Wednesday, 23/8/2017 | 8:07 UTC+0
රාවය

කැබිනට් සංශෝධන කාඞ් කුට්ටම ඇනීමෙන් ජනතාවට සෙල්ලම් පෙන්නීම

කාඞ් සෙල්ලමේ දී කාඞ් කුට්ටම හොරට අනන ක්‍රමයක් තිබේ. එයින් අදහස් කෙරෙන්නේ, අනන පුද්ගලයාගේ අවශ්‍යතාවට ගැළපෙන ආකාරයෙන් කාඞ් කුට්ටම ඇනීමයි. මෙවර කැබිනට් සංශෝධනය, එසේ හොරට කාඞ් කුට්ටම ඇනීමකට ආසන්න තත්වයක් කියාපායි. මේ කැබිනට් සංශෝධන ඇනිල්ල, අනන පුද්ගලයාගේ අවශ්‍යතාව සහ ඒ අවශ්‍යතාව ඉදිරියේ හටගත් අනිත් පාර්ශ්වයේ හෙට්ටු කිරීම මත තීන්දු වී තිබේ. උදාහරණයක් වශයෙන්, වරාය අමාත්‍යාංශය මහින්ද සමරසිංහට දීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩියෙන් ලැබුණු වාසියට අතමාරුවක් වශයෙන් නැවත වරක් තිලක් මාරපන ඇමති මණ්ඩලයට රිංගවා ගැනීමට අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂය උදා කර ගත්තේය. ඒ ඒ පක්ෂවලට ලැබෙන වාසි හැරුණු කොට රටට ලැබෙන සුගතියක් මේ ඇනිල්ලේදී සැලකිල්ලට ගෙන නැති බව පෙනෙන්නේ, කැබිනට් මණ්ඩලය මුලින් පත්කිරීමේදී මෙන්ම දැන් කරන ලද කැබිනට් සංශෝධනයේදීත්, කිසි විද්‍යාත්මක පදනමක් මත පිහිටා කටයුතු කොට ඇති බවක් පෙනෙන්ට නැති නිසා ය. කොටින්ම, මෙය රට වෙනුවෙන් නොව, හුදෙක් ජනාධිපතිවරයාගේ පක්ෂ අවශ්‍යතාව සහ අගමැතිවරයාගේ හෙට්ටු කිරීම මත සිදු කරන ලද සංශෝධනයකි.
මෙවැනි ඇනිල්ලකදී සක්සුදක් සේ පැහැදිලි කර දෙන එක දෙයක් පමණක් තිබේ. එනම්, ඕනෑම කෙනෙකුට ඕනෑම අමාත්‍යාංශයක් පවරා දිය හැකි බවයි. ඒ අතින් බලන විට, අපේ දේශපාලනඥයන් ලෝකයේ වෙන කිසි රටක දක්නට ඇති දේශපාලනඥයන්ට වඩා හැම අතකින්ම ‘ඕල් රවුන්ඩර්ස්ලා’ ය. උදාහරණයක් වශයෙන්, මුදල් ඇමතිවරයාට එක රැයකින් විදේශ ඇමති විය හැකි අතර විදේශ ඇමතිවරයාට එක රැයකින් මුදල් ඇමති විය හැකිය. ඒ ආකාරයට වෙනත් ඕනෑම අමාත්‍යාංශයක් වුව මේ සිටින ඇමතිවරුන් අතරේ තමන්ට කැමති ආකාරයෙන් බෙදා දිය හැකිය.
එක අමාත්‍යාංශයක සිට වෙනත් අමාත්‍යාංශයකට මාරු වී යාමේදී, තමන් කලින් සිටි අමාත්‍යාංශයේ වාහන අලුත් අමාත්‍යාංශයට රැගෙන යන බවට ඇතැම් දේශපාලනඥයන්ට පසුගිය දා චෝදනා එල්ල විය. එයම දැන් වෙනත් ආකාරයකින් සිදුවන්නේ සිනාව දනවමිනි. මෑතකදී කරන ලද කැබිනට් සංශෝධනයේදී, ඇතැම් අලුතෙන් පත්කළ ඇමතිවරුන් සඳහා අදාල අලුත් අමාත්‍යාංශයට සරිලන ආයතන ප්‍රමාණය මදි යැයි කියමින් වෙනත් අමාත්‍යාංශයක ඇති තවත් ආයතන කිහිපයක් පවරා දෙන ලෙස ඉල්ලීම දැකිය හැකිය. විදේශ ඇමතිවරයා වශයෙන් නවතමයෙන් පත්වූ රවි කරුණානායක එසේ තමන් වෙත තවත් ආයතන ගණනාවක් පවරා දෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය. නායකයන් දෙන්නා තමන්ගේ ක්‍රීඩාව තුළ ඉත්තන් තැනින් තැනට අදින විට ඉත්තන් ද නිකං සිටින්නේ නැත.
යහපාලන ආණ්ඩුව වර්තමානයේ සිය සුජාතභාවය අහිමි කර ගනිමින් සිටින්නේ වෙන කිසිවක් නිසා නොව, රාජපක්ෂ පාලනයේ හිටපු දූෂිතයන් සහ අපරාධකරුවන් කිසිවෙකු සත්භාවයෙන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට කිරීම හිතමතාම මගහරින බව රටටම පෙනෙන්ට ඇති නිසා ය. ජනාධිපතිවරයා සේම අගමැතිවරයා ද ඒ සම්බන්ධයෙන් එක සමාන වගඋත්තරකරුවෝ වෙති. මේ දෙදෙනාගේ සම-කර්තෘත්වයේ අනුග්‍රහයෙන් අද වන විට ඒ කිසි දූෂිතයෙකු සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමක අවසානයක් දැකිය නොහැකි තත්වයක් උදාව තිබේ. මේ වන විට, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය විසින් අවසන් කරන ලද ලිපි ගොනු 80 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති බව ප්‍රකාශිතයි. ඒ එක ලිපි ගොනුවක්වත් අධිකරණ ක්‍රියාවලියකට යොමු කොට අවසානයක් නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අධිකරණ ඇමතිවරයා ගැන වර්තමාන සංශෝධනය මුළුමණින් මුනිවත රැක තිබීම අපූරු ය. මේ අතර, අලි හොරුන්ට අදාළ නඩු ඉදිරියට ගත යුත්තේ බෞද්ධ භික්ෂූන් සම්බන්ධ නොවන ඒවා පමණක් බවට නීතිපතිවරයා විසින් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට මෑතකදී නියෝග කොට ඇති බව සැලයි. රටේ යුක්තිය සහ නීතියේ සාධාරණත්වය ගැන කතා කිරීමට තරම් දෙයක්, ඉන් පසු තවත් ඉතිරි වෙයිද?
යහපාලනය බලයට පත්වීමෙන් පසු, මේ ආණ්ඩුව පිළිබඳව යම් ඉදිරි ගමනක් දැකිය හැකි වී නම්, ඒ දේශීය අංශයෙන් නොව, විදේශීය අංශයෙනි. ලංකාවට එරෙහිව පැවති යුද අපරාධ චෝදනා අරභයා මතු වූ ජාත්‍යන්තර යෝජනා සම්බන්ධයෙන් වේවා, ලංකාවට තහනම් කොට තිබූ මත්ස්‍ය අපනයනයන් හෝ ජී.ඇස්.පී. ප්ලස් බදු සහනාධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වේවා, යම් ප්‍රගතියක් අපට දැක ගත හැකි වූ එකම අංශය විදේශීය අංශයයි. ඊට තීරණාත්මක වුණු මංගල සමරවීරව එම අමාත්‍යාංශයෙන් ඉවත් කරන්නැ යි ඉල්ලා සිටියේ, ජාතිකවාදී සහ මහින්දවාදී ඇමතිවරුන් පිරිසක් පමණි. වර්තමාන කැබිනට් සංශෝධනයේ ප්‍රමුඛ අමාත්‍යාංශ කිහිපයෙන් එක ගොදුරක් බවට අද එය පත්ව තිබේ.
ඇත්තෙන්ම කැබිනට් සංශෝධනයක් අවශ්‍ය කෙළේ ඇයි? සිවිල් සමාජ සංවිධාන ගණනාවක් විසින් නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, යහපාලන ක්‍රියාදාමය එක තැනක ඇනහිටීම නිසා ය. රාජපක්ෂ පාලන සමයේ ඇති වූ දූෂණ, විෂමාචාර සහ අපරාධවලට අදාළව මේ යහපාලන පාලකයන්ම ජනතාව ඉදිරියේ තැබූ අපමණ චෝදනා පිළිබඳ නීතිමය ක්‍රියාවලිය දැන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ එක තැනක පොරොප්පයක් ගසා හිර කොට තිබේ. අපරාධ විමර්ශන සහ මූල්‍ය අපරාධ විමර්ශන පොලීසිය තමන්ට හැකි උපරිමයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු පසුගිය කාලය තිස්සේ කරගෙන ගියේය. ඉහත සඳහන් කළ සම්පූර්ණ කරන ලද ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
එහෙත් රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු, බොහෝ විට පක්ෂ නායකයන් දෙන්නාගේත් අනුදැනුම සහ උපදෙස් මත, මේ කියන විමර්ශන ලිපිගොනු පාෂාණගත කොට තිබේ. එහිදී, රටට හඳුනාගත හැකි ආකාරයේ ඇමතිවරුන් ගණනාවක් පසුගිය කාලයේ හෙලිදරව් විය. වරක් තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ, ‘ඇවන්ගාඞ්’ අයිතිකරුවා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ පෙනී සිටි අවස්ථාවේ ඔවුන්ගේ ළබැඳියාව වන්නේ, චූදිතයන් නීතිය ඉදිරියට පැමිණවීමට වඩා එම චූදිතයන් ආරක්ෂා කිරීම බව රටට පැහැදිලි විය. ඒ අවස්ථාවේ තිලක් මාරපන ‘බටහිර ක්‍රමයට’ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුවත්, විජේදාස රාජපක්ෂ ‘ජනමූල දේශීය ක්‍රමය’ අනුයමින් රැඳී සිටියේය. ඉන් පසු අවස්ථාවකත්, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ කළ කී දෑ මගින් පෙන්නුම් කෙළේ, එවැනි පුද්ගලයෙකු යටතේ පවතින අධිකරණ අමාත්‍යාංශයකින් අර කී රාජපක්ෂ සමයේ කිසි විෂමාචාරයක් සම්බන්ධයෙන් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බවයි. එසේම, ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව සමඟ එකට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඔහු යහපාලන ආණ්ඩුව කෙරෙහි සුළු ජාතීන් තුළ පැවති විශ්වාසයත් පලුදු කෙළේය. ඔහු පමණක් නොව, තමන්ගේ හිතවතෙකු අත්අඩංගුවට නොගන්නැයි පොලිස්පතිවරයාට දුරකථනයෙන් උපදෙස් දෙන නීතිය හා සාමය භාර සාගල රත්නායක ඇමතිවරයා රටටම හසු විය. මේ සංශෝධනය තුළ ඔහුත් නිරුපද්‍රිත ය.
මෙවැනි මහජන විශ්වාසය බිඳ ගත් ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් අස් කළ යුතු යැයි ඉල්ලා සිටීමට තරම් සංස්කෘතික හයියක් තවම ලංකාවේ නැත. එසේම, මේ කියන සියලු ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා යම් ආකාරයකින් උරදුන් අයවළුන් ය. එබැවින් සිවිල් සංවිධාන ගණනාවක්ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ වර්තමාන ඇමති තනතුරු සංශෝධනය කරන ලෙස පමණි. හෙවත් ඉහත කී විෂමාචාර විමර්ශන කෙරෙහි ඇඟිලි ගැසිය නොහැකි අමාත්‍යාංශවලට මාරු කරන ලෙස පමණි. එසේ විණි නම්, මේ ආණ්ඩුව පිළිබඳ අලුතින් අපේක්ෂා දල්වා ගැනීමට (එම අපේක්ෂා සාර්ථක වුවත් නැතත්) යළි අවස්ථාවක් රටට ලැබෙන්ට තිබුණි. එහෙත් ඒ වෙනුවට දැන් අපට එලොවටත් නැති මෙලොවටත් නැති ගන්ධබ්බ සංශෝධනයක් පමණක් ලැබී තිබේ.■