා වෙලාවයි නැත්තෙ.’ වෙලාවත් වේගයෙන් කැරකෙනවා කියලා සමහර වෙලාවට අපට හිතුණා.
‘කොබ්බෑකඩුව මහත්තයා මැරුණාම මම ගියා පින්තූර ගන්න. එතන සිකුරුටි එක දාන නීති බලපං. කොබ්බෑකඩුව මැතිනිය අඬන පින්තූර ගන්න බෑ. යකෝ මළගෙදර හිනාවෙන ඒවා ගන්නයැ. මම දැන් එහෙම ඇහැව්වාට ඒ වෙලාවේ ඇහැව්වේ නෑ.’ ඇන්ටන් අපට හිනා බෙදනවා.
‘කොහොමහරි සැකේට මගේ රීල් ගැලෙව්වා. මම රීල් එක දිග ඇරගෙන ඉන්න පින්තූරය රාවය කවුන්ටර්පොයින්ට් සඟරාවේ ගියා.
කොහොමහරි ඔය අතරේ පත්තර හැටහුටාමාරක විතර හිටියා. කොහොමත් ජීවිතේ එක තැනක රැඳෙන කොට ගතියක් නෑ. හැබැයි ගෙදර යනවා වගේ කොහේ ගියත් ලංකාදීපයට ආයේ ආවා. ඒත් විවිධ හේතු මත ඒවා කියලා වැඩක් නෑ. මට ආයේ අයින් වෙන්න වුණා. මම අයින් වුණා. එතකොට මම බැඳලා ළමයි හතරක් ඉන්නවා. ටිකක් රිදුණා ඒ වෙලාවේ නම්. ටිකක් නෙමෙයි ගොඩාක්.’ එතෙක් නොපෙන්නපු ශෝකී රසයක් ඇන්ටන්ගේ කතාවෙන් එළියට පැන්නා. ඒත් උගුරක් පහළට යන නිමේෂයකට විතරයි.
‘මේ අහන්න. මේකත් ලස්සනයි. ඔය කාලේ මම යාළුවෙක් එක්ක කතරගම ගියා. මිනිහා පොල්ගෙඩියක කපුරු පත්තු කරගෙන ගහන්න යනවා. කපුරු වැටුණා. මම ආයේ ගියා කපුරු ගන්න. මෙන්න මටත් පොල්ගෙඩියක් දුන්නා. උඹත් ගහපන් කියලා එයාලාගේ අය. මම කතෝලිකයා. අපි කවද්ද පොල් ගැහැව්වේ. මාත් මේක අරගෙන යනවා. එතකොටම යාළුවාගේ නංගී අනේ මට පොල්ගෙඩියක් නෑනේ කිව්වා. මම ටක් ගාලා ඒක දුන්නා. දෙන ගමන්, මාව අයින් කළාට සිරි රණසිංහ මහත්තයාට සාප කරලා දුන්නා. මෙන්න පහුවදා මම කොළඹ ආපුවාම යාළුවෙක් හම්බවෙලා කතා කරකර ඉන්න ගමන් කියනවා. ආ අද මචං සිරි රණසිංහ මහත්තයා බාත්රූම් එකේ වැටිලා කකුල කැඩිලා කියලා. මම ඕක පස්සේ සිරි මහත්තයට කිව්වාම එයාටත් හිනා.
පින්තූර ගන්න එකා පින්තූර ගන්නවා ඇරෙන්න මොනවා කරන්නද? මම ඉතින් පත්තර නැතත් කැමරාව එල්ලාගෙන පින්තූර ගත්තා. ඔය කාටහරි පොඩි පත්තරයකට දෙනවා. ඒ අතරේ මම කැලැන්ඩර්වලට පින්තූර ගත්තා. එක ගෑනු ළමයෙක් බයිසිකලයක වාඩි කරලා ගත්තා. මේ බයික් එක මදුරංග කල්දේරාගේ. එයා දක්ෂ ක්‍රීඩකයෙක්. එයා මට ඒ ගමන් කිව්වා එයා පදින පින්තූර අරගෙන දෙන්න කියලා. මම ‘ගජබා’ රේස් එක කවර් කරන්න ගියා. ඒ කාලේ රීල් දාගෙන කවුරුත් ඕවා ෆොටෝ ගන්නේ නෑ. මට සෑහෙන වැඬේ වැදුණා. ‘ගජබා’ රේස් එකෙන් ඒ කාලේ 1990දී මම 85,000ක් හෙව්වා. ඒක මාර ගාණක්. ආයේ මට හොඳම කලක් ආවා. මම කාර් රේස්, බයික් රේස්ම පින්තූර ගත්තා. පත්තර කලාවට ආයුබෝවන් කිව්වා. දැන් මම කාර් රේස් පස්සේ යනවා. ඒකටත් අද ඕනෑ තරම් අය ඉන්නවා. අපිට වැඩ අඩුයි. ඒත් මම යනවා. මොකද මම පටන් ගන්නකොට කවුරුත් නෑ. ඉතින් අද මට කවුරුත් නැති වුණත් මම එවා කවර් කරනවා.’ ඇන්ටන් කාර් රේස් කවර් කරන එක ගැන ලිව්වොත් තව ලිපියක් ලියන්න වෙනවා.
‘මට අනුව ජීවිතය කියන්නේ ‘ලූඩෝ’ බෝඞ් එකක්. ඉණිමගවල් වගේම නයි කටවල් පිරිලා. නැගගෙන නැගගෙන ගියාම නයි කටකට වැටිලා පහළටම එනවා. කරන්න දෙයක් නෑ. තවම දිනුම නෑ. නයි කටවල් වැඩියි.’
ඇන්ටන් හිනාවෙනවා. ඒත් මේ මුලින් තරම් සතුටින්ද? එහෙම නැත්නම් මතින්ද? තේරුම් ගන්න බෑ. මොකද ඒ දේ තේරුම් ගන්න අපත් දැන් පියවි නෑ.
මේ ඇන්ටන් ජෝ නම් පත්තරකාරයා සුරා මේසයක් මත වැමෑරූ දෑ මගේ ඔළුවට ගත් හැටි. ඇන්ටන් කියපු දේ මගේ මතකයෙන් ඇන්ටන් ආවේශ කරගෙන ලියූවක් මේ. තව බොහෝ දේ නොලියැවී ඇති. ඒක එහෙම වෙන බව පත්තරකාරයෙක් දන්නවානේ. කියන ඔක්කොම ලියන්නේ කොහොමද?
අවුලක් නෑ, ඇන්ටන්. අඩුවක් තිබුණොත් නයි කටක් අහුවුණා කියලා හිතපන්.■