රාවය

ගං වතුර ඛේදවාචකය සහ පුනරුදය වැඩසටහන

ගං වතුර ඛේදවාචකය සහ පුනරුදය වැඩසටහන

වික්ටර් අයිවන්

දැන් ලංකාව හැම මාස දෙක තුනකට වරක් ලොකු ඛේදවාචකයක් සිදුවන රටක් බවට පත්වී තිබේ. මීතොටමුල්ලේ කුණුකන්ද නායයෑමෙන් ඇතිවූ ඛේදවාචකයට පෙර වෙන කොයිකවරදාකවත් අසන්නට නොලැබුණු තරමේ මහා ගංවතුරකින් කොළඹ අවට ප්‍රදේශවල ලොකු දේපළ හානියක් ඇති විය. ඊට පෙර අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑමකින් විශාල ජීවිත හානියක් සමඟ දේපළ හානියක්ද සිදුවිය. ඊට පෙර සාලාවේ හමුදා කඳවුරේ ආයුධ ගබඩාවේ ඇතිවූ මහා පිපිරීමක් නිසා විශාල දේපළ විනාශයක් සිදුවිය. පසුග ිය සතියේ ඇතිවූ මහා ගංවතුර හා එම ගංවතුර බලපෑ ප්‍රදේශවලට බලපාන පරිදි ඇතිවූ මහා ජීවිත විනාශය හා දේපළ හානිය එම විනාශකාරී ක්‍රියාදාමයේ තවත් අලුත් අදියරක් ලෙස සැලකිය හැකිය.
එසේ ඇතිවූ හැම ඛේදවාචකයකින්ම පසු ලොකු දේශපාලන හා ජනමාධ්‍ය සංදර්ශන දකින්නට ලැබුණද, එම මහා විනාශයන්ගෙන් බැටකෑ ජනතාවගේ ප්‍රශ්නවලට ලබාදෙන ලද කිසිදු විසඳුමක් හරියාකාරව ක්‍රියාත්මක නොවීමද ලංකාවට ආවේණික තවත් විශේෂ ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. අරණායක නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවට ලබාදීමට පොරොන්දු වූ නිවාස තවමත් ඔවුන්ට ලැබී නැත. සාලාවේ ඇතිවූ පිපිරීම ආශ්‍රයෙන් දේපළ අහිමි වූ මිනිසුන්ට දෙන්නට පොරොන්දු වූ දේවල් තවමත් ඔවුන්ට හරියාකාරව ලැබී නැත. මීතොටමුල්ල කුණුකන්ද ආශ්‍රයෙන් සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් කිවහැක්කේද එයමය. ලංකාව ඉදිරි දැක්මක් ඇතිව ක්‍රමවත් ලෙස වැඩ කරන්නට දන්නේම නැති රටක් ලෙස සැලකිය හැකිය.
පසුගිය සතියේ ඇතිවූ ගංවතුරේ විනාශකාරී බව කෙරෙහි ඇද හැලුණු වර්ෂාවේ ඝනකම බලපෑවේය. ඉඩම් පරිහරණය හා නිවාස තැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ ප්‍රශ්නයද ගංවතුර ප්‍රශ්නය උග්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් සාධකයකි. ජනගහනය වර්ධනය වෙතත් ඉඩම්වල ප්‍රමාණය එක තැන තිබෙන දෙයක් මිස වර්ධනය වන දෙයක් වන්නේ නැත. නිවාස තැනීම සඳහා භූමිය පාවිච්චි කෙරෙන්නේද නිවාස ඉදිකරන්නේද පිළිගත් පොදු ප්‍රතිපත්තියකින් තොරවය. රට පුරා ඉඩම් කැබලි කොට විකිණීමේ ක්‍රියාදාමය සිදුවෙමින් තිබෙන්නේද ඉතාමත් හිතුවක්කාරී හා විනාශකාරී ආකාරයකටය. බලවතුන් වැව් රක්ෂිත අල්ලාගෙන ඒවාහි මහා මන්දිර ඉදිකිරීම වැව් තිබෙන ප්‍රදේශවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. කෘත්‍රිම දූපතක් වන කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා අවශ්‍ය පස් ලබාගැනීම සඳහා විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් පස් සඳහා කඳු කපන තත්ත්වයක් ඇතිවී තිබේ. එම තත්ත්වයද රටේ නායයෑමේ ප්‍රශ්නය කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ. එම දූපත ඉදිකෙරෙමින් තිබෙන්නේ රටේ පැවැත්ම පරදුවට තැබෙන ආකාරයටය. ලංකාව අද ගැන මිස අනාගතය ගැන කිසිම දැක්මක් නැති මෝඩ රටක් ලෙස සැලකිය හැකිය.

ශාඛා ගොඩනැගීමේ දර්ශනය
දකුණේ ඇතිවූ ජල ගැල්ම නොසලකා පසුගිය සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දින තුනේ පුනරුදය ශාඛා ඇති කිරීම සඳහා නැගෙනහිර ප්‍රදේශයේ වැඩ කිරීමට අපට සිදුවිය. දෙහිඅත්තකණ්ඩිය, අම්පාරේ මධ්‍යම කඳවුර, අම්පාර නගරය, තිරුකෝවිල්, වැල්ලවාය හා මොනරාගල යන ප්‍රදේශවල පුනරුදය ශාඛා 6ක් ඇතිකර ගැනීමට හැකිවූ අතර තිරුකෝවිල් ශාඛාව මුළුමනින් දෙමළ ජනයාට සීමාවූ ශාඛාවක් විය. දොස්තර රිචඞ් පෙරේරා එම වැඩසටහනේ සංවිධායකයා ලෙස ක්‍රියා කළේය. රංජිත් දිසානායක (කළු රංජිත්) හා රාවයේ නඩරාසා ද මේ ගමනට මා සමඟ සහභාගි වූ අතර කුරුණෑගලින් දොස්තර සුගත් හා මහනුවරින් නවරත්න බණ්ඩා ද මෙම වැඩසටහනට සහභාගි වූහ. ඊට පෙර සතියේද නාඋල, කැකිරාව, අනුරාධපුරය හා රාජාංගණය යන ප්‍රදේශවල ශාඛා ගොඩ නගන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඊට පෙර සතියේද කොටවෙහෙර, කුරුණෑගල, පොල්ගහවෙල, කුරුණෑගල හා කුලියාපිටිය යන ප්‍රදේශවල ශාඛා ගොඩනගන වැඩසටහනක් ක්‍රියාත්මක විය.
පුනරුදය ව්‍යාපාරය වශයෙන් තවමත් අප ප්‍රධාන වශයෙන් කරමින් සිටින්නේ විවිධ ප්‍රදේශවලට යමින් ශාඛා ගොඩනැගීමය. ශාඛා ගොඩනැගී මෙන් පසු අප කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන අය පුනරුද ව්‍යාපාරය තුළ සේ ම ඉන් පිටතද සිටිති. ශාඛා ගොඩනැගීම පුනරුද ව්‍යාපාරයේ පළමු අදියරට ඇතුළත් වැඩසටහනේ ප්‍රමුඛම අංශය වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සමඟ පුනරුද ව්‍යාපාරයට එකතු වන්නන්ගේ තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් හා පුනරුදය ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ අදහසක්ද ගොඩනැගී තිබෙන ශාඛාවල ප්‍රධාන ක්‍රියාකරුවන් ඇතුළත් වන ලෙස ජාතික මට්ටමේ කමිටුවක් ඇති කරගැනීමේ අදහසක්ද පළමු අදියරයට ඇතුළත්ව තිබුණි. දෙවැනි අදියරේ ප්‍රධානම අංගය බවට පත්ව තිබුණේ පුනරුදය ව්‍යාපාරයට එකතු වී සිටින සියලුදෙනා අධ්‍යාපන වැඩසටහනකට යොමුකිරීමය. දිස්ත්‍රික්ක කමිටුවක් පිහිටුවීමට අවශ්‍ය තරම් ශාඛා ගොඩනැගී තිබෙන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක කමිටු පිහිටුවා ගැනීමේ අදහසක් සේ ම ගොඩනගාගෙන තිබෙන ශාඛා ආශ්‍රයෙන් සම්මේලනයක් පැවැත්වීමේ අදහසක්ද පුනරුද සංවාදය සමාජ මාධ්‍ය ජාලා වෙත ගෙනයෑමේ අදහසක් ද ඊට ඇතුළත්ව තිබුණි. ඒ අදියරයේදී ව්‍යාපාරයේ අරටුව තනා ගැනීමේ වැඩසටහන අවසන් කොට වඩා විශාල ප්‍රමාණයකින් මහජනයා අතරට යන වැඩසටහනක් පවත්වාගෙන යෑමටද සැලසුම් කරගෙන තිබුණි.
ශාඛා ගොඩනැගීමේ වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. ව්‍යාපාරයට එකතුවන්නන්ගේ තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ගොඩනැගීමේ අදහසද සාර්ථක ලෙස ක්‍රියාත්මකවෙමින් පවතී. වෙබ් අඩවියක් ගොඩනගා පවත්වාගෙන යෑමේ අදහස තවමත් සම්පූර්ණ කරගැනීමට නොහැකි වී ඇතත් ඉදිරි මස අවසන්වීමට පෙර එය සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇති බව පෙනෙන්නට තිබේ.
පළමු අදියරයේ අපේ ප්‍රධාන ඉලක්කය වූයේ පුනරුදය ව්‍යාපාරයේ මතවාදය රාවයට ලියන ලිපි මගින්ද ශාඛා ගොඩනගන ක්‍රියාවලිය තුළින්ද උරගා බැලීමකට ලක් කරන අතර ශාඛා ගොඩනගන ක්‍රියාවලිය තුළ පුනරුද ව්‍යාපාරය සඳහා ශක්තිමත් අරටුවක් තනාගැනීමය. ලොකු පිරිසකට සහභාගි විය හැකි සම්මන්ත්‍රණ ශාලාවල පවත්වනු ලබන සම්මන්ත්‍රණ වෙනුවට තෝරාගත් සුළු පිරිසක් කැඳවන සාකච්ඡා සභා ඔස්සේ ශාඛා ගොඩනගන ක්‍රියාදාමයකට යොමුවූයේ එම සාකච්ඡා සභාවලට සහභාගිවන්නන්ටද අදහස් පළකිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා හා එම සාකච්ඡා සභාවන් හරහා පුනරුදයේ මතවාදය උරගා බැලීමකට ලක් කරන අතර එම සාකච්ඡා සභා ඔස්සේ අරටුවට යොදාගත හැකි හොඳ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබාගැනීම සඳහාය.

මතවාදය උරගා බැලීම
පුනරුදය ව්‍යාපාරයේ මතවාදය උරගා බැලීමකට ලක්කිරීම යන්නෙන් අදහස් කරනුයේ එම මතවාදයට එරෙහිව ප්‍රබල විවේචන එල්ලවේ දැයි සලකා බැලීම, ප්‍රබල විවේචන එල්ල වන අවස්ථාවලදී එම මතවාදය මත පිහිටා එම විවේචනයන්ට සාර්ථක ලෙස පිළිතුරු දීමේ හැකියාව සලකා බැලීම, එම මතවාදය සවන් දෙන්නන් කෙරෙහි කවර තරමේ බලපෑමක් ඇති කරයිද යන්න හා ඔවුන් අතර ඊට කවර ආකාරයේ පිළිගැනීමක් ලැබේද යන්න සලකා බැලීමය.
පුනරුදයේ මතවාදය මිනිසුන් සිතන මතන ආකාරයේ ප්‍රබල වෙනසක් ඇති කිරීමට හේතු නොවේ නම් හා එම මතවාදය ඔවුන්ගේ පිළිගැනීමට හේතු නොවේ නම් එය සාර්ථක මතවාදයක් ලෙස සැලකිය නොහැකිය. මිනිසුන් සාම්ප්‍රදායිකව සිතන මතන ආකාරයෙන් ඔවුන් වෙනස් කොට තර්කානුකූල හා සාධාරණ ලෙසත් නවීන ලෙසත් සිතන මතන සංස්කෘතික මිනිසකු බිහිකිරීම පුනරුදය ව්‍යාපාරයේ වැදගත්ම අරමුණකි. පුනරුදය ව්‍යාපාරයේ දැක්ම වාමාංශික හෝ දක්ෂිණාංශික ව්‍යාපාරවල දැක්මට වඩා වෙනස්ය. එම දැක්මට ආවේණික සමහර ලක්ෂණ මෙසේය.
(අ) ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැන පුනරුදය ව්‍යාපාරයට ඇත්තේ අන් සියලු ව්‍යාපාරවලට වෙනස් සුවිශේෂ දැක්මකි. එය එම අර්බුදය දකිනුයේ ජාතික රාජ්‍යය ඇතිවීමෙන් පසු එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතිවම බැරි ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ ඇතිවී තිබෙන අර්බුදයක් වශයෙනි. ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවූයේද මහා ලේ වැගිරීම් ඇතිවූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇතිවූ එම ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි ප්‍රධාන කොට වර්ගය හා කුලය යන සාධක දෙක බලපෑවේය. ප්‍රචණ්ඩ ගැටුම් නිසා දීර්ඝ කාලයක් රටේ පැවති අශීලාචාර වටාපිටාව පුද්ගලයා කෙරෙහිද, පවුල කෙරෙහිද සමාජය කෙරෙහිද රාජ්‍යය කෙරෙහිද රාජ්‍යයේ ආයතන ක්‍රම කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය. ඒ සියල්ල විකෘති කිරීමට දූෂිත කිරීමට හා ජරපත් කිරීමට හේතුවිය. අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුත් ලංකාවේ අර්බුදය අවසන් නොවූයේ ජාතිය ගොඩනගා ගනිමින් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යෑමට අසමත්වීම නිසාය.
(ආ) වර්ග භේදය හා කුල භේදය එසේ තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමෙන් පමණක් ජාතිය ගොඩනැගිය හැකියැ’යි පුනරුදය විශ්වාස කරන්නේ නැත. ඒ සඳහා බලවත් මතවාදී ව්‍යාපාරයක් මගින් වර්ග භේදයට හා කුල භේදයට තිබෙන පිළිගැනීම නැති කළ යුතුය. භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුය. ලාංකික ජාතිය ගොඩනගා ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. ඒ සමඟ එම ලාංකීය ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරගත යුතුය. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වනුයේ එසේ ගොඩනගා ගන්නා ජාතියට හා රාජ්‍යයට නෛතික පදනමක් ලබාදීම සඳහාය.

කුලයට ලැබෙන වැදගත්කම
(ඇ) මෙතෙක් ලංකාවේ අර්බුදය විග්‍රහ කෙරෙමින් තිබුණේ වර්ග සාධකයට සීමාවූ වාර්ගික අර්බුදයක් වශයෙනි. වර්ගයට අතිරේකව එයට කුලයද ප්‍රධාන සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යැයි කියන මානය ඊට එකතු කරන ලද්දේ පුනරුදය ව්‍යාපාරය විසිනි. ලංකාවේ වර්ග භේදයට එරෙහිව කරන සංවාදයක් තිබුණද කුල භේදයට එරෙහිව කරන සංවාදයක් තිබුණේම නැති තරම්ය. ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරයට පවා පීඩිත කුල කෙරෙහි අනුකම්පාවක් තිබුණද ඊට කුල ක්‍රමය මත පදනම් වූ උස් පහත් භේදය නැති කිරීම සඳහා වන සංවාදයක් නොතිබුණි. පීඩිත කුලවල තරුණ තරුණියන් විජේවීරගේ හා ප්‍රභාකරන්ගේ ව්‍යාපාරවල කොඳු නාරටිය ලෙස ක්‍රියා කළද ඒ දෙදෙනා පවා කුලභේදයට එරෙහිව කතා කිරීමට බියවූහ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ 2000 වසරේදී ‘ගේ ඇතුළේ මැද මිදුලේ කුලය, සාධාරණත්වය සහ සමානාත්මතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන කථිකාව’ යන හිසින් ලියන ලිපියට ඇතුළත් නිරීක්ෂණ කිහිපයක් මෙසේය.
“අපේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ කුල ක්‍රමය පදනම් කොටගත් සමාජ අසමානත්වය අසාධාරණත්වය හා සමාජමය කොන්කිරීම් යන ප්‍රශ්න විවෘතව සාකච්ඡා නොකෙරේ.”
“ලංකාවේ දේශපාලනය පිළිබඳ සමාජ විද්‍යාවේ ඇති එක් අපූරු ලක්ෂණයක් නම් කුලය පදනම් කොට ගත් සමාජ අසමානත්වය හා වෙනස්කම් කිරීම විවෘතව අභියෝගයට ලක් කරන ව්‍යාපාරයක් සිංහල සමාජයේ පැන නොනැගීමය.”
“පීඩිත කුල ප්‍රජාවන්ගේ අවධානය සහ සහයෝගය ඇදී ගියත් කුල පීඩනය යන්න තම දේශපාලන න්‍යාය පත්‍රයේ විවෘත අංශයක් ලෙස සැලකීමට වම සහ ජවිපෙ මැලිවූහ.”
මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඉහත කී ලිපිය පළකරන්නට දශකයකටත් වැඩි කාලයකට පෙර සිට රාවය කුල පීඩනය ප්‍රසිද්ධ සංවාදයට බඳුන් කෙරෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන්පසු කුල පීඩනය පිළිබඳ ප්‍රශ්නය පුනරුදය ශාඛා ගොඩනගන සාකච්ඡා සභාවල සංවාදයට ලක් කෙරෙන මාතෘකාවක් බවට පත්කර ගත්තේය. පුනරුදයේ අරමුණ වර්ග භේදයට තිබෙන පිළිගැනීම පමණක් නොව කුල ක්‍රමය විසින් ඇතිකර තිබෙන උස් පහත් භේදයට තිබෙන පිළිගැනීමද නැති කිරීමය. ඒ සියලුදෙනා සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් බවට පත්කිරීමය.

ජනප්‍රිය මතවාද
පුනරුදය ව්‍යාපාරය මහජන අනුග්‍රහය ලබාගැනීම සඳහා සත්‍ය පදනමක් නැති ජනප්‍රිය විශ්වාසයන්ට අනුගත වන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ සත්‍ය පදනමක් නැති ජනප්‍රිය විශ්වාසයන් විවේචනය කරමින් එම විශ්වාසයන්ගේ ඇති වරද ඔවුන්ට කියාදීම මගින් ඔවුන් පුනරුදයට දිනාගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල වර්ගවාදියෙකු නොවූවද බලය අල්ලා ගැනීමේ අරමුණ සඳහා සිංහල වර්ගවාදය සමඟ අනුගතවී ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මුලදී සිංහල වර්ගවාදයට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි සමසමාජ, කොමියුනිස්ට් ව්‍යාපාරයද පසුකලකදී සිංහලයන් අතර පිළිග ැනීමක් ලබාග ැනීම සඳහා සිංහල වර්ගවාදය සමඟ අනුගතවී ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ප්‍රතිපත්තියද ඊට වෙනස් නොවීය.
ඊට වෙනස්ව පුනරුද ව්‍යාපාරය සිංහල ප්‍රදේශවල කරන සාකච්ඡා සභාවලදී සිංහල වර්ගවාදයේ ඇති විනාශකාරී බව සේ ම සිංහල වර්ගවාදය විසින් සිංහල වර්ගයාට සේ ම රටටද කරන විනාශයේ තරම ඔවුන්ට කියාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. වැල්ලවායේදී ග්‍රාමීය ශාඛාවක් පිහිටුවීමට මැයි 28 වැනි දින පවත්වන ලද සාකච්ඡා සභාවකදී එම සාකච්ඡා සභාවට සහභාගි වූ පුද්ගලයෙකු සභාව අමතා කතා කරමින් ඉතාමත් හැඟීම්බර ස්වරයකින් කියා සිටියේ තමාගේ මවගේ මවට දරුවන් 16 දෙනකු සිටි බවත් ඇය අවුරුදු 108ක් ජීවත් වූ බවත් එහෙත් තමාගේ මවට බිහිකළ හැකිවූයේ දරුවන් හතරදෙනෙකු පමණක් බවත්, ඇය අවුරුදු 64දී මියගිය බව කියමින් සිංහල අම්මලා ප්‍රමාණවත් තරමින් දරුවන් බිහි නොකිරීම නිසා සිංහල ජාතිය වඳවී යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව වැඩිදුරටත් කීවේය. මා පමණක් නොව දොස්තර රිචඞ් ද ඔහුගේ එම අදහස් විවේචනයට ලක් කළේය. පවුලකට දරුවන් විශාල ගණනක් සිටීම වැඩවසම් ක්‍රමයක් පැවති අතීතයට ගැළපෙන්නක් වුවද එය නූතනයට ගැළපෙන දෙයක් නොවන බව හා කාන්තාවන් උපරිම ප්‍රමාණයක් දරුවන් වැදිය යුතු යන්ත්‍ර ලෙස සලකන ප්‍රතිපත්තියක් සාධාරණ නොවන බවද මම කීවෙමි. මෙම සාකච්ඡා සභාව හොඳ කාන්තා සහභාගිත්වයක්ද තිබූ සාකච්ඡා සභාවක් විය. එහි සිටින කාන්තාවන් අප දෙදෙනා පළ කළ අදහස් අනුමත කරන බව ඔවුන්ගේ මුහුණුවලින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එම අදහස් පළ කළ කථිකයා සේ ම අන් අයද අප පළ කළ අදහස්වලට උනන්දුවෙන් සවන් දුන්නා මිස අපට එරෙහිව කෝපය පළකරන තැනකට ගියේ නැත.
අප මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ සිංහලයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. දෙමළ හෝ මුස්ලිම් අයට සීමාවූ සාකච්ඡා සභාවලදී අප ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සිංහලයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියට සමානය. ව්‍යාපාරයට දමිළයන්ගේ හෝ මුස්ලිම්වරුන්ගේ අනුග්‍රහය ලබාගැනීම සඳහා දෙමළ හෝ මුස්ලිම් වර්ගවාදය සමඟ අනුගතවී ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත.
මැයි 20 වැනිදා අනුරාධපුරයේදී මුස්ලිම්වරුන්ට සීමාවූ සාකච්ඡා සභාවක් පැවැත්වුණි. එම සාකච්ඡා සභාවට සහභාගි වූ දැඩි මතධාරියෙකු පළ කළ අදහස් විවේචනය කරන්නට මට සිදුවිය. සභාවේ අන් සියලු දෙනා මධ්‍යස්ථව සවන් දුන්නා මිස දැඩි මතධාරී අදහස් පළ කළ පුද්ගලයාට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කළේ නැත. සාකච්ඡා සභාව අවසන්වීමෙන් පසු තුන්දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් සමඟ කරන පිළිසඳරකදී මුස්ලිම් තරුණයෙකු මා සමඟ කීවේ ඥානසාර වර්ගයේ පුද්ගලයන් සිංහල සමාජයට පමණක් සීමා නොවන බවත්, එවැනි අය මුස්ලිම් සමාජයේද ඕනෑතරම් සිටින බවත්ය. ඒ සමඟ ඔහු කියා සිටියේ ඒ සියලුදෙනා මතවාදීමය වශයෙන් පරාජය නොකොට ජාතිය ගොඩනැගිය නොහැකි බවය. ඔහු ආරම්භයේ සිටම නොකඩවා රාවය කියවන්නෙකු බව ඔහුගෙන් අසන්නට ලැබුණු විට මා තුළ ඇතිවූයේ ආස්වාදජනක හැඟීමකි.
27 වැනි දින සවස තිරුකෝවිල්වල පැවති සාකච්ඡා සභාව දමිළයන්ට පමණක් සීමාවූ සාකච්ඡා සභාවක් විය. එම සාකච්ඡා සභාවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ විශ්‍රාම ගිය රජයේ නිලධාරියෙකු වූ සෙල්වදොරේ මහතා ඒ ප්‍රදේශයේ මිනිසුන් හඳුන්වන්නේ සිංහල මහත්තයා වශයෙනි. මගේ, දොස්තර රිචඞ්ගේ කතා දෙමළ භාෂාවට පරිවර්තනය කළේද, එම සභාවට පැමිණි අය දෙමළ භාෂාවෙන් කරන කතා අපගේ දැනගැනීම සඳහා සිංහල භාෂාවට පරිවර්තනය කළේද ඔහු විසිනි. සාකච්ඡා සභාවට 20 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඉන් බහුතර පිරිසක් උසස් පෙළ සමත් වූ හෝ උපාධි අධ්‍යාපනයක් ලැබූ තරුණ අය වූහ. එය ඉතාමත් කදිම සංවාදයක් පැවති සාකච්ඡා සභාවක් ලෙස සැලකිය හැකිය. මා මාගේ ආරම්භක කතාව කරන ලද්දේ දෙමළ වර්ගවාදී ක්‍රියාකාරකම් හා ආස්ථානයන් විවේචනයට ලක් කෙරෙන ආකාරයටය. මාගේ කතාවෙන් පසු එහි සිටි උගත් වැඩිහිටියෝ දෙදෙනෙක් මගෙන් ප්‍රශ්න කළෝය. දෙමළ ජනයාට කර තිබෙන හිරිහැර හා අසාධාරණකම් ගැන සිංහල නායකයන් දෙමළ ජනයාගෙන් සමාව ගත යුතුව තිබෙන බවත් ඒ සමඟ ඒ කෙරෙහි දක්වන ලද අඥාන හා විනාශකාරී ප්‍රතික්‍රියා නිසා සිදුවූ විනාශය ගැන දෙමළ නායකයන්ද සිංහල ජනතාවගෙන් පමණක් නොව දෙමළ ජනතාවගෙන්ද සමාව ගත යුතුව තිබෙන බවත්, කිසියම් අවස්ථාවකදී මට කියන්නට සිදුවිය. මාගේ ප්‍රතිවිවේචනයන් ඔවුන්ගේ උනන්දුවට මිස කෝපයට හේතුවූයේ නැත. අවසානයේ ඔවුන් සියලුදෙනාගේම පාහේ මතය වූයේ පුනරුද ව්‍යාපාරය නැගෙනහිර දෙමළ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ හැකියාවක් ඇති ව්‍යාපාරයක් වන බවය.

බාහිර සතුරකු නැතිකම
පුනරුද ව්‍යාපාරය රාජ්‍ය බලය අල්ලා ගැනීම මගින් මහජනයාට විමුක්තිය උදාකළ හැකියැ’යි විශ්වාස කරන්නේ නැත. ඒ අදහසින් බලය අල්ලා ගත් අයගෙන් ඉතා වැඩි පිරිසක් කර ඇත්තේ මහජනයාට විමුක්තිය උදාකරනවා වෙනුවට මහජනයා පීඩාවට පත්කිරීමය. විශේෂයෙන්ම සන්නද්ධ අරගලයක් මගින් බලය අල්ලා ගත් බොහෝ නායකයන් ඉතිහාසයට එකතු වී ඇත්තේ මහජනයාට විමුක්තිය උදාකළ අය වශයෙන් නොව, ප්‍රජා පීඩකයන් වශයෙනි. පුනරුදය ව්‍යාපාරය විශ්වාසය තබන්නේ සමාජය කෙරෙහිය. සමාජය බහුත්වවාදී ආකල්පවලින් යුතු සාධාරණව හා තර්කානුකූලව සිතන මතන, ජාලගතවී ක්‍රියාකරන සංවිධානාත්මක සමාජයක් බවට පත්කරගත හැකි නම් උත්තර නිර්මිතය ඇතුළු හැම දෙයක්මත් එම නවීන සමාජයට ගැළපෙන ලෙස වෙනස්වනු ඇති බව හා එසේ නොවේ නම් අවශ්‍ය කරන වෙනස්කම් සමාජය විසින් ඇති කරගනු ඇති බව පුනරුද ව්‍යාපාරය දරන මතය වේ. එයද පුනරුදය ව්‍යාපාරයට ආවේණික විශේෂ මතවාදයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා පුනරුදය ව්‍යාපාරය උනන්දුවක් දක්වන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොව දියුණු සමාජ සවිඥානකත්වයකින් යුතු හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයකින් යුතු යහපත් හා විනයගරුක නවීන සමාජයක් ගොඩ නැගීම සඳහාය. රාජ්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකට එකතු වන්නන්ට තමන්ගේ ව්‍යාපාරය බලය ලබාගැනීමෙන් පසුව තමන්ට ලබාගත හැකි විවිධ වරප්‍රසාද ගැන විවිධ බලාපොරොත්තු ඇති කරගත හැකිය. එහෙත් පුනරුදය ව්‍යාපාරයට එකතු වන්නන්ට එවැනි බලාපොරොත්තු ඇති කරගත නොහැකිය. පුනරුදය ව්‍යාපාරයෙන් ඔවුන්ට ලබාගත හැක්කේ ප්‍රඥාව හා ශාන්තිය පමණය.

පුද්ගලයා හා පවුල
පුනරුද ව්‍යාපාරයට තථ්‍ය හෝ සිතින් මවා ගත් සතුරන් නැත. එය සතුරා ලෙස සලකන්නේ තමාමය. පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ ඇති අයහපත් හා පසුගාමී, හුරුපුරුදු නැතිකොට පුනරුද ව්‍යාපාරය යහපත් ගුණධර්ම සහිත මිනිසුන් තනන ව්‍යාපාරයකි. ගුණධර්ම ලෙස සලකනුයේද ලෞකික ගුණධර්ම මිස ආගමික ගුණධර්ම නොවේ. පළමුවෙන් ව්‍යාපාරයට එකතු වන පුද්ගලයන් යහපත් කොට ඒ මගින් එම පුද්ගලයන්ගේ පවුල්ද යහපත් කිරීමට අපේක්ෂා කරයි. ඉන්පසු ඒ ඔස්සේ සමාජයද යහපත් කිරීමට අපේක්ෂා කරයි. දූෂණයෙන් තොර බව වර්ග භේදයෙන්, කුල භේදයෙන් හා ආගම් භේදයෙන් තොර බව පුනරුදය අපේක්ෂා කරන වැදගත් ගුණධර්මයන්ය. ඒ සමඟ සිය බිරිඳ පමණක් නොව පොදුවේ කාන්තාවන්ද සමාන මනුෂ්‍ය ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති ප්‍රජාවක් ලෙස සැලකීම පුනරුදය අපේක්ෂා කරන තවත් ගුණධර්මයකි. ස්වාමිපුරුෂයා අතරත්, මාපියන් හා දරුවන් අතරත් ශාස්ත්‍රීය සාකච්ඡාවක් තිබිය යුතුය. ස්වාමිපුරුෂයා පවුලට ඒකාධිපතියෙකු නොවිය යුතු අතර මාපියන්ද දරුවන්ට ඒකාධිපති පාලකයන් නොවිය යුතුය.
දරුවන්ගේ නිර්මාණශීලීභාවය කෙරෙහි බලපාන සහජ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ප්‍රශ්න කිරීමට දරුවන්ට තිබෙන අයිතියට මාපියන් ගරු කළ යුතුය. කීකරු දරුවන් වෙනුවට අපේක්ෂා කළයුත්තේ යහපත් හා නිර්මාණශීලී දරුවන්ය.