මහා විනාශයක සලකුණු අතර හිද


maha-vinasaya

කේ. සංජිව

හද්දා වැස්ස ඇරඹී තිබුණි. මගේ මතකය දිවයන්නේ 2003 ටය. එදවස උදෑසන සිට වැස්සා මතකය. එය මොරසූරන වැස්සකි. රාත්‍රී 9.45 මට හොඳට මතකය. ඒ වැසිදිය ගඟට බැස ගෙදරට පැමිණ දොරට තට්ටු කළ වේලාවයි. ඒ මෑත ඉතිහාසයේ රත්නපුරයට පැමිණි ලොකුම ගංවතුර ය.
දැන් නැවත වර්තමානයට පැමිණෙමි. දිනය 2017 මැයි 25 වැනිදාය. ඉර අවරට හැරුණු වේලේ සිට වට වැස්සේ කෙළවරක් නැත. ඉතිං පසුදාට පහන් වෙනවිට මේ ප්‍රදේශයේ මිනිසුන්ට තිබුණේ යනේනමන් නැතිව අවතැන් වන්නටය. ජීවිත ගමන නතරකරන්නට ය. 26වැනි දිනය වනවිට මේ පැමිණි ගංවතුර 2003 තරම් විශාල නැතිවුවත් එය මිනිසුන්ට අත්කරදී තිබූ විනාශය 2003ට වඩා වැඩිය. ඒ අතින් 2003 ගංවතුරට 2017 ගංවතුර සමඟ හැරෙන්නවත් බැරිය. ඒ විනාශය රත්නපුරයට විශාල හානියක් ගෙන දී තිබූ අතර ඊට තරමක් අඩු විනාශයක් කළු‍තරටද ගාල්ලටද මාතරටද ගෙනදී තිබුණි.
ඒ විනාශයේ තරම කෙතරම්ද? නමට විතරක් තිබෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා වනවිට එහි තත්ත්වය මාධ්‍යයට කියා තිබුණි. ඔවුන් කියන්නේ දිස්‌ත්‍රික්‌ක 15කට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඇතිවූ ගංවතුර, නායයෑම් සහ වෙනත් අනතුරු හේතුවෙන් 31 වැනිදා වනවිට පුද්ගලයන් 203ක් මියගොස්‌ තවත් පුද්ගලයන් 96 දෙනෙක් අතුරුදන්ව ඇති බවය. පුද්ගලයන් 63 දෙනකු තුවාල කළ මේ ස්‌වාභාවික ව්‍යසනය 31වැනි දිනය වනවිට පවුල් එක්‌ලක්‍ෂ හැට හතර දහසකට අයත් පුද්ගලයන් හය ලක්‍ෂ තිස්‌ එක්‌දහස්‌ තුන්සිය හතළිස්‌ හය දෙනකු පීඩාවට පත් කළේය. මෙම ව්‍යසනය නිවාස 1508ක් සම්පූර්ණයෙන්ම ද තවත් නිවාස 7617ක් අර්ධ වශයෙන් ද විනාශ කළේය. මේ ව්‍යසනය නිසා පීඩාවට පත්ව සිටින පිරිසෙන් පවුල් 19876කට අයත් පුද්ගලයන් 767643 දෙනෙකු අවතැන් කඳවුරු ස්‌ථාන 363ක් වෙත යොමු කර ඇත. මේ ව්‍යසනයේ රූපයයි.
මේ සංඛ්‍යා දත්ත ගෙන එන කතාව ඇතුළත තිබෙන්නේ ඉලක්කම් පමණක්ම නොව අපේ රටේ මිනිස් ජීවිතවල අඳුරය. ලංකාවේ ඉතිහාසයද, එම ඉතිහාසය ඇතුළත මේ රටේ නූගත් දේශපාලකයන් රට ගෙනගොස් තිබෙන තැන පිළිබඳව චිත්‍රයක්ද මේ ව්‍යසනයේ සංඛ්‍යා දත්ත මත සැඟවී තිබෙයි. එය මුතු ඇටයේ කරුමය වන්නට පුළුවන්ය. කුණු කන්දකට යටවී මිනිසුන් මැරෙන්නට පුළුවන් රටක මේ වාගේ හද්දා වැස්සක් මිනිස් ජිවිත උදුරා ගන්න එක මහා කජ්ජක් නොවේ ය. 30 අවුරුදු යුද්ධය ඉවර වුණේ මිනිස් ජිවිතයක වටිනාකම බිංදුවට දමමින්ය. දැන් මිනිස් ජිවිතයක් කඬේ විකුණන්න සිටින බලු‍ පැටියෙකුගේ ජීවිතය තරම්වත් වටින්නේ නැත. එනිසා ස්වභාවික ව්‍යසනයක් තුළ මිනිස් ජිවිතයක් ගඟේ ගහගෙන ගියා කියා එතරම් වැදගත් නැත. එහෙත් මෙවැනි ආපදාවකදී අවතැන්වන ජීවිතයකට වතුර බෝතලයක් දන්දී පොටෝ එකක් ගසා මුහුණු පොතට විසිකිරීම වැදගත්ය. නැතිනම් ආධාර ස්වල්පයක් බට්ටෙකුට පටවා දොරදෙකේ බස්සෙකකින් ව්‍යසනය නැරඹීමට යෑම වැදගත්ය. මේ සියලු තත්ත්ව අතරින් අපිත් ගමනක් යමු.

රත්නපුර නාය යෑම්
මෙම වැස්ස කළ විනාශය 2003ට වඩා වැඩියෙන් පෙනෙන්නට එක හේතුවක් වන්නේ 2017 මේ ව්‍යසනය ඇතුළත නායයෑම් සිදුවීම් සහ ඒවාට අදාළව සිදුවූ ජිවිත හානි ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගන්නා නිසාය. රත්නපුර කළුතර දිස්ත්‍රික්ක දෙක ඇතුළත තත්ත්වය සැලකුවහොත් රත්නපුර නිවිතිගල කිරිබත්ගල කන්ද නායයෑම කළ විනාශය ඉහළය. ඇහැළියගොඩ, අත්වැල්තොට, අගලවත්ත යකුපිටිය, බුලත්සිංහල ආදි ප්‍රදේශවලද නායයෑම් නිසා වැඩි ජිවිත හානි ප්‍රමාණයක් වාර්තාවිය. මේ බොහොමයක් නායයෑම් ඇතුළත කතාව එකමය. බොහෝ තැන් නාය අනතුරු වෙන්නට පුළුවන් බව නිශ්චිත කළ තැන්ය. බොහෝ තැන් ඉවත්වන්න යැයි රජය මුලින් කියා තිබූ තැන්ය. එහෙත් වෙනත් තැනක ගොස් පදිංචිවන්නට ඉඩම් පෙන්වා හෝ රජය ඉඩම් ලබාදී හෝ නැත. තවත් තැනක දේශපාලු‍වන් තමන්ගේ බලය තහවුරු කරගන්නට නිසි සොයාබැලීමකින් තොරව ජනතාවට ලබාදී තිබෙන ඉඩම්ය.
මුලින්ම නිවිතිගල කිරිබත්ගල කන්දට යමු. මේ කන්ද නායගොස් ඇතැයි මිනිසුන් කියනු ඇසුණු ගමන් අපට අනේ අපොයි කියා සිතුණි. ඒ පුංචි කාලයේ සිට මේ කන්ද නෙත ගැටී තිබෙන නිසාය. කන්ද මත පලතුරු උයන් ඇතැයිද සමන් දෙවිඳුන් වැඩවාසය කරන බවද ආදි වූ නෙක ජනකතා ගොන්නක් මත අපේ හිත්වල මේ කන්ද පුංචි කාලයේ සිට ඔහේ බලාගෙන සිටියේය. අද ඒ කඳු පර්වතයට පහළින් කොටසක් නාය ගොසිනි. ඒ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන්නිවත්ත ග්‍රාම සේවක වසමේ කුරහන කියන ගමත් තලාගෙනය. උඩ සිටිනවායැයි කියන සමන් දෙවිඳු කොහේ ගියාදැයි නොදනිමි. ඔහුත් සමහර විට නායට යටවෙන්නට ඇත.
“උදේ 8.10යි වේලාව. හෙළිකොප්ටරයක් පහළින්ම යනවා වගේ ඇහුණා. මගේ බිරිඳ රෑ වැඩට ගිහිං ගෙදර හිටියේ මමයි මගේ මොන්ටිසොරි යන වයසේ පුතායි විතරයි. දුවත් හිටියේ අම්මලාගේ ගෙදර. මම පුතාත් අරගෙන එයාට හෙළිකොප්ටරය පෙන්වන්න කියලා මිදුලට ආවා. ඒ එක්කම අඩි 100ක් විතර උසට කන්ද ආවා. මම හිතුවේ ගල එනවා කියලා. ඒ එක්කම ලයිට් කම්බි සටසට ගාල පත්තුවුණා. ඒ එක්කම අල්ලපු ගෙදර දෙන්නාත් මිදුලට ආවා. ඒ ආවා විතරයි කෙහෙල්කඳන් වගේ බිමට වැටුණා. මම පුතත් අරං අනික් පැත්තට පැන්නා. මගේ ගෙදර කොටසක් ගියා.”‍
25වැනිදා රාත්‍රි හොඳටම කඩාගෙන වැටුණු වැස්ස පසුදා උදේ කිරිබත්ගල කන්දෙන් කොටසක් මේ මිනිසුන්ගේ හිස් මතට හෙළුවේ එලෙසින්ය. ලාල් සමරනායක මහතා කියන ලෙස මේ සිදුවීම බලන්නට මිදුලට ආ අල්ලපු ගෙදර යුවල අද ජීවතුන් අතර නැත. ඔවුන් ආදරණිය දරුදෙදෙනා මේ ලෝකයේ තනිකර නායත් සමගම යන්නට ගොසින. අපි ඒ දරු දෙදෙනාගෙන් කෙනෙක් සොයාගතිමු. ඒ කිරිබත්ගල විද්‍යාලයේ අවතැන් කඳවුරේදිය. ඇය සලනි උදය වීරසිංහය.
‘මගේ මල්ලිට දෙයියන්ගේ පිහිටෙන් සීරිමක්වත් නැහැ. එයා ගෙදර නිදියාගෙන ඉඳලා තියෙන්නේ. ගෙදරටත් කිසිම හානියක් නැහැ. මිදුලේ පැත්තකින් තමයි නාය ගිහිං තියෙන්නේ. මම කොළඹ වැඩ කරන්නේ. මම මේ ගමන ගෙදර එනකොට ඒ දෙන්නා අපිව දාලා යන්න ගිහිං. මායි මල්ලියි අද තනිවෙලා.”‍ ඇයට හැඬුම් එයි. මේ අනාථ කඳවුරේ බොහෝ දෙනෙකුටද ඥාත්ීන්ද හිතවතුන්ද අහිමිවී ඇත.
මේ කන්ද ගැන කතාකරන විට කියන්න තිබෙන්නේද, මේ කන්ද ඉහත්තාවෙන්ද බොහෝ කලකට ප්‍රථම නාය අනතුර නිසා එක් පවුලක් ඉවත්කර ඇති බවය. රජය හෝ අදාළ බලධාරීන් තව පොඞ්ඩක් හෝ සැලකිලිමත් වූවා නම් මේ අනතුරද වළකාගැනීමේ හැකියාව තිබුණි. මෙලෙසින් නාය ගිය කුරහන ගම පවුල් 15ක පුද්ගලයන් 66ක් නිවාස 15ක වාසය කර ඇත. මේ අනතුරින් දැනට දැනගන්නට තිබෙන ලෙස 26 දෙනෙක් මියගොස් ඇත. අප මේ බිමට යනවිට ඒ මියගිය පිරිසෙන් 14 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබුණි. මේ අනතුරෙන් පසුව අවතැන් පුද්ගලයෝ 212 දෙනෙක් කිරිබත්ගල කඳවුරේ මේ වනවිට ලැගුම්ගෙන සිටිති.
ඇහැළියගොඩ අරම්බඩ මාලිගා කන්ද නායයෑම නිසා 9 දෙනෙකු මියගිය බව එහි ගිය අපට දැනගන්නට ලැබුණු අතර නිවාස තුනක් සම්පූර්ණ වශයෙන් විනාශයට පත්වී ඇත. මේ කතාවද කිරිබත්ගල කන්දේ කතාවටම බොහෝ දුරට සමානය.
‘මට තාත්තා 26 උදේ 6.30ට විතර කතාකරලා කිව්වා රත්නපුරේ අක්කලාගේ ගෙදර යටවෙලා ගෙදර එනවානම් ඉක්මනට එන්න අස්කරන්න යන්න කියලා. මම කඩුවෙල ඉඳලා ගෙදර ආවා. ඒ එනකොට අම්මායි තාත්තායි මල්ලියි නැන්දායි සේරමලා යන්න ගිහිං”‍ මේ ඇහැළියගොඩ අනුරුද්ධගේ කතාවය. ඔහු තවත් කියන්නේ තමන්ට දැන් සියල්ලෝම නැතිවී තිබුණත් මේ ගමේ ඉතිරි පිරිසට හෝ වෙනත් තැනකින් ඉඩම් ලබාදී ඔවුන් නැවත පදිංචිකර ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කළ යුතු බවය. මීට අමතරව රත්නපුරේ කලවාන අයගම යන ප්‍රදේශවලද නායයාම් නිසා ජීවිත හානි වාර්තාවිය.

කළුතර නායයෑම්
25 වන දින වට මහා වර්ෂාව නිසා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකද නාය අනතුරු වාර්තාවූ අතර ජිවිත හානිද විශාල වශයෙන් සිදුවිය. ඒ අත්වැල්තොට, යකුපිටිය, බුලත්සිංහල ආදි වශයෙන්ය. මේ ප්‍රදේශ අතරින් අපි අත්වැල්තොට සහ යකුපිටියේ සංචාරය කළෙමු.
“‍මගේ නංගියි, එයාගේ මහත්තයායි ළමයි තුන්දෙනායි මේ අනතුරෙන් නැතිවුණා. සේරම 9දෙනෙක්. එක්කෙනෙක් තුවාල වෙලා බේරුණා.”‍ මේ අගලවත්ත යකුපිටිය මාවත වත්තේ ගැමුණු මහතාගේ හඬය. ඔහුගේ නිවස ආශ්චර්යයකින් මෙන් බේරී ඇත. ඉහළින් කඩාපාත් වූ කන්ද ගැමුණු මහතාගේ සහ තවත් අයෙකුගේ නිවසක් සුරක්ෂිත කර ගෙවල් දෙක අතරින් අගලවත්ත මතුගම මාර්ගයට කඩාවැදී ඇත.
මේ බිමේ සරන අප වෙත සිතියම් ගොන්නක්ද සමග පැමිණි පුද්ගලයෙක් බලෙන්ම කතා කරන්නට විය. “මහත්තයෝ මම එම්ඩී යසපාල. මම තමයි කොටගල වතු සමාගමට අයිති මේ ඩැල්කින් වත්තේ හිටපු පරණම මුරකාරයා. 1983 අවුරුද්දේ කළුතර දොලේහේන නාය ගියා. ඒක තමයි කළුතර දිස්ත්‍රික්කයේ ඉස්සෙල්ලාම නාය ගිය තැන. ඒ වේලාවේ මේ වත්තේ ඔය දැන් නාය ගිහිං තියෙන තැනට උඩින් ලොකු පැලු‍ම් රේඛාවක් ගියා. ඊට අවුරුදු 20කට පස්සේ ඔය ඉඩම දේශපාලකයෝ මිනිස්සුන්ට බෙදලා ඔප්පු දුන්නා. එවේලාවේ මම ග්‍රාමසේවකට ගිහිං කිව්වා ඔප්පු දෙනවා නම් ඒ එක්කම මරණ සහතිකයත් දෙන්න කියලා. මම කියපු දේ එදා කවුරුත් ඇහැව්වේ නැහැ. ඒ ඇහැව්වා නම් මේ විනාශය අද වෙන්නේ නැහැ.”‍ යසපාල මහතාගේ මේ කතාවෙන් නාය අනතුරුවල එක් පැතිකඩක් නිරාවරණය වෙයි. නාය අනතුරු බහුලව වාර්තාවෙන අප වැනි රටවල මෙලෙස ඉඩම් ලබාදෙන්නේ නම් ඒ ඉඩම් නායයෑම් අනතුරක් පවතින්නේදැයි සොයාබැලීම බලධාරීන්ගේ වගකීම නොවන්නේද?
සමහර තැනක නාය යන්නේ පුරුද්දට මෙන්ය. එවැනි තැන් මේ පොළවේ පැලුම් බහුල බව කියන්නේ භූ විද්‍යාඥයන්ය. එවැනි තැනක් අවුරුදු 100කට වතාවක් හෝ නාය යන බව ඔවුහු වැඩිදුරටත් කියති. එවැනි තැනක ඉදිකිරීමක් කළහොත් ගැලවීමක් නැත. එවැනි තැන් හඳුනාගැනීමේ තාක්ෂණයක් ද විද්‍යාව සතුය. එහෙත් මේ කොදෙව්වේ මිනිසුන් නවීන දැනුම පිළිගන්නට එය තමන් සතුකරගන්නට මැලිකමක් දක්වන නිසා මෙවැනි අනතුරු චක්‍රයක් මෙන් සිදුවෙන්නේය.
අප ඊළඟට ගියේ කළුතර රත්නපුර සීමාවේ අත්වැල්තොට ග්‍රාමයට ය. ඒ කඳුහෙල් තරණය කර ජල දුර්ග පසුකරමින් දුෂ්කර මගකය. අපි එහි යන්නේ 28 වැනිදාය. ඒ නායගොස් තුන්වන දවසේදීය. අප එහි යනවිටත් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් එහි පැමිණ නැත. ඒ ප්‍රවේශයක් නැති බව පවසමින්ය. අපි සොයාගත් ප්‍රවේශය ප්‍රදේශයේ රාජ්‍ය ප්‍රධානියාට මගහැරුණේ කෙලෙසකදැයි අපි නොදනිමු. ඒ ලංකාවේ නිදිමත රාජ්‍ය සේවය මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වන අයුරුය. හමුදාවද එම ස්ථානයට ළඟාවී තිබුණේ අප ගිය දිනයේම උදෑසනය. අපි එහි යනවිටද එහි තිබුණේ අවතැන් මිනිසුන්ට කන්න බොන්නවත් නැති පසුබිමක්ය. ගමේ මිනිසුන් එකතුපහදු වී නායට යටවූ සිරුරු 3ක්ද ගොඩගෙන තිබුණි.
‘26 උදේ 5.30ට වගේ තමයි මේක වෙලා තියෙන්නේ. මගේ මල්ලියි නංගියි දෙන්නාම යටවුණා. මම සිද්ධිය ආරංචි වුණ ගමන් මහරගම ඉඳලා බෝට්ටුවකුත් අරගෙන ආවා. රජයේ කිසි නිලධාරියෙක් මන්ත්‍රී කෙනෙක් ආවේ නැහැ. සොයා බැලු‍වේ නැහැ. ගමේ මිනිස්සු තමයි සේරම දේවල් කළේ. අපේ තට්ටු දෙකේ ගෙදර එක්ක වාහන 11ක් නායට ගියා. සේරම කෑලිවලට කුඩුවෙලා ගඟේ තියෙන්නේ. මල්ලියි නංගියි තවම සොයාගන්න බැරිවුණා. මම හිතනවා මේ ගඟ අයිනේ ඇති කියලා.”‍ මෙලෙස රාවයට අදහස් දැක්වුවේ ගාමිණි සමරසිංහ මහතාය. සිංහරාජ වන දහන සිට ගලන ගඟ මිනිසුන් යටකර ගැලූ පස් කන්ද කේන්තියෙන් වාගේ සෝදා හරිමින් සිටියි.
”‍සමරසිංහ මුදලාලි සල්ලි එකතුකළා. වාහන එකතුකළා. අන්තිමට සේරම දාලා යන්න ගියා”‍ ගම්මුන් කියනු ඇසෙයි.
මෙම නාය අනතුරින් ගෙවල් 8ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. මිනිසුන් 9 දෙනෙකු මියගොස් ඇත. කළුතර දිස්ත්‍රිකයේද තවත් මෙවැනි නාය අනතුරු මේ වැස්සත් සමග සිදුවූ අතර එවායිද ජිවිත බොහෝගණනක් විනාශ විය.

ගංවතුරට බසිමු
මුලින්ම කිවයුත්තේ ගංවතුර ව්‍යසනය ගැන කතාකිරීමේදී අප කළුගග නිම්නයට සහ බෙන්තර ගඟේ නිම්නයේ ඉහළ කොටසට පමණක් සීමා වෙන බවය. මේ වැස්ස නිසා උදාවූ ගංවතුර තත්ත්වයද ඉහළින්ම බලපෑවේ කළුගග නිම්නයේ ජීවත්වූ මිනිසුන්ටය. රත්නපුර, ඇළපාත, හංගමුව, පැල්මඩුල්ල, අයගම, ගලතුර, දිමියාව, දබුළුවන, කිරිඇල්ල, ඇල්ල, බුලත්සිංහල, කලවාන, කුකුලේගම, මෝල්කාව, බදුරලිය, අගලවත්ත වැනි ප්‍රදේශ මේ ගංවතුරේ දැඩි ග්‍රහණයට හසුවිය. මිනිසුන්ටද කරකියාගත හැකි දෙයක් නොවූ අතර බොහෝ දෙනෙක්ට යනඑනමන් නැතිවිය. ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී තම ගම්මාන හුදකලා වීම සහ විදුලිය නැතිවීම නිසා මිනිසුන්ට අසීරු කාලයක් ගතකරන්නට සිද්ධවිය.
”‍අපේ ගෙදරත් එක්ක ගෙවල් 10ක විතර පොකුරක් යටවුණා. කන්න බොන්න මොකුත් නැති වුණා. සමහර මිනිස්සුන්ගේ ඇඳුම් පවා වතුරේ ගිය නිසා එක ඇඳුමින් හිටියා. මේක රාත්‍රියේ ආ නිසා අපිට බඩුවත් හරියට අස්කරගන්න බැරිවුණා. අපේ ගෙදරට එහා ගෙදරක මිනිස්සු ගඟේ ගහගෙන යන්න ඔන්න මෙන්න. මම කතාකරන්න පුළුවන් හැමතැනටම කතා කළා. එකෙක් ආවේ නැහැ. අන්තිමට මම ගඟට බැහැලා පීනලා ගිහිං බේරාගත්තා. දැන් ගංවතුර බැහැලා දවස් දෙකක් වෙනවා, තාම ලයිට් නැහැ. එනිසා ළිං ඉහගන්න ක්‍රමයක් නැහැ. කන්න නැතිවුණාට බොන්න වතුරවත් තියෙයි නම් රස්සා පටන් ගන්නකම් කඩ අරිනකම් ජීවිතය අල්ලාගෙන ඉන්න පුළුවන්.”‍ මේ හංගමුවේ මහින්දගේ කතාවය.
මේ ගංවතුරට අසුවූ මේ දිස්ත්‍රික්ක දෙකෙහිම ජනතාවට තිබෙන්නේද අඩු හෝ වැඩි වශයෙන් මෙවැනි කතාය. මේ ගංවතුර තත්ත්වය නිසා කලවානේ බොහෝ ප්‍රදේශ මෙන්ම අයගම බොහෝ ප්‍රදේශද දැඩි ලෙස අවතැන් වීම සහ ප්‍රවේශයන් අවහිරවීම නිසා හුදකලා තත්ත්වයට පත්විය. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත යන ප්‍රදේශවල ද මිනිස්සු මෙවැනිම තත්ත්වයක කල්ගත කළෝය. මෙවැනි ගංවතුරක් මිනිසුන් එලෙස අපාදුකට වේදනාවට ඇදදාන්නේ ඇයි? ඒ අපේ රටට නිසි අපදා කළමනාකරණ ක්‍රමවේදයක් නැති නිසාය.
අපි කලවාන ප්‍රදේශය ගනිමු. මේ ප්‍රදේශයට ප්‍රවේශ වීම සඳහා ප්‍රවේශ මාර්ග 4ක් ඇත. ඒ කලවාන මතුගම, කලවාන රත්නපුර, කලවාන රක්වාන, කලවාන ඉඩංගොඩ යන මාර්ගයන්ය. පස් කඳු කඩාවැටීම නාය යාම සහ ගංවතුරින් යටවීම නිසා මේ ප්‍රවේශයන් සියල්ල අක්‍රිය වූ අතර එනිසාම මිනිසුන් රෝගීන් සියල්ල කොටුවීම තුළ සහ සහන කණ්ඩායම්වලට සහ ආධාරවලට එම ප්‍රදේශයට ළඟාවීමට නොහැකිවිය. ඒ නිසාම අදාළ ප්‍රදේශයේ ගොඩනැගුණේ දුෂ්කර තත්ත්වයක්ය. මේ තත්ත්වය තුළ නිරුපද්‍රිතව පැවති කලවානට සමීපම නගරය නිවිතිගලය. නිවිතිගල කලවාන මාර්ගය එතරම් දරුණු අවහිර වීමක නොතිබුණි. රාජ්‍ය අංශයට උවමනාව සහ කැපවීම තිබුණා නම් නිවිතිගල සහ කලවාන අතර සම්බන්ධයක් ලේසියෙන්ම ගොඩනගන්නට තිබුණි. එහෙත් ගංවතුර තත්ත්වය පහවී දින තුනක් ඉක්ම ගියපසුද එය සිදු නොවිණි. ඒ ඇයි? සොයා බැලිය යුතුය.

රජය අසමත්
ගංවතුර සහ නායයෑම්වලට පසු කාලයේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල සැරිසැරූ අත්දැකීම් එක්ක අපට මුලින්ම කියන්න සිදුවෙන්නේ, මේ ආපදාව කළමනාකරණය කරගැනීමේදි වෙනදා වගේම මෙවරත් රජය අසමත් කියන එකය. ‘මෙදා ලොකු ප්‍රදේශයකට එකවර ගංවතුර බලපෑවා, ඒ නිසායි අමාරු වුණේ.’ වැනි කතා දැන් රාජ්‍ය සේවයෙන් ඇසෙමින් තිබෙයි. එවැනි කතා වැඩක් නැත. ප්‍රවේශ මාර්ගයන් අවහිර වුණාය කියන කතාවද වැඩක් නැත. ඒ මන්ද මෙවන් විපතකදී ප්‍රවේශ මාර්ග අවහිරවීම සාමාන්‍ය තත්ත්වයක් නිසාය. මෙතැන තිබෙන බරපතළම කාරණය වන්නේ ආපදා සිදුවී මෙච්චර අත්දැකීම් තියෙන රටට ඒකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කර්යාල මට්ටමින් යන්ත්‍රණයක් ගොඩනගා නැතිකමය. මේ ව්‍යසනය වෙලා දවස් දෙකක් අතරතුර අප අත්වැල්තොට යන අතරය. ඒ වනවිටත් පාලින්ද නුවර ප්‍රාලේකම්ට මේ ස්ථානයට එන්න ප්‍රවේශ මාර්ගයක් නැත… මේ තත්ත්වය අයගම වැනි තැනකදී තවත් බරපතළය. මේ නිලධාරීන්ට රජයේ වියදමින් ෆෝර්විල් රථ ලබාදෙයි.. ඒ සේවාව සඳහාය. මේ කතාව දේශපාලකයන්ටත් එක පැත්තකින් අදාළය. ඔවුන්ටද තීරුබදු රහිතව වාහන ලබාදෙන්නේ දුෂ්කර ප්‍රදේශවල සංචාරය කරමින් අවශ්‍ය සේවාව කිරීමටය. එහෙත් මේ දෙපිරිසම තමන්ට අදාළ දේ හැර අන් සියලු දෙයක්ම කිසිදු හිරිකිතක් නැතිවම කරගෙන යමින් සිටිති… පාරකට පස් කන්දක් කඩාවැටුණාම දිවා රාත්‍රි බලන්නේ නැතිව ඒක අයින් කරන්න ක්‍රමයක් අපට නැත…

ලයිට් වයර් එකක් උඩට ගහක් කඩාවැටුණු විට එම ගස ඉවත්කර විදුලි සැපයුම යථාවත් කරගැනීමට ලංවිමට අපි කෙතරම් වාර ගණනක් කතාකළ යුතු වෙමුද? මේ තත්ත්වයත් එහිම දිගුවකි.. වර්තමානයේ ලෝකය හැම අතින්ම දියුණුවී පවතින තත්ත්වය තුළ මිනිසුන් ගංවතුරට කොටුවී දවස් ගණන් බඩගින්නේ සිටින්නේ නම් එතැන තියෙන්නේ රජය පිළිබඳ ගැටලු‍වක්ය… මේ වාගේ තත්ත්වයකදි ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නැතිකමේ අවුලක් ය…. මේ ව්‍යසනයේදි ‘පොඩි උණක්’ තියෙන ප්‍රා.ලේකම්ලා සිටින ප්‍රදේශ පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නු අතර ඒ ඔවුන්ගේ කැපවීම නිසාය. අප ඔවුන්ට ගෞරවය පුදදෙන ගමන්ම රාජ්‍ය යන්ත්‍රණයක් එලෙස පුද්ගලබද්ධව ක්‍රියාත්මක වීම හරිදැයි ප්‍රශ්න කළයුතුය. දිසාපතිවරුන්ට මෙන්ම ඊට ඉහළ අමාත්‍යංශ මට්ටමේ බලධාරීන්ටද තමන්ගේ පහළ නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම සොයාබැලීමේ වගකීමක් නැතිද? මෙච්චර විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන්නට අප කොතරම් ජාතික ධනයක් වැය කරනවාද? එහි ප්‍රතිඵලයද මේ.. ප්‍රශ්න කළයුතුය.
රත්නපුරේ හංගමුවට ගංවතුර බැහැලා ගිහින් දවස් තුනක් යනවිටද ලයිට් නැත.. ආපදා තත්ත්වය හමුවේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ විදුලිය විසන්ධි කිරීම් නිසා පාරිභෝගිකයන් 625,000ක පමණ පිරිසකගේ විදුලිය සම්බන්ධතාව නැති වූ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේය.. එයින් 177,775ක පිරිසකට විදුලිය තවමත් නොමැතිය. බොහෝ තැනක හැම පැත්තෙන්ම පස් කඳු කඩාවැටීම නිසා ප්‍රවේශයන් අවහිර වී ඇත. රත්නපුර නගරයට ආසන්න සීමාවේදීත් තත්වය මෙය නම් අයගම වගේ දුරක තත්ත්වය ගැන මොනවා කියන්නද.. සිතා බැලිය යුතුය. අනික් පැත්තෙන් පාරට පස් කඳු කඩාවැටී තිබෙන හැම තැනකම පාහේ ඒ පස්කන්ඩි කපලා තියෙන්නේ ඍජු ආනතියක් සහිතවය. මෙවැනි තැන් ඇලව කපා, පිඩැලි වැනි දෙයක් අල්ලලා තිබුණා නම් මේ බොහොමයක් පස් කඳු පාරට පෙරලෙන්නේ නැත.
ඒ කොහොම වුණත් නිදිමත රාජ්‍ය සේවයට තිත තබා මේ වගේ අවස්ථාවකදී ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළු‍වන් යාන්ත්‍රණයක් හදාගන්න කම් අපට මේ ප්‍රශ්නයෙන් ගොඩයෑමක් නැත. අඩුම තරමින් ගංවතුර අවදානම තියෙන ප්‍රා.ලේකම් බල ප්‍රදේශ තුළ බෝට්ටු සංචිතයක් ගොඩනගා ඔවුන් නිරන්තර සූදානමක තබන්නට බැරිද? අප සිතිය යුතුය. අප මේ මොනවා කතාකළත් අපි හැමදාම අඩන්න සූදානමින් ඉන්න ජාතියක්ය. ඉතින් ඇහැට අඟිල්ලෙන් අනින සිදුවීම් වලකාගන්න අපි කැමති නැත. එහෙත් මේ නොසලකා හැරීම් නිසා මේ ව්‍යසනයෙන් මේ වනවිට පාසල් දරුවන් 44 මරණයට පත්වී ඇත. සම්පූර්ණ වශයෙන් හානියට පත් පාසල් ප්‍රමාණය 77ක් ය. මෙලෙස විනාශ වන්නේ, අවතැන් වන්නේ රටේ සමස්ත අනාගතය බව දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද තේරුම් ගත යුතුය. ඉන් අනතුරුව වහාම ආපදා කළමනාකරණය කරගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුය.■