දැන් රජයේ වාරය යි


kathu

ස්වාභාවික විපත් සිදුවන්නේ රජයක් හෝ රටේ නායකයන් හෝ රටේ ජනතාව හෝ නරක නිසා නොවේ. එවැනි ප්‍රවාද අයිතිවන්නේ හණමිටිකාරයන්ගේ යුගයට ය. එහෙත් ස්වාභාවික විපතක දී රජයක් ප්‍රතිචාර දක්වන විදියෙන් රජයේ හොඳ හෝ නරක හෝ තේරුම් ගත හැකි ය.
බොහෝ දෙනකු විහිළුවට ගත්තත්, අගමැතිවරයා කී දේ ඇත්තකි. සාමාන්‍යයෙන් කුකුළේ ගඟට ලැබෙන මිලිමීටර් එකසිය ගණනක උපරිම වැස්ස ඉක්මවා, ඊට වඩා පස් ගුණයක හෙවත් මිලිමීටර් පන්සිය තිස් ගණනක පමණ වැස්සක් ලැබෙන විට එය ඉතා ම අසාමාන්‍ය තත්ත්වයක් බව සියල්ලන් අවබෝධ කර ගත යුතු ව තිබුණි. වහා ඒ තොරතුරු අවශ්‍ය තැන්වලට සන්නිවේදනය කෙරුණි නම්, විනාශය ද මීට වඩා අඩු කර ගත හැකි ව තිබුණි. රාජ්‍ය යන්ත්‍රණය එලෙස ක්‍ෂණික ප්‍රතිචාර නොදැක්වීම නිසා සිදුවන තර්කානුකූල දෙය නම් හානිය ඉහළ යෑම යි. එය රාජ්‍ය යන්ත්‍රණයේ අසමත්කම නිසා ඇතිවූවක් ය යන හැඟීමක් ජනතාව තුළ ඇතිවීම යි.
කොහොමටත් රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාවලියට ප්‍රවේශ වන්නේ හෙමිහිට ය. ව්‍යසන කළමනාකරණය, ගංවතුර හානි කළමනාකරණය වැනි දේ ගැන විශේෂිත නීති ද ඇති නමුත්, ඒවාට අනුව රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නට පටන් ගන්නේ හෙමිහිට ය. මෙවැනි හදිසි තත්ත්වයක දී වැඩ කළ හැකි ලිහිල් නීතිමය තත්ත්වයන් එවැනි විශේෂිත නීතිවලින් හා ඒවාට අදාළ රෙගුලාසිවලින් පැහැදිලි කොට තිබේ. ඒ නිසා, තමන් එෆ්සීඅයිඩීයට ගෙනයාවියැ’යි බියෙන් හදිසි තත්ත්වයක දී වැඩ කිරීමට නිලධාරීන් පසුබට වනවායැ’යි කීම නිර්මාණය කරන ලද ප්‍රලාඵයකි. ඒ වාගේ ම ඔවුන්ගේ බිය හැරීමට යැයි කියමින් චක්‍රලේඛ නොසලකා කටයුතු කරන්නටයැ’යි උපදෙස් දීම ද අර්ථයක් නැති දෙයකි. හදිසි අවස්ථාවක දී සාමාන්‍ය රෙගුලාසිවලින් වෙනස් ව කටයුතු කිරීමට ඒ විශේෂිත නීතිවලින් ම ඉඩ අවසර දෙන බැවිනි. ඒ නිසා ඇත්ත වශයෙන් ම කිව යුත්තේ, චක්‍රලේඛ නොසලකා වැඩ කරන්නටයැ’යි කීම නොවේ. හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට ඉඩ සලසන නීති හා රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස උපදෙස් දීම ය. පසුගිය දිනෙක හිටපු ජනාධිපතිවරයා චක්‍රලේඛ නොසලකා කටයුතු කරන්නටයැ’යි රජයේ නිලධාරීන්ට කීවේ, රටේ නීතිය නොසලකා කටයුතු කිරීමේ තමන්ගේ පරණ පුරුද්ද ම අනුව යමිනි. සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී එසේ නීතිය නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට හෙල්පින් හම්බන්තොට ගිණුමට ආ මුදල් විශාල ප්‍රමාණයක් පුද්ගල සාක්කුවලට වැටුණු හැටි ගැන දැනුමක් රටේ ජනතාවට තිබේ.
හදිසි අවස්ථාවක දී වුව ද ඕනෑ ඕනෑ හැටියට කටයුතු කරන්නට කිසිවකුට අවසරයක් නොලැබේ. එවැනි අවස්ථාවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට විශේෂ නීති සාදා ඇත්තේ එබැවිනි. ඒ නීති හා ආයතන කාර්යක්‍ෂම නොවේ නම් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය ය. සමහර ප්‍රතිසංස්කරණයන් ගැන අදහසක් එන්නේ විපතක් සිදුවුණු පසු ය. හෙවත් වලක වැටුණු පසුව ය.
ව්‍යසනයක් ඇති වූ වහාම රජයට පෙර මහජනතාව සහන සේවා කටයුතුවල යෙදීමට පෙරට පැමිණීම ලංකාව වැනි සහකම්පන චින්තනයකින් හෙබි ජනතාවක් සිටින රටක ස්වාභාවික දෙයකි. විiුත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඉතා ක්‍රියාශීලී මෙවැනි යුගයකදී ද මුල් තැන ලැබෙන්නේ ඒ ජනතා ක්‍රියාකාරිත්වයට ය. ඒ නිසා පළමු අදියරේ දී රාජ්‍ය යන්ත්‍රණය පසු බා සිටින බවක් පැහැදිලි ව ම පෙනේ. එහෙත්, පළමු ව වැඩට බහින සාමාන්‍ය ජනතාව ක්‍රමයෙන් විපත් බිමෙන් ඉවත් වන විට දෙවැනි හා තුන්වැනි අදියරේ දී ක්‍රියාශීලි වන්නේ ද, විය යුත්තේ ද රාජ්‍ය යන්ත්‍රණය යි. සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි ස්ථානවලට සහන සැලසීම මෙන් ම, විනාශයට පත්වුණු ජන ජීවිතය යළි ගොඩ නැගීම ද අයත් වන්නේ රජයට යි. ඒ අවස්ථාවේ දී රජය සමඟ සම කළ හැකි වෙනත් කිසිවෙක් නැත.
දැන් ඇත්තේ ඒ අභියෝගයයි. හඳුනාගෙන ඇති අන්දමට මේ විපත නිසා සම්පූර්ණයෙන් ම විනාශ වූ නිවාස ගණන 640ක් පමණ ය. අර්ධ හානි සිදු වුණු නිවාස ගණන 5,329කි. රජයේ උත්සාහය හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය යොදා ගනිමින් විනාශ වූ නිවාස අලුතෙන් ගොඩනැගීම යි. ඒ අතර කැඩි බිඳී ගිය මංමාවත්, පාලම් බෝක්කු, විදුලි සැපයුම් මාර්ග පිළිසකර කළ යුතු ය. හානි සිදුවුණු ව්‍යාපාරිකයන්ට යළි ව්‍යාපාර ගොඩනැගීම සඳහා රක්‍ෂණ වන්දි හා ණය ලබා දීමෙන් උදව් කළ යුතු ය.
මීට පෙර සිදුවුණු ස්වාභාවික විපත්වල දී පසු ව්‍යසන පියවර ගැනීම සම්බන්ධයෙන් රජයට ඇත්තේ හොඳ වාර්තාවක් නොවේ. ඒ නිසා, මෙවර දී වත් අසමත්භාවය වෙනුවට සමත්භාවය ප්‍රකට කර පෙන්වීම රජයේ වගකීම ය.■