රාවය

එජාප-ශ්‍රීලනිප ගැටුමක්

එජාප-ශ්‍රීලනිප  ගැටුමක්

ලසන්ත රුහුණගේ

මැයි මස 22 වැනිදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යාංශ යටතට වැටෙන රාජ්‍ය ආයතන කවරාකාරද යන්න සඳහන් අමාත්‍යාංශ විෂයයන්ට අදාළ ගැසට් පත්‍රය එම සංශෝධනයෙන් දින දහයක කාලයක් ඉකුත්වීත් තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් හවුල්කාර ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිප හා එජාපය අතර ගැටුමක් පවතින නිසා බව වාර්තා වේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීමෙන් පසු අමාත්‍යාංශ විෂයයන්ට අදාළ එම ගැසට් පත්‍රය පසුගිය මැයි 25 බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ වුවද ජූනි 01 දින වනවිටත් එම ගැසට් පත්‍රයට අදාළ අංක වෙන් කිරීමක් හෝ එම ගැසට් පත්‍රය මුද්‍රණය කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දී නොතිබුණි.
එමෙන්ම අපගේ ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන්කරන විෂයයන් හා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් ජනාධිපතිවරයා ජූනි 01 දින වනවිටත් එම ගැසට් පත්‍රයට අත්සන් තබා නැති බවය.

සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයද ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයට පත් කළ දින වකවානු ඉක්මවා ගොස් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසු සිදුවූ අතර එහිදී තවදුරටත් දැනගන්නට ලැබුණේ සංශෝධනයට ලක්වන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් ඔවුන් පෙර දැරූ අමාත්‍යාංශවලට අයත් රාජ්‍ය ආයතන සමහරක් තවදුරටත් ඔවුන් යටතේම පැවතිය යුතු බවට කරනු ලැබූ දැඩි කොන්දේසිවලට එකඟව එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූ බවය.
එහිදී විදේශ අමාත්‍ය ධුරය ලැබූ රවි කරුණානායක මහතා ඔහු පෙර දැරූ මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහපොළ අරමුදල හා ලොතරැයි මණ්ඩල දෙක තමා යටතේම තිබිය යුතු බවට කොන්දේසියක් දමා ඇතැයි කියවුණු අතර එය ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු නොලැබීය.
එහෙත් පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් නව ඉඩම් අමාත්‍යාංශය යටතට පවරා දෙන ලෙසට අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඉල්ලීමක් කර ඇතැයි ප්‍රකාශයට පත්වූ පුවත ඔහු ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වීමට පෙර ප්‍රසිද්ධ සභාවක් අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ එක් එක් අමාත්‍යවරුන්ට වුවමනා ලෙස වෙනස් කිරීමට නොහැකි ලෙස ඒ ඒ අමාත්‍යාංශවලට අයත් ආයතන හා විෂයයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් කිරීමට පවා ඉදිරියේදී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය. ■